මම මේ කාලයේ ඉන්නේ ලියන්න පුලුවන් මානසික හා ශාරීරික යහපත් තත්ත්වයක නෙමේ. මේ කාලයේ අපේ දවස් ගෙවෙන්නේ කොහොමද කියලා ලියන එක පවා අමාරු වැඩක් මට. මතක ඇති මම කලින් පෝස්ට් එකක ලිව්වා එමලිට තව දුරටත් එයාගේ චිත්‍ර වලින් පිරිලා ගියපු බිත්ති නිසා ගෙදර හරි අමාරුයි මනස සන්සුන්ව තියන් ඉන්න කියලා. ඉතිං ගෙයක් Paint කරනවා කියන එක පහසු වැඩක් නෙමේ.විශේෂයෙන් එමලි එක්ක. ඒත් අපි ඒක ඉතා ඉක්මනට කරන්න ඉන්නේ. එතකල් එමලිගේ මනස සන්සුන්ව තියාගන්න එක අපිට පැවරිලා තියන අභියෝගයක්.
හරියටම සති දෙකක් වගේ එමලිගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් උනා. මේ වෙනස් වීමට හේතුවත් එමලිට තනියම ගේ ඇතුළේ වෙනදා වගේ එයාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරන් ඉන්න බැරි වීම.ඒ නිසා එමලිට ඒකට මාව ඕනේම උනා. මගේ පස්සෙන්ම තමයි ඒ සති දෙක කාලය එමලි ගත කරේ. ඒක මේ ලියන තරම් පහසු දෙයක් නෙමේ. මම යන යන තැන එමලි එන්න ගත්තා. මම සාලේ ඉඳන් කාමරේකට යනවා නං ඔන්න එයා කර කර ඉන්න වැඩත් අරන් මගේ පස්සෙන් එනවා. මම කුස්සිසියේ උයනවා නං මාව පේන මානේ ඉඳන් ඉන්නවා කුස්සියේ.මම කනකොටත් මගේ ලග. bathroom එකට යනකොටත් එතන එළියට වෙලා ඉන්නවා. ඉතිං හරිම ඉවසීමෙන් තමයි ඒ කාලය මම පහු කරේ. මේ තත්ත්වය වෙනස් උනේ අපි එයාට වඩාත් පහසු නොවෙනස්වෙන Environment එකක් ගෙදර හැදුවට පස්සේ.
ගෙදර හැමවේලේම එමලිට පහසු Soft music එකක් Play වෙන්න දුන්නා. එමලිගේ Special interest එකටත් අපි මේ මූණ දෙමින් ඉන්නේ. මම එමලිට එයා කැමතිම Brand වලින් T shirt print කරලා දුන්නා. Nokia , Amazon , Samsung , LG තමයි ඒ brand. දැන් මේ Tshirts ලග තියන් ඉන්න එක එමලිට මනසට හරිම ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරනවා. ගෙදරින් එළියට බහිනකොටත් මේ ටික උස්සන් යනවා. ඒත් එක්කම එමලිගේ තාත්තගේ Samsung smart watch එක එමලිට දුන්නා ලග තියාගන්න. එයා ඒකෙනුත් ලොකු ස්නායු උත්තේජනයක් ලබා ගන්නවා. ඒත් එක්කම මම තවත් එමලි කැමතිම Brand වල Stickers print කරලා දුන්නා. එමලි ඒවා බිත්ති වල ඇලෙව්වා. මේ වගේ දෙවල් හරහා එමලිට එයාගේ මනස මගේ සහය නැතුව තනියම සන්සුන් කරගන්න පුලුවන් උනා. අර මගේ පස්සෙන්ම එන එක හෙමින් නතර උනා. අභියෝග ඒකෙන් ඉවර උනේ නෑ.
මම ලියලා ඇති පේජ් එකේ monotropism ගැන. සරලවම ඒ කියන්නේ මොළය එක් දේකට සමස්ත ශක්තිය සහ අවධානය යොමු කරනවා කියන එක. මේක ඔටිසම් දරුවන්ගේ Special interests වලට සම්බන්ධයි. උදාහරණයක් විදියට මේ කාලයේ එමලිගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ brand names සහ Logos වලට. මේක මම සරලව පැහැදිලි කරන්නම්.
ෆ්ලෑශ් ලයිට් එකක් සහ සිවිලිමේ හයි කරලා තියන ලයිට් එකක් අතර වෙනස මොකක්ද? ෆ්ලෑශ් ලයිට් එකේ ආලෝකය ඉතා දැඩියි සහ ඒක අපි යොමු කරන්නේ අපිට අවශ්‍ය තැන් වලට විතරයි.සිවිලිමේ හයි කරලා තියන ලයිට් එක එහෙම නෙමේ.ඒ පදාසයටම ආලෝකය දෙන්න පැතිරිලා තියනවා. එමලිගේ අවධානය මේ කාලයේ වැඩ කරන්නේ ෆ්ලෑශ් ලයිට් එකක් වගේ. ඉතාමත් තදින් අවධානය යොමු වෙලා තියෙන්නේ එක විශයකට.ඒක තමයි නොයෙක් Brands වලට සහ Logos වලට. මේක නිකම්ම නිකන් එමලිගේ විනෝදාංශයක් නෙමේ. මේ හරහා තමයි එමලිගේ මොළය organizes වෙන්නේ. එතකොට එමලිට මේකෙන් එහාට දේකට අවධානය යොමු කරන්න අපහසුයි. ඒක එයාගේ වරදක් නෙමේ. ඒක තමයි එයාගේ ස්නායු හැඩය.
දැන් මම කීප වතාවක් ලියලා තියනවා කොහොමද මේ Special interest එක පාවිච්චි කරලා අපි දරුවන්ගේ සංවර්ධනයට සහය දෙන්නේ කියලා. එමලි මේ හරහා පළවෙනි වතාවට අකුරු එකතු කරලා වචන කියවන්න උත්සාහ කරනවා. ඒ වගේම අකුරු එකතු කරලා වචන හැදෙන හැටි තේරුම් අරන් ලියනවා. වැඩියෙන් කතා කරනවා එයාගේ Special interest එක ගැන. ඉතිං මම උදේ ඉඳන් රෑ වෙනකල් ජීවත් වෙන්නේ එමලි සහ එමලිගේ Special interest එකත් එක්ක. මේක මට පහසු කටයුත්තක් නෙමේ. කොයිතරම් මගේ සාරය , මනසික සහ ශාරීරික ශක්තිය දිය වෙලාද කියනවා නම් මට තේරුමක් නැතුව ඇඩෙනවා. ඒ ඇඩෙන්නේ මහන්සියට.
එමලි අපිට කිසිම කරදරයක් දෙන්නේ නෑ. ඒක අනිවාර්යයෙන් කියන්න ඕනේ. ඒත් එයාගේ මනසට පහසු දේවල් අපේ මනසට දරාගන්න අපහසු වෙන්න පුලුවන්. මට දැන් Brand name එකක් ඇහෙනකොට වමනේ යන්න තරම් අප්පිරියයි. ඒත් මම මගේ Emotions හංඟගෙන එමලිට සහය දෙන්න ඕනේ.
ඔන්න එමලි උදේට නැගිට්ටම කෙළින්ම සාලෙට ගිහින් හයියෙන් කෑ ගහලා කියනවා ” Alexa play music ” කියලා. ඉතිං Music එකක් Play වෙන්න ගන්නවා. ඊට පස්සේ එමලි එයාගේ Brand logos Print කරලා තියලා ලැමිනේට් කොළ ටික අරන් සාලේ මැද්දේ විසිරවනවා. ඒවා දිහා එකින් එක බලනවා.ඒවා කියවනවා. ඒ අතරේ මම ටක් ගාලා අපිට බොන්න තේකක් හදනවා. තේක හැදුවට සන්සුන්ව සාමකාමීව ඒක බොන්න බෑ. එමලි ඇවිල්ලා ඔන්න කියනවා ” Samsung “කියලා.මම එතකොට එමලිට Google search කරලා Samsung logo එක පෙන්නන්න ඕනේ. පස්සේ එමලි කියනවා Restart samsung Tab කියලා. එමලිගේ සන්නිවේදනය මේ හරහා කොයිතරම් සංවර්ධනය වෙලාද කියන්නේ ගොඩක් වෙලාවට ඇවිල්ලා කියනවා මොන පාට මොන ඩිසයින් එකේ මොන Brand එකේ ෆෝන් එකක්ද Restart කරලා බලන්න ඕනේ කියලා.මම කොහොම හරි ඒවා Google search කරලා හොයාගෙන පෙන්නනවා. ඒවා Restart වෙනවා දකිනකොට එමලි සතුටින් උඩ පනිනවා. එයාගේ ස්නායු උත්තේජනය වෙන සතුට. මේවා ඔක්කොම කරනකොට තේක ඇල්වතුර වෙලා. ඔන්න ඔය ඇල්වතුර තේක බීලා තමයි දවල්ට කෑම කනකල් එමලි එක්ක අපි ඔට්ටු වෙන්නේ. උදේට කෑම නං කන්න වෙලාවක් නෑ.
ලොකු දුවගේ උදේ කැම, එමලිගේ උදේ කෑම , ගෙදර බලු බබාලගේ උදේ කෑම ටික මම ලෑස්ති කරන්න ඕනේ ඉක්මනට. ඒත් එක්කම දැන් කාලෙක ඉඳන් ගෙදරට කෑම කන්න එනවා කළු පූස් තඩියෙක්. එයාට වෙනම පිඟානක් තියලා තියෙන්නෙ.එයාට කෑම ටික දෙන්න ඕනේ. දෙනකල් කෑ ගහනවා. එයාට විතරක් නෙමේ කෑම දෙන්නේ අපි. ගෙදර පිටිපස්සේ කැලෑවේ ඉඳන් එනවා මුගටි පවුලක් කෑම කන්න.ඒ පවුලට කෑම දෙන්න වෙනම පිඟානක් තියනවා. එයාලා බත් කන්නේ මස් හරි මාළු හරි එක්ක. ඒ පිඟානට කෑම පුරෝලා දාන්න ඕනේ. එහෙම දැම්මට පස්සේ පවුලම ඇවිල්ලා කෑම කනවා. ඊට පස්සේ අපේ ගෙදර පාරේ ඉන්නවා බලු ළමයි හය හත් දෙනෙක්. එයාලත් උදේ 8/9.වෙනකොට කෑම කන්න එනවා. එයාලටත් කෑම දුන්නට පස්සේ තමයි හෝටලේ වැහෙන්නේ.ආයේ හෝටලේ ඇරෙන්නේ හවස
. මේ උදේ වැඩ ටික මායි එමලිගේ තාත්තයි එකතු වෙලා ඉක්මනට ඉවර කරගන්නවා. මේ අතරේ එමලිවත් ඒ වැඩ වලට එකතු කර ගන්නවා. එහෙම නැත්තන් එමලිට පැස්ටල් ,කොළ ටිකක් දුන්නම එමලි එයාගේ Brand names ටික ලියන්න ගන්නවා.Logos ඇදලා පාට කරනවා.
එමලිට කෑම කවන එක මට හරිම වෙහෙසකර වැඩක්. එමලිට හැම දේම කන්න බෑ එයාගේ සංවේදන සංවේදීතාවයේ වෙනස නිසා. එයාට වෙනම කෑම හදන්න ඕනේ.හැමදාම එකම කෑම වට්ටෝරුව.ඒකත් කැමැත්තෙන් කන්නේ නෑ.ඒ නිසා කොහොම හරි කෑම ටික කවන්න ඕනේ. ඊට පස්සේ එමලි Bathroom එකේ වතුර බේසමක් පුරෝගෙන ඒකට පොඩි ෂැම්පු එකක් කළවන් කරන් පැය භාගයක් විතර ඒකේ බැහැලා නටනවා. නිකන් නෙමේ Bathroom එකේ එළියේ එයාට පේන්න අර Brand names print කරපු කොළ ටිකත් පේළියට තියලා. බේසමෙන් බැහැලා වතුර පිටින් ආයේ සාලෙට එනවා. ඒ එන හැම පාරම මම හයියෙන් කෑ ගහනවා දුවන්න බෑ.ඇවිදන් එන්න කියලා.නිකන් හරි දුවන්න ගිහින් ලිස්සුවොත් කියලා බයයි. එමලි වතුර බේසමේ බැහැලා නටන වෙලාවට මම ගෙදර වැඩ ටික කරනවා.ඇදවල් අස් කරලා බෙඩ්ශීට්ස් නවලා ඒ ටික කරනවා. හැබැයි ඒවා කරන්නෙත් සැරින් සැරේ Bathroom එක ළඟට ඇවිල්ලා බල බල. එමලි බැහැලා ඉන්න වතුර බේසම පොඩි එකක් උනත් මට බයයි ඉතිං ඕක අස්සේ ඔළුව දාගෙන ඉදී කියලා. ඒ අතරේ ඒ වටේ, සාලේ බිම හැම තැනම තියන වතුර ටික මොප් කරනවා.
එමලි නාලා තනියම පිහිදාගෙන තනියම ඇදුම් ඇදගෙන හැමදේම තනියම කරගන්නවා. ඊට පස්සේ ආයේ එයා වැඩට බහිනවා. මමත් එයා එක්ක අපේ වැඩ ඔක්කොම නතර කරලා වැඩට බහිනවා. ලොකු දුව එයාගේ පොත් අරන් තනියම වැඩ ටික කරගන්නවා. එයා ගොඩක් වෙලාවට තාත්තා එක්ක Office room එකේ ඉන්නවා.ඉසබෙල්ට වෙනම මේසයක් පුටුවක් ඒකේ තියලා තියනවා එයාගේ වැඩ ටික නිදහසේ කරගන්න. දවල්ට ඉක්මනට මොනවා හරි හදන්නේ එමලිවත් කුස්සියට අරන්. ඒක ලේසී නෑ. එමලි එනවා උයන්න. බිත්තර තිබ්බොත් එයාට ඕනේ ඒවා කඩන්න.ගෑරුප්පුවක් අරන් හොඳට Mix කරන්න. ලූණූ ගෙඩිය කපන එකේ ඉඳන්ම ඉතිං හවුල් වෙනවා ගොඩක් වෙලාවට. උයන්නයි එමලිට ඕවා කපන්න දෙන්නයි හැම එකක්ම මම බලන්න ඕනේ. එමලිට තනියම පිහියක් අතට දෙන්න බෑ තාම. ගෙදර කතුරු පවා හංඟලා තියන්නේ අපි. හේතුව කතුරක් දැක්කොත් කොණ්ඩේ කපා ගන්න නිසා.
එමලි මම උයනකල් කුස්සියේ හිටියේ නැත්තන් මට නිදහසේ උයන්නත් බෑ..හේතුව එමලි මොනවා කරනවද කියන එක දන්නේ නෑ.තනියම එමලිව තියන්න බෑ. එයාට අනතුරක් ගැන දැනීමක් නැති නිසා.ඒකට මම පොඩි උදාහරණයක් කියන්නං. අපේ ගෙදර තියෙන්නේ Samsung වොශින් මැශින් එකක්.එමලිට ඒ ගැන කිසිම උනන්දුවක් කලින් තිබ්බේ නෑ. ඒත් දැන් එයා Brand names වලට ආස නිසා ඉන්න කැමති මේ වොශින් මැශින් එක අස්සෙම තමයි. පොඩ්ඩක් එහා මෙහා උනොත් ඒකට දාන්න තියන Washing liquid බෝතලේම හලනවා. එහෙම දෙතුන් පාරක්ම කරා. වොශින් මැශින් එකේ Plug එක ගහලා තිබ්බොත් කරන්නේ ඒකේ Buttons ඔබලා ඔබලා ඒක දාන එක.එකම රෙදි ටික තුන් හතර පාරක් හේදෙනවා.ඒකත් මට ගැටලුවක් නෙමේ.ඒත් එමලි ඕවා අත පත ගාන්න යන එක භයානක දෙයක් නිසා මම කරේ වොශින් මැශින් එකේ Plug එක ගහලා තියන දිග Power cord එක පිටින්ම ගලවලා පොඩි කබ්ඩ් එකක් උඩින් තියපු එක. මම Bathroom එකට ගිහින් එන ටිකට එමලි ඒක අරන් තනියම Plug switch එකට ගහලා වොශින් මැශින් එකේ Plug එකත් ගහන්න හදනවා. ඒ තරමටම එමලි හැමදේම කරගන්න උත්සාහ කරන දරුවෙක්. එයාගෙන් දේවල් හංඟන එක ලේසී නෑ. බැරිම තැන ඒ කාමරේ දොර වහලා ලොක් කරා. ඒත් එමලිට වොශින් මැශින් එක බලන්න ඕනේ වෙන වෙලාවට මම ඒ කාමරේ දොර ඇරලා එක්කන් යනවා.
දැන් මම මේ ලිව්වේ දවසේ පැය ගාණක් ගත වෙන විදිය විතරයි. උදේ ඉඳන් රෑ වෙනකල්ම එමලි මෙහෙම තමයි. එයා පොඩි මීයෙක් වගේ කියලා මම කියන්නේ ඒකයි. නිතරම මොනවා හරි වැඩක් කරන්න ඕනේ. ඒ උනන්දුව තමයි මම එමලිට දැනුම දෙන්න පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට මම එමලි එක්ක මේසේ ඉදගෙන කියනවා එන්න අපි Brand names ගැන ලියමු කියලා. ඉතිං පැය දෙකක් හරි එමලි ලියයි. මම කරන්නේ Google search කරලා ඒවා පෙන්නන එක.එමලි ඒවා බලන් ලියනවා. මේකෙන් එමලිගේ අකුරු ස්වාභාවිකවම නිවැරදි හැඩයන් වලට හැදෙනවා. ඒත් එක්කම එමලි හදුනගන්නවා අකුරු ශබ්ද වෙන විදිය සහ වචන හැදෙන විදිය ගැන. මේක එමලිට ලියන්න වගේම කියවන්න ඉගෙන ගන්නත් හොඳ අවස්ථාවක්.
මේ ලියමන තව දිග වෙනවා සම්පූර්ණයෙන් දවස ගෙවෙන හැටි ලිව්වොත් එහෙම. කොහොම හරි සැරින් සැරේ එමලි කියන Brand names මම රිපීට් කරන්න ඕනේ. මේකත් එක්තරා විදියකින් එමලිට වචන උච්චාරණය සම්බන්ධයෙන් සිද්ධ වෙන සංවර්ධනයක් කියලා මම දකිනවා. හේතුව Nakamichi , blackberry , asus, vodafone වගේ Brands එමලි හරි ලස්සනට උච්චාරණය කරනවා.
ඒත් එක්කම මම එමලිගේ මනස සන්සුන් කරගන්න එක එක Play එයා එක්ක කරනවා.පෙරේදා අපි දෙන්නා පැස්ටා පාට කරා. සිප්පි කටු ශේප් එකේ පැස්ටා එකින් එක අරන් වෙන වෙන පාට වලින් පාට කරා. ඒකට එමලි හරියට කැමති උනා.
රෑට එමලි නිදාගන්න එන්නෙත් Brand name ප්‍රින්ට් කරපු ටීශර්ට් ටිකයි, එයාගේ Soft toys, පොඩි කොට්ටේ, ඕඩිකොලොන්ග් එක, ක්‍රීම් බෝතල් දෙක තුනක් උස්සන්.ඇදෙන් බාගෙකට වඩා එමලිගේ බඩු වලට ඉඩ යනවා.ඒ නිසා මට නිදාගන්න වෙන්නේ පොඩි අයිනක අපහසුවෙන්. ඒක අපහසුතාවයක් විදියට දැනෙන්නේ නැත්තේ ඒකට මම පුරුදු වෙලා නිසා.
දැන් මෙහෙම අපි දවස ගෙවනකොට මම ගාල්ලේ ගියපු ගමන ගැනත් කියන්නං. ඊයේ කෙළින්ම වීඩීයෝ එක දැම්මට මම ඒ ගැන මුකුත්ම ලිව්වේ නැත්තේ මහන්සි වැඩි නිසා. ගාල්ලේ යන්න කලින් දවසේ එමලි නිදාගත්තම මම සෑහෙන්න අඩලා තමයි පාන්දර නිදාගන්න ගියේ. අපි මිනිස්සු.අපිට මහන්සිය දැනෙනවා ශාරීරිකව වගේම මානසිකවත්.ඒ නිසා මෙහෙම ඇඩෙන දවස් ගැන ඔයාලා එක්ක කියන එක මට ලැජ්ජාවක්වත් මදිකමක් වත් නෙමේ. මම අම්මාටත් කෝල් කරලා ඇඩුවේ මට එදා නං සෑහෙන්න අමාරු දවසක් උන නිසා. එමලිගේ තාත්තා එදා හොඳටම Busy දවසක්. මට එදා උදේ ඉඳන් රෑ එමලි නිදාගන්නකල් නාගන්න උනේ නෑ. මම කිසිම වෙලාවක ලොකු දුවට නංගිව බලාගන්න කියලා නාගන්න යන්නෙත් නෑ. මට හිතේ සැනසීමෙන් නාගන්න බෑ එමලිව තියලා.හේතුව මොන තත්ත්පරේ එමලි මොනවා කරයිද කියලා දන්නේ නැති නිසා. ඉතිං එදා මට මේ හැමදේම එක්ක හරිම මහන්සී.ඒ මහන්සිය වැඩි කමට තමයි ඇඩුනේ. මම අඩ අඬා එමලිගේ තාත්තට කිව්වේ අවුරුදු හතක් එක දිගට දරුවෙක්ගේ පස්සෙන් පැය 24ම ඉන්න උන මනුස්සයෙක්ට කොයිතරම් මහන්සියක් දැනෙනවද කියල. ඒත් මම සූදානම් නෑ එමලිගේ වගකීම හෝ සංවර්ධනය වෙන කිසිම කෙනෙක්ට, තැනකට බාර දෙන්න. හේතුව මම එමලිගේ හැඩය ගැන දන්න තරමට වෙන කිසිම කෙනෙක් එමලිගේ හැඩය ගැන දන්නේ නෑ. මමයි දන්නේ එමලිට කොහොමද සහය දෙන්න ඕනේ කියන එක. අනික මම කිසිම කෙනෙක් මගේ දරුවා සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ නෑ. එමලිට තාම bad touch / good touch කියන එකවත් තේරෙන්නේ නෑ.
ඉතිං අඩලා නිදාගෙන ඊළඟ දවසේ පාන්දරම ඇහැරිලා අපි ගෙදර වැඩ ඉවර කරලා එමලිගේ මම්මාච්චි එක්කම ගාල්ලේ ගියා. ඒ යනකොට එමලි එයාගේ Print කරපු ටීශර්ට් ටික, Soft toys දෙකක්, පොඩි කොට්ටේ, බෙඩ්ශීට් එකත් අරන් ගියා.යන්න කලින් ලොකු සීරියල් කෝප්පයක් කවලා එමලිගේ බඩ හොඳට පුරවන් ගියේ. යන ගමන් එමලි සැරින් සැරේ එයාගේ ෆොටෝස් ගන්න කිව්වා.Brand names කිව්වා.ඒවා අපි රිපීට් කරා. දැන් මේ කාලයේ එළියට යනකොට එමලිට එච්චරම පහසුවෙන් Environment එක එක්ක එකතු වෙන්න බෑ.හේතුව එයාගේ අවධානය සම්පූර්ණයෙන්ම තියෙන්නේ Brand logos වල නිසා. අපි Black fort එකට ගියත් එමලි හිටියේ ටිකක් නොසන්සුන්ව. හේතුව එයාගේ මොළයට අමතර වෙහෙසක් දරන්න වෙනවා අර Brands වලට තදින් යොමු වෙලා තියන අවධානයෙන් එළියේ පරිසරයට මාරු වෙන්න. දිගටම එමලිගේ අත අල්ලන් තමයි එමලිගේ තාත්තා හිටියේ. එතන ඉක්මනට ඇවිදලා ආයේ අපි වාහනේට ආවා. නිදහසේ හෙමින් හෙමින් ඇවිදලා Enjoy කරනවා කියලා එකක් නං උනේ නෑ අපිට. පස්සේ Pizza hut එකට ගියා කෑම කන්න. වෙන Restaurant එකකට නොගියේ ඒවල ඉන්න සෙනඟ නිසා එමලිට ඒක මනසට තව හිරිහැරයක් වෙයි කියලා. Pizza hut එකට ගිහින් ඕඩර් එක දාලා ඒක එනකල් බලන් හිටියා. ඒ ඉන්න අතරෙ අපිට පිටිපස්සේ මේසේ ඉඳන් හිටපු ගෑනු කෙනා එයාගේ ෆෝන් එකේ කෝල් එකක. ඒ ෆෝන් එක දැක්කා විතරයි ඔන්න එමලිගේ Special interest එක එළියට ආවා
. දැන් එයාට ඕනේ අර ෆෝන් එකේ Brand එක මොකක්ද කියලා බලලා ඒක Restart කරන්න.නොදන්න කෙනෙක්ගේ ෆෝන් එකක් අපිට ගන්න බෑ කියන එක එමලිට තේරෙන්නේ නෑ. එමලි නොසන්සුන් උනා. උඩින් පැනලා ඒ මේසෙට යන්න හදනකොටම අපි ඉක්මනට එමලිව අරන් වාහනේට ආවා. කෑම ටික Take away අරගත්තා. ඒ එන ගමන් ඉසබෙල්ට එයාගේ කෑම ටික කන්න දුන්නා. එමලි කෑවේ නෑ. අපි කෑවේ ගෙදර ඇවිල්ලා. එහෙම තමා අපේ ගමන ගියා අනික් අතට ආවා වගේ උනේ. පොඩ්ඩක් ඔළුව Relax කරගන්නවත් උනේ නෑ. ඒක මම ලොකුවට හිතන්නේ නෑ. ඒත් අපි දිගින් දිගටම එමලි එක්ක එහේ මෙහේ ඉස්සරහට යයි. එහෙම ගිහින්ම තමයි එමලිට ප්‍රායෝගිකව කියලා දෙන්නේ අපිට බැහැ වෙන අයගේ ෆෝන්ස් අරන් Restart කරන්න කියන එක ඒත්තු ගන්වන්න ඕනේ. ඒ වගේම එමලිට සහය දෙන්න ඕනේ එයාගේ Special interest එක සමබර කරන් වෙනස් වෙනස් Environment වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඉතිං මේ වගේ අභියෝග මම ප්‍රශ්න විදියට දකින්නේ නෑ.මේවා කළමනාකරණය කරගන්න වෙලාව සහ ඉවසීම ඕනේ. ඉතිං ඒ නිසා මේ වගේ අභියෝග වලට නිරන්තරයෙන් මූණ දෙන දෙමාපියන්ට විශේශයෙන් අම්මලාට මට කියන්න ඕනේ ඔයාලා තනි නෑ. කිසිම වෙලාවක දරුවාගේ වරදක් කියලා මේ අභියෝග දිහා බලන්න එපා. දරුවට ඕනේ සහය. එයාට ඕනේ එයාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න සහ උත්තේජනය කරගන්න, සමබර කරගන්න සහය.එයා පොඩි නිසා එයාට මේවා තනියම කරගන්න බෑ. ඒ නිසා අපි සහය දෙන්න ඕනේ. අපිට මහන්සී තමයි. මහන්සිය ගොඩක් වැඩි උනොත් ඔයාට මෙතනින් එහාට බෑ කියලා හිතුනොත් පොඩි විවේකයක් ගන්න. හිතවතුන්ගෙන් සහය ඉල්ලන්න. මම වගේ අඩලා හිත නිදහස් කරන් ආයේ ඊළඟ දවසට ලොකු හයියක් එක්ක මූණ දෙන්න. අඩන එකවත් ඇඩෙන එකවත් වරදක් නෙමේ. අභියෝග මිනිස්සු එක්ක බෙදාගන්න එකත් වරදක් නෙමේ. ඔයාව විනිශ්චය කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඔයාට සවන් දෙන මිනිස්සුන්ව හොයාගන්න.
* මේ අභියෝග අස්සේ අලුත්ම සුබ ආරංචියක් ඔයාලා එක්ක මම ඉක්මනට බෙදාගන්නම්. මම මේ දවස් වල ඒ වැඩෙත් කරගෙන යන ගමන් ඉන්නෙ.
ඔයාලා හැමෝටම මම සෑහෙන්න ආදරෙයි. මේ පේජ් එකේ ඉන්න හැමෝම මට වචනින් දෙන හයිය ඔයාලා දන්නේ නැති උනාට මට සෑහෙන්න වටිනවා. මනුස්සයෙක්ට ඕනේ වෙන්නේ අභියෝග වලට මූණ දෙන්න මානසික සහ ශාරීරික හයිය. ඒක මට ඔයාලා දෙනවා.
.
මුල් සබැඳිය : මනුස්සයෙක්ට ඕනේ වෙන්නේ අභියෝග වලට මූණ දෙන්න මානසික සහ ශාරීරික හයිය
