Nayana Hewage සහෝදරියගේ ලිපියකි .

පොත් ප්‍රදර්ශනය, අකරතැබ්බ සහ නිරීක්ෂණ

පහුගිය සතියෙ අපි පුතාත් එක්ක පොත් ප්‍රදර්ශනය බලන්න ගියා. මම පොත් කියවන්න ආස කෙනෙක් නෙවෙයි, අපේ ගෙදර අනිත් අයත් එහෙමයි. ඒක නිසා අපි ඇත්තටම ගියේ පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න නෙවෙයි පුතාට පොත් අතගාන්න චාන්ස් එකක් දෙන්න ඕනෙ නිසා.

❇️ අපේ පුතා තවම වැඩ පොත්, කතා පොත්, පින්තූර පොත් වගේ දේවල් පෙරලල බලන්න ප්‍රියතාවයක් නෑ. ඒකට හරිම වචනෙ “ප්‍රියතාවයක් නෑ” නෙවෙයි, පොතක තියෙන පින්තූරයක් තේරුම් ගැනීමට තරම් හෝ ඒ පාට, හැඩ තේරුම් ගැනීමට තරම් පුතාගේ visual perception, visual cognition දියුණු වෙලා නෑ. නමුත් පුතා පොත් වල පිටකවර වලට තට්ටු කරල බලන්න ආසයි. අතගාලා බලන්න ආසයි.

❇️ දෙවෙනි කාරණය අපේ පුතා Sensory seeker කෙනෙක්. සෙනඟ ගොඩක් ඇවිදිනවා දැකීම එයාට සතුටක්. ඒ මිනිස්සුන්ගේ කකුල් අතපය එහෙට මෙහෙට එකගොඩේ චලනය වෙනවා දැකීම එයාට සතුටක්. ඒ සතුටට පුතා හෙමින් (ඉස්සරනම් හයියෙන්) කෑ ගහනවා. අපි නාඳුනන තැනකට ගියාම අපිට ඒ සතුට නිදහසේ භුක්ති විඳින්න පුළුවන් අනිත් මිනිසුන්ගේ judgement වලට පාත්‍ර නොවී සහ අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර බදින්න වෙහෙසෙන්නෙ නැතුව.

❇️ තුන්වෙනි කාරණේ මේ දවස් වල ටිකෙන් ටික පුතා ගෙදර ඉන්න පිරිස හැර අනිත් මිනිස්සුත් නිරීක්ෂණය කරන්න පටන් අරන් කියල අපිට තේරුනා. වෙනදාට වඩා මිනිස්සුන්ගෙ මුහුණු දැන් වැඩියෙන් නිරීක්ෂණය කරනවා. පොදු මහජනතාව ගැවසෙන නමුත් ආරක්ෂාවට ගැටළුවක් නැති ස්ථාන වලට ගියාම අපිට කොහේ හරි වාඩි වෙලා මිනිස්සු දිහා බලන් ඉන්න පුළුවන්.

හැබැයි මේ කාරණා 3 ම අද 100% ක්ම සම්පූර්ණ කර ගන්න වුනේ නෑ හරියට. ඒ වෙනුවට වෙන වෙන අත්දැකීම්, පාඩම්, නිරීක්ෂණ තමයි වගේ දේවල් තමයි සිද්ධ වුනේ.

BMICH එකට ඇතුල් වුනාට පස්සෙ ටිකට් අරන් ඇතුල් වෙන්න ඉස්සෙල්ල එතන නවත්තල තිබ්බ අයිස්ක්‍රීම් වෑන් එකකින් අපි අයිස් ක්‍රීම් ගත්තා. පුතා අයිස් ක්‍රීම් වල කන්නෙ කෝන් එක විතරයි. එයාට අරන් දුන්නු අයි ක්‍රීම් එකේ කෝන් එක වේගෙන් කාගෙන ගියා. අර අයිස් ක්‍රීම් වෑන් එක ඇතුලෙ කෝන් සීයක් විතර පේලියට ගහල. ඔන්න ඉතින් ඒ ඔක්කොම ටික ගන්න ඕනෙ වෙලා තව පොඩ්ඩෙක් අයිස් ක්‍රීම් වෑන් එකට නගින්නත් ගියා 😀 .

එතනින් ඉක්මනට අපි ඉවත් වුනා. ඊට පස්සෙ ඔන්න අපි පොත් විකුණන කුටි කීපයකටම ගියා. ඒ කුටි ඇතුලෙ හරිම රස්නෙයි. හැම කුටියකටම ස්ටෑන්ඩින්ග් ෆෑන් තිබ්බ. ඉතින් කුටියෙන් කුටියට ගිහින් පොත් බලනව වෙනුවට පුතා තෝරගත්තෙ එක ෆෑන් එකකින් තව ෆෑන් එකකට මාරු වෙමින් දාඩිය නිවා ගන්න එක. ඔන්න ඔහොමයි අපි කුටි ටික පැදකුණු කලේ 😀 .

ඊට පස්සෙ සරසවි එකෙන් සහ අකුරු Bookstore කියල ගහල තිබ්බ එකෙන් AC කරපු ලොකු ශාලා තිබ්බා. අම්මෝ ඇති යන්තම් කියල අපි ඒකට රින්ග ගත්තා. දැන් දාඩිය නෑ. පොත් අල්ල අල්ල, හිතේ හැටියට අත ගගා අපි ඉස්සරහට ගියා. සමහර පොත් රාක්ක උඩ වාඩි වෙන්නත් ගියා. ඒත් සෙනඟ වැඩි කමට ඒක කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ.

එතනින් පස්සෙ තමයි හොඳම ටික වුනේ. මේ ඒ සී හෝල් ඒක ඇතුලෙම මිනිස්සු මහන්සියට වාඩි වෙලා ඉන්න තැනක් තිබ්බා. එතන පොලවට දාලා තිබ්බෙ කොල පාට කෘතිම කාපට් වගයක්. සමහරු මහන්සියට ඒ කාපට් උඩ නිදා ගෙන වගෙත් හිටිය ඇලවෙලා. ඒ වෙනකොට කකුල් රිදි රිදි තිබ්බ නිසා මමත් පුතාව වාඩි කරවල මාත් වාඩි වුනා. වෙනදා මම මේ වගේ ගමන් යනකොට අරන් යන්නෙ පිටේ එල්ලන (backpack) බෑග් එකක් සහ හොඳට දුවන්න පුළුවන් සපත්තු දෙකක්. එදා මගේ මෝඩ කමට දාගෙන ගිහින් තිබ්බෙ ලේසියෙන් ගැලවෙන සෙරෙප්පු දෙකක් සහ පැත්තෙන් එල්ලගෙන යන බෑග් එකක්. ටිකක් වෙලා අර කාපට් එක උඩ වාඩි වෙලා හිටිය පුතා එක පාරට නිදා ගන්නවා වගේ ඇලවුනා. මාත් එච්චර ගනන් ගත්තෙ නෑ. ඊට පස්සෙ එක පාරට පෙරලිගෙන පෙරලිගෙන ගියා. ඒ කාපට් එකේ ටච් සෙන්සරි දැනෙන විදිහට ආස හිතිල. සෙරෙප්පු දෙකයි බෑග් එකයි එල්ල එල්ල ඉන්න වෙලාවක් නෑ මම ඒවා එතනම තියල දිව්වා. මම දුවන් එනවා දැකල පුතා තව ටිකක් වේගේන් කාපට් එක උඩ බඩ ගාගෙන ගිය. කොහොමහරි ඉතින් අත අල්ල ගත්තා. අල්ලගෙන සන්සුන් කරගෙන විනාඩි 5ක් විතර ගියාට පස්සෙ තමයි මගේ බෑග් එකයි සෙරෙප්පු දෙකයි දාල ගිය තැනට ගියේ. වෙලාවට ඒක එහෙම්ම තිබ්බා. ඔන්න ඕකයි වුනේ. හිතන්නෙවත් නැති දේවල් වලට දරුවන්ගේ සෙන්සරි අසමතුලිත වෙන්න පුළුවන්. අපි ඕනෙම වෙලාවක දුවන්න රෙඩි පිට යන්න ඕනෙ ගමනක් යනකොට කියන දේ ආයිත් මගේ ඔළුවෙ හොඳටම කා වැදුනා. Autism eloping කියන්නෙ ඒ තත්ත්වය අවම දරුවෙකුට වුනත් ඕනෙම අවස්ථාවකදි ඇතිවෙන්න පුලුවන් දෙයක්.

කොහොමහරි එතනින් ඉක්මනින් එලියට ආවට පස්සෙ ආයිත් අපි සන්සුන් ට්‍රැක් එකට වැටුනා. මැගී විකුනන ලොරියෙන් මැගී නූඩ්ල්ස් කප් 4ක් ගත්තා. පස්සෙ අපි ගහක් යට වාඩි වෙලා හෙමීට මැගී කෑවා. පුතා මීට කලින් මැගී කාලා නැති නිසා මම එයාට කන්න කියල බල කරන්න ගියේ නෑ. අලුත් කෑම ට්‍රයි කරන්න පුතා කැමති නෑ. ඉස්සර අපි කරන්නෙ “මේක කාලා බලන්න. හරි රසයි, පොඩ්ඩක් කන්න, එක කටක් කන්න” වගේ දේවල් එයාට කියනව. ඒත් ඒක සාර්ථක නෑ. ඒ කතා ගොඩක් කියනකොට පුතා නිකම් “මම කන්නෙම නෑ” වගේ මූඩ් එකකට එනව. දැන් අපි ටෙක්නික් එක වෙනස් කරා. දැන් අපි අළුත් කෑමක් ගත්තම එයාගෙ පන්ගුව පැත්තකින් තියල එයාව එච්චර ගනන් ගන්නෙ නැතුව අපි අපේ පාඩුවෙ කනවා. ඔන්න එතකොට එයාටම කෑම එක ට්‍රයි කරල බලන්න හිතෙනෙවා. මේක අපි එලියෙන් කෑම කනකොට කරන වැඩක්. ඔන්න එදත් ටිකවෙලාවකින් අපි කනවා දැකල එයාටත් කන්න හිතිල හෙමින් හැන්දෙන් කන්න ගත්තා. ඒක රස්නෙයි. එක පාරට කටේ ගොඩක් දාගෙන රස්නෙ වැඩියි කියල පුතාට තේරුණා. ඊට පස්සෙ එයා බලන් හිටිය අපි කොහොමද කන්නෙ කියල. අපි පොඩ්ඩක් නූඩ්ල්ස් හැන්දට අරගෙන ඒකත් ටිකක් ගසල, කරකවල හැන්ද වටේ ඔතාගෙන කන හැටි එයා දැක්කා. ඊට පස්සෙ එයත් ඒ විදිහට ම මතුපිට තියෙන් නූඩ්ල්ස් පොඩ්ඩක් හැන්දට අරගෙන ටිකක් ගසල කරකවල කටට ගත්තා. ටික වෙලාවකින් “මම කවන්නම්” කියල අතට අරගෙන කවනකොට පුතා දැක්කා මම කප් එකේ ඇතුලෙන් නූඩ්ල්ස් ගන්නවා. ඊට පස්සෙ එයා ඒක කටට ගන්නෙ නැතුව ආයිත් හලල, මට උඩින් නූඩ්ල්ස් හැන්දට ගන්න කියල කරල පෙන්නල දුන්නා බොස් වගේ. මේකෙන් මට තේරුනා කප් එකේ ඇතුලට වෙන්න රස්නෙ වැඩි බවත්, උඩ හරියෙ රස්නෙ අඩු බවත් පුතා තේරුම් අරන් ඉන්නෙ කියල. මේක මට ලොකු ඇචීව්මන්ට් එකක්. මේ සිද්ධිය මට ජීවිතේ අමතක නොවන දෙයක් වේවි.

ගෙදර එන ගමන් අර කොළ පාට බිමට දාන කාපට් එකක් අර ගන්න ඕනෙ කියල ඔළුවෙ තියාගත්තා. එතකොට ඕනෙතරම් වෙලා වැතිරිලා නිදාගෙන පෙරලිලා සෙල්ලම් කරන්න පුළුවන්නෙ. අපේ දරුවො ගතවෙන හැම තත්පරයකම අපිට මොනවා හරි ඉගි දෙනවා ටිකක් වැඩිපුර දරුවන්ව තේරුම් ගන්න.

✳️ සැ. යු. : 

ඉහත විස්තර කරල තියෙන විදිහට අපේ පුතාගේ Sensory profile එක අනුව සෙනඟ වැඩි ස්ථාන වලට යන එක එයාට මේ දවස් වල සතුටක් (හැමදාම ඒක එහෙම නොවේ). වෙන ඔටිසම් දරුවෙකුට ඒක එහෙම නොවෙන්න පුළුවන්. වෙන දරුවෙකුට Sensory overload වෙන්න පුළුවන් ශබ්ධ, රූප, ගඳ සුවඳ, චලනයන් වගේ දේවල් වලින්. ඒක නිසා බබාට ස්ථාන සහ දේවල් පුරුදු කරන්න කියල එයා අකමැති තැන් වලට, එයා සූදානම් නැති කාලෙ අරන් යන්න එපා. කොහොමද සූදානම් කරන්නෙ කියන ප්‍රශ්නෙ හිතේ තියෙනවනම්, නැවත පේජ් එකේ සහ වෙබ් පිටුවෙ තියෙන සෙන්සරි පෝස්ට් ටික බලල ඒ විදිහට කටයුතු කරන්න. සෙන්සරි සමතුලිත වුනත් සමහර දරුවන් යන්න කැමති අකමැති ස්ථාන තියෙනව, හරියට වැඩිහිටි අපිට තියෙනවා වගේ. ඊයෙත් රමේශා මේ ගැන ලියල තිබ්බ. අපේ රටෙ සමහර occupational therapists ලා එහෙම උපදෙස් දෙනවා බලෙන් අරන් ගිහින් පුරුදු කරන්න කියල. ඒ කතාවෙ ඇත්ත නැත්ත රමේශාගේ පෝස්ට් කියවල කියවලම තේරෙනව ඇති කියල හිතනවා.

මෙහෙම ගමනක් ගිහින් ආවාම දවසක් දෙකක් තුනක් නිදහසේ පුතාට ඉන්න ඉඩ අරිනවා. අපිත් අපේ වැඩක් බලන් පාඩුවෙ ඉන්නවා. එයාගේ Stimming items and toys පහසුවෙන් හොයාගන්න පේන්න ළන් කරල තියනවා. Demand, Advices, Instructions උපරිමේටම අවම කරනවා.

අපි ගමනක් ගිහින් ගෙදර ආවම ඔළුවෙ මතක තියෙන්නෙ අපිට අත්‍යාවශ්‍යම දේවල් විතරයි. ඒත් අපේ දරුවො ඇසින් දකින, කනින් අහන, නාසයට, ඇගට දැනුනු හැම දෙයක්ම තාම ඔළුවෙ process කරන ගමන් ඉන්නෙ. මේ process කිරීමට වෙලාව යනවා. දරුවා පැය දෙක තුනක් එලියට ගිහින් එනවා කියන එක අපි හරියට මාසයක ට්‍රිප් එකක් ගිහින් ගෙදර ආවම දැනෙනවටත් වඩා බර මතක ගොඩක් දරුවාගේ ඔලුවෙ තැන්පත් වෙලා ඇති. මේක රමේශා ලියල තියෙනවා පේජ් එකේ.

මුල් සබැඳිය : පොත් ප්‍රදර්ශනය, අකරතැබ්බ සහ නිරීක්ෂණ