මේක මට කතා කරන්න අදාළ වපසරියක් නෙමේ කියලා මට හිතෙනවා. ඒත් සමාජය යම් විදියකට මේ කතා කරන්න යන දේ ගැන දැනුවත් උනේ නැත්තන් දරුවන්ගේ ජිවිත සදාකාලික අපායක් වෙන්න තියන ඉඩ වැඩී.
මම කමෙන්ට් එකක් විදියට මම කතා කරන්න යන වීඩීයෝ එකේ ලින්ක් එක දානවා. ඒ වීඩීයෝ එකේ ඉන්න දරුවා සහ ඒ දෙමාපියන් ගෙවන්නේ පහසු ජීවිතයක් නෙමේ. ඒත් දෙමාපියන් ගේ නොදැනුවත්කම සහ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අවම පහසුකම් , දැනුවත් කිරීම් සහ සහය දීම නිසා මේ දරුවා ගෙවන්නේ ඉතාමත් අසීරු ජීවිතයක්.
ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් අතර Self harm කරගන්න උත්සාහ ගන්න අය ඕනේ තරම් ඉන්නවා. මම පොඩ්ඩක් එමලිගේ පොඩිම කාලේ ගැන කතා කරන්නම්. එමලිගේ ඔටිසම් තහවුරුව ලැබෙන්න කලින් සහ ලැබිලා ටික කාලයක් යනකල් එමලි තමන්ට අනතුරක් කරගන්න උත්සාහ කරපු වාර ඕනේ තරම් තිබ්බා. එමලි කරේ එයාගේ ඔළුව බිත්තියේ සහ බිම ටයිල් එකේ ගහ ගත්ත එක. මේකට හේතුව එමලිගේ ස්නායු විවිධත්වය නිසා එයාට අවට සංවේදන දරාගන්න අපහසු වීම. මනස ඉතාම කළබලයි. පොඩි දරුවෙක් කොහොමද මේසා විසාල වෙනස්කමක් , තමන්ගේ අභ්‍යන්තර අසමබරතාවයක් දරාගන්නේ. ඒ දැනෙන පීඩාව පිට කරගන්න එමලි උත්සාහ කරේ ඔළුව ගහගන්න උත්සාහ කරගෙන. ඒත් එක්කම වාචිකව සන්නිවේදනය කරගන්න අපහසුකම නිසා පීඩාව තවත් වැඩී. මේ තත්ත්වය මඟ හැර ගන්න මම කරේ එමලිට එයාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න පුලුවන් වටපිටාවක් ගෙදර හදපු එක. දරුවාගේ අපහසුතාවය වටහාගෙන හැකිතාක් මනස සන්සුන් කරගන්න පහසු Play කරන්න ඉඩ හදලා දුන්න එක. එමලිගේ හැම සන්නිවේදන ක්‍රමයක්ම තේරුම් අරන් ඒවාට ගරු කරපු එක.ඉතිං හරිම ඉක්මනට එමලිගේ මේ තමන්ට හිරිහැර කරගන්න හැසිරීම අවම වෙලා ගියා.
දැන් මම මේකෙන් කියන්නේ නෑ හැම ඔටිසම් දරුවෙක්ටම ,පුද්ගලයෙක්ටම ලැබෙන සහය මත පුලුවන් වෙනවා කියලා Self harm හැසිරීම නතර කරගන්න. ඒක තීරණය වෙන ප්‍රධානම සාධකය ලැබෙන සහය වගේම ඒ දරුවාගේ ස්නායු විවිධත්වය.
මේ හැසිරීම් මල පෙරේත දෝෂ නෙමේ. ඒ නිසා මහ රෑ සොහොන් වලට ගෙනිහින් පුහුල් කැපුවා කියලා සිද්ධ වෙන නරකම දේ තමයි දරුවගේ මේ හැසිරීම වැඩි වෙලා දරුවා තව තවත් පීඩාවට පත් වෙන එක. එමලි ගැන ගොඩක් කල් ඉඳන් මම පේජ් එකේ ලියන දේවල් නිසා ගොඩක් අය දන්නවා. නිකමට හිතන්න මම එමලිට පීඩාවක් එන අවස්ථාවකට එමලිව බලහත්කාරකමින් යොමු කරොත් එමලිගේ හැසිරීම කොයිතරම් දරුණු වෙයිද කියලා. අනිවාර්යයෙන් එමලි උත්සාහ ගන්නවා ඒ මුහුණ දුන්න පීඩාකාරී අත්දැකීමට ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාරය වෙන්නේ එමලි ඔළුව ගහගන්න, එයාවම හපාගන්න, අපිට පහර දෙන හැසිරීමක්. විශේෂයෙන් වාචිකව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න අපහසු දරුවෙක් වෙන ක්‍රමයක් දන්නේ නෑ පීඩනය පිට කරගන්න. ඉතිං මම කිසිම කෙනෙක්ව විනිශ්චය නොකර මේ කියන්න උත්සාහ කරන්නේ දෙමව්පියන් දරුවාව වටහා නොගැනීම නිසා දරුවාගේ ජිවිතය අපායක් බවට පත් වෙනවා කියන එක.
Self Harm Behavior කියන්නේ මොනවද ?
* හිස හප්පා ගැනීම
* මුහුණට හෝ ශරීරයට පහර දී ගැනීම
* අත්, තොල් හපා ගැනීම
* හම සූරා ගැනීම සහ කොණ්ඩය ඇද ගැනීම
* ඇස් වලට ඇන ගැනීම
* තමන්ගේ ශරීරය බිත්ති වලට හෝ ගෘහ භාණ්ඩ වල හප්පා ගැනීම ආදී ..
මේ හැසිරීම වැඩි වෙන්න පුලුවන්
• Sensory overload වීමකදී – මේකෙන් සරලවම අදහස් කරන්නේ දරුවාගේ ස්නායු පද්ධතියට දරාගන්න අපහසු අවස්ථාවන්
• පරිසරය එක්වරම වෙනස් වීම හෝ අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීම
• ශාරීරික වේදනාවක් හෝ රෝගී තත්ත්වයක්
• ආතතිය
• සන්නිවේදන අසීරුතාවය
• හෝමෝන වෙනස් වීම යනාදී හේතූන්
දැන් නිකමට හිතන්න යම් දරුවෙක්ට නොනවත්වා පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වීම, තමාගේ මනසට ගැලපෙන පරිසරයක් නොමැති වීම ,සන්නිවේදනය කරගන්න අපහසු වීම, තමන්ගේ ස්නායු පද්ධතිය දරාගන්න අපහසු වීම වගේ කාරණා නිසා ඒ දරුවා තමන්ට ගහගන්නවා හැරෙන්න වෙන මොකක්ද කරන්නේ කියලා? එතකොට වැඩිහිටියන් විදියට මේ දරුවට මල පෙරේත දෝෂයක් කියලා හිතන එක සමාජයක් විදියට අපි ලැජ්ජා වෙන්න ඕනේ. මේ වගේ දේවල් නයිජීරියාව, කෙන්යාවේ , උගන්ඩාවේ වගේම ඉන්දියාව,පකිස්තානය වගේම ලංකාවෙත් අදටත් සිද්ධ වෙනවා. ඔටිසම් දරුවන්ට යම් යක්ශ දෝෂයක් තියනවාය කියලා ඒ දරුවන්ට නොසෑසෙන පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් වැඩිහිටියන් සොහොන් වල පුහුල් කපලා හෙම්බත් උනාට පස්සේ දරුවගේ ජිවිතය සදාකාලික අපායක් බවට පත් වෙනවා. දෙමව්පියන් මැරිලා ගිය දවසට ලංකාවේ කොහේ හරි නිවාසයක කාමරයක් අස්සේ හිර වෙලා ඉන්න ඒ දරුවට සිද්ධ වෙනවා. ඉතිං පහසුවෙන් ජීවත් වෙන්න සහ ලැබිය යුතු නිවැරදි සහය ඒ දරුවාගෙන් උදුරාගත්තේ කවුද?
දරුවෙක් Self Harm කරගන්නවා කියලා ඒ දරුවන්ව මේස පුටු වලට ගැට ගහන්නේ නෑ.මේවා අමානුෂික දඩුවම්.ඒවා බොහෝ විට වෙන්නේ ලංකාව සහ අර මම උඩ කියපු රටවල් වල. හේතුව පොදුවේ දරුවන්ට හිමි විය යුතු අයිතිවාසිකම් විශේශ අවශ්‍යතා සහිත දරුවන්ට වලංගු නැති වීම නිසා සහ දැනුවත් වීම ඉතාම අවම නිසා. මට තියන තව ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ අපි කතා කරන දරුවගේ දෙමාපියන්ට නිවැරදි සහයක් සහ දරුවාගේ තත්ත්වය ගැන අවබෝධ කරගන්න සහයක් මෙච්චර කාලයකට ලැබිලා නැති වීම. ඒ වගේම තමයි සහය අවශ්‍ය දරුවන්ව හොයාගෙන ඒ දරුවන්ගේ වීඩීයෝ අරගෙන මේ වගේ හැසිරිම් මල පෙරේත දෝෂ විදියට සමාජගත කරන මේ Youtube නාලිකා කරන අයට පොඩි මොළයක් වත් නැති එක. “මාරයා ආවේශ උන ” කියලා සහය අවශ්‍ය දරුවෙක්ව, පීඩා විදින දරුවෙක්ව රටට පෙන්වන එක කොයිතරම් නම් නරුම ක්‍රියාවක්ද කියලා ඒ පුද්ගලයින් දන්නේ නෑ. මනුස්ස දරුවෙක් මොන තත්ත්වයක හිටියත් මොන තරම් පීඩාකාරී අවස්ථාවක හිටියත් ඒ දරුවගේ Dignity එක නැති කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ.
ඒ දරුවගේ තාත්තා එක තැනක කියනවා අපිට කළුවරේ පෙනුනේ නැති උනාට දරුවට කළුවරේ පේනවා කියලා. ඒක ඒ තාත්තට දරුවට තියන අමුතු බලපෑම නිසා වෙන දෙයක් කියලා හිතෙනවා ඇති. මුලු ගෙදරම ලයිට් Off කරත් කට්ට කළුවරේ එමලිට පුලුවන් ගේ පුරාම ඇවිදින්න කිසිම බඩු මුට්ටුවක හැප්පෙන්නේ නැතුව. ඒකට හේතුව එමලිගේ Memory එක. එයා දන්නවා ගෙදර තියන බඩු මුට්ටු, ඒවා තියන තැන්.චිත්‍රයක් වගේ ඒවා මනසේ ඇදිලා තියන නිසා ඇස් පියාගෙන උනත් එමලිට ගෙදර එහා මෙහා දුවන්න පුලුවන්. ඉතිං මම ආයේ ආයේ කල්පනා කරනවා අපි රටක් විදියට නව දැනුම සමාජගත කිරීම සහ මේ වගේ ස්නායු විවිධත්වයක් සහිත දරුවන්ට සහය දීමෙන් කොයිතරම් නම් දුප්පත් රටක්ද කියලා.
ඔටිසම් විතරක් නෙමේ ADHD, Intellectual Disability, Sensory Processing Differences,Tourette syndrome,OCD,Anxiety disorders වගේ තත්ත්වය තියන දරුවන් , පුද්ගලයින්ගේ පවා Self Harm behaviors තියෙන්න පුලුවන්.
තමන්ට හිරිහැර කරගන්න පෙළඹෙන දරුවන්ට වෙනම හෙල්මට් සහ Body suit තියනවා පාවිච්චි කරන්න. ඒ වගේම Cranial band / padded headgear / Arm guards / padded sleeves / Compression garments / chew tools වගේ දේවල් පාවිච්චි කරලා දරුවාට අනතුරක් වෙන එක වලක්වගන්න පුලුවන්.
මුළු ඇඟම තුවාල කැළලි වලින් වැහිලා ගියපු දරුවෙක්ගේ විලාපය හරහා ඒ දරුවා ඉල්ලා හිටින්නේ මට උදව් කරන්න කියලා මිසක මාව තව තවත් මල පෙරේත දෝෂ කියලා පීඩාවට ලක් කරන්න කියලා නෙමේ. මේස පුටුවල සතෙක් වගේ බැදලා දාලා තියනකොට දැනෙන හැඟීම් වාචිකව ප්‍රකාශ කරගන්න පුලුවන් උනා නම් ඒ දරුවා මොනවා කියයිද? මාධ්‍ය සහ බුද්ධිමත් ජනතාව කරන්න ඕනේ තවදුරටත් මේවා මහා අමුතු සිද්ධි විදියට උලුප්පලා පෙන්නන්නේ නැතුව ඒ දරුවාට සහය දෙන්න අවශ්‍ය දැනුම දෙමාපියන්ට ලබා දීලා ඒ දරුවට ආරක්ෂිත වටපිටාවක් ලබා දෙන එක. ඒ අවශ්‍ය සහය දරුවට නොලැබුනොත් තව තවත් මේ හැසිරීම වර්ධනය වෙනවා මිසක් අවම වීමක් වෙන්නේ නෑ.
මේ ලිපිය ලියන්න , ඒක යම් සහයක් වෙයි කියන එක මට උදේම මැසේජ් කරලා කිව්වා කාන්චනා රත්නායක නංගිට මගේ ස්තූතිය. එයා නොකිව්වා නං මම මේක ලියන එකක් නැති වෙයි. හේතුව මේවා ලිවීම පවා මනසට අමතර පීඩනයක් මිසක් සහනයක් නෙමේ.
