මම ඉපදෙන්නේ මේ ලෝකය කොයිතරම් විශාලද සහ සංකීර්ණද කියන එක ගැන කිසිම වැටහීමක් නැතුව. තාමත් මම දන්නේ නෑ මගේ ගෙදරින්, පාර්ක් එකෙන්, මම්මාච්චිගේ ගෙදරින්, අපි ඇවිදින්න යන ලස්සන රබර් ගස් යායවල්, ඇළ දොළ ගංගා වලින්, නිල් පාට මුහුදින් එහාට තියන ලෝකය ගැන. මම ඉපදෙන්නේ ස්නායු විවිධත්වයක් එක්ක. අම්මා කියන විදියට ඒ විවිධත්වය හරියට දේදුන්නක් වගේ ලු. ඒත් එක්කම අම්මා කියනවා ලංකාවේ ගොඩක් අයට මගේ විවිධත්වය තේරුම් ගන්න අමාරුයි ලු. ඒ නිසයි මම ඔයාලා එක්ක කතා කරන්නේ මම ගැන වගේම මම වගේ ඉන්න අනික් හැම යාළුවෙක් ගැනම.

අම්මා කියනවා මම පොඩි කාලේ හේතුවක් නැතුව නිතරම ඇඩුවලු. සද්ද වලට කන් දෙක වහන් කෑ ගැහුවලු. සෙල්ලම් බඩු පේළියට තියන්න ගත්තලු. කොණ්ඩේ පීරන්න දුන්නේම නැහැලු. ඇඳුම් අදින්නත් කැමති වෙලා නැහැ. තෝරගත්ත කෑම විතරක්ම හැමදාම කෑවා කියලයි අම්මා කියන්නේ. ඉතිං මම කිය කියා හිටපු පොඩි පොඩි වචනත් කියන එක නතර කරලා. අම්මා ඩොක්ටර් අන්කල් ලඟට මාව අරන් ගියාම එයා තමයි අඳුරගෙන තියෙන්නේ මම දේදුන්නක් වගේ වෙනස් බබෙක් කියලා. අම්මා කියන්නේ මගේ අන්න්‍යතාවය “ඔටිසම්” කියලා. ඒක හරියට මගේ කොණ්ඩයේ හැඩය, ඇස් වල පාට, හමේ පාට, මූණේ හැඩ රුව වගේම මටම වෙන් වුනු අන්න්‍යතාවයක් කියලා. ඉතිං තමන්ගේ අන්න්‍යතාවය ආඩම්බරයෙන් පිළිගන්න කියලා තමයි මම නං මගේ පවුලෙන් ඉගෙන ගන්නේ.

ඉතිං අම්මා තාත්තා මගේ අක්කා මගේ අන්න්‍යතාවය ගැන ඉගෙන ගත්තා. අක්කා දන්නවා මම එයා එක්ක කතා නොකරන්නේ තරහකට නෙමේ කියලා.අම්මා තාත්තා දන්නවා මම ඇයි කෑම තෝරලා කන්නේ, සමහර ඇදුම්වල මෙටිරීයල් එක, පාටට මම අකමැති, ලොකු සද්ද වලට ඇයි මම බය කියලත්. ඒ වගේම එයාලා දන්නවා ඇයි මම Toys පේළියට තියන්නේ කියලත්. ඒ වගේම මම හරි කැමතියි Routines වලට. ඒ කියන්නේ මම සමහර පුරුදු හදාගන්නවා. එහෙම කරන්නේ මගේ මනසේ කලබල ගතිය අඩු කරගන්න. ඉතිං මගේ අම්මා තාත්තා හිතනවා එයාලා මාව තේරුම් ගත්තා වගේම හැම දරුවෙක්ගෙම විවිධත්වය ඒ දෙමව්පියන්, සමාජය ඉගෙන ගන්න ඕනේ කියලා. එතකොට අපිටත් පුලුවන් නිදහසේ හිනා වෙලා අනෙක් දරුවන් වගේම ඔයාලා හැමෝම එක්ක ඉන්න.

ඉතිං මම ඔයාලා එක්ක මගේ අභියෝග සහ මම මොනවටද ගොඩක් දක්ශ සහ මට හම්බෙන සහය ගැනත් හැමදේම බෙදාගන්න කැමතියි. ඒ වගේම මට තියනවා සමාජයට අපේ විවිධත්වය ගැන කියන්න ගොඩක් දේවල්. 

මගේ අම්මා මගේ විවිධත්වය ගැන හරියටම දැනගත්ත දවසේ අම්මගේ යාලුවෙක්ට කතා කරලා මෙහෙම කිව්වා.

“මම එමලිගේ විවිධත්වය වෙනස් කරන්නේ නෑ.මම එයාගේ විවිධත්වය පිළිගන්න ලෝකයක් වෙනස්කරනවා” කියලා.

ඉතිං මගේ අම්මා තාත්තා දෙන්නා එකතු වෙලා ලෝකයක් වෙනස් කරන්න හදන්නේ මට විතරක්ම නෙමේ. මම වගේ ලංකාවේ ඉන්න මගේ හැම යාළුවෙක්ම වෙනුවෙන්.

මම ආසයි කුරුල්ලන්ට.මම දකිනවා කුරුළු අම්මයි තාත්තයි පොඩි කුරුළු බබාලට කෑම කවනවා. එයාලා කූඩුවෙන් පියාඹලා යන්න සූදානම් කාලයෙදි අම්මයි තාත්තයි එයාලට උගන්නනවා පියාඹන්න.මමත් ඒ වගේ. මම තාම පුරුදු වෙනවා තනියම පියාඹන්න. ඒකට මට ටික කාලයක් යයි. එක වරදක් නෙමේ නේද?

ඉතිං මම දවසක තනියම අත් තටු ගහ ගහා ඈත පේන නිල් පාට අහසේ සරුංගලයක් වගේ එහේ මෙහේ යයි. එදාට මට පුලුවන් වෙයි ඔයාලට කියන්න නිදහස කොයිතරම් රහද කියන එක.

මීට එමලි ….