අපි කොහොමද අසාමාන්‍ය වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇයි නිතරම අපේ ඔටිසම් අන්න්‍යතාවය ගැන කතා කරනකොට “අසාමාන්‍ය” කියලා කියන්නේ? අපි හිතන විදිය ඔයාලට තේරෙන්නේ නැති නිසාද? නැත්තන් අපි මේ ලෝකය දකින විදිය ඔයාලට පේන්නේ නැති නිසාද? එහෙමත් නැත්තන් අපි මූණ දෙන අභියෝග ඔයාලට දැනෙන්නේ නැති නිසාද?

දරුවො මල් වගේ කියලා කියන සමාජයම අපිව අසාමාන්‍ය දරුවන් හැටියටත් ඔටිසම් නොවන අපේ යාළුවන්ව සාමාන්‍ය දරුවන් හැටියත් වෙන් කරනවා. එහෙනං මල් වල පාට , හැඩය,සුවඳේ තියන වෙනස්කම් නිසා මලුත් සාමාන්‍ය , අසාමාන්‍ය මල් කියලා බෙදෙන්න ඕනේ නේද?

මේ බෙදීම නිසාම අපිව දරුවන් ලෙස ප්‍රතික්ෂේප වෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම අපේ හදවත් වලට දැනෙනවා. අපේ දෙමව්පියන්ගේ හදවත් වලට දැනෙනවා. ඇයි අපිට බැරි සාමාන්‍ය අසාමාන්‍ය කියනවට වඩා අපේ අන්න්‍යතාවයේ නම කියලා අපිව හඳුන්වන්න. “ඔටිසම්” කියන වචනය ලස්සනයි , සදාචාරාත්මකයි අසාමාන්‍ය කියන වචනයට වඩා. “ඔටිසම්” කියන වචනය ස්වාභාවිකයි , අන්න්‍යයි අසාමාන්‍ය කියන වචනයට වඩා. “ඔටිසම්” කියන වචනය ගෞරවාන්විතයි අසාමාන්‍ය කියන වචනයට වඩා. “ඔටිසම්” කියන්නේ අපේ සත්‍ය ස්වාහාවික හැඩය. අසාමාන්‍යයි කියන්නේ අපිට සමාජයෙන් දුන්න අපිට අයිති නැති ලේබල් එක. ඒ නිසා අපිට අයිති නැති වචන , හැදින්වීම් භාර නොගෙන ඉන්න තියන අයිතිවාසිකම අපි භාවිතා කරන්න ඕනේ. අපි පුංචි නිසා අපේ හඬ හයියෙන් මේ සමාජයේ ඇහැන්නේ නෑ. ඒත් අපේ හඩ වෙන්න ඔයාලට පුලුවන් .

සන්නිවේදනය , සංවේදන , සමාජ සම්බන්ධතා වලදී වගේම තවත් නොයෙක් පැති වලදී අපිට අභියෝග ගොඩක් එනවා. එතකොට අපිට සහය දෙනවා කියන්නේ ඒ අභියෝග පහු කරගෙන යන්න අපිව නොතලා , අපේ අන්න්‍යතාවය උදුරා ගන්නේ නැතුව සහය දෙන එකට. ඒත් ඇයි මේ රටේ බහුතරක් හදන්නේ අපිට Fix කරන්න. හරියට බිඳිලා ගියපු වීදුරුවක් ආයේ හදනවා වගේ ඇයි අපිව පැලැස්තර දාලා අලවන්න හදන්නේ. මේ බිඳීමක් නෙමේ. මේ කැඩිලා විසිරිලා තියන අසාමාන්‍යතාවයක් නෙමේ. මේ තමයි අපේ විවිධත්වය. ඇයි අපිව අසාමාන්‍ය කියලා සලකලා සාමාන්‍යයි කියන රාමුවක් අස්සට බලහත්කාරකමින් දාන්න මේ තරම් උත්සාහ කරන්නේ? ඔයාලා “ඔටිසම්” කියන වචනයට මෙච්චර බයයිද?

මගේ අම්මා , තාත්තා මට කියන හැමදේම මට ඇහෙනවා. මට තේරෙනවා , මට දැනෙනවා. එයාලා කියන්නේ මගේ විවිධත්වය මට අපහසුවක් , ලැජ්ජාවක් නෙමේ නං ඇයි ඒක සමාජයට අපහසුවක් හෝ ලැජ්ජාවක් , අසාමාන්‍යතාවයක් වෙන්නේ කියන එක. එයාලා කියන්නේ මේ සමාජයේ මට මාව ගැටළුවක් කරගන්න එපා කියලා. එයාලා කියන්නේ ඔයාගේ ස්වාභාවය කියන්නේ ගැටළුවක් , ප්‍රශ්නයක් නෙමේ කියලා. ඉතිං මට පුලුවන් මගේ විවිධත්වය ප්‍රශ්න කරන , විනිශ්චය කරන හැමෝටම හයියෙන් කියන්න “ප්‍රශ්නය තියෙන්නේ මගේ ලඟ නෙමේ” කියන එක.

අපේ ළමා කාලය අපෙන් උදුර ගන්න උත්සාහ කරන වැඩිහිටියන්ට මට කියන්න දෙයක් තියනවා.

උදේ ඉදන් රෑ වෙනකල් අපේ පස්සෙන් ඉදන් බලෙන් ඇක්ටිවිටීස් කරවන එකෙන් ඔයාලා අපිට දෙන්නේ සහයක් නෙමේ. පීඩාවක්. අපිට එකම එක සෙල්ලම් බඩුවක්වත් නොදී ඉන්න කියලා කරන්නේ අපිට සහයක් දෙන එක නෙමේ. අපිට සෙල්ලම් කරන්න තියන අයිතිවාසිකම උදුරා ගන්න එක. අපි සෙල්ලම් කරන විදිය වැරදියි කියලා හදන්න උත්සාහ කරන අපිට දෙන සහයක් නෙමේ.

අපි මනස සන්සුන් කරගන්න එකම ක්‍රියාව දෙතුන් පාර කරණකොට ඒක බලහත්කාරකමින් නතර කරවන එක අපිට දෙන සහය නෙමේ.ඒ කරන්නේ ඔයාලගේ ඔළුවේ තියන ” සාමාන්‍ය ” කියන රාමුව ඇතුළට අපිව බලෙන් ඔබන්න . අපිට සන්සුන් වෙන්න සහය නොදී සැර බෙහෙත් දීලා එක තැනක තියන්න හදන එක අපිට දෙන සහයක් නෙමේ.ඒක ඔයාලගේ පහසුවට ඔයාලා අපි මත බලය පාවිච්චි කිරීමක්. අපිට මානසික සහ ශාරීරික වේදනාවක් ,පීඩාවක් ගේන කිසිම දෙයක් අපිට සහයක් නෙමේ. අපි දිහා දරුවන් දිහා බලනවා වගේ බලන්න.අපිට සෙල්ලම් කරන්න නිදහස දෙන්න. අපිට මනස සන්සුන් කරගන්න නිදහස දෙන්න. අපිට වේදනාවකින් තොරව හුස්ම ගන්න ඉඩක් දෙන්න.

අපිව ” සාමාන්‍ය” කරන්න හදන්න එපා. අපිට ඔටිසම් දරුවන් විදියට ලොකු වෙන්න සහය දෙන්න. අපිට ඔටිසම් දරුවන් විදියට සමාජයට එකතු වෙන්න ඉඩක් දෙන්න. අපේ අන්න්‍යතාවය තේරුම් අරන් අපිට සහය දෙන්න අපෙන් ඉගෙන ගන්න . අපි “ඔටිසම්” වචනයට බය නැහැ. ඒ නිසා ඔයාලත් බය වෙන්න එපා.