Neurodivergent දරුවෙක් පහු කරන අභියෝග දරුවාගෙන් දරුවාට වෙනස් උනත් ඒ හැම අභියෝගයක්ම කළමනාකරණය කරගෙන ඉස්සරහට යන එක පහසු නැහැ. ඒ නිසයි දෙමව්පියන් අනිවාර්යෙන් තමන්ගේ දරුවාගේ විවිධත්වය ගැන දැනුවත් වෙන්න ඕනේ. තමන්ගේ විවිධත්වය ගැන දන්නේ නැති පවුලක් ඇතුළේ දරුවෙක් කොයිතරම් නම් අසරණ වෙන්න පුළුවන්ද?

ඒ නිසා අප්ඩේට් දැනුම හොයාගෙන කියවන්න. අපේ වෙබ්සයිට් එක තියනවා ඕනේ කෙනෙක්ට පහසුවෙන් අවශ්‍ය දේ හොයාගෙන කියවන්න පුළුවන්.දරුවා නිදාගත්තම හරි වෙලාවක් හොයාගෙන කියවන්න.දැනුවත් වෙන්න.

එමලිට තියෙන්නේ Mixed Sensory profile එකක්.ඒ කියන්නේ එක එක සංවේදන අඩු වැඩි වශයෙන් දැනීම.එතකොට දැන් මේ වීඩීයෝ එකේ එමලි ඉන්නේ සත්තුන්ගේ නම් වලට අදාල අකුර රවුම් කර කර. ඒත් එක්කම එමලි කන් වහගන්නවා නිකන් කන ඇතුළට සතෙක් ගියා වගේ. මේවා අස්වාභාවික හැසිරීම් නෙමේ.අපිට නං මේ දේවල් එමලිගේ හැඩය ඇතුළේ එයා මූණ දෙන අභියෝග වලින් එකක්. එතකොට ඇයි දෙමව්පියන් මේ වගේ වෙනස් වූ හැසිරීම් ගැන දැනුවත් වෙන්න ඕනේ.එහෙම නැත්තන් දරුවා මුහුණ දෙන අභියෝග වලට සහය දෙන්න අපහසු වෙනවා.

සමහර ඔටිසම් දරුවන්ට සත්තු ගැන වෙනස් හැඟීම් සමුදායක් තමයි දැනෙන්නෙ.ඒක දරුවන්ට හරි වැදගත් සහ Emotional Concept එකක්.උදාහරණයක් විදියට සතෙක්ගේ රූපයක් දැක්කම ඒ සතා ශබ්ද කරන විදිය, ඒ සතාගේ රූපය මුලින්ම හඳුනාගත්ත අවස්ථාව, Emotions වගේ මේ හැමදේම එක පාර මොළයට තොරතුරු එකතු වෙනවා. මෙන්න මේක නිසා අධික උත්තේජනයක් දරුවන්ට දැනෙන්න පුළුවන්. මට මතකයි ඉස්සර පාරේ අලියෙක් එහෙම යනකොට එමලිට පෙන්නුවාම එයා ඒ අලියා දිහා නොබලා ඇස් වහගනවා. ඒකටත් හේතුව ඒ දර්ශනය මනසට දරාගන්න අපහසු වීම.

මේකෙම තව දෙයක් වෙන්න පුළුවන්.එක තමයි යම් දරුවෙක්ට සත්තුන්ගේ හෝ වෙනත් දෙයක නමක් ශබ්ද වීම දරාගන්න අපහසු වෙලා ඒ දේ රූපයක් දැක්කත් එයාට ඒකත් එක්ක ශබ්ධයත් ආයේ මතකයට එන්න පුළුවන්.එතකොටත් මේ වගේම කන් දෙක තදින් වහගන්න පුළුවන්. Auditory overstimulation කියලා අපි මේක හඳුන්වනවා. ශබ්ධයක් ඇහුනේ නැති උනත් ඒ ශබ්ධය හා සම්බන්ධ රූපයක් දැක්කම උනත් දරුවෙක් අධික උත්තේජනයට පත් වෙන්න පුළුවන්.

වඩාත් නිවැරිදියි මේ තත්ත්වය “Internal auditory imagery – hearing” කියලා හඳුන්වන එක .

දැන් මේ එමලි වැඩ කරන පොතේ ඒ පිටුවේ අවසානයට ඉන්නේ Penguin සහ Zebra . ඉතිං මේ සත්තු දිහා බලලා එමලි තමන්ගේ ඇතුලාන්තයෙන් ඒ සත්තුන්ගේ නම් කියනවා.ඒක ඕනේ කෙනෙක්ට ස්වාභාවිකව වෙන දෙයක්.ඒත් එක්කම එමලිට ඒක Trigger point එකක් බවට පත් වෙනවා.ඒ නිසා කන් වහන් ඒක දරාගන්න ගමන් එමලි කියනවා ” Black spider ” කියලා. ඒක Verbal Stimming එකක්. මනස සන්සුන් කරගන්න සමහර Neurotypical මිනිස්සු සිංදු කෑලී මුමුණවා හා සමානයි මේ Verbal Stimming. ඔටිසම් දරුවන් එකම සිංදු කෑල්ල ආයේ ආයේ මුමුණන්න පුළුවන්. නැත්තන් වචන ටිකක් ආයේ ආයේ කියන්න පුළුවන්. එහෙම නැත්තන් එකම ආකාරයේ ශබ්ද නඟන්න පුළුවන්. මේවා මනස සන්සුන් කරගන්න කරන Verbal Stimming කියලා අපි කියනවා. මේ කිසිම දෙයක් අසාමාන්‍ය නෑ. මේවා අපිට වටහා ගන්න අපහසු නං තමයි අපිට හිතෙන්නේ අසාමාන්‍යයි කියන එක.

දැන් මේ වගේ අභියෝග කළමනාකරණය කරගන්න විදිය තමයි ගොඩක්ම වැදගත්. අඩන්නේ කෑ ගහන්නේ නැතුව Verbal Stimming කරලා,කන් වහන් හරි මොන යම් ක්‍රමයකින් හරි ඒවා දරාගෙන තමන් පටන් ගත්ත වැඩේ එමලි අවසන් කරා. මේක තමයි දරුවන්ගේ විවිධත්වය තේරුම් ගත්තම දෙමාපියන් දෙන සහය මත දරුවන් ඔවුන්ගේ කැපෑසිටි එක ඇතුළේ පුළුවන් උපරිම අභියෝග කළමනාකරනය කරගෙන ඉදිරියට යන විදිය.

මේ වගේ අභියෝග අසීරුමයි කියන එක දැන් මට දැනෙන්නේ නෑ.එමලිටත් එහෙමයි. දරුවෙක් ලොකු වෙනකොට ඒ දරුවාගේ ස්නායු විවිධත්වය ඒ කියන්නේ දැනීම මත තමන් මුහුණ දෙන අසීරුතාවයන් ගැන වැටහීමක් එනවා..එතකොට ස්වාභාව ධර්මයෙන් සෑම සත්ත්වයෙක්ටම දීලා තියන Mental සහ Physical Survival Instincts අභියෝගාත්මක අවස්ථාවන් වල ස්වාභාවිකව මතුවෙනවා. ඒකම තමයි එමලි බොහෝමයක් අභියෝග වලදී නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා තමන් ආරක්ෂිත වෙන ගමන් ඒ අභියෝග වලට මූණ දෙන්නේ. ඒත් නිරන්තරයෙන් වැඩිහිටියන් උත්සාහ කරනවා නං දරුවාගේ මේ වගේ හැසිරීම් අසාමාන්‍යයි කියලා වළක්වන්න, දඬුවම් දෙන්න එතකොට දරුවාට තවදුරටත් තමන්ගේ මනස සහ ශරීරය විසින් ස්වාභාවිකව කියලා දෙන උපක්‍රම පාවිච්චි කරන්න අපහසු වෙනවා. හේතුව දරුවා හිතනවා මම කන් දෙන වහගත්තොත් මට දඬුවම් ලැබෙයි කියලා.මම Stimming කරොත් මට ගුටි කන්න වෙයි කියලා. එහෙමත් නැත්තන් මාව නොසළකා හරී කියලා. ඉතින් ඔහොම වෙනකොට දරුවෙක්ගේ Natural coping mechanisms එක වෙනුවට නිර්මාණය වෙන්නේ toxic stress එකක්. මේක හරිම පැහැදිලිව විස්තර කරනවා Stephen Porges ගේ ” Polyvagal” Theory එකෙන්. 

ඒ නිසා දරුවාගේ හැඩය , අභියෝග, කුසලතා වෙන් වෙන්ව තේරුම් ගන්න. මේක අපිට හරිම ඉක්මනට යන්න පුළුවන් ගමනක් නං නෙමේ. ගඟක් වුනත් අනේක විධි අභියෝග පහු කරගෙන අවශ්‍ය කාලය අරගෙන තමයි අවසානයේදී මහ මුහුද මුණ ගැහෙන්නේ.❤️

මුල් සබැඳිය : එමලිගේ සංවේදීමය අභියෝග හා විසඳුම්