ඔටිසම් දරුවන්ගේ ඔටිසම් ලක්ෂණ ගැන කතා කරනකොට නිතරම කියවෙන දෙයක් තමයි Pretend play එහෙමත් නැත්තන් අනුකරණය කරන්නේ නැහැ කියන එක.මේක හැම දරුවෙක්ටම අදාළ නැහැ. එත් මේ අනුකරණය ඔටිසම් නොවෙන දරුවන්ගේ අනුකරණ එක්ක සාපේක්ශව බලන්න බැහැ.හේතුව ස්නායු හැඩයන් දෙකක් එකට සංසන්දනය කරන්න බැහැ. ඔටිසම් දරුවනුත් අනුකරනය කරනවා එයාලගෙම හැඩයකට. අනික් කාරණය තමයි ලංකාවේ පවතින පැරණි Therapy approach එකෙන් ඔටිසම් දරුවන්ට අනුකරණය කරන එක බලහත්කාරකමින් පුහුණු කරන්න දරුවන්ට බෝනික්කන්ට තේ පොවන්න ,Play කරන්න පුරුදු කරනවා. මේවා ලෝකයේ මේවගේ දේවල් දැන් කරන්නේ නැති දේවල්. ඒකට හේතුව දරුවාගේ දැනීම සහ ස්වාභාවික සංවර්ධනයත් එක්ක තමයි මේ අනුකරණය සම්බන්ධ වෙන්නේ. බලෙන් අනුකරනය ඉගැන්වීම හරියට රොබෝ කෙනෙක්ව අපිට ඕනේ දේවල් කරගන්න නිර්මාණය කරනවා හා සමානයි. අනික් එක දරුවාට කිසිම දැනීමක් නැතුව වැඩිහිටියන් කියන නිසා වැඩිහිටියන්ට තියන බය නිසා බෝනික්කන් එක්ක ඒ කියන විදියට Play කරන එකෙන් දරුවට ඇති වෙන සංවර්ධනයක් නැහැ. ඒක ඔටිසම් නොවෙන දරුවන් අනුකරණය හරහා Play කරන විදියට ඔටිසම් දරුවන්ව රඟපාන්න පුහුණු කිරීමක්.
එමලිට දැන් ටික කාලෙකට කලින් පොඩි උනන්දුවක් බෝනික්කන් ගැන තියනවා කියලා මට තේරුනා. එමලිට එයාට ආස දෙයක් වාචිකව මගෙන් ඉල්ලන්න අසීරූ නිසා මම කරන්නේ එයාට Daraz , Alliexpress වගේ සයිට් වලට ගිහින් Toys පෙන්නන එක. එහෙම පෙන්නපු වෙලාවක බෝනික්කො දැකලා හිනාවක් ගියාම මම කරේ බෝනික්කෙක්ව අරන් දුන්නා. එමලි එයාගේ අත පය හතර ගලවලා දැම්මා
. පස්සේ කාලයක් ගිහින් ආයේ බෝනික්කෙක් දුන්නා. ඔන්න එයා එක්ක නං එමලි කුතුහලයෙන් ඇඳුම් පවා ගලවල කොන්ඩේ ඉදන් නිරීක්ශණය කරා. මෑතකදී ආයෙත් වෙනදට වඩා ඒ බෝනික්කා ගැන එමලි උනන්දු උනා.එයාගේ තොප්පිය ගලවලා ආයේ දානවා.අත් දෙකට ග්ලවුස් දානවා.ඉන්දවලා තියනවා වගේ දේවල් කරා. මමත් එමලිට පේන්න බෝනික්කා එක්ක කතා කරා . කොටින්ම කියනවා නං එමලි නිදා ගත්තට පස්සෙත් මම ඒ බොනික්කගේ කොන්ඩේ පීරලා බෑන්ඩ් එකක් දාලා එමලි උදේ නැගිට්ටම එයාට පේන්න ලස්සනට සාලේ තිබ්බා.
ඉතිං මම ඊයේ තව බෝනික්කෙක් එමලිට අරන් දුන්නා. පරණ එක්කෙනාව සම්පූර්ණයෙන්ම අමතක කරලා එමලි අලුත් බෝනික්කට ගොඩක් කැමති උනා. ඉතිං එයාව දුන්න වෙලේ ඉදන් එයා එක්ක සැරින් සැරේ Play කරනවා. එමලි එයාව අතට අරන් මට කිව්වා “miss polly had a dolly” කියලා . බෝනික්කව පිළිමයක් අතට ගන්නවා වගේ පරිස්සමට අරන් වත්තටත් ගියා.මම හිතන්නේ බෝනික්කට වත්ත පෙන්නන්න ඇති.ඉතිං දැන් තමයි ස්වාභාවික සංවර්ධනය හරහා එමලි බෝනික්කෙක් එක්ක කමැත්තෙන් Play කරන්නේ. අපි මේවා දරුවාට කිසිම දැනීමක් නැති කාලේ බලෙන් පුරුදු කරවන්න ගියොත් ඒක අපි දරුවට කරන අසාධාරණයක් විතරයි.
ඉදිරි දවස් කීපයම එමලියි මායි Busy වෙන්නේ
එයාගේ අලුත් යාළුවට කවන්න, වතුර පොවන්න, මේස් සපත්තු දාන්න. 

එමලියි, එමලිගේ යාළුවයි.
