එමලි කතා කරන සමහර වාක්‍ය තේරෙන්නේ හෝ අපහැදිලි ඇයි කියන එක ගැන පැහැදිලි කරන්න යන්නේ 🤭

එමලිගේ ස්නායු විවිධත්වය නිසා එයා මූණ දෙන එක අහියෝගයක් තමයි වාචික සන්නිවේදනය අපහසු වීම. මේක එමලිට විතරක් අදාළ කාරණයක් නෙමේ. ඉතාමත් හොඳට සාම්ප්‍රදායික වාචික සන්නිවේදන රාමුව ඇතුළේ සන්නිවේදනය කරන ඔටිසම් පුද්ගලයින් ඉන්නවා. ඒ වගේම ටිකක් අපහසුවෙන් සන්නිවේදනය කරන වගේම කොහෙත්ම වාචිකව සන්නිවේදනය කරන්නේ නැති ඔටිසම් පුද්ගලයින් ඉන්නවා. ඒත් වාචික සන්නිවේදනය අපහසු වීම බාධාවක් වෙන්නේ නැත්තේ වෙනත් බොහෝමයක් සන්නිවේදන ක්‍රම ලෝකයේ තියන නිසා.

බහුතරයක් ඔටිසම් දරුවන්ගේ සන්නිවේදනය සකස් වෙන්නේ GLP (Gestalt language processing) කියන හැඩයට. අපි දැන් කාලාන්තරයක් තිස්සේ එමලිගේ Speech එකට සහය දෙන්නේ අන්න ඒ ක්‍රමයට අනුව තමයි. ඉතිං දැන් එමලි එයාගේ අවශ්‍යතාවයන් යම් මට්ටමකට වාචිකව කියනවා. එතකොට එමලිගේ Speech එකේ තියන මේ විශේෂ හැඩය තමයි ඒක තාම සංවර්ධනය වේගෙන එන හැඩය. බහ තෝරන පොඩි බබාලා වචන කියනකොට ඒවා අපැහැදිලි හෝ උච්චාරණය ටිකක් වෙනස් වෙන්න පුලුවන්. අන්න ඒකම තමයි එමලිගේ මේ කතා කරන හැඩය ඇතුළේ තියෙන්නේ. එමලිට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා එයාගේ ඔළුවේ තියන මැසේජ් එක වචන වලට හරවන්න. ඒක කොයිතරම් වේදනාකාරීද කියන එක අපි පුද්ගලිකව අත් විදිනවා. සමහර වෙලාවට තමන්ට කියන්න ඕනේ වචනය එළියට කියාගන්න බැරුව එමලි මගේ දිහා බලාගෙන ඉන්නවා. ඉතිං මම දන්නවා දැන් එමලිත් දන්නවා කියලා එයා මූණ දෙන අභියෝගය ගැන.

ඒ වගේම තමයි එමලි භාෂාව හොඳින්ම දන්නවා. හැම වචනයක්ම, හැඳින්වීමක්ම දන්නවා. ඒත් ඒ වචන හෝ වාක්‍ය එක පොදියක්ව මොළයේ තියන නිසා ඒකෙන් අදාළ වචනය හෝ වාක්‍ය වෙන් කරලා අරන් වාචිකව කියන්න අපහසුතාවයක් තියනවා. ඒ නිසා තමයි සෝඩා බෝතලේ ඇරියා වගේ සමහර වෙලාවට හයියෙන් එකට පැටලිලා වේගයෙන් වචන ටික එළියට පනින්නේ. එතකොට අහන් ඉන්න අපිට ඒවා අපහැදිලි වෙන්න පුලුවන්. එමලිට තව කාලයක් යයි වඩා පහසුවෙන් වාචික සන්නිවේදනය හසුරවන්න. ඒක කොහොම උනත් කාලයත් එක්ක එයාගේ විවිධත්වයේ පරාසය මත තමයි වාචික සන්නිවේදනය කොහොම වෙයිද කියන එක තීරණය වෙන්නේ. එහෙම නැතුව දෙමාපියන් අපි ලබා දෙන සහය මතම නෙමේ දරුවෙක්ගේ වාචික සන්නිවේදන හැඩය තීරණය වෙන්නේ. මොන විදියකට මේ අභියෝගය විසදුනත් ඒක විසඳෙන්නේ එමලිට වඩා පහසු සන්නිවේදන ක්‍රමයක් මම එයාට හදලා දීලා තමයි. කොටින්ම කියනවා නං මම දැන් කාලෙක ඉඳන් හෙමින් හෙමින් Sign language එක ගැන ඉගෙන ගන්නවා. එමලිට උගන්වන්න ඕනේ උනොත් එයාට උගන්වන්න. ඒ අතරේ එමලිට Type කරන්න කියලා දෙනවා. මේ වගේ මම එමලිට වාචික සන්නිවේදනය සංවර්ධනය කරගන්න උදව් කරන ගමන්ම වෙනත් සන්නිවේදන ක්‍රම ගැනත් අවධානය යොමු කරනවා. විශේෂයෙන් AAC ඩිවයිස් එක වගේ.

දැන් මේ වීඩියෝ එකේ තියෙන්නේ එමලි Supermarket එකට යනකොට එයාට ඕනේ දේවල් වල ලිස්ට් එක තාත්තට කියනවා. ඉස්සර එහෙම කිව්වේ නෑ. ඒත් දැන් එමලිට පුලුවන් එයාට ඕනේ මොනවද කියලා තාත්තට කියන්න.

ඉතිං  ❇️ අපි එමලිගේ කටින් එළියට එන අපහැදිලි වචනයක් පවා සමරන පවුලක්. ❇️

මුල් සබැඳිය : එමලිගේ Supermarket ලිස්ට් එක