අද අපි එමලිවයි එයාගේ අක්කවයි අරන් යන්න ප්ලෑන් කරේ විහාරමහා දේවි පාර්ක් එකට. අක්කට ඒකේ තියන ලොකු ගස් බලන්න ඕනේ කිව්වා. එමලිව අපි එතන්ට කලින් අරන් ගිහින් තිබ්බෙත් නෑ. ඊයේ රෑ ඉඳන් එමලිව අද ගමනට සූදානම් කරා.ඔටිසම් බබාලා එච්චරට කැමති නෑ අනපේක්ෂිත විදියට එයාලගේ දවස වෙනස් වෙනවට. Routines ,patterns වලට බාධා වුනාම ඒක මනසට දරාගන්න අපහසුයි. ඒ නිසා කලින්ම යන තැන Visuals හරහා පෙන්නලා සූදානම් කරන්න ඕනේ. අපි එතන්ට යනකොට තමයි දැක්කේ අද මොකක් හරි ලොකු වැඩක් එතන ළමා දිනේට. පුදුම සෙනඟක්. ඒ වගේ සෙනඟක් ඉන්නකොට එමලිව ඒ අතරට අරන් යන එක එමලිට ලොකු හිරුහැරයක් වෙන්න පුලුවන් නිසා අපි කල්පනා කරා එතන්ට නොගිහින් වෙන තැනකට අරන් යන්න. අක්කට යන්න ඕනේ කිව්වා Museum එකට. අපි ඒ වගේ තැන් ටිකක් මඟ හරිනවා. හේතුව එමලිට උත්තේජනයක් නැති , එයාට තේරෙන්නේ නැති පරිසරයන් වලට අරන් යන එකට එමලි තාම සූදානම් නැති නිසා. ඒත් අක්කට බෑ කියන්නත් බැරි නිසා අපි දෙන්නා කතා උනා අපි එමලිත් එක්ක ගිගින් එමලි අඬන්න ගත්තොත් මම එමලි එක්ක වාහනේට වෙලා ඉන්නම් අක්කට විතරක් Museum එක පෙන්නලා එන්න කියලා. අපි ගොඩක් වෙලාවට ඔය දේ කරනවා.

ඊට කලින් එතනම තියන Cafe එකකට අරන් ගිහින් එතන ටිකක් සන්සුන්ව ඉඳලාම Museum එකට යන්න ප්ලෑන් කරා. එමලිව ටිකක් එතන වටේ ඇවිද්දෙව්වා. එමලි ආස නැහැ පුටුවක වැඩි වෙලා ඉඳන් ඉන්න. එමලි ගෙදරින් ආවේ එයාගේ සුපුරුදු පොඩි බෝනික්කව අරන්. එයාවත් අරන්ම Museum එකට ගියා. ටිකට් ගන්න තැනත් තේරෙනවා වගේ බලන් හිටියා.🥹 Headphones දෙක එමලි ගලවලා මට දුන්නා. එයාට එතන ශබ්ද කනට අපහසු නැති නිසා. එමලි Headphones පාවිච්චි කරන්නෙ කනට අපහසු ශබ්ධ ඇහෙන තැන් වලදී විතරයි.

එමලිට Museum එක ගැන අදහසක් නෑ. ඒත් එමලි හරිම සන්සුන්ව මුලු වෙලාව පුරාම කිසිම කලබලයක් නැතුව හිටියා. අපි කරේ මාරුවෙන් මාරුවට එමලිව අරන් ගිය එක. තාත්තා අක්කට Museum එකේ දේවල් පෙන්නලා විස්තර කරනකොට මම එමලි එක්ක ඇවිද්දා. එමලිට එක තැනක ඉඳන් ඔය විස්තර අහන් ඉන්න එක අපහසු නිසා. මම අක්කා එක්ක ඉන්නකොට එමලි එමලිගේ තාත්තා එක්ක ඇවිද්දා. මේ වගේ අපි කිසිම වෙලාවල එමලිට මේ ගමන කම්මැළි එකක් වෙන්න දුන්නේ නෑ.

මම එමලිට තේරෙන පරාසය ඇතුළේ Museum එකේ තිබ්බ දේවල් හඳුන්වලා දුන්නා.කෙනෙක්ට ඒවා ඇහුණා නං මම පිස්සු අම්මා කෙනෙක් කියලා අනිවාර්‍යෙන් හිතනවා 😅 අවුරුදු ගාණක් පරණ පෝසිලෙන් පිඟන් කෝප්ප පෙන්නලා මම එමලිට ඒවා හදුන්වලා දුන්නේ T- party එකේ තේ කෝප්ප සෙට් එකක් විදියට😅 පරණ ගල් ආයුධ, කිනිසි පෙන්නලා පිහි කියලා හදුන්වලා දුන්නා.රාජසිංහ රජතුමාගේ ඇඳුම පෙන්නලා මේක බ්ලවුස් එකක් කියලා කිව්වා 😅 . ඉතිං එමලි ලොකු උනාම මේ දේවල් තේරුම් ගන්න තරම් දැනුවත් උනාම මට පුලුවන් හරියට මේවා ගැන කියලා දෙන්න.

එමලි එයා කැමති තැන් වල නතර වෙලා 123 කියලා අපිට එමලිගේ ෆොටොස් ගන්න කිව්වා. අපි එයා කිව්ව විදියටම ෆොටොස් ගත්තා. ඊට පස්සේ එක වගේ දේවල් තියන තැන් වල නතර වෙලා ඒවා හයියෙන් ගණන් කරා. අපිත් එමලිත් එක්කම ගණන් කරා. සීඟිරි චිත්‍ර තියන හෝල් එකේ මැද ඉදගන්න තියන තැන එමලි දිග ඇදිලා මහන්සිය නිව්වා. තාත්තා ඒ වෙලාවේ අක්කට ඒ චිත්‍ර ගැන කියලා දුන්නා. Museum එකේ බිත්ති වල සෙට් කරලා තිබ්බ ෆෝන් ගැන එමලි ටිකක් වැඩියෙන් උනන්දු උනා. ඒ එකක් අල්ලන්න යනකොට අපි එපා කියලා ඉක්මනට එතනින් ගත්තා. මුලු Museum එකේම අපිට හරි පිළිවෙළට ඇවිදින්න නං බැරි උනා. ඒත් දරුවො දෙන්නටම ඇති වෙන්න විශේෂයෙන් ලොකු දුවට අවශ්‍ය හැමදේම බලලා තමයි එළියට ආවේ.

මටයි එමලිගේ තාත්තටයි අද වචනින් කියන්න බැරි තරම් සතුටක් දැනුනා. අපි දෙන්නා ගෙදර එන ගමනුත් කතා කරේ එමලි කොයිතරම් හොඳට Museum එක ඇතුළේ හිටියද කියලා. විශේෂයෙන් සමහර හෝල් වල සෙනඟ හිටියා. ඒක පවා එමලිට බාධාවක් උනේ නෑ. අපි අතින් අල්ලන් හිටියත් දුවන්න ලොකුවට උත්සාහ කරේ නෑ. සමහර තැන් වල ඒවා තේරෙනවා වගේ තාත්තා කියන දේවල් අහන් හිටියා. එමලිට මේක අළුත් අත්දැකීමක් සහ වෙනස්ම සමාජ පරිසරයක අත්දැකීමක්.

එමලි විතරක් නෙමේ එමලිගේ බෝනික්කත් අද Museum එක බැලුවා 🤭 ඉතිං අදත් මගේ හිතට හරි සැනසිලිදායක දවසක්.

මුල් සබැඳිය : එමලි ගේ කෞතුකාගාර ගමන