ලංකාවට කරන්න හෝ ලෝකෙටම කරන්න බැරි උන දේ ඉන්දියාව කරා. අපි තාම 1960 පරණ තෙරපි ක්‍රමවේදය වෙනස් නොකර , ඔටිසම් ගැන ඉගෙන ගන්න තියන සිලබස් අප්ඩේට් නොකර , ඔටිසම් දරුවන්ට Individual educational plan එකක් වත් දෙන්නේ නැතුව මිලියන 200ක් ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් වෙන් කරලා තෙරපි සෙන්ටර්ස් සහ Day care centers හදන්න වෙන් කරනකොට ඉන්දියාව හරි නිවැරිදි අප්ඩේට් දැනුම හරහා ඉන්දියාවේ ඉන්න සියළුම ඔටිසම් දරුවන්ට සමානව සහය ලැබෙන ක්‍රමවේදයක් මේ අවුරුද්දේ හඳුන්වා දුන්නා. අමතක කරන්න එපා මෙතන වැදගත් වෙන්නේ මේ සහය ක්‍රමවේදය පදනම් වෙන්නේ සම්පූර්ණයෙන් නව දැනුම සහ නව තෙරපි ක්‍රමවේදයන් යටතේ කියලා.

අපේ අලුත් ආණ්ඩුවට කිසිම අදහසක් නෑ මොකක්ද ලංකාවේ තාම ප්‍රැක්ටිස් කරන 1960 පැරණි දැනුම සහ වෙනස් වෙන්න ඕනේ අප්ඩේට් දැනුම කියලා. ඒකට එක හේතුවක් තමයි මේ පැරණි ක්‍රමවේදය පෝෂණය කරමින් ඉන්න සෞඛ්‍ය නිළධාරීන් විසින් සමස්ත ඔටිසම් ප්‍රජාවටම මේ මොහොතේ අවශ්‍ය තව ගොඩනැගිලි ටිකක් කියලා යෝජනා කරලා රජය ඇන්දීම.අනික් පැත්තෙන් රජයේ ළමා හා ආරක්ෂණ ඇමතිනී හෝ සෞඛ්‍ය ඇමතිට අබ මල් රේණුවක දැනුමක් ,කියවීමක් නෑ ලංකාවේ පැරණි තෙරපි ක්‍රමවේදය හරහා ඔටිසම් දරුවන්ට වෙන හානිය ගැන සහ ලෝකයේ මේ වෙනකොට මේ තෙරපි ක්‍රමවේදයන් කොයිතරම් වෙනස් වෙලාද කියලා. ඉතිං අපි ලංකාවේ මහජනතාවගේ බදු මුදල් සිමෙන්ති, බ්ලොක් ගල් වලට නාස්ති කරද්දී ඉන්දියාව එකතු වුනා Stanford university , Heidelberg university , Singapore institute of mental health ,UNICEF , WHO එක්ක. එකතු වෙලා ඉන්දියාව තමන්ගේ රටේ සමස්ත ඔටිසම් දරුවන්ටම සහය දෙන ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒකේ නම තමයි ” Pinnacle Autism Therapy Framework “.

Pinnacle Framework එක කියන්නේ ඉන්දියාවේදී නිර්මාණය කරපු අනාගතයේදී ලෝකය පුරා භාවිතා කරන්න පුළුවන් ඔටිසම් පුද්ගලයන්ට සහය වන වැඩපිලිවෙලක්. ඔටිසම් සම්බන්ධ පර්‍යේශකයන්, තෙරපිවරුන් සහ ඔටිසම් දරුවන් සිටින පවුල් එකතුවෙලා නිර්මාණය කරපු මේ වැඩ පිලිවෙල ට කෘතිම බුද්ධියත් ( AI) උපයෝගී කරගෙන තියෙනවා. භාෂා 133 කින් මේ ක්‍රමවේදය යටතේ දෙමව්පියන්ට තමන්ගේ දරුවාට සහය දෙන්න අවශ්‍ය දැනුම බෙදා දෙනවා.ඒ දෙමව්පියන්ට සායන වල පෝලිමේ දරුවා කරපින්නාගෙන ඉන්න ඕනේ නෑ. තව දුරටත් ඔටිසම් කියන්නේ මොකක්ද, මම මගේ දරුවට කොහොමද සහය දෙන්නේ කියලා මානසිකව පීඩාවට පත් වෙන්න ඕනේ නෑ. අවශ්‍ය දැනුම සහ කරන්න ඕනේ දේ ගෙදරටම ලැබෙනවා.

මේක ඇත්තටම තෙරපි ක්‍රමයකට වඩා ඉන්දියාවේ ඔටිසම් සම්බන්ධව තිබ්බ පරණ දැනුම සහ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඔටිසම් පුද්ගලයන්ගේ ගෞරවය ආරක්ශා කරගෙන විද්‍යාව, තාක්ශණය, ප්‍රජාව සහ සෞඛ්‍ය සේවා එකතැනකට අරගෙන ආපු වැඩ පිළිවෙළක්. ඔටිසම් දරුවන් Fix කරන්න, ” සාමාන්‍ය” කරන්න වගේ නූගත් පැරණි කතා මේ ක්‍රමවේදය ඇතුලේ එයාලා සහමුලින්ම ප්‍රතික්ශේප කරනවා.

මෙහිදී ඔටිසම් ඉක්මනින් හඳුනා ගැනීම, ඔටිසම් සහය සඳහා මුලු පවුලම සක්‍රීයව සහභාගි කරගැනීම, වර්ධනයේ වෙනස්කම් TherapeuricAI, AbilityScore වගේ ක්‍රමවේදයන් මගින් නිරීක්ශණය කිරීම ප්‍රධාන දේවල් වෙනවා. මේකේ ප්‍රධාන අරමුන ඔටිසම් දරුවන්ට සහාය ලබාදීම ඉතාම මිල අධිකව ගෙවිය යුතු තෙරපි මධ්‍යස්ථාන වලින් පිටතට ගෙන රට පුරා විසිරී සිටින දරුවන්ට පවුල් හරහාම ඒ අවශ්‍ය සහය ලබාදීමට ඉඩ සැලැසීම. මේක හරිම වැදගත්. ඉන්දියාවේ තවදුරටත් ඔටිසම් දරුවන්ව විකුණගෙන කන ව්‍යාපාර නඩත්තු කරන්න බැරි වෙනවා. දුෂ්කර ගම්මානෙක ඉන්න දෙමව්පියන්ටත් පුළුවන් ගෙදර ඉදන් ඔටිසම් දරුවට අවශ්‍ය සහය දෙන්න.

ලංකාවේ ව්‍යාපාර නඩත්තු කරන සෞඛ්‍ය නිළධාරීන් සහ මාෆියාව නිර්මාණය කරලා තියනවා දෙමව්පියන්ට බෑ කියලා දරුවන්ට තෙරපි සහය දෙන්න. තෙරපි කියන්නේ මැජික් එකක් කියලා අදහසක් නිර්මාණය කරා.අපි තමයි දරුවන්ගේ එකම ගැළවුම් කාරයා කියන අදහස ඇතුලේ දෙමව්පියන්ව අසරණ කරා.ඒ මැජික් එක ඒ බලාධිකාරය පුස්සක් කියලා මම අපේ පේජ් එකෙන් පළවෙනි වතාවට ලංකාවේ ඉන්න දෙමව්පියන්ට කිව්වා. UK, USA ඇතුළු දියුණු රටවල් වල පාවිච්චි කරන ක්‍රමවේදයන් සහ ඔවුන් බෙදා දෙන දැනුම මම පේජ් එකෙන් දෙමව්පියන්ට බෙදුවා. දෙමව්පියන්ට දැනුම දුන්නා තමන්ගේ දරුවන්ව තේරුම් ගන්න සහ ඔටිසම් කියන්නේ මොකක්ද කියන දැනුම. ඔටිසම් ගැන දෙමව්පියන්ට ඉගෙන ගන්න මූලාශ්‍රයක් ලංකාවෙ තිබ්බේ නෑ. හේතුව හැමෝම සල්ලි හම්බකරන අරමුණින් අන්ධ වෙලා ඉන්න නිසා. මම මගේ පුද්ගලික මුදලින් වෙබ්සයිට් එකක් හැදුවා. ඊයේ රෑත් මේ මාසෙට ඒ වෙබ් එකට මාස් පතා ගෙවන්න තියන රුපියල් දහදාහක මුදල මම ගෙවනකොට කල්පනා කරේ ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් අයථා විදියට හොරාකන්නේ නැතුව ඇයි මේ මිනිස්සුන්ට බැරි මුලින්ම අත්‍යවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයක් ඔටිසම් දරුවන්ගේ දෙමව්පියන්ට හඳුන්වා දෙන්න කියලා. ඉන්දියාව ඒක කරා. ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා යම් යම් සංස්කෘතික හැඩයන් විශාල ප්‍රමාණයක් ඇතුලේ ඔටිසම් කියන විවිධත්වය වඩා විනිශ්චයට ලක්වෙන අවස්ථාව තියන රටක්. ඒ රටෙත් හොර වෙද්දු ඉන්නවා.ඔටිසම් සුව කරනවා කියන තක්කඩි ඉන්නවා. මේ හැම අභියෝගයකටම ඉන්දියාවේ ආන්ඩුව, සෞඛ්‍ය නිලධාරීන් සහ ඔටිසම් දරුවන්ගේ පවුල් එක තැනකට එකතු වෙලා ලස්සනට රිටර්න් එක දුන්නා Pinnacle Framework එක මඟින්.ඔවුන් වෙනස් කරේ වසර ගණනාවක් පවත්වාගෙන ආව පරණි තෙරපි ක්‍රමවේදය. ඔවුන් රටක් විදියට අප්ඩේට් උනා.

මේ පේජ් එක කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මේකට ප්‍රහාර එල්ල කරේ ලංකාවේ වෛද්‍යවරුන් සහ තෙරපිවරුන් වගේම ඔටිසම් සුව කරනවා කියලා ව්‍යාපාර කරගෙන යන තක්කඩින්. දැන් මෙයාලගේ අලුත් තර්ජනය මට විරුද්ධව ලීගල් ඇක්ශන් ගන්නවා කියන එක. ඔය ඔක්කෝටම පුළුවන් දැන් ඉන්දියාව දිහා බලලා තමන් කොයිතරම් ෆේල් ද කියන වේදනාව සහ ලැජ්ජාව වහගන්න ආයේ ආයේත් මේ තනි අම්මව අල්ලලා පහර දෙන්න. මට අද පුදුමාකාර සතුටක් සහ තෘප්තියක් දැනෙනවා. අවුරුදු ගාණක් පුරා ලංකාවේ සමස්ත තෙරපි ක්‍රමවේදයම වෙනස් වෙන්න අප්ඩේට් වෙන්න ඕනේය කියලා කියනකොට මට පහර ගැහුවේ මම සෞඛ්‍යට සේවයට බණිනවා කියලා. දැන් ඉන්දියාව එයාලගේ මේ වගේම පවත්වාගෙන ආව පැරණි තෙරපි ක්‍රමවේදය වෙනස් කරලා. ඉතිං තවදුරටත් ඔයාලට බැහැ මාව නිහඬ කරන්න සහ මට තර්ජනය කරන්න. මම බලන් ඉන්නවා මට විරුද්ධව ලීගල් ඇක්ශන් ගන්නකල්.මම බලන් ඉන්නවා මට විරුද්ධව චෝදනා එකින් එක ගොනු කරන කල්. දැන් අල්ලපු රට නිර්මාණය කරෙත් වෙනස් කරෙත් මම මේ පුංචි දූපතේ ඉදන් කියපු දේම තමයි.

රටකට බෑ පරණ දැනුම මත ඔටිසම් දරුවන්ගේ සංවර්ධනයට සහය දෙන්න. ඔටිසම් දරුවන් දිහා සත්තු විදියට බලලා පුහුණු කරන්න. ඔවුන්ගේ Dignity එක පාගලා දාන්න.ඔටිසම් දරුවගේ දෙමව්පියන්ව අඳුරේ තියන්න. රටකට අවශ්‍ය නව දැනුම.ඔටිසම් විවිධත්වය පිළිගැනීමෙන් ලබා දෙන සහය. මේ රටට ඕනේ තව ගොඩනැගිලි නෙමේ.නව ක්‍රමවේදයක්. සිස්ටම් එක වෙනස් කරනවා කියන්නේ අලුත් බිල්ඩින් හදනවා කියන එක නෙමේ. ඉතිං තනි අම්මට පහර දෙන්න කලින් තමන්ගේ නිරුවත වහගන්න අල්ලපු රටින් ඉගෙන ගන්න.

හැබැයි මේ වගේ Therapy framework එකක් ලංකාවේ හැදුනොත් මොකක්ද වෙන්නේ? ඔටිසම් දරුවන්ව විකුණගෙන සල්ලි හම්බකරන ව්‍යාපාරිකයින් ටිකගේ බඩට පාර වැදෙනවා.ඒකයි තාම 1960 පැරණි දැනුම පෝෂණය කරන්නේ. ඉන්දියාවේ අති දුෂ්කර ගම්මාන වල ඉන්න දෙමව්පියන් දැන් තමන්ගේ දරුවාට ගෙදර ඉදන් අවශ්‍ය සහය දෙනවා. ලංකාවේ පවතින තෙරපි ක්‍රමවේදය නිර්මාණය කරලා තියෙන්නේ ” ඔටිසම් දරුවා බිඳුණු දරුවෙක්. ඒ නිසා ඒ දරුවාව ඔවුන්ගේ වචන වලින්ම කිව්වොත් ” සාමාන්‍ය”දරුවෙක් විදියට Fix කරන්න ඕනේය කියලා.ඉන්දියාවේ සමස්ත ක්‍රමවේදය නිර්මානය වෙලා තියෙන්නේ ඔටිසම් දරුවන්ව Fix කරන්න නෙමේ ඔවුන්ගේ විවිධත්වය හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරන්න සහය දෙන්න ඕනේය කියන තැන ඉදන්.

එක්සත් අරාබි එමීර් රාජ්යය, අප්‍රිකානු රටවල්, මාලදිවයින තමන්ගෙ රටේ තෝරාගත් ප්‍රදේශ වල Pinnacle trial කරද්දි, නේපාලය, බංග්ලාදේශය, කෙන්යාව වැනි රටවල් මෙම වැඩසටහන තමන්ගෙ රටෙත් ක්‍රියාත්මක කරන්න ඉන්දියාව එක්ක සාකච්ඡා කරද්දි අපි ලංකාවේ මිනිස්සු ගේ බදු මුදල් මිලියන 200 ක් කන්න සූදානම් වේනවා.

ඉන්දියාවේදී නිර්මාණය කරපු Pinnacle Framework ඔටිසම් සත්කාර පද්ධතිය සදහා නිර්මාණය කරපු දැනුවත් කිරීමේ  පින්තුර කීපයක් පහතින් එකතු කරනවා.. 

 

මුල් සබැඳිය : ඉන්දියාවේ විප්ලවීය ඔටිසම් සත්කාර පද්ධතිය : The Mother, The Map, and the Movement