ඔටිසම් සහ ADHD දරුවන් සහ පුද්ගලයින් මූණ දෙන්න පුලුවන් එක අභියෝගයක් තමයි Emotions Regulate කරගැනීමට අපහසු වීම.. ඒ කියන්නේ හැඟීම් දරාගැනීමට අසීරු වීම. ලංකාවේ මම දැනුවත්ව කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික මධ්‍යස්ථාන වේවා අදාළ කිසිම තැනකින්වත් විශේශ අධ්‍යාපනයට සම්බන්ධ කිසිම සිලබස් එකකවත් කතා වෙන්නේ නැහැ Co – Regulations සහ Self Regulations ගැන. ඒකට හේතුව අපි තාමත් ඔටිසම් හෝ වේවා ADHD හෝ වේවා මේ ස්නායු විවිධත්වයන් ගැන ඉතාමත් මතු පිට පෙනෙන ලක්ෂණ වලින් එහාට අධ්‍යනය කරන්නේ නෑ.ඒ නිසා තමයි බහුතරයක් හිතන්නේ ඔටිසම් හෝ ADHD දරුවන්ගේ යම් යම් හැසිරීම් බෙහෙත් වලින් මඟ හරවා ගන්න පුලුවන් කියලා.
මගේ මූලිකම අවධානය යොමු වෙන්නේ එමලිගේ Emotions regulate කරගන්න සහය දෙන්න. එමලිට එයාගේ ගෙදර ඉතාමත් ආරක්ශිත වටපිටාවක් බවට පත්වාගෙන යන්න අපි සෑහෙන්න මහන්සියක් දරනවා. මේ දවස් වල නම් විශේෂයෙන් ඉතා සියුම් ශබ්ධ එමලිට ඇහෙන්නේ නැති වෙන්න උපරිම උත්සාහ ගන්නවා. හේතුව මේ කාලයේ එමලි සියුම් ශබ්ධ වලට ඉතාමත් සංවේදී නිසා.
ඊළඟ කාරණය තමයි එමලි මුහුණ දෙන සන්නිවේදන අපහසුතා නිසා සමහර වෙලාවට එමලිට අවශ්‍ය දේ අපිට කියාගන්න අපහසු නිසා එමලි නොසන්සුන් වෙන්න පුලුවන්. ඒත් එක්කම එක පාරට මනස ඉතාමත් නොසන්සුන් වෙනවා. ඒකට හේතුවක් එමලිට තිබ්බත් අපිට ඒ හේතුව වටහාගන්න අපහසු වෙන්න පුලුවන්. ඉතිං එමලිටත් තරහා යනවා.දුක හිතෙනවා.කම්මැළි හිතෙන්න පුලුවන්. ඒත් එක්කම තවත් ඔටිසම් පුද්ගලයින්ට තියෙන්න පුලුවන් තත්ත්වයක් තමයි Alexithymia කියන්නේ. ඒ කියන්නේ තමන්ට දැනෙන හැඟීම් තෝරා බේරා වෙන් කර හඳුනාගන්න අපහසු වීම.
ස්නායු විවිධත්වයේ හැඩය මත දරුවන්ගේ හැඟීම් දරාගැනීම එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්.අපි Regulations කියලා අදහස් කරන්නේ හැඟීම්, සංවේදන සංවේදීතා දැනීම්, ශාරීරික ශක්තිය ( අධික වෙහෙස හෝ Too Hyper) , අවධානය ලබා දීම, ආතතියට ප්‍රතිචාර දැක්වීම වගේ දේවල් කළමනාකරනය කරගන්න ස්නායු පද්ධතියට ඇති හැකියාව.දැන් ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් ගැන කතා කරොත් ඔවුන්‍ගේ ස්නායු පද්ධතියට තොරතුරු කළමනකරණය වෙන්නේ ගොඩක් වෙලාවට අධික තීව්‍ර විදියට හෝ ඉතාමත් සෙමෙන් වෙන්න පුලුවන්. Regulations කියන්නේ ඉතා හොඳ හැසිරීමක් වත් අණට කීකරු වීමක් වත් නෙමේ. එතකොට ඔටිසම් දරුවෙක් හෝ ADHD තත්ත්වය ඇති දරුවෙක් නොසන්සුන් හැසිරීමක් පෙන්වනවා නම් ඒකට හේතුව ඒ දරුවාගේ නරක හැසිරීමක් නෙමේ. ඒකට හේතුව ඒ දරුවාගේ ස්නායු පද්ධතියට ඒ මොහොතේ දැනෙන හැඟීම් කළමනාකරනය කරගන්න අපහසු වීම.ඉතිං බහුතරයක් කරන්නේ ඒකට දරුවාට සහය දෙනවා වෙනුවට සැර කරලා ගහලා බැනලා ලැජ්ජාවට පත් කරලා බැරිම තැන බෙහෙත් පෙති ටිකක් ගිල්ලවන එක.
මුලින්ම දරුවෙක්ට තමන්ගේ හැඟීම් තමන් විසින්ම ( ස්වාධීනව) කළමනාකරනය කරගන්න අපහසු නිසා ඒකට අපි සහය දෙන්න ඕනේ. ඒකට අපි කියනවා Co – Regulations කියලා. අපේ ගෙදර එමලිගේ ” Human regulation anchor.” එක මම. regulation anchor කියන ඒකෙන් අදහස් වෙන්නේ පුද්ගලයෙක්, වස්තුවක්, විෂයක් හෝ යම් නොවෙනස් වන දෙයක් දරුවාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න සහය දීම. ඔටිසම් බබාලගේ Special interest වගේම Stimming නිතරම උදව් කරනවා දරුවන්ගේ මනස සන්සුන් කරගන්න.
දැන් අපි කොහොමද දරුවාගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න සහය දෙන්නේ.
1) සන්සුන් හඩ
2) සන්සුන්ව දරුවාගේ පසෙක හිදීම
3) දරුවාට අපහසුවක් නැත්නම් ඉතා සෙමෙන් දරුවාව තම සමීපයට ගැනීම
4) එක්ව හුස්ම ගැනීම
5) දරුවාට දරාගැනීමට අපහසු පරිසරයෙන් දරුවාව ඈත් කිරීම
6) මනස සන්සුන් වෙන Sensory tools ලබා දීම
දරුවට සන්සුන් වෙන්න ඔයාගේ සහය අවශ්‍යයි කියන එක තේරුම් ගන්නේ කොහොමද?
1) දරුවා කන් වසා ගැනීම
2) හඩමින් / නොසන්සුන්ව දිවීම හෝ ඇවිදීම
3) නොසන්සුන්ව එකම වචනය හෝ එකම ක්‍රියාව රිපීට් කිරීම.
4) එක් වරම හැඩීම සහ සිනාසීම
5) බඩු විසික් කිරීම හෝ සමීපතමයින්ට පහර දීම
6) Eloping ( ක්ෂණිකව සිටින ස්ථානයෙන් දිව යෑම )
දැන් වැදගත්ම දේ තමයි දරුවව සන්සුන් කරන්න නම් ඔයා සන්සුන් වෙලා ඉන්න ඕනේ. ඔයාගේ ස්නායු පද්ධතියේ හැඟීම් කළමනාකරනය කරගන්න විදිය දිහා තමයි කැඩපතක් වගේ දරුවා බලන් ඉන්නේ. ඒ වෙලාවට ඔයා කලබල වෙලා නොසන්සුන් වෙලා දරුවට ප්‍රතිචාර දක්වන්න ගියොත් ඒ හරහා දරුවා තව තවත් නොසන්සුන් වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම ඒ අවස්ථාවන් වල දරුවාට අවශ්‍ය සහය දෙන්න නම් ,
1) අධික ශබ්ධ අවම කරන්න.තද ආලෝකය අවම කරන්න
2) දරුවාට අවශ්‍ය Sensory Regulations ලබා දෙන්න.
උදාහරණයක් විදියට දරුවාගේ ශරීරයට අවශ්‍ය යම් තෙරපුමක් ලබා දෙන්න පුලුවන්.සෙමෙන් පද්දන්න පුළුවන්. දැන් එමලිට නම් වැලි හෝ වතුර එක්ක Play කරන්න ඉඩ දෙන එකෙන් එමලිට මනස සහ ශරීරය සන්සුන් කරගන්න පුලුවන්.
3) දරුවාගේ Routines ඒ විදියටම පවත්වාගෙන යන්න
4) දරුවාට සන්සුන් වෙන්න ආරක්ෂිත ඉඩක් නිවසේ නිර්මාණය කරගන්න. වෙනත් රටවල් වල නම් පාසල් වලත් Safe coner එකක් නිර්මාණය කරලා තියනවා දරුවන්‍ට සන්සුන් වෙන්න.
දරුවෙක්ගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න දරුවාට සහය නොදෙන Behavior control / හැසිරීම පාලනය කිරීමේ තෙරපි සැකැස්මවල් වෙනුවට දරුවාගේ අභ්‍යන්තර අභියෝග වටහාගෙන දරුවාට සහය වෙන තෙරපි සකැස්මවල් තෝරගන්න.
උදාහරණයක් විදියට යම් හැසිරීමක් දිහා බලලා ඒක නතර කරන්න ඕනේ කියන එක වෙනුවට ඒ හැසිරීම හරහා දරුවා ප්‍රකාශ කරන දේ සහ දරුවාගේ ස්නායු පද්ධතියේ හැඩය වටහාගෙන සහය දෙන්න.
දරුවාගේ ස්නායු පද්ධතිය අධිකව උත්තේජනය වී ඇති නම් දඬුවම වෙනුවට දරුවාට සන්සුන් වීමට අවශ්‍ය සහය ලබා දෙන්න.
කෙටි කාලීන පාලනය වෙනුවට දීර්ඝ කාලීන Regulations ක්‍රමවේදයන් තෝරාගන්න.
දැන් මම උඩ සදහන් කරා Human regulations Anchor එක ගැන. ඒ Anchor එක දරුවාගේ දෙමාපියන් ,තෙරපිවරයා,දරුවාව රැක බලා ගන්නා තැනැත්තා හෝ දරුවා වඩාත් විශ්වාස කරන ගුරුවරයා වෙන්න පුලුවන්.
Sensory Regulation Anchors ගැනත් කතා කරමු.
ඒකෙන් අදහස් වෙන්නේ දරුවා වඩාත් කැමති දරුවාගේ මනස සහ ශරීරය සන්සුන් කරන දේවල්
* වැලි , මඩ සමඟ සෙල්ලම් කිරීම
* පැද්දීම
* ශරීරයට දැනෙන තෙරපුම් හැඟීම
* Sensory toys
* කොට්ටයක් හෝ සෙල්ලම් බඩුවක් තදින් මිරිකීම
Environmental Anchors කියලා අපි හඳුන්වන්නේ දරුවාට සන්සුන් වීමට නිවසේ / පාසලේ නිර්මාණය කරලා තියන ඉඩ, දරුවා වඩාත් කැමති පුටුව, දරුවාගේ කැමතිම බ්ලැන්කට් එක, දරුවාට සුපුරුදු Routines.
Interest-Based Anchors කියලා කියන්නේ දරුවන්ගේ Special interest. අංක, Logos, කෝච්චි ,සංගීතය, චිත්‍ර ඇඳීම වගේ. සමහර දරුවන් ඉන්නවා ඕනේම වැඩක් කරන්නේ යම් තෝරාගත් සංගීතයකට ඇහුම් කන් දෙන ගමන්. ඒක තමයි දරුවාගේ මනස සන්සුන් කරගන්න උපකාරී වෙන Tool එක. මේ ගැන දැනුවත් නැති උනාම ගොඩක් අය හිතනවා මේ දරුවා Music එකම අහ අහා ඉන්නවා. ඒකෙන් දරුවට කිසිම වැඩක් නෑ.බාධාවක් කියලා. ඉතිං මේ වගේ දේවල් හිතල දරුවගෙන් ඒ සංගීතය අයින් කරාම වෙන්නේ දරුවාට මනස සන්සුන් කරගන්න උදව් කරන Tool එක දරුවට අහිමි වෙන එක.
දැන් මම මේ දාලා තියන එමලිගේ වීඩියෝ එක ගැන කතා කරන්නම්.
ඔය වීඩියෝ එක ගත්තේ එමලි ගොඩක් නොසන්සුන් උන මොහොතකින් පස්සේ. ඒ කියන්නේ මහ වැස්සක් වැහැලා යන්තම් පොදයක් වැටෙනවා වගේ අවස්ථාවක. මේ වීඩියෝ එකට කලින් එමලි එක දිගට නොනවත්වා අඩන්න පටන් ගත්තා. ඒකට එමලිට හේතුවක් තියෙන්න ඇති. ඒත් ඒ හේතුව මට හොයාගන්න අපහසු උනා. දැන් මේ නොසන්සුන් වීම දෙයක් ඉල්ලලා නොදී ඉදිමෙන් හෝ යම් ශාරීරික අපහසුතාවයක් නිසා නෙමේ. මේ නොසන්සුන් වීමට හේතුව Sensory overload වීමක්. ඉතිං එමලි හයියෙන් අඩලා කකුල් දෙකෙන් සෝෆා එකට ගහගෙන ගහගෙන යනකොට මම කරේ ලොකු කොට්ටයක් දීලා ” If you feel angry, you can push the pillow.”කියලා කොට්ටෙට ගහන්න ,මිරිකන්න ,අතින් තද කරන්න දුන්න එක.සමහර වෙලාවට ඒක හරියන්නේ නැහැ. එතකොට එමලි අඩලා එයාගේ හැඟීම් ප්‍රකාශ කරලා ඉවර වෙනකල් මම ළඟට වෙලා නිහඬව සන්සුන්ව ඉන්නවා. අමාරුම මොහොත පහු කරලා ඊට පස්සේ හෙමින් මම එමලිට එයාගේ මනස සන්සුන් කරගන්න සහය දෙනවා.
දැන් මෙතන එමලි කියනවා Supermarket එකෙන් එක එක දේවල් අරන් දෙන්න කියලා.මේවා එමලිට ඒ මොහොතේ අවශ්‍ය දේවල් නෙමේ.එමලි ඒ වාක්‍ය පාවිච්චි කරන්නේ Verbal stimming එකක් විදියට. හරියට අපි මනස සන්සුන් වෙන්න එකම සිංදු කෑල්ල මනසින් හෝ වාචිකව හෙමින් මුමුණනවා වගේ. එමලිගේ මෙහෙම වාක්‍ය මම නිතරම රිපීට් කරනවා. ඒ හරහා එමලිට වඩා පහසුයි මනස සන්සුන් කරගන්න. මම එමලිගේ Supermarket list එක ආයේ ආයේ රිපීට් කරන්නෙත් එමලිට ඒ හරහා මනස සන්සුන් කරගන්න පහසු වෙන්න. මම මගේ හඬ සද්දේ වැඩි කරලා කියන්නේ එමලිට පේන්න එමලිගේ තාත්තටත් ඇහෙන්න. තාත්තා තමයි හැමදාම එමලිගේ බඩු ලිස්ට් එක ගෙනල්ලා දෙන්නේ.
ඒත් එක්කම මම පාවිච්චි කරනවා එමලිගේ Interest-Based Anchor එක. ඒක තමයි Brand names. මම වාහන වල Brand names කීපයක් කියනකොට එමලිගේ මනස හෙමින් සන්සුන් වෙනවා. මේ වීඩියෝ එක හරියටම බැලුවොත් එක තැනක මම Hello Kitty කියලා කියනකොට එමලි කන් වහන් ” No logos ,No brands” කියලා කියනවා.මේකට හේතුව එමලි මේ දවස් වල වැඩියෙන් කැමති Hello kitty phones වලට. ඒ අධික කැමැත්ත පවා ස්නායු වලට දරාගන්න ටිකක් අපහසු නිසා ඒක කළමනාකරනය කරගන්න එමලි කරන්නේ කන් දෙක වහන් ” No Logos, No brands” කියලා රිපීට් කරන එක. එතකොට මමත් ඒකම රිපීට් කරනවා.
මම ” මගෙ Happy Emily ” කියන වාක්‍ය ආයේ ආයේ රිපීට් කරන්නේ ඒ Repetitive word එක හරහා මනස සන්සුන් වෙන නිසා.ඒත් ආයේ එමලිගේ Mood එක එක පාරට වෙනස් උනා. ඒකට හේතුව සම්පූර්ණයෙන් එමලිගේ මනස සන්සුන් වෙලා නැති නිසා. එමලි ආයෙත් Verbal stimming කරන්න ගත්තා. මේ කාලේ එමලි වැඩිපුර පාවිච්චි කරන වාක්‍ය ටිකක් තමයි ” Daddy Buy christmas santa, daddy buy keells, daddy buy cow”කියන වාක්‍ය. මම ඒවා ආයේ හයියෙන් රිපීට් කරන්නේ එමලිගේ තාත්තට ඇහෙන්න කියලා එමලි දන්නවා.
ආයෙත් මම මේ වෙලාවේ පාවිච්චි කරනවා එමලි කැමතිම වචනයක්.ඒක තමයි Fire..එමලි ඒකට කැමති ඒක එමලි වෙන් කරලා ගත්තේ ” Amazon Fire ” කියන Brand name එකෙන් නිසා. එමලි එක්ක මම Fire Spell කරනවා. ඒත් එක්කම අපි ආයෙත් වාහන වල Brand names රිපීට් කරනවා.
දරුවන්ගේ හැසිරීම Aggressive කියලා විනිශ්චය කරන්න කලින් Co – Regulations හරහා Self Regulation වලට සහය දෙන්න.සැර කරලා,බැනලා බය කරලා දඩුවම් හරහා අපිට බැහැ දරුවන්ට එයාලගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න සහය දෙන්න. පොඩි කාලේ ඉඳන් මෙහෙම හෙමින් සහය දෙනකොට දරුවන්‍ට පුළුවන් වයසත් එක්ක හෙමින් හෙමින් එක එක ක්‍රමයන් භාවිතා කරලා මනස සන්සුන්ව පවත්වාගෙන යන්න.හැඟීම් දරාගන්න. ඒත් ඒක වෙනස් වෙන්න පුලුවන් දරුවගේ ස්නායු විවිධත්වයේ ස්වාභාවය අනුව.
* චමින්ද කියලා වෛද්‍යවරයක් කියලා කියාගන්නා පුද්ගලයෙක් ඔටිසම් සහ ADHD සුව කරන්න පුලුවන් කියලා දාපු වීඩියෝ එකක් කීප දෙනෙක්ම මට එව්වා.මෙවැනි අමූලික බොරු සහ අප්ඩේට් නැති , විද්‍යාත්මකව ඔප්පු නොවුනු කාරණා සමාජගත කරන පුද්ගලයින් වෛද්‍යවරයා කියන තනතුරු නාමය භාවිතා කිරීම පවා අනෙකුත් වෛද්‍යවරුන්ට අපහාසයක්. දැන් ඔටිසම් සහ ADHD දරුවන්ව උස්සන් ඔය වගේ අයගේ පස්සෙන් ගිහින් එයාලගේ සාක්කු පුරවන්න කලින් දැනුවත් වෙලා දරුවට සහය දෙන්න.මේ වගේ පුද්ගලයින් නිසා තමයි ලංකාවේ එදත් අදත් දිගින් දිගටම ඔටිසම් සහ ADHD වගේ ස්නායු විවිධත්වයන් ගැන සමාජය වරද්දාගන්නේ. තමන්ගේ දරුවන්ට අවශ්‍ය දීර්ඝ කාලීන සහයක් මිසක් තක්කඩින්ගේ කෙටි කාලීන පැලැස්තර නෙමේ. දෙමව්පියන් කරන්න ඕනේ මෙවැනි පුද්ගලයින්ගෙන් ඔය කියන ප්‍රකාශ සම්බන්ධව විද්‍යාත්මකව තහවුරු වුන මූලාශ්‍ර ඉල්ලා හිටින එක. ඒ වගේම ලංකාවේ වෛද්‍ය සංගමයක් කියලා එකක් නමට හරි තියනවා නම් මේ වගේ වැරදි ප්‍රකාශ සමාජගත කරන පුද්ගලයින් ගැන වගබලා ගන්න. ආදර්ශයට ගන්න Dr. Mark Bowers වගේ වෛද්‍යවරුන්ව.බලන්න ඔටිසම් ගැන කොයිතරම් පැහැදිලිව සමාජය දැනුවත් කරනවද කියලා.
