අද අපි සෑහෙන්න කාලෙකට පස්සේ වෙනදා යන සුපුරුදු බීච් එකට ගියා. එමලි හරි කැමැත්තෙන් ගියපු තැන් වලට යන එක එකපාරම නතර කරනවා.ඒකට හේතූ කීපයක්ම තියනවා.
◉ Sensory overload වීමක් හෝ ඒ ගමන ගැන මතකයේ discomfort එකක් ඇති වීම. උදාහරණයක් විදියට බීච් එකට ගියපු වෙලාවක ඉර එළිය ගොඩක් තදින් දැනුනම, අධික ශබ්ධ, තෙත වැලි කකුල් වල ගෑවීම,දරාගන්න අපහසු ගඳක් හෝ සුවඳක් දැනීම වගේ දෙයක් නිසාත් ආයේ එතන්‍ට යන්න අකමැති වෙන්න පුලුවන්. ඒ වගේම එක කුඩාම සංවේදන දැනීමක් නිසා ඒ ස්ථානය තවදුරටත් ආරක්ශිත නැහැ කියන හැඟීම දරුවට ඇති වෙන්න පුලුවන්.මේකට අපි කියන්නේ single intense sensory event කියලා. ඔටිසම් දරුවන්ගේ ස්නායු විවිධත්වය නිසා අවට තොරතුරු ,දැනීම් හරිම වේගවත්ව සහ තදින් මනසට ඇතුළු වෙනවා.
◉ Routine වෙනස් වීම – බීච් එකට අවසානයට ගියපු දවසේ වෙනදා වගේ නැතුව මොකක් හරි වෙනස්, අලුත් දෙයක් නිසා සුපුරුදු Routine එක වෙනස් වීම. මෙන්න මේ වෙනස්කම බීච් එකත් එක්ක එකට සම්බන්ධ වීම නිසා දරුවා ආයේ එතන්‍ට නොයා ඉන්න පුලුවන්.
◉ Internal processing period එක නිසාත් මේක වෙන්න පුලුවන්. මේක නං අපිට සෑහෙන්න වැදගත්. දරුවා කොහේට හරි ගිහින් ආවම ඒ ගිය ගමන ගැන මතකය,තොරතුරු, දැනීම මනසේ කළමනාකරණය වෙන්න ටික කාලයක් ගත වෙන්න පුලුවන්. එතකොට මෙන්න මේ කාලය තුළ දරුවා විවේකයක් ගන්නවා ආයේ ඒ ස්ථානයට යන්න කලින්. ඒ විරාමය අනිවාර්‍යෙන් දරුවට අවශ්‍ය වෙනවා.
◉ සංවේදන සංවේදීතා වෙනස්කම්. – සංවේදන සංවේදිතා දැනීම එකම විදියෙන් දරුවට දැනෙන්නේ නෑ. මේවා කාලයත් එක්ක දැනෙන විදිය වෙනස්. උදාහරණයට එමලි ඉස්සර ශබ්ධ සම්පූර්ණයෙන්ම නැතුව තමයි වීඩීයෝ එකක් බැලුවා නං බැලුවේ.ඒත් දැන් එමලි එහෙම නෑ.උපරිමයටම සද්දේ වැඩි කරලා බලනවා. මේ වගේ sensory shifts වීම මත දරුවා යන ස්ථානය , පරිසරය දරුවාට දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන්.
දැන් මේ වගේ මොකක් හරි හේතුවක් එමලිට තිබ්බ නිසා එමලි එයා කැමතිම බීච් එකට යන එක නතර කරා. මාස හයක් වගේ මගේ මතකයේ විදියට එමලි මේ බීච් එකට ගියේම නෑ. ඒත් අපි නිතරම වගේ බීච් එක පේන මානෙන් වාහනේ තියන් ටික වෙලාවක් එතන ඉඳලා එනවා. එමලිට වාහනෙන් බැහැලා බීච් එකට යමු කියලා බල කරන්නේ නෑ. දරුවාට තමන්ගේ සංවේදන සංවේදීතාවයන් දරාගන්න පුලුවන් සහ ආරක්ෂිතයි කියලා හිතුණම දරුවා ඒ තැන් වලට කැමැත්තෙන් යනවා.මෙන්න මේ ඉඩ සහ නිදහස දරුවට දෙන්න ඕනේ.
ඉතිං අපි අදත් වෙනදා වගේම බීච් එකට ගියා. එමලි කැමති උනොත් වාහනෙන් බැහැලා යමු කියලා හිතලා එමලිට යනකොටත් මම කිව්වා ඔයා කැමති නං අද ටිකක් එළියට බැහැලා ඇවිදිමු කියලා. එමලි ගෙදරින් එළියට බැහැලා කොහේ හරි ගිහින් ආයේ ගෙදර එනකල්ම සැරින් සැරේ එමලිගේ ෆොටොස් ගන්න කියනවා. මම ඉතිං ඒක ඒ විදියටම කරනවා.සමහර වෙලාවට මට ඒක හිසරදයක් වෙනවා. ඒත් මේ ෆොටොස් ගන්න එකත් එමලි ස්නායු උත්තේජනය කරගන්න එක ක්‍රමයක් නිසා ඒක දරුවාගේ අවශ්‍යතාවයක්.
එමලි හරිම කැමැත්තෙන් අද බීච් එකට ගියා තාත්තගේ අතින් අල්ලන්.අපිට එමලිව එතන අත් හරින්න බැරි එමලිට අනතුරු ගැන තාම දැනීමක් නැති නිසා. අත අත් හැරියොත් මූද මැද්දටම දුවයි. ටිකක් වෙලා රැල්ල පාගන්න දීලා වැඩි වෙලා එතන ඉන්නේ නැතුව Restaurant එකට ආවා. හේතුව රස්නේ වැඩි නිසා එමලිට ඒකම Sensory overload වෙන්න හේතුවක් වෙන්න පුලුවන් නිසා.
එමලි milkshake එකකුත් බීලා තාත්තාගේ මූණ බල බල හිනා වෙවී එමලි මොනවාම හරි කියන්න උත්සාහ කරා. Non- speaking / Minimally speaking දරුවන් සන්නිවේදනය කරන ගොඩක් ක්‍රම තියනවා. එකක් තමයි අංග චලන සහ මුහුණේ ඉරියව්. එමලිගේ මූණේ ඉරියව් වලින් අපිට ගොඩක් වෙලාවට තේරුම් ගන්න පුලුවන් එමලි කියන්න හදන දේ. එමලිට මාව ඕනේ ගොඩක්ම Emotionally regulate වෙන්න. මම ළඟ ඉන්නවා නං එමලිට එයාගේ මනස සන්සුන් කරගන්න පහසුවෙන් පුලුවන් . තාත්තාව ඕනේ වෙන්නේ හුරතල් වෙන්නයි සෙල්ලන් කරන්නයි තමයි. ඉතිං තාත්තා එක්ක ඉදගෙන ඈතින් පේන බීච් එක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ගෙදර ආවා.
