එයාලා ,මෙයාලා, මොවුන්, ඒගොල්ලො, අරගොල්ලො, මේ ජාතියේ කියාගෙන ඔටිසම් දරුවන් නිකන් උපන්තේකට දැකලා නැති අමුතු ජීවීන් කොටසක් වගේ හිතන් ප්‍රශ්න අහගෙන මේ පේජ් එකට එන්නේ ලංකාවේ ඉන්න අමුතු සතෙක් බලන්න නං කරුණාකරලා ඒකට යන්න දෙහිවල සත්තු වත්තට. ඒකෙත් අමුතු සත්තු නෑ. ඉන්නේ ස්වාභාවික පරිසරයේ ඉන්න ස්වාභාවික සත්තුම තමයි.

මොකක්ද මේ කැත භාශාව? ලංකාවේ නෙමේ ලෝකෙම ඉතිහාසේ ඉඳන්ම විවිධත්වයෙන් යුතු මිනිස්සු ජීවත් වෙනවා. ඒ විවිධත්වය ස්නායු, ශාරීරික හෝ එහෙම නැත්තන් සංස්කෘතික , ආගමික, ජාතීන් වෙන්නත් පුලුවන්. එයාලගේ දරුවො , මේ ගොල්ලො , අරගොල්ලො, එයාලා , මෙයාලා කියලා වෙන වෙනම අමුතු ළමයි නෑ. සාමාන්‍ය, අසාමාන්‍ය කියලා වෙන වෙනම බෙදෙන දරුවො නෑ. හොඳ සදාචාරාත්මක සිංහලෙන් කට පුරා ” දරුවො ” කියලා කතා කරන්න.එහෙම නැත්තන් ඔටිසම් දරුවන් ගැන ප්‍රශ්න තියනවා නං ” ඔටිසම් දරුවන්” කියලා කතා කරන්න. සඳළුතලෙ ඉදන් ළමාතැනීලා පොළොව දිහා බලනකොට අහම්බෙන දකින අමුතු ළමයි නං අපිට නෑ.

ජීවිතේ කම්මැළි නං මොකක් හරි අලුත් දෙයක් ඕනේ නං බස් පුරෝලා ගමේ කට්ටිය එක්ක ලංකාවේ පුරාවස්තු බලලා සතුටු වෙලා උද්දාමයට පත් වෙන්න. පින් කරගන්න ඕනේ නං පන්සල් වලට ගිහින් සිල් ගන්න. එහෙම නැතුව ඔටිසම් ගැන දැනුවත් කරන පේජ් වලට පොප් කෝන් කකා අමුතු ළමයි දිහා බලලා විනෝද වෙන්න, කම්මුලේ අත් ගහන් කටවල් ඇරගෙන අනේ පව් නේද කියලා හූල්ලන්න එන්න එපා.

වැස්සට තෙමිලා අව්වට වේලුනු මෝරපු මහ වැඩිහිටියො මේ වගේ විවිධත්වය ගැන දැනුවත් කරන පේජ් වලට ඇවිල්ලා බබාලා වගේ නැළවෙන්න එපා. ගෞරවයෙන් කතා කරන්න. හරි සිංහලෙන් වාක්‍ය ගළපලා ප්‍රශ්න අහන්න. නිවැරිදි විදියට දරුවන්ට ආමන්ත්‍රණය කරන්න ඉගෙන ගන්න.

මුල් සබැඳිය : එයාලා ,මෙයාලා.