එමලිගේ තාත්තා දවස් කීපයකට ලංකාවෙන් පිටතට ගිහින් ඉන්නේ. තාත්තා එක පාරටම දුර ගමනක් යෑම සහ තාත්තා ගෙදර නැති වීම ගැන එමලිව කල් තියා සූදානම් කරන එක ලොකු අභියෝගයක් උනා. එමලිට තාම වටහා ගන්න බැහැ ලෝකයේ හෝ සමාජීය සකැස්ම. රටවල්, සංස්කෘතික කාරණා , ආගම්, පුද්ගල සම්බන්ධතා වගේ දේවල් ගැන . ඉතිං කොහොමද දැන් තාත්තා දවස් කීපයක් ගෙදර නැත්තේ කියන එක එමලිට වටහා දෙන්නේ කියන එක මම ගොඩක් කල්පනා කරා. එමලි එයාගේ තාත්තට අතිශයින්ම සමීපයි. තාත්තා එක්ක විතරක්ම හදාගත්ත නොවෙනස් වෙන Routines එමලිට තියනවා. උදාහරණයක් විදියට එමලි තාත්තා දිහාට නිතරම Point කරලා කියනවා ” Daddy Dance ” කියලා. එතකොට තාත්තා කටින් Music එකක් දාලා නටනවා වගේ ඇඟ හොල්ලනවා. ඒකෙන් ලොකු සතුටක් එමලි ලබනවා. ඒත් එක්කම නිතරම තාත්තට කියනවා ” Samsung Poco ” කියලා. එතකොට තාත්තා ඒක රිපීට් කරන්න ඕනේ. ඉතිං ගෙදරද ,පිටද කියලා ඉන්න ස්ථානය , කරන වැඩේ පවා අදාළ කරගන්නේ නැතුව එමලිගේ තාත්තා එමලි කියන විදියටම මේ Routines පවත්වාගෙන යනවා.

දැන් එක පාරටම තාත්තා ගෙදර නැති වීම එමලිට ලොකු ආතතියක් ඇති කරන්න පුලුවන් බව මම හොඳාකාරවම දන්නවා. වාචිකව තාත්තා කොහෙද ගියේ කියලා එමලිට අහන්න අපහසු නිසාත් තමන්ගේ හැඟීම් තෝරාබේරාගන්න අසීරු නිසාත් එමලිගේ අභ්‍යන්තරයෙන් මේ හුදකලාව ලොකු වෙනසක් ඇති කරන්න පුලුවන්. ඒ වෙනස හැසිරීමේ වෙනසක් විදියට පිටතට පේන්න ගන්න පුලුවන්.

එමලි මේ දවස් වල ” Hello kitty ” Character එකට කැමති නිසා මම හිතුවා තාත්තා ටික දවසකට Hello kitty ගේ ගෙදර යනවා කියලා එමලිට කියන්න. ඒකට මම ෆොටෝ එකකුත් හදාගෙන එමලිට ඒක පෙන්නලා පැහැදිලි කරා. ඒකට එමලි හයියෙන් හිනා උනා. ඒ එයා Hello kitty ට ආස නිසා. කොහොම හරි තාත්තා යනකොටත් එමලිට ආයේ ආයේ කිව්වා මම Hello kitty ගේ ගෙදර යනවා.ගිහින් ඉක්මනට එන්නම් කියලා.ඒකටත් ලැබුණ ප්‍රතිචාරය හිනාවක් විතරයි. ඒත් එමලි පස්සේ ආයේ ඒක රිපීට් කරා. ඒකෙන් මම තේරුම් ගත්තා එමලි දැන් තේරුම් අරන් ඉන්නේ කියලා තාත්තා ගියේ Hello kitty ගේ ගෙදර බව.

රෑ වෙනකොට පළවෙනි දවසේ තාත්තා නෑ නේද කියන එක එමලිට ඇත්තටම දැනුනා. ඒක එයා මට පෙන්නුවේ super market එකෙන් එයාට ගෙන්න ගන්න ඕනේ ලිස්ට් එක කියලා.තාත්තා තමයි එමලිට ඒවා ගෙනල්ලා දෙන්නේ. එතකොටත් මම එමලිට ආයේ මතක් කරා තාත්තා Hello kitty ගෙ ගෙදර ගිහින් ආවම අපි Supermarket එකට යමු කියලා.

දැන් ඊළඟ ප්‍රශ්නය උනේ දවස් කීපයකට තාත්තා එන්නේ නෑ කියන එක එමලිට තේරුම් කරවන එක. එමලිට දවස් වල නම් ගැන අදහසක් තිබ්බට සතිය, මාසය ,අවුරුද්ද හෝ කාල වෙලාවන් ගැන වැටහීමක් නැහැ.

ඒ නිසා මම ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරේ five little ducks කියන nursery rhyme එකේ මුල් පද දෙක. ඒකේ තියෙන්නේ ” Five little ducks went out one day , Over the hill and far away” කියලා. එමලිගේ සිතීම,භාෂාව මේ හැමදේම සංවර්ධනය වෙන්නේ Gestalt ක්‍රමයට. ඒ කියන්නේ සමස්ත සිදුවිමම , කතාවම මනසේ ගෙඩිය පිටින්ම එමලි පිටපත් කරගන්නවා. ඉතිං ඒ නිසා මේ වගේ සිංදු ඒ වීඩියෝ එකේ තියන සමස්තයම එමලිට චිත්‍රපටියක් වගේ මනසේ ජීවමානව තියනවා. දැන් ඒ නිසා මම එමලිට ” තාරාවෝ පස් දෙනා දවසක් කඳුත් පහු කරලා ඈතටම ගියා ” කියන එක කියලා ඒකටම එකතු කරා තාත්තත් අන්න ඒ වගේ ඈතකට ගියේ කියන එක. ” Far away” කියන එක එහෙමයි මම එමලිට තේරුම් කරේ. එතකොට එයා දන්නවා තාත්තා අද හෙටම ගෙදර එන්නේ නැහැ, දුරක තියන Hello kitty ගේ ගෙදර තමයි තාත්තා ගිහින් තියෙන්නේ කියන එක.

ලෝකය,සමාජ හැඩය, පුද්ගල සම්බන්ධතා, ආගම, සංස්කෘතිය, වෙලාව වගේ abstract human concepts එමලිට වැටහෙන්නේ නැති උනාට ගණිත සංකල්ප, Pattern , Routines , වගේ දේවල් ගැන හොඳ දැනීමක් තියනවා. ඒ කියන්නේ තමන්ට පේන / Visible දේවල් ගැන එමලිට හොඳ අවබෝධයක් තිබ්බට තමන්ට හරියට අත්දකින්න බැරි Invisible Categories ගැන අවබෝධයක් නැහැ.මේක බුද්ධිමත් බව එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේකට හේතුව තමයි එමලිගේ මොළය වඩා පහසුවෙන් වටහාගන්නේ ඉතා පැහැදිලි සහ යථාර්ථය විදියට පේන පරාසය විතරයි. උදාහරණයක් විදියට මෙහෙම මම මේක පැහැදිලි කරන්නම්.

වතුර එමලිට ස්පර්ශ කරන්න පුලුවන්. කේක් ගෙඩියක් නම් ඒක කන්න පුලුවන්. එයා කැමතිම Logos එයාට පැහැදිලිව බලන්න පුලුවන්. සංගීතය එයාට ඇහෙන දෙයක්. මේවා හරි පැහැදිලියි. යථාර්ථය විදියට මොළය ඒවා වටහා ගත්තත් රටවල් කියන එක කිව්වට පැහැදිලි අදහසක් නෑ. වෙලාව කිව්වම ඒක පේන්නේ නෑ. ආගම කියන්නේ විශ්වාසයක්. අන්කල්, ඇන්ටි ,මාමා,නැන්දා වගේ පුද්ගල භුමිකාවන් එමලිට නිකම්ම නිකන් ලේබල් වගේ. ඉතිං අන්න ඒවාගේ පරාසයන් එමලිට වටහා ගන්න බැහැ.

මේක තමයි මට එමලිගේ වටහා ගැනීමේ පරාසය ගැන කියන්න පුලුවන් සරළම ක්‍රමය. ඒකයි තාත්තා වෙනත් රටකට හෝ ලංකාව ඇතුලේ කොහේ හරි දුරකට ගියත් ඕක ගැන එමලිට වටහා ගන්න අපහසු. ඒත් Hello kitty ගේ ගෙදර ගියා කිව්වම එමලිට පුලුවන් ඒක මනසේ මවා ගන්න.

දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුලුවන් එමලිට දැන් වැටහෙන්නේ නැති දේවල් ඉදිරියේදී වැටහෙයිද කියන එක. උත්තරය ඔව්. ඒත් ඒක වෙන්නේ එමලිගේම Time line එකක් ඇතුලේ එයාගේම විදියකට.මට කියන්න බෑ මොන වයසෙදිද කොයි කාලයේද කියන එක.

එමලිට කාලයක් යනකල් වීඩියෝ කෝල් එකක් දිහා බලන්න අපහසු උනා. ඒකට හේතුව ඒ හරහා එමලි අධික උත්තේජනයට පත් වුන නිසා. ඒත් මෑතකදී ඉදන් හෙමින් හෙමින් එමලිගේ Supermarket list එක පාවිච්චි කරලා මම එමලිට එයාගේ තාත්තට වීඩියෝ කෝල්ස් අරන් ඒ ලිස්ට් එක කියන්න පුලුවන් කියන එක කියලා දුන්නා.ඒකෙන් ටික ටික එමලිගේ මනසට අධික උත්තේජනයක් නොවෙන්න එයාට තාත්තා එක්ක වීඩියෝ කෝල් එකක ඉන්න පුලුවන් උනා. එමලි ඒ හරහා තාත්තා එක්ක කතා කරනවා. ඒ කතා කරන්නේ එයාගේ Special interest එක ගැන. Logos වල නම් කියනවා තාත්තට හිනා වෙලා. ලංකාවෙන් සැතපුම් බර ගාණක් එහා ගිහිනුත් එමලිගේ තාත්තා වීඩියෝ කෝල්ස් හරහා එමලිට ” Samsung poco කිය කියා රිපීට් කරේ අපි හැමෝටම එමලිගේ මනස සන්සුන්ව තියාගෙන ඉන්න එක එච්චරට වැදගත් නිසා.

එමලි එයාට දැනෙන පාළුව සහ දුක පිටකරගන්න කරන්නේ Supermarket list එක කිය කියා හයියෙන් අඩන එක. එයා තාත්තා එක්ක මේ Supermarket list එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතිං අඬන්නේ ” Daddy – Sweet Kade” කියලා. Sweet Kade කියන්නේ එමලිගේ තාත්තා එයාට Chocolates අරන් දෙන කඩේ. එමලි එහෙම කියන එකෙන් අදහස් කරන්නේ තාත්තා ඉක්මනට එන්න කියන එක. මම ඒ වෙලාවට එමලිගේ ළඟට වෙලා එයාට ඇති වෙන්න අඬන්න දෙනවා. ඒ ඇඩීම එමලිට පහසුවක් ඇති කරනවා කියලා මට හිතෙනවා.

තාත්තා සතියකට දවස් දෙකක් වගේ ඔෆිස් ගියපු දවසට හවසට එමලි ජනෙල්ලේ ළඟට ගිහින් බලන් ඉන්නවා. මට මතකයි දවසක් කළුවර වැටෙනකලුත් තාත්තා ගෙදර ආවේ නැති නිසා ඒ ඇයි කියන එක නොතේරෙන නිසා එමලි කරේ දොර ඇරලා මාව එළියට දාලා දොර වහලා ජනෙල්ලෙන් ආයේ ගේට් එක දිහා බලන් හිටපු එක. එයා මාව එළියට දැමීම හරහා කිව්වේ ගිහින් තාත්තට එන්න ගේට් එක අරින්න කියලා. ඒ විදියටම අද හවසත් කළුවර වැටුණම මාව දාලා දොර වහන්න හැදුවා ගිහින් තාත්තට එන්න ගේට් එක අරින්න කියන එක කියන්න. ඒක කරන්නෙත් අඩ අඩා. එමලිට අහන්න ප්‍රශ්න ගොඩක් හිතේ ඇති. ඒ වගේම තේරුම් ගන්න බැරි ගොඩක් දේවලුත් හිතේ ඇති. මේ හැම දේම මට මැජික් එකකින් හරි දැනගන්න පුලුවන් නම් කියලා හිතෙනවා. එමලිගේ දුක, ඇස් වලින් නොනවත්වාම බේරෙන කඳුළු දිහා බලන් ඉඳීම දරාගන්න මට පහසු නැහැ.

එමලිගේ ස්නායු පද්ධතිය ආරක්ශාකාරී පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ වටා. එතකොට තාත්තා, අක්කා, මම වටා තමයි එමලිගේ නොවෙනස්වෙන රටාවන් සහ චර්‍යාවන් සියල්ල සම්බන්ධ කරන් එමලි එයාගේ මනස සන්සුන් කරගන්නේ. තාත්තාගේ තාවකාලික අඩුව එමලිට කොයිතරම් බරපතළව දැනෙනවාද කියනවා නම් එයාට දැන් තවදුරටත් දීර්ඝ කාලයක් පුරාවට පවත්වාගෙන යන Routines පවත්වාගෙන යන්න බැරි බවක් ඇති වෙලා තියනවා. ඒ නිසා 2023 දෙසැම්බර් මාසයේ ඉඳන් මේ දක්වා එමලි ගෙදරට කළු ටීශර්ට් විතරක්ම ඇදපු එක අද රෑ වෙනස් උනා. රෑ නාලා එමලි වෙනදා අදින කළු ටීශර්ට් එක වෙනුවට කොළ පාට ගවුමක් ඇදලා නිදාගන්න ගියා. ඒකට සතුටු වෙන්නද බය වෙන්නද කියන එක මට තාම තේරුම් ගන්න බැහැ. ඉතිං මම මේ පෝස්ට් එකත් ලියලා දාන්නේ එමලි නිදා ගත්තට පස්සේ. කොහොමද ඉදිරි දවස් ටික ගෙවෙන්නේ කියන එක ගැන මම ආයේ ලියන්නම්.❤️

මුල් සබැඳිය : එමලිගේ ලොකු අභියෝගයක්