එමලිව Toy shop එකකට අරන් යන්නේ කලාතුරකින්. ඒකට හේතුව එමලිට තාම Toy shop එකකට ගියාම මනස සන්සුන් කරන් ඉන්න අමාරු නිසා. ඒ මනස කලබල වෙන්නේ හේතූ කීපයක් නිසා. එකක් තමයි තමන්ට දරාගන්න බැරි තරම් වටේටම එක එක පාටින් එක එක ජාතියේ සෙල්ලම් බඩු තියන නිසා. අනික් එක මොකක්ද තෝරගන්නේ කියලා හිතාගන්න බැරි නිසා. ඒ වගේම තමයි පාට හතකින් එකම Toy එක තියනවා නං එක පාටක් විතරක් තෝරගන්න බෑ. pattern එක සම්පූර්ණ වෙන්න නං ඒ හැම පාටම Toy එක තියෙන්න ඕනේ. දරුවා යන ඒ පරිසරය අනුව තමයි දරුවගේ හැසිරීම වෙනස් වෙන්නේ. ඒක තේරුම් ගන්නේ නැතුව බහුතරයක් අය දරුවාව විනිශ්චය කරන්න පුලුවන් අසාමාන්‍ය හැසිරීම්,නරක සහ මුරණ්ඩු හැසිරීම් විදියට.
ඔය ගැන එක්තරා ඔටිසම් පුද්ගලයෙක් ලස්සනට විස්තර කරනවා මම කියෙව්වා. එයා අහනවා සීතල පරිසරයක පහසුවෙන් ජීවත් වෙන Polar bear කෙනෙක්ව අපි උණුසුම් පරිසරයකට අරන් ගිහින් දැම්මොත් මොකද වෙන්නේ කියලා.අපි බලාපොරොතු වෙනවා අපි හිතන විදියට සහ අර සීතල හිම කඳු අස්සේ හිටියා වගේම bear හැසිරෙයි කියලා. එහෙම උනේ නැති උනාම අපි ඒක Polar bear ගේ වරදක් කියලා හිතනවා කියලා. ඇත්තටම ගැටලුව තමයි ඒ උණුසුම් පරිසරය bear ට දරාගන්න අපහසු වීම . ඔන්න ඔය වගේ තමයි ඔටිසම් දරුවන්ගේ හැසිරීම ඒ ඒ පරිසරය (Environment ) අනුව වෙනස් වෙනවා.හේතුව ස්නායු විවිධත්වය. ඒකයි මම එමලිව වෙනස් වෙනස් පරිසරයන් වලට අරන් ගිහින් බලන්නේ දරුවට ඒ පරිසරය දරාගන්න පුලුවන් ද කියලා. අපහසු නං බලහත්කාරකමින් එතන තියන් දරුවට දඬුවම් කරන්න , පීඩාවට පත් කරන්නේ නෑ. ඒ වෙනුවට අපි කරන්නේ දරුවාට කාලය ලබා දෙන එක.
අද මම එමලිව අරන් ගියා Toy shop එකට. දවල් ඉඳන් කිව්වා ඔයාට ගන්න පුලුවන් එක බෝනික්කයි, Slime හතරයි කියලා. ඕක මන්තරේ වගේ මම මැතුරුවා
. ඔන්න ගෙදරින් එළියට බැහැලා මඟක් දුරට යනකොට එමලි කිව්වා 100 Dolls කියලා. ඒ කියන්නේ එකක් අරන් මදී ගොඩක් ගන්න ඕනේ කියලා.අපිට ඒකට හිනා ගියත් ආයෙත් අපි කිව්වා එහෙම බෑ එකම එක බෝනික්කයි ගන්න පුලුවන් කියලා.
එමලි හරිම සන්සුන්ව එතන ඇතුළටත් ගියා.යන ගමන් රාක්කයක් අත ගාගෙන කෙළින්ම බෝනික්කො ඉන්න තැනට ගියා . මොන බෝනික්කද ඕනේ කිව්වම එයා ලග ඉන්නම ජාතියේ කෙනෙක් අරන් හිනා උනා. ඒත් ආයෙත් එයාව දුන්නා. එමලි ගොඩක් දේවල් අපි එක්ක සන්නිවේදනය කරන්නේ වාචිකව නෙමේ.අංග චලන, හැසිරීම් වලින්. පස්සේ එමලිම බෝනික්කෙක් තෝරගත්තා. එතනින් යන්න හදලා ඉක්මනට තව එක්කෙනෙක් ගත්තා. කමක් නෑ බෝනික්කො දෙන්නම අරන් දෙනවා කියලා කැශියර් එකට අපි ගියා. එතන්ට වෙනකල් විතරයි වීඩීයෝ එකේ තියෙන්නෙ
. එතනින් එහාට කෙළින්ම පොඩි යුද්ධයක් වගේ උනා. Chocolates තියන රාක්කේ ළඟට ගියපු එමලි ඒකේ තිබ්බ හැම ජාතියම හරිම ඉක්මනින් ගන්න පටන් ගත්තා. එමලිගේ තාත්තා එමලිව එතනින් අරගන්න හැදුවත් එමලි කරේ ඇඟ පණ නැති කරලා බිමට වැටෙන්න ගිය එක
.මම මේ වගේ වෙලාවට සෑහෙන්න සන්සුන්ව තමා ඉන්නේ. අපිත් කලබල උනොත් එතන වෙනම ලොකු සිද්ධියක් නිර්මාණය වෙනවා. ඒ නිසා එමලිට ඒ දේවල් ගන්න දුන්නා. ඒවා ගන්න කොට බෝනික්කො දෙන්නා බිම.අක්කා බෝනික්කො දෙන්නව අරන් කැශියර් එකෙන් තිබ්බා. එමලි එතනින් එහාට තව රාක්ක වලට නොවිසිල්ලෙන් යන්න හදනකොටම හස්බන්ඩ් එමලිව උස්සන් කැශියර් එක ළඟට ගත්තා.ඒ බඩු ටික එතනින් තියලා මට බිල ගෙවන්න කියලා එමලිව උස්සන් වාහනේට ගියා. එහෙම නැති උනොත් එමලි ඒ මුළු කඩේම බඩු ටික අරන් එනවා.ඒ තරමට නොවිසිලිමත් හැසිරීමක් තමයි පෙන්නුවේ. කොහොම හරි එමලි ගත්ත බඩු වලින් අවශ්‍යම ටික විතරක් අරන් අනික් ටික තියලා ආවා. මම එමලිව ආයෙත් එතන්ටම අරන් යනවා. හේතුව එතන එමලිට හුරු පුරුදු උනාම ඒ නොවිසිලිමත් ගතිය අවම වෙලා ගිහින් එමලි හෙමින් සැරේ එයාට අවශ්‍ය දේවල් ටික විතරක් ගන්න පුරුදු වෙනවා.
එමලිට අළුත් බෝනික්කෙක් අරන් දුන්නම එමලි කරන්නේ ගෙදර ඇවිල්ලා එයාගේ හැම බෝනික්කම අරන් පිළිවෙළට සාලේ පේළියට තියනවා. එක බෝනික්කෙක්ව විතරක් මේ කණ්ඩායටම ගන්නේ නෑ. ඒකට හේතුව මට තාම පැහැදිලි නෑ. අදත් එකින් එක බෝනික්කො අරන් සාලේ පේළියට තිබ්බා.අන්තිමටම අළුත් බෝනික්කො දෙන්නව තිබ්බා. එහෙම තියලා ඊට පස්සේ එමලි කරන්නේ මේ හැම බෝනික්කගෙම ෆොටොස් ගන්න එක. එමලි මේ වගේ එයාට අවශ්‍ය ෆොටොස් අරන් Gallery එකේ තියාගන්නවා. සමහර ෆොටොස් අපිට ගන්න කියනවා.බෝනික්කන්ගේ මූණු වල ෆොටොස් අරන් ඉවර වෙලා එමලි එයාලා එක්ක ඉන්න ෆොටොස් අපිට ගන්න කිව්වම අපි ඒක අරන් දෙනවා. මේක තමයි අළුත් බෝනික්කෙක් ගෙනාවම Routine එක වෙන්නේ. මේවා ඒ විදියටම සිද්ධ වෙන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා උනොත් ඒක මනසට දරාගන්න බැරි තරම් අපහසුවක් වෙන්න පුලුවන්.
