එමලි අභියෝග ගොඩකට මූණ දුන්න දරුවෙක්.තව ඉස්සරහටත් අපිට අභියෝග ගොඩකට මූණ දෙන්න වෙනවා. ඒක තමයි Neurodivergent දරුවන් Neurotypical ප්‍රජාවගේ පහසුවට නිර්මාණය වෙලා තියන ලෝකයක තමන්ගේ විවිධත්වය එක්ක උස් මහත් වෙනකොට මූණ දෙන්න සිද්ධ වෙන අසීරුතා. දෙමව්පියන් විදියට අපේ යුතුකම තමයි දරුවගේ විවිධත්වය සඟවගන්නේ නැතුව දරුවාට එයාගේ විවිධත්වය ඇතුලේම ඒ අභියෝග පහසුවෙන් කළමනාකරණය කරගන්න සහය දෙන එක.

කෑම තෝරාගෙන කෑම සහ කෑම ප්‍රතික්ශේප කිරීම තමයි අපි මූණ දුන්න අසීරුම අභියෝගය. මේ වෙනකොට අපි ඒක යම් මට්ටමකට වෙනස් කරගෙන තියනවා. එමලි පොඩි කාලේ හැමදෙයක්ම කාපු දරුවෙක්. ඒත් Autistic Reggresion තත්ත්වයට මූණ දුන්නට පස්සේ එමලිගේ මේ කෑම කන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් උනා. පීඩියාශුවර් කිරි එක දිගටම නතර නොකර බිව්වා, සීරියල් ,යෝග්ට් ,චීස් විතරක් කෑවා.බත් නං පරිප්පුයි මස් හරි මාළු එක්ක හැඳි 3 යි. ඇඟට අවශ්‍ය අමතර පෝශණය පීඩියාශුවර් කිරි එකෙන් හම්බුනා. දවසට කිරි බෝතල් පහක් වගේ බිව්වා.ඊට අමතරව පලතුරු කියලා කෑවේ අඹයි ගස්ලබුයි දෙක එකට බ්ලෙන්ඩර් කරලා.කෑලී අහු උනොත් කන්නේ නෑ.මේක තමයි කාලයක් යනකල් එමලිගේ Safe food වට්ටෝරුව උනේ. පස්සෙ මේ වට්ටෝරුවත් සම්පූර්ණයෙන්ම වෙනස් උනා. මෙහෙම තෝරාගත් කෑම විතරක් කන්න හේතුව තමයි ඔටිසම් දරුවන්ගේ සංවේදන සංවේදීතා පද්ධතියේ විවිධත්වය. ඇයි සමහරු දූරියන් වලට ආස වෙලා තවත් අය දූරියන් වලට අකමැති. හේතුව අපේ රසය කියන සංවේදන සංවේදීතාවයේ දැනීම එකිනෙකට වෙනස් නිසා. ඉතිං ඔටිසම් පුද්ගලයින්ගේ සංවේදන සංවේදීතාවය අධික හෝ අවම වෙන්න පුළුවන්.මේක එක හේතුව සමහර ඔටිසම් දරුවන් කෑම තෝරාගෙන කෑම සහ තවත් ඔටිසම් දරුවන් අවශ්‍ය ප්‍රමාණයට වඩා නිරන්තරයෙන් කෑම කෑම.

Safe foods විතරක් කන්න හේතු 

• සංවේදන සංවේදීතාවයේ විවිධත්වය – ආහාර ස්පර්ශ වන ආකාරය, දැනීම, පාට, සුවඳ හෝ උශ්නත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය ඔටිසම් දරුවන්ගේ සංවේදන සංවේදීතාවය අවම හෝ අධික බව මත රඳා පවතිනවා.

                                  උදා – එමලිට මුල්ම කාලේ තිබ්බ අභියෝගයක් උනේ කෑම අතින් අල්ලන්න අපහසුයි.විශේශයෙන් බත් ඇතුළුව සියලුම ඇලෙන සුළු අතේ ගෑවෙන කෑම, චොකලට් පවා. අනික් එක තමයි කෑම වල සුවඳ. අපි කෑම කනකොට එයා ටිකක් ඈතට යනවා. කෑම වල දැනීම, සුවඳ දරාගන්න අපහසුයි.

• Routines සහ Pattern – එකාකාරී කෑම වට්ටෝරුවක් පවත්වාගෙන යන එකෙන් ඔටිසම් දරුවන් උත්සාහ ගන්නවා නිතර වෙනස් වෙන, අලුත් වෙන දේවල් හරහා නොසන්සුන් වෙන මනස සන්සුන් කරගන්න. බහුතරයක් ඔටිසම් දරුවන් හරි අකමැතී තමන් අවට හෝ තමන් වටා සිද්ධ වෙන වෙනස් වෙන අත්දැකීම් වලට මූණ දෙන්න. ඒකට හේතුව ස්නායු වලට අධික උත්තේජනයක් දැනෙන්න පුළුවන් කම. උදාහරණයක් විදියට ඔටිසම් දරුවෙක් ඉන්න පුළුවන් Surprises වලට අකමැති. අම්මා එයාට එක පාර තැග්ගක් දෙනවා. එයාව surprise කරන්න හිතන් එයා වැඩියෙන් කැමති තැනකට එක්කන් යනවා. ඒත් සතුටු වෙනවා වෙනුවට දරුවා නොසන්සුන් වෙනවා. හේතුව ඒ එකපාරට මූණ දෙන්න උන අහඹු අත්දැකීම දරුවට දරාගන්න අපහසු නිසා. ඒකට දක්වන්න ඕනේ ප්‍රතිචාරය දන්නේ නැති නිසා. මෙන්න මේ වගේ දේවල් නිසා ඔටිසම් දරුවන් තමන්ගේ සෙන්සරි සිස්ටම් එක කළමනාකරණය කරගන්න පහසු වෙන්න ඒකාකාරී චර්‍යාවන් සහ රටාවන් නිර්මාණය කරගන්නවා. මේ හැසිරීම් අසාමාන්‍ය හැසිරීම් කියලා සමාජය වරදවා වටහාගන්නවා. කෑම පවා ඒකාකාරී රටාවකට පවත්වාගෙන යන්නත් මෙන්න මේ කතා කරපු හේතුවත් අදාළ වෙනවා.

• ශරීරයේ අභ්‍යන්තර අවයව වල දැනීමේ අවම කම – සමහර දරුවන්ට තමන්ට බඩගිනී කියන සංඥාව දැනීමේ ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. බඩගින්න වගේම බඩ පිරිලා තියනවා කියන එකත් නොදැනෙන්න පුළුවන්. ඒ වගේම වමනයට එන හැඟීම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්.

 • ආතතිය – තමන්ගේ ආරක්ෂාකාරී කෑම ( Safe foods) වට්ටෝරුවෙන් පිටත අලුත් ආහාර වර්ග දකින එක, ඒවලින් එන සුවඳ පවා මනසට ආතතියක් ඇති කිරීමට සමත් වෙන්න පුළුවන්. කෑම සම්බන්ධයෙන් එක නරක, පීඩාකාරී අත්දැකීම නිසා ඒ කෑම වර්ගය ආයේ කවමදාකවත් කන්න කැමති නැති වෙන්න පුළුවන්.

• Oral-Motor අභියෝගයන්

ආහාර හැපීම සහ ගිලීම අපහසු වීම. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රැක්ටිස් කරන ABA තෙරපි ඇතුළේ මේ අභියෝග වලට සහය දෙන ක්‍රම කීපයක් තියනවා. Rewards, Repetition, සහ Systematic desensitization හරහා එයාලා උත්සාහ කරන්නේ මේ හැසිරිම වෙනස් කරන්න. ඒත් ඒකෙන් දරුවා ඇයි මෙහෙම කෑම තෝරාගෙන කන්නේ කියන එකට තියන හේතූන් නොසලකා හරිනවා.

උදාහරණයක් විදියට තවත් පැහැදිලි කරොත් දරුවා අඩනවා නං ඒ අඩන එක නතර කරනවා මිසක් අඩන්නේ ඇයි කියන හේතුව හොයලා ඒ හේතුව මත සහය දෙන්නේ නෑ. මේ හරහා දරුවට හම්බෙන අමතර පැකේජ් එක තමා මානසික පීඩනය. ඒ කොහොමද කියලා ඉක්මනට සරලව ලියන්නං.

1) Rewards 

දරුවා අලුත් කෑමක් try කරොත් ඒ වෙනුවට එයා කැමතිම චොකලට් කෑල්ලක් හරි එහෙම නැත්තන් එයාව පැසසුමට ලක් කරන්න දෙයක් දෙනවා. One-bite rule කියලා මේකට කියනවා. එතකොට අලුත් කෑම කන්න කොයිතරම් අසීරූ උනත් දරුවා reward එක ගන්න ඕනේ නිසා කනවා. එහෙම නැත්තන් දරුවා ආසම කරන Toy එක අරගෙන කෑම කටක් කනකල් ඒක නොදී ඉන්නවා.

2) Repetition (Repeated Trials)

සරළවම කිව්වොත් මේකෙන් කරන්නේ තෙරපිවරයා විසින් හැමදාම එකම Task එක දරුවා එක්ක කරලා ඒක මඟ හරින්න බැරි වෙන විදියට පුරුද්දක් බවට පත් කරන එක. උදාහරණයක් විදියට දරුවට හැමදාම චූටී ඇපල් කෑල්ලක් කන්න, රහ බලන්න හෝ හපන්න කියලා කියනවා. හැමදාම එකම දේ කරනකොට ඒක දරුවට නොකර ඉන්න බැරි පුරුද්දක් බවට පත් වෙනවා. දරුවගේ සංවේදන සංවේදීතාවය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම නිසා මේ හරහා දරුවට ආතතියක්, Burnout එකක් එන්න පුළුවන්.

3) Systematic Desensitization 

මේකේ අදහස තමයි ක්‍රමයෙන් අලුත් කෑම ගැන දරුවාගේ ආතතිය අවම කරන එක. පියවරෙන් පියවර තමයි මේක වෙන්නේ.

  • කෑම දිහා බලන එක
  • කෑම අල්ලන එක
  • සුවඳ බලන එක
  • කෑම තොල් වල ගෑවීම
  • ලෙව කෑම
  • සැපීම
  • සපා ගිලීම

මේ වගේ පියවරයන් වලට තමයි ඒක සිද්ධ වෙන්නේ. එකම දේ මේ වගේ පියවරයන් නිසා Sensory overload වෙන්න පුළුවන්. දරුවාට මානසික හිරිහැරයක් වෙන්න පුළුවන්. දරුවා සූදානම් නැති වෙන්න පුළුවන්. හැම පියවරක් පාසාම ඒ පියවරවල් නිසාම අමතර ආතතියක් ගොඩ නැගෙන්න පුළුවන්.

මීට වඩා හාත්පසින්ම වෙනස් Neurodiversity-affirming approach එක හරහා දරුවට සහය දෙන කොට, ඒ සහය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ දරුවාගේ සංවේදන සංවේදීතා හැඩය මත. එතකොට අවධානය යොමු කරන්නේ හැසිරීම වෙනස් කරන්න නෙමේ. හේතුව වටහාගෙන අන්න ඒ හේතුව ප්‍රධාන කරගෙන දරුවට එයාගේ අභියෝගය වඩා හොදින් කළමනාකරනය කරගන්න සහය දෙනවා. මේක තමයි මම එමලිට සපෝට් කරන්න තෝර ගත්ත ක්‍රමය.

1) වටහා ගැනීම සහ විශ්වාසය –

එමලිගේ සංවේදන සංවේදීතා හැඩය නිසා ඇයි එමලි කෑම තෝරගෙන කන්නෙ කියන එක මම වටහාගත්තා සහ තේරුම් ගත්තා. ඒ නිසා බලහත්කාරකමින් කෑම කවන්න ගියේ නෑ. එමලි කන්නේ බත් හැඳි 3 ද ඒ හැඳි තුනෙන් එහාට බලහත්කාරකමින් කට ඇරලා කෑම ඔබන්න ගියේ නෑ. දරුවෙක්ව රවට්ටලා කෑම කටක් කවන එකයි බලෙන් කෑම කටේ ඔබන එකයි දෙකක්. තව දෙයක් තමයි එමලිට නිතරම එයාගේ Safe food පවා කන අතරේ වමනේ යනවා. සමහර දවස් වලට දෙතුන් පාරක් වමනේ කරා. ඒක එයාට පාලනය කරගන්න බෑ කියන එකත් මම තේරුම් ගත්තා. ඒ නිසා හරිම පරිස්සමට තමයි කෑම දුන්නෙ. අම්මා මට අපහසු කෑම වර්ග බලෙන් කවන්නේ නෑ කියන එක හරහා එමලි මාව විශ්වාස කරන්න ගත්තා.

2) දරුවාට අලුත් කෑම Try කරන්න දෙන්න කලින් ඉතා සෙමෙන් අලුත් කෑම දකින්න, අතගාන්න, සුවඳ බලන්න ඉඩ දෙන්න –

මේක දරුවාගේ හැඩය අනුව කොයිතරම් හෙමින් කරන්න ඕනේද කියනවා නං මට සම්පූර්ණයෙන්ම අවුරුද්දක් ගියා කෑම වලට එමලිගේ තියන ආතතිය සහ බය නැති කරගන්න.

මුලින්ම මම කරේ එමලිට මම එයාට අලුත් කෑම හඳුන්වා දෙනවා කියන එක නොදැනෙන්න හඳුන්වා දුන්න එක. එක එක පාට පාට කඩචෝරු වලින් තමා ඒක පටන් ගත්තේ. එක එක හැඩ සහ පාට වලින් තියන ලොලිපොප් ,එක හා සමාන පොඩි චොකලට් වගේ ගෙනල්ලා ඒවා එමලිට දුන්නා පේළියට තියන්න. මේ පේළියට දේවල් Line කරන එක එමලිගේ Stimming එකක්. මෙහෙම පේළියට තියන කොට එයාට නොදැනීම ඒවා අතින් ස්පර්ශ වෙනවා, පාට දකිනවා, සුවඳ දැනෙනවා. ස්මාර්ටීස්, Mentos දුන්නා දිගට පේළියට තියන්න.

ඒ කාලේ එමලිගේ තිබ්බා ෆ්‍රිජ් එක අරින වහන Repetitive behavior එකක්. ඕකත් පාවිච්චි කරලා මම Supermarket එකෙන් එක එක කෑම ගෙනල්ලා එමලිට දෙනවා ෆ්‍රිජ් එක ඇරලා ඒවා ඇතුලට දාන්න. ඊට පස්සේ එමලි පටන් ගත්තා කැමැත්තෙන්ම කෑම එක්ක Play කරන්න. අකුරු හැඩේ පැස්ටා දුන්නා Messy play කරන්න. එතනින් එහාට කාලයක් පහු උනේ මේ Play එක්ක. හැබැයි කෙනෙක්ට මේ වගේ Play දරුවා කෑම නාස්ති කරන, සල්ලි අපතේ යන දෙයක් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක තමයි ස්වාභාවිකව දරුවා අලුත් කෑම වලට තියන අනියත බය, සංවේදන සංවේදීතා හැඩය overcome කරන විදිය. එමලි චොකලට් අරන් පොඩි කරලා බෝල හැදුවා. ඒවා තැනින් තැන ගෑවා. බිස්කට් ප්ලේට් එකකට දාලා කුඩු කරා. අතට දුන්න හැම කෑමක්ම මේ වගේ Play කරන්න ගත්තා. අපි Play කරන්න පුළුවන් කෑම තමයි දුන්නේ. විශේෂයෙන්ම ක්‍රීම් බිස්කට්. බිස්කට් වල ක්‍රීම් අතේ ගෑවුනම ඒවා නහයට තියලා බැලුවා. ඊට පස්සේ ටිකක් ලෙව කාලා බැලුවා. එතනින් එමලි බිස්කට් වල ක්‍රීම් ටික විතරක් කන්න ගත්තා. ඒකත් අපිට ලොකු ජයග්‍රහණයක් උනා. ඉතිං මම එක එක රස ක්‍රීම් බිස්කට් ගෙනල්ලා දුන්නා. මෙහෙම කාලයක් ගියාම ක්‍රීම් විතරක් නැතුව බිස්කට් එකත් කන්න ගත්තා. දැන් එමලිගේ කෑම වට්ටෝරුවට බිස්කට් එකතු උනා.

මේ කාලය අතර තුරු එමලිගේ safe food ඒ විදියටම වෙනස් නොකර දුන්නා. අපි හැමදාම හවසට ගමේ බේකරි එකට ගිහින් උණු බනිස්, කට්ලට් ගන්නවා. එමලිගේ පංගුව එයා කෑවත් නැතත් දෙනවා. එහෙම්මම කීල්ස් එකට ගිහින් අයිස්ක්‍රීම් අරන් දෙනවා. එමලිට දෙනවා. එයා එපා කිව්වොත් කන්න කියලා බල නොකර ඒක මම කනවා. එමලිට අපි එයා ලඟ ඉදන් කෑම කන එක ඉස්සර වගේ අපහසුවක් උනේ නෑ. කාලයක් ගිහින් බේකරියේ කට්ලට් එකේ එළියේ කොටස එමලි කන්න ගත්තා. ප්ලේන් බනිස් එක හෙමින් කන්න ගත්තා. ඔක්කොම නෙමේ, ටිකක් කාලා ඉතිරි කරා. අයිස්ක්‍රීම් එක කන්න ගත්තා. මේ වගේ ටික ටික එමලිම අලුත් කෑම try කරන්න ගත්තා. හැමදාම වගේ හවසට එමලි එක්ක පොඩි රවුමක් යනකොට එමලි කියනවා Supermarket / Ice cream කියලා. ඊට පස්සේ කෙළින්ම Daddy buy ice cream කියලා ඉල්ලන්න ගත්තා. Ice Cream එකත් එක්ක අපි කීල්ස් එකෙන් රෝල් එකක් සමෝසා එකක් වගේ තව දෙයක් එමලිට අරන් දුන්නා. කිසිම වෙලාවක කන්න කියල බල කරේ නෑ. ඒ දෙන කෑම Try කරලා බලන සම්පූර්ණ නිදහස එමලිට දීලා තිබ්බේ. ඉතිං දැන් එමලි රෝල්ස් කනවා.එයාට Offer කරන හැම කෑමක්ම බය නැතුව Try කරනවා. ගොඩක් කෑම වල රස බලලා අයින් කරනවා. ඒ කියන්නේ ඒ කෑම වල රස එමලිට දරාගන්න අපහසු නිසා. Pizza hut එකේ Cheese pizza කෑල්ලක්, Cheese cutlets වගෙ ඒවා කනවා. මේ වගේ එමලිගේ වර්ග තුන හතරකට සීමා උන කෑම වට්ටෝරුවට අලුත් කෑම ජාති එකතු වෙලා තියෙන්නේ. වෙන්න ඕනේ අන්න ඒක. දරුවා ආතතියක් නැතුව එක එක කෑම වර්ග Try කරලා එයාගේ Safe Food list එකට ඒ කෑම වලින් කන්න පුළුවන් දේවල් එකතු කරගන්න එක. එතකොට දරුවට පුළුවන් වැඩිහිටියන්ගේ බල කිරීමක් නැතුව තමන්ගේ සංවේදන සංවේදීතා හැඩයට අනුව කෑම තෝරගන්න.

මේ විදියට එමලිට අලුත් කෑම වලට තියන බය, ආතතිය අවම කරන්න මට ලොකු කාලයක් ගියා. ඒ කාලය පුරාම මම කරේ එමලිට ඒත්තු ගන්වපු එක අපි ඔයාගේ සංවේදන සංවේදීතාවයේ හැඩයට ගෞරව කරනවා. ඔයාට කන්න අපහසු කෑම ප්‍රතික්ශේප කරන එක වරදක් නෙමේ. ඒක ඔයාගේ අයිතිය කියලා. මේ හරහා එමලි මාව කොයිතරම් විශ්වාස කරන්න ගත්තද කියනවා නං මම අපේ ගොරකා ගහේ ඉදිලා තිබ්බ ගොරකා ගෙඩියක මදේ දුන්නම ඒකත් අරන් රස බලලා එපා කියලා මට ආයේ දුන්නා. මෙහෙම එක එක කෑම වල රස බලන්න එමලි ඉදිරිපත් වෙන්නේ එයා දන්නවා එයාට බලකිරීමක් නෑ එයා ආරක්ශිතයි කියලා දන්න නිසා. මෙන්න මේක තමයි අපි Neurodiversity-affirming therapy කියන්නේ. දරුවාගේ විවිධත්වය වරදක් නෙමේ කියලා පිළිඅරගෙන දරුවාට පීඩාවක් නැතුව ආරක්ෂිතව තමන්ගේ Challenges හෙමින් කළමනාකරණය කරගන්න සහය දෙන එක. දරුවාගේ ස්නායු විවිධත්වය මත ඒ අභියෝග කළමනාකරණය කරගන්න දරුවාට ගත වෙන කාලය සහ හැකියාව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.

මුල් සබැඳිය : එමලි ගේ කෑම තෝරාගෙන කෑම සහ කෑම ප්‍රතික්ශේප කිරීම