ආලෝකය සහ අඳුර තියෙන්නේ මිනිස්සුන්ගේ හදවත ඇතුලේ. ඔයාට පුලුවන් තෝරගන්න ඔයා ආලෝකය බෙදන කෙනෙක්ද නැත්තන් අන්ධකාරයෙන් අනෙකාව බිය ගන්වන කෙනෙක්ද කියලා. අපි තෝරගන්න කැමති ආලෝකය.
අපිට ඕනේ ඔයාලා දිහා බලන්න. කෙලින්ම ඇස් දිහා බලන්න. ඒත් ඒක කරන්න අමාරුයි. කෙනෙක් අපේ දිහා ඍජුව බලන් ඉන්නකොට, අපි කෙනෙක් දිහා ඍජුව බලනකොට ඒක අපිට ශාරීරික අපහසුතාවයක් ගේනවා. ඉතිං අපිට බලකරන්න එපා ඇස් දිහා බලන්නම කියලා. ඒ වගේම ශබ්ධ තරංග ඔයාලට වඩා දෙගුණ තෙගුණ වෙලා ඇහෙනවා. ඒවා කන් දෙන පසාරු කරගෙන යනකොට අපි කන් වහගන්නවා. අපේ ඇස් වලට පේන හැමදේම සුවයක් නෙමේ. සමහර රූප, පාට, හැඩතල, චලනයන් දරාගන්න අමාරුයි. එතකොට අපි තදින් ඇස් වහගන්නවා. ඔයාලට පුලුවන් ඇති හැම කෑමකම රස බලන්න. ඒත් අපිට කන්න පුලුවන් තෝරගත්ත කෑම කීපයක් විතරමයි. ඒකට හේතුව කෑම වල සුවඳ, ස්පර්ශය, හැඩය, පාට අපේ මනස කලබල කරන්න හේතු වෙන නිසා. ඉතින් අපිව බඩගින්නේ තිබ්බොත් කෑම කයි කියලා හිතන්න එපා.
අපි කැමතියි තනියම ඉන්න. තනියම සෙල්ලං කරන්න. ඒකට හේතුව අපේ මනසට නිතරම සන්සුන්බව, නිහඩ බව ඕනේ නිසා. ඒක වරදක් නෙමේ නේද? අපිව බලෙන් සමාජය එක්ක එකතු කරනකොට අපි අසරණ වෙනවා. ඔලුව පුපුරන්න එනවා. අපිට කෑ ගහලා කියන්න ඕනේ අම්මේ අපිව මෙතනින් අරගන්න කියලා. ඒත් අපේ කටින් වචන පිටවෙන්නේ නෑ.
අපිට කතා කරන්න අමාරු උනත් ඔයාලා කියන හැමදේම තේරෙනවා. අපේ අවට වෙන හැම දේම ගැන අවබෝධයක් තියනවා. අපිට දැනෙනවා, හිතෙනවා. ඒත් ඒ හැම දේම වචන වලට පෙරළලා කියන්න අමාරුයි. ඔටිසම් කියන්නේ Super power එකක් නෙමේ. ඔටිසම් කියන්නේ අපි මේ ලෝකෙට බිහි වුනු අන්න්‍යතාවය. ඒ අන්න්‍යතාවය එක්ක ලෝකෙට මුහුණ දෙන එක අභියෝගාත්මකයි. හේතුව මේ ලෝකය හැදිලා තියෙන්නෙම අපි වගේ විවිධත්වයෙන් ඉපදුණ අයට නෙමේ. ඉතිං ඒක වෙනස් කරන්න අපිට උදව් කරන්න.
අපේ අන්න්‍යතාවය උදුරලා විසී කරන්න එපා. අපිව අසාමාන්‍ය දරුවන් හැටියට සළකලා සාමාන්‍ය කරන්න යන්න එපා. මේ අපේ හැඩය. අපේ ලෝකය ඇතුලේ අපිට අපිව අසාමාන්‍ය නැහැ. ඒක තේරුම් ගත්ත සහයක් අපිට ඕනේ.
අපිට උදව් කරන්න අභියෝග පහු කරගෙන යන්න. අනුකම්පාව ලස්සන නැහැ. ඒත් ආදරය සහ පිළිගැනීම ලස්සනයි. ඔයාලට පුලුවන් ද අපිට ඔයාලගේ හදවත ඇතුලේ තියන ආදරයෙන්, වටහා ගැනීමෙන්, පිළිගැනීමෙන් ටිකක් දෙන්න?