ඔටිසම් පුද්ගලයින්ගේ ස්නායු විවිධත්වයෙන් පිහිටීම නිසා ඔවුන්ට තම අවට පරිසරය සහ ලෝකයම දැනෙන ආකාරය ඔටිසම් නොවන පුද්ගලයින්‍ට වඩා වෙනස් වේ. එකී වෙනස එසේත් නැත්නම් විවිධත්වය කුමක්දැයි අප පැහැදිලි කරගමු.
Sensory එහෙමත් නැත්නම් සංවේදන කියන්නේ මොනවාද?
1) Sight /Vision ( දෘශ්‍ය )
2) Smell / Olfactory ( ගඳ / සුවඳ)
3) Taste / Gustatory ( රසය )
4) Touch / Tactical ( ස්පර්ශය )
5) Hearing / Auditory (ඇසීම)
6) Vestibular / Movement ( ශරීරයේ සංවේදනයන්හී සමබරතාවය/ අංගචලනය
7) proprioception / ,Body position ( ශරීර ඉරියව්)
මෙන්න මේ සංවේදනයන් වල සංවේදීතාවය ඔටිසම් පුද්ගලයින්ට දැනෙන ආකාරය, ඒවායේ ක්‍රියාකාරීත්වය, ඒ සංවේදන උත්තේජනය වෙන ආකාරය විවිධ වේ.
විශේෂයෙන් ඔබගේ දරුවා ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවෙක් නම් ඔබගේ දරුවාව වටහා ගැනීමට මේ සංවේදන සංවේදීතාවය පිළිබදව ඔබ ඉතා හොදින් දැනගත යුතුය.
සංවේදන පිළිබඳව කතා බහ කිරීමට පෙර අප ඒ හා බැඳුණු නාමකරණයන් වල අර්ථය පැහැදිලි කරගෙන ඉමු.
- Stimulate (උත්තේජනය) ඇසීම, ස්පර්ශය හෝ රසය වගේම අනෙකුත් සංවේදනයන් වල සංවේදීතාවය උද්දාමයට පත් වීම තමයි උත්තේනජය වෙනවා කියලා කියන්නේ. උදාහරණයක් විදියට අපි සියඹලා ගෙඩියක් හරි ලොවි ගෙඩියක් හරි කනකොට අපේ දිව හිරිවැටිලා වගේ යනවා ඒකේ තියන ඇබුල් ගතියට. ඒ කියන්නේ දිව/ රසය උත්තේජනය වෙලා. ඕක ස්පර්ශයටත් එහෙමයි. මේ වගේ අනෙක් සෑම සංවේදනයක්ම නොයෙක් ක්‍රියාකාරකම් හරහා උත්තේජනය වෙනවා. ඔටිසම් දරුවන්ගේ ස්නායු විවිධත්වය හේතුවෙන් ඔවුන්ගේ යම් සංවේදන වල සංවේදීතාවය අවම වෙන්න හෝ අධික වෙන්න පුලුවන්. ඒ සංවේදීතාවයන් වල දැනීම අවම වීම හරහා තමන්ට අවශ්‍ය උත්තේජය ලබා ගන්න උත්සාහා කිරීම වගේම සංවේදන වල සංවේදීතාවය අධික වීම නිසා ඒවා දරා ගැනීමට නොහැකි වීමත් වෙන්න පුලුවන්. අපි මේ දෙකට කියනවා Under stimulate සහ Over stimulate කියලා. උදාහරණයක් විදියට ශබ්දය කියන සංවේදනයේ සංවේදීතාවය අවම දරුවෙක් හයියෙන් සිංදුවක් නැවත නැවත අහලා ඒ හරහා උත්තේජනය ලබා ගන්න පුලුවන් වගේම ශබ්ධය අධිකව දැනීම නිසා තව දරුවෙක් අධික උත්තේජනයට පත් වෙලා ඒක දරාගන්න නොහැකිව අසීරුතාවයට පත් වෙන්න පුලුවන්. මෙන්න මේ නිසා දරුවාගේ අවශ්‍යතාවය වටහාගෙන දරුවාට සහය දෙන්න දැනුවත් වීම ඉතා වැදගත්.
- Hypersensitive (හයිපර් සෙන්සිටිවිටි)
මේ වචනයේ තේරුම තමයි අධි සංවේදී කියන එක. එතකොට ඔටිසම් දරුවෙක්ට ආලෝකය, රසය, ඇඳුම් වල මෙටීරියල් එකට අධිකව සංවේදී වෙන්න පුලුවන් වගේම වගේම මිනිස්සු ගොඩක් ඉන්න ස්ථාන වලට දරුවාගේ සංවේදන වල සංවේදීතාවයන්ට අධිකව දැනෙන්න පුලුවන් වගේම ඒවා දරාගන්න නොහැකි වෙන්න පුලුවන්. එතකොට උදාහරණයක් විදියට දරුවෙක් කොන්ඩය පීරන්න අකමැතී නම්, ඇදුම් ඇඳගෙන ඉන්න හෝ ඇදුම් වල යම් යම් මෙටීරියල් වලට අකමැතී නම් ඒකට හෙතුව ඒ දරුවාගේ ස්පරශය කියන සංවේදනයේ දැනීම අධික වීම නිසා වෙන්න පුලුවන්.
සමහර ඔටිසම් බබාලා එලියට එක්කන් ගියාම කළබල කරන්නේ, අඩන්නේ, පොළොවේ නිදා ගන්නේ. ඒ කියන්නේ ඒ අවට දැකපු, ඇසුනු, දැනුනු යමක් නිසා දරුවාට එයාගේ සංවේදන වල දැනීම අධික වීම දරාගන්න නොහැකි වීම. මේකට අපි කියනවා Sensory overload වීම කියලා.
- Hyposensitivity ( හයිපො සෙන්සිවිටි)
එකම වගේ වචන දෙකක් නිසා මේක පටලවා ගන්න එපා. මේකෙන් කියන්නේ ඌන සංවේදීතාවය කියලා. මේ තත්ත්වය තියන ඔටිසම් දරුවෝ තව තවත් සංවේදන උත්තේජනය වෙන දේවල් හොයන් යනවා. මෙන්න මේකටම තමයි අපි කියන්නේ Sensory seeking කියලා. ඒ කියන්නේ සංවේදන සොයා යෑම කියලා. මේ දරුවන් බිත්ති ලෙවකනවා, කරකැවෙනවා, උඩ පනිනවා, දුවනවා,අතට අහු වෙන දේ කනවා, ලඟ ඉන්න අයව අත ගානවා, කොනිත්තනවා. මෙන්න මෙහෙම කරලා එයාලා උත්සාහා කරන්නේ මදි සංවේදන සංවේදීතාවය ලබා ගන්න. උදාහරණයක් විදියට ගඳ/ සුවඳ කියන සංවේදීතාවයේ දැනීම අවම දරුවන් නොයෙක් සුවදවල් හොයාගෙන යනවා. මල් ඉඹින්න පුලුවන්, පර්ෆියුම් වලට, ශැම්පූ, සබන් වලට අධික කැමැත්තක් දක්වන්න පුලුවන්.
අධි සංවේදී හා ඌන සංවේදී තත්ත්ව දෙකම ඔටිසම් දරුවෙක්ට තියෙන්න පුලුවන් අවස්ථාව වැඩී. ඒ කියන්නේ මේ දරුවෝ සමහර වෙලාවට අන්දන ඇඳුමේ මෙටීරියල් එකට අධිකව සංවේදී නිසා ඒක ගළවලා දානවා වගේම සපත්තු නැතුව ගල් ඇනි ඇනි එලියේ දුවනවා. සමහර වෙලාවට සද්ද වලට කන් වහගන්නවා.ඒත් තව වෙලාවකට රේඩියෝ එක වැඩි කරනවා සද්දේ අහන්න.
ඔන්න මේ වචන තුනත් අපි ඔක්කොමල්ලාට වැදගත් වෙනවා
- Sensory sensitivity
මේකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ඔටිසම් දරුවා එයාගේ සංවේදන වලට කොයිතරම් සංවේදී ද කියන එක
- Sensory avoidance
මේකෙන් කියන්නේ ඔටිසම් දරුවන් යම් යම් සංවේදන මඟ හැරයාම. (උදා = ශබ්ධ,රසය,ස්පර්ශය හෝ දෘශ්‍ය සහා අනෙකුත් සංවේදන ) ඒකට හේතුව එයාලට ඒ ඒ සංවේදන වල දැනීම අධිකව දැනෙන නිසා.
සමහර වෙලාවට දරුවෝ ඇඟිලි වලින් ඇස් වහන් යමක් දිහා බලනවා නං හෝ සද්ද වලට කන් වහගන්නවා නං, තාත්තා ගෙනල්ලා දුන්න අලුත්ම සෙල්ලම් බඩුව දිහා බලන්නෙවත් නැත්තන් ඔන්න හේතුව තමයි එයාලාට ඒ දේවල් හරහා එයාලගේ සංවේදන වල දැනීම දරාගන්න බැරි තරම් අධික වීම. ඒ නිසා ඔවුන් ඒ දේවල් මඟ හරිනවා.
- Sensory seekers
තමන්ට දැනෙන සංවේදන වල අවමතාවයන් නිසා එකී සංවේදන අවමතාවය සොයාගැනීමට දරුවන් සංවේදන හොයන් යන එක තමයි මේ වචනෙන් කියන්නේ. අතට අහුවෙන දේවල් කටේ දාගන්නවා, යම් යම් දේවල් වල ශරීරය අතුල්ල ගන්නවා, නිතරම උඩ පනින,දුවන, කැරකෙන එක කරනවා, අම්මා තාත්තව අල්ලනවා, ඉඹිනවා වගේ දේවල් කරනවා නං ඒ කියන්නේ දරුවා ඒ සංවේදන / දැනීම ඉල්ලා සිටිනවා; හොයාගෙන යනවා කියලා
මෙතෙක් කතා කරපු කාරණා වලින් දැන් ඔයාලට අදහසක් තියනවා ඔයාලගේ දරුවාගෙ සංවේදන සංවේදීතාවය ගැන. මෙම සංවේදන ලිපි මාලාව හරහා මේ පිළිබඳව අවශ්‍ය දැනුම ඔබට ලබා ගන්න පුලුවන්.