ශබ්ධ / ශ්‍රව්‍ය සංවේදනය අසමබරවීම කියන්නේ ශබ්ධ වලට දරුවා අධි සංවේදනයක් හෝ අවම සංවේදනයක් පෙන්වීම. එතකොට ඇයි මේ සමහර ඔටිසම් දරුවන් තෝරාගත්ත ශබ්ධ වලට පමණක් කන් වහගන්නේ? සමහර බබාලා ගෙදර අය කතා බහ කරනකොට කන් වහගන්නවා. සමහරු සිංදු යනකොට කන් වහගන්නවා. සමහර දරුවන් වාහන , සත්තු කෑ ගහන ශබ්ධ වලට කන් වහගන්නවා. එතකොට දෙමාපියන්ට ගැටළුවක් එනවා ඇයි මේ හැම ශබ්ධයකටම නැතුව සමහර ශබ්ධ වලට විතරක් දරුවා අධි සංවේදී වෙන්නේ කියලා. මේකට සරළම උත්තරය තමයි ශබ්ධ තරංග වල උස් පහත් වීම් හා රිදම් එකේ හැඩය අනුව තමයි ඒ අපහසුතාව දරුවන්ට ඇති වෙන්නේ.

Sounds sensory වලට අධි සංවේදී දරුවන්ට ගහක කොළයක් වැටෙන ශබ්ධයේ සිට නිවසට ඈතින් වාහනයක් හරවන ශබ්ධයක් පවා ඇහෙනවා. මේක එක්තරා Super power එකක්.හැම power එකක් පිටිපස්සෙම ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් තියනවා.

ඒක තමයි ශබ්ධ සංවේදීතාවය අධික වීමෙන් ඒක ශාරීරික වේදනාවක් බවට පවා දැනෙන්න පුලුවන් වීම.

ලංකාවේ බහුතරයක් වෛද්‍යවරුන් හෝ තෙරපිවරුන් විසින් පෙන්වා දෙන්නේ ඔටිසම් දරුවා තුළ තිබෙන සෑම ලක්ශණයක් ම දුර්වලතාවයක් විදියට. මේක යුරෝපයේ දකින්න නෑ. එයාලා උත්සාහා ගන්නේ දරුවා තුළ ඇති ඔටිසම් ලක්ශණ කොහොමද දරුවාට පාලනය කරගන්න පුළුවන් විදියට දරුවාව පුහුණු කරලා එයා තුළ තිබෙන මේ unique කුසලතාවයන් ඒ දරුවාගේ අනාගතයේ අභිවෘද්ධිය උදෙසා සකස් කරන්නේ කියන එක. Sounds සංවේදනයට ඉතා සංවේදී දරුවන් සංගීත ක්ශේත්‍රය ඉතා විශිෂ්ඨයන් බවට පත් වෙලා තියනවා. හරියට මඩේ තියන මැණික් අරන් මඩ හෝදලා ඔපමට්ටම් කරනවා වගේ.

ශබ්ධ සංවේදනය ගැන කතා කරොත් මේක කොටස් 5 කට බෙදන්න පුළුවන් .

  1. Hyperacusis
  2. Hypersensitive hearing of specific frequencies
  3. Recruitment
  4. Phonophobia
  5. Misophonia

Hyperacusis

මේකෙන් අදහස් වෙන්නේ අවට පරිසරයෙන් එදිනෙදා ඇහෙන ශබ්ධ ,බහුතරයකට නොඇසෙන ශබ්ධ ඇහෙන එක. ඒ කියන්නේ නිකන් Buzz ශබ්ධ වගේ තමයි මේවා ඇහෙන්නේ. මේකට tinnitus කියලත් කියනවා.අපි සමහර වෙලාවට කියන්නේ කන් දෙක කූන් ගානවා කියලා. අන්න ඒ විදියට තමයි මේ ශබ්ධ දරුවන්ට ඇහෙන්නේ.

Hypersensitive hearing of specific frequencies

මේකෙන් කියන්නේ යම් ශබ්ධ තරංග වලට ඇති සංවේදීතාව. ශබ්ධ තරංග වල ප්‍රමාණය මනින්නේ

decibels වලින්. එතකොට ඩෙසිබෙල්ස් 70කට එහා යන ශබ්ධ තරංග බොහෝ වෙලාවට දරුවන්ට දරාගන්න බැහැ. උදාහරණයක් විදියට වොශින් මැශින් එකේ සද්දේට කළබල නොවෙන දරුවා බ්ලෙන්ඩර් එකේ ශබ්ධයට කළබල වෙනවා. එතකොට ඔයාලා වටහා ගන්න ඕනේ වොශින් මැශින් එක ක්‍රියාත්මක වෙන ශබ්ධ තරංගයට වඩා බ්ලෙන්ඩර් එක ක්‍රියාත්මක වෙනකොට ඒ ශබ්ධ තරංගය වැඩී කියලා. ඒක නිසා තමයි දරුවට ඒක දරාගන්න බැරි.

Recruitment

සාමාන්‍යයෙන් ඇතුල් කනේ තියන රෝම වලින් තමයි ශබ්ධ තරංග ස්නායු සංඥා වලට පරිවර්තනය කරන්නේ. එන ශබ්ධය හඳුනාගන්න මොළයට දෙන සිග්නල් එක දෙන්නේ මේ ඇතුල් කනේ රෝම වලින්. එතකොට මේ රෝම අප්‍රාණික නම් මේ ශබ්ධ හඳුනා ගන්න බැහැ. එතකොට ඇතුල් කනේ අවට තියන රෝම ටික මේ සිග්නල් මොළයට ස්නායු හරහා යවන ජොබ් එක භාරගන්නවා. ඒත් හරියට මේක පාලනය කරගන්න එහෙම නැත්තන් එයාලට ඒ ජොබ් එක හරියට කරගන්න බැරි නිසා ශබ්ධ එක පාරට අධිකව සහ වේදනාකාරී විදියට දරුවට ඇහෙන්න පුළුවන්.

Phonophobia

මේකෙන් අදහස් වෙන්නේ දරුවා යම් ශබ්ධ වලට දක්වන අසාමාන්‍ය බිය. සමහර වෙලාවට ඔරලෝසුවේ එලාර්ම් එකේ හඩ වගේම අවට පරිසරයෙන් ඇහෙන ශබ්ධ , අධික ශබ්ධ වලට බියක් දක්වන්න පුළුවන්. එතකොට නිවසින් පිටතට යෑමට අකමැති බවක් ඇති වෙන්න තියන හැකියාව වැඩී.

Misophonia

යම් යම් ශබ්ධ වලට දක්වන ප්‍රතිචාර එහෙමත් නැත්නම් emotional reaction එක තමයි අපි Misophonia කියලා හඳුන්වන්නේ. පවුලේ අය කතා කරන ශබ්ධය, කෑම හපන ශබ්ධය, හුස්ම ගන්නා ශබ්ධයට පවා තරහා යන්න පුළුවන් දරුවන් ඉන්නවා. දැන් මේක emotionally වෙන දෙයක් නිසා මේක වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට ඔයාගේ දරුවා පවුලේ සාමාජිකයින් අතරින් වඩාත්ම සමීප ඔයාට කියලා හිතන්න. එතකොට ගෙදර අනික් සාමාජිකයින් යම් දෙයකට හිනා වෙනකොට දරුවාට ඒක Trigger point එකක් නෙමේ. ඒ කියන්නේ ඒක එයාට හිරිහැරයක් හෝ මනස කළබල වෙන්න දෙයක් නෙමේ.ඒත් ඔයා යම් දේකට හිනා උනොත් ඔන්න ඒක දරුවාගේ Trigger point එකක් වෙනවා. එයාට තරහා යන්න පුළුවන්. මෙන්න මේක තමයි යම් හඩවල් වලට දරුවාගේ Emotional reaction එක වෙනස් වීම කියන්නේ.

දැන් එතකොට ඔයාලා දන්නවා අපේ ඔටිසම් දරුවන් ශබ්ධ වලට සංවේදී නං ඒ සංවේදී වෙන මොහොතවල් හා ඒ මොන වගේ ශබ්ධ වලටද කියලා.

විශේශයෙන්ම තෙරපිවරුන් ඔටිසම් දරුවන්ගේ සෙන්සරි ගැන ඉතා දැනුවත් වෙන්න ඕනේමයි. උදාහරණයකට දරුවාව ස්පීච් තෙරපිස්ට් කෙනෙක් ලගට අරන් ගියාම ඒ දරුවාගේ Sounds sensory සංවේදන වැඩී නම් ඒ තෙරපිවරයාට මේ සෙන්සරි ගැන දැනුම තියෙන්න ඕනේ. එහෙම නැත්තන් එයා පාවිච්චි කරන යම් වචන වලට පවා දරුවා කළබල වෙන්න පුළුවන් සහ ඒ කළබල වෙන්නේ ඇයි කියන එක තෙරපිවරයාට වටහා ගන්න නොහැකි වෙන්න පුළුවන්.

ඔටිසම් කියන ස්පෙක්ට්‍රම් එක ඇතුලේ විවිධාකාර ලක්ශණ තියනවා. එතකොට හරියටම තමන්ගේ දරුවා තුළ තිබෙන ලක්ශණ දන්නේ දෙමාපියන් විතරමයි. එතකොට දරුවා හඳුනාගන්නවා කියන්නේ දරුවාගේ ඉතා සියුම් හැසිරීමකට පවා හේතුව අපි හොයාගන්න ඕනේ කියන එක.

මේ Sounds sensory සංවේදීතාවයට අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියනවා. එකක් තමයි Noise cancelling headphones පාවිච්චි කරන එක. එතකොට දරුවාට දරාගන්න අපහසු ශබ්ධ තරංග ඇහෙනකොට එයාට පුළුවන් මේ Headphones දෙක පාවිච්චි කරන්න.

එතකොට අනික් එක තමයි අපිට පුළුවන් දරුවාව හෙමින් එයාට ආරක්ශාකාරී වටපිටාවක් එක්ක එකතු කරන්න. නිතරම අලුත් තැන් වලට අරන් යන්න පුළුවන් අපිට. මුලින්ම වැඩි ශබ්ධ නැති තැන් එක්ක දරුවාව එකතු කරන්න. මේකෙන් ශබ්ධ වලට තියන අසාමාන්‍ය බිය අඩු කරගන්න පුළුවන්.ඒත් අලුත් පරිසරයන් වලට දරුවාව සම්බන්ධ කිරීමේදී දරුවා යම් අපහසුතාවයක් පෙන්නුම් කරනවා නම් කිසිම වෙලාවක දරුවාගේ අකමැත්තෙන් බලෙන් රදවා තබා ගැනීම ඉතාම අහිතරකර ක්‍රියාවක්.

සංගීත භාණ්ඩ ලබා දෙන්න. මේකත් ඉතා හොඳ විසඳුමක් වෙන්න පුළුවන්. දරුවාට යම් යම් සංගීත භාණ්ඩ play කරන්න ලබා දීමෙන් පුළුවන් වෙනවා යම් යම් ශබ්ධ Overcome කරන්න. ඒ කියන්නේ ඒවා දරාගන්න හුරුවෙන්න

ඒ වගේම අපිට පුළුවන් දරුවාට එයාට හිරිහැරයක් වෙන ශබ්ධ ඇහෙන වෙලාවට ඒක Distract කරන්න දරුවාට යමක් ලබා දෙන්න. එයා කැමති සිංදුවක් අහන්න දෙන්න,එහෙමත් නැත්තන් එයා කැමති වීඩියෝ එකක් බලන්න දෙන්න. Fidget toy එකක් දෙන්න. විශේශයෙන් නිවසින් පිටත ස්ථානයකට යනකොට මේ වගේ Option එකක් පාවිච්චි කරලා දරුවා අර ශබ්ධයට දෙන අවධානය වෙනත් තැනකට යොමු කරවා ගන්න පුළුවන්.

ඒ වගේම කාලත් එක්ක යම් යම් ශබ්ධ දරාගන්න හැකියාව දරුවෙක්ට ලැබෙනවා. උදාහරණයක් විදියට බ්ලෙන්ඩර් එක on කරනකොට එන ශබ්ධයට බය උන දරුවා මාස කීපයක් යනකොට ඒක දරාගන්න පුළුවන් විදියට ඒකට හුරු වෙන්න පුළුවන්. ඒ නිසා sounds sensory සංවේදනයේ අසමබරතාවයන් වලට කාලයත් එක්ක යම් තාක් දුරකට දරුවා Adopt වෙන්න පුළුවන්.

මේ ලෝකය ඔටිසම් දරුවාට විශාලයි සහ ඉතා ඝෝෂාකාරී. මේක අපි වටහා ගන්න ඕනේ. එතකොට ඔටිසම් දරුවාව පන්තියේ පුටුවේ ඉන්දවන්නේ කොහොමද කියන කියන එකට වඩා දරුවාගේ මොළය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, එයා ලෝකය දිහා බලන්නේ කොහොමද කියන කාරණය තේරුම් ගන්න එක තමයි ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් වෙන අපි මුලින්ම කරන්න ඕනේ. ඒ වටහා ගැනීමත් එක්ක අපිට දරුවා මුහුණ දෙන යම් අපහසුතා වළක්වා ගන්න උදව් කරන්න පුළුවන්.