Visual (දෘශ්‍ය) 

අපගේ දෘශ්‍ය පරිපථයට හසු වෙන දෑ මොළයේ process වෙන එහෙමත් නැතිනම් ක්‍රියා වන දැනීම Visual Sensory / දෘශ්‍ය සංවේදනය යනුවෙන් හදුන්වයි.

ඔටිසම් දරුවන්ගේ Visual Sensory Sensitivity එක අවම වීමට හෝ අධික වීමට හැක.එය එසේ වන්නේ ඔවුන්ගේ ස්නායු විවිධත්වය හේතුවෙනි. මෙකී දැනීම සමබර කරගැනීම සහය වීමට Sensory Lamp /Light / Visual කාඩ් පත් යනාදිය භාවිතා කළ  හැකිය.

සමහර දරුවන් දැඩි ආලෝකය සොයාගෙන යනකොට සංවේදන සංවේදීතාවය අධික දරුවන් දැඩි ආලෝකය මඟහැරලා යනවා. තවත් බබාලා සමහර පාට වලට කැමතී වගේම තවත් සමහරු එක එක පාට දකිනකොටත් බයයි. ද්‍රශ්‍ය සංවේදනයේ සංවේදීතාවය අධිකව දැනෙන දරුවන්ට සමහර රූප,පාට,ආලෝකය බලන්න බෑ. ඒ උත්තේජනය මොළයට දරාගන්න අමාරුයි. ඒ නිසා එයාලා එක්කෝ ඇස් ඇඟිලි තුඩු වලින් වහගන්නවා.

  • චලනය වෙන යමක් දිහා එක එල්ලයේ බලාගෙන ඉන්නවා නං (කැරකැවෙන ෆෑන් එකක්,වොශින් මැශින් එක, ෆිජට් ටෝයි, වාහන ) 
  • දැඩි ආලෝකය දිහා බලාගෙන ඉන්නවා නං
  • ඩිම් ලයිට් දිහා බලන් ඉන්නවා නං 
  • සමහර බඩු ඇස් දෙක ලඟට ලං කරලා බලනවා නං ඒ කියන්නේ බබාගේ දෘශ්‍ය සංවේදනයේ සංවේදීතාවය අවම වීම නිසා එයා ඒවා සොයාගෙන යනවා කියන එක. මෙවැනි හැසිරීම් Sensory seeking වගේම මේ හරහා තමන්ගේ මනස සන්සුන් කරගන්න උත්සාහා කිරීමක්ද වෙන්න පුලුවන්.

දරුවාට සහය දීම 

1) Visual room (දරුවාගේ කාමරය දරුවා කැමති පාටකින් හා ආලෝකයකින් වගේම දරුවා කැමති ෆිජට් ටෝයි එකතු කරලා වෙනස් කිරීම) 

2) හෝඩිය සහ අංක සමඟ සෙල්ලම් කිරීමට දීම

පාට පාට අකුරු සහ අංක Puzzles ගන්න.ඒවා එක්ක දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.පාට පාට ප්ලාස්ටික් බෝල වගේ දේවල් දෙන්න.

3) පාට පාට සව් කොළ ගන්න. බබාට කියලා ඒවා තීරු වලට කපා ගන්න. කතුරක් අල්ලන්න බැරි වෙන්න පුලුවන් නිසා අතින් තීරු වලට හරි ඉරාගන්න. ඊට පස්සේ අපි අර වෙසක් කූඩු වල අලවගන්නේ ඒ වගේ තීරු වල මුල් කොටස මේස තීරුවේ වගේ අලවගන්න. වෙන්න ඕනේ දේ තමා හුළඟට මේ තීරූ ලස්සනට එහා මෙහා යන එක.පුලුවන් නං පාට පාට සව් කොළ වලින් පොඩි වෙසක් කූඩුවක් හැදුවත් කමක් නෑ.

4) Finger painting and hand painting 

වෝටර් කලර්ස් අරන් බබාගේ අත්ලේ සහ ඇඟිලි වල හොදට ගාලා අත්ලේ සළකුණ සුදු කොළේක තියාගන්න, වෝටර් කලර්ස් අරන් බබාට ඇඟිලි පාවිච්චි කරලා කොළ වල කැමති විදියට පාට කරගන්න දෙන්න.

5) පාට ගළපන්න සහ පාට පාට බිල්ඩින් බ්ලොක්ස් එකට සෙට් කරන වගේ Play බබාට කරන්න නිදහස දෙන්න.

6) ග්ලිටර් පාවිච්චි කරලා හරි පාට පාට ඩිමයින්ට් කොළ අරගෙන හරි එක එක රූප, හැඩතල කපලා ඒවා මාලයක් වගේ අමුණලා බිත්තියේ එල්ලන්න.

7) කඩෙන් පොප්සිකල් හදන ප්ලාස්ටික් කප් සහ කූරු ගන්න. මේවාට එක එක පාට බීම හරි පළතුරු ජූස් හරි දාලා පාට පොප්සිකල් හදාගන්න. මේක දරුවා එක්ක එකතු වෙලා කරන්න පුලුවන්.

8) දරුවාව වත්තට අරන් යන්න. මල් වල පාට පෙන්නන්න, ඒවා කියලා දෙන්න. එහෙම නැත්තන් visual Stimulation කාර්ඩ්ස් තියනවා කඩේ අරගන්න. ඒවා අරන් දරුවාට බලන්න දෙන්න.

ඔයාලට හිතෙන බබාට ගැළපෙන සහ බබා කැමති ඕනෙම Play එකක් බබාගේ visual sensory එක වැඩි දියුණු වෙන්න කරන්න සහය දෙන්න පුළුවන්.

Taste ( රසය) 

අපේ දිවට දැනෙන රස වර්ග හතරක් තියනවා. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස. ඔටිසම් බබාලගෙ සංවේදන සංවේදීතාවය අසමබර වීම නිසා එයාලට මේ රසය කියන සංවේදනයත් විවිධාකාරයෙන් අඩු වැඩි වශයෙන් තමයි දැනෙන්නේ. බහුතරයක් ඔටිසම් දරුවන් කැමතී ලුණු රස කෑම වලට. ඒ වගේම එයාලාගේ මේ රසය කියන සංවේදනයට අධිකව සංවේදී උනාම ආහාරයට ගන්න කෑම වර්ග ඉතා සීමිත වෙනවා. බලහත්කාරයෙන් කැවීම ආහාර පිළිබඳව Anxiety තත්ත්වක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ නිසා බලෙන් කෑම කැවීම විසදුමක් ලෙස භාවිතා නොකරන්න. හේතුව මේ දරුවන් කැමැත්තෙන් නොකා ඉන්නවා නෙමේ. එයාලට ඒ රසය කියන සංවේදන‍ය දැනෙන ආකාරය පාලනය කරගන්න බෑ.

දැන් රසය විතරක්ම නෙමේ ඒ ගන්න ආහාර වල Texture එක ගැනත් අපේ දරුවෝ අවධානය යොමු කරනවා. ඒ කියන්නේ දියාරුද, ඝන ආහාරයක් ද වගේ ඒක දිවට දැනෙන විදිය අතට දැනෙන විදිය මත පවා ඔටිසම් දරුවන්ගේ මේ ආහාර තෝරා ආහාරට ගැනීම හේතුවක් වෙනවා.

Oral Sensory / එහෙමත් නැත්තන් මුඛයට දැනෙන දැනීමේ අවම වීම මත සමහර ඔටිසම් බබාලා ආහාර නොවන දේවල් කෑමට ගන්න පුලුවන්. ඒ කියන්නේ අතට අහුවෙන හැම දේම කටේ දාගන්නවා. මේක “Pica” කියන තත්ත්වය වෙන්නත් පුලුවන්. ඒ තත්ත්වය තියනවා කියලා සැකයක් හරි තියනවා නං ඒ පිළිබදව දැනුවත් වෙලා දරුවට සහය දෙන්න.

ඕරල් සෙන්සරි ඇක්ටිවිටීස් කරන්න අමාරු නෑ. වයිබ්රේට් ටූත් බ්‍රශ් එකක් පාවිච්චි කරන්න, සබන් බෝල , පුළුන්, පිහාටු පිඹලා උඩ යවන්න දෙන්න. මිල්ක් ශේක් වගේ ගොඩක් දියාරු නැති දෙයක් බීම බටේකින් උරා බොන්න දෙන්න. වැඩි වෙලා හපන්න පුලුවන් කෑම දරුවට දෙන්න.

ආහාර පිළිබදව ඇති Anxiety තත්ත්වය මඟ හරවා ගන්න දරුවාට සහය දෙන්න.

  • එක එක රස ලොලි පොප් ,පොප්සිකල් ලබා දී හරහා අලුත් රස හඳුන්වා දෙන්න.
  • අයිස් කැට අල්ලන්න සහ හපන්න දෙන්න.
  • කෑම වර්ග අල්ලන්න ,අතගාලා පොඩි කරන්න දෙන්න
  • පාට පාට කෑම ,වෙනස් හැඩ තියන කෑම ලබා දෙන්න.
  • බබාලා කෑම කන වීඩියෝ ,කෑම වර්ග වල රූප පෙන්නලා දරුවාව ආහාර ගැනීමට උත්තේජනය කරන්න.

Auditory ( ශ්‍රවණය) 

ඔටිසම් දරුවන් බහුතරයක් මූණ දෙන ඉතා වේදනාකාරී අත්දැකීමක් තමයි ශබ්ධ දරාගන්න ඇති අසීරුතාවය.එයාලට අවශ්‍ය ප්‍රමාණයට ශබ්ධ ෆිල්ටර් වෙලා යන්නේ නෑ.දරුවෙක්ගේ ශබ්ධ සංවේදන ඌන වෙන්නත් පුලුවන්  සහ අධික වෙන්නත් පුලුවන් .

Auditory agnosia

මේකෙන් කියන්නේ පරිසරයෙන් ඇහෙන ශබ්ධ මොකක්ද කියලා හරියට අදුරගන්න බැරි වෙන එක. කලින් අහලා තියන ශබ්ධයක් උනත් ආයේ ඇහුවම දරුවට අදුරගන්න බැරි වෙන්න පුලුවන්. උදාහරණයකට ප්ලේන් එකක් යන සද්දයක් අපිට පොඩි කාලේ ඇහෙනකොට අපි ටක් ගාලා දුවනවා වත්තට.ගිහින් අහස බලනවා. අපි අදුරනවා ඒ ප්ලේන් එක යන සද්දේ කියන එක. ඒත් සමහර ඔටිසම් දරුවන්ට ඒක අදුරගන්න බෑ. ඒ නිසා නිතරම එක හා සමාන ශබ්ධ උනත් අඳුරගන්න බැරි නිසා අපි නිතරම ඒ ශබ්ධය එයාලට රූප සමඟම හඳුන්වා දෙන්න ඕනේ.

මේකේ තව කොටසක් තියනවා Auditory Verbal Agnosia කියලා. ඒකෙන් කියන්නේ භාශාව කියන්නේ මොකක්ද කියන එක දරුවන්ට වටහා ගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ නිසා නිතරම කෙටි සහ ඍජු වාක්‍ය දරුවාට කියන්න කියලා. මේක අපිට දරුවන්ට සන්නිවේදනයට උදව් කරන කොට වැදගත් වෙනවා.

අනික් එක තමයි Tonal agnosia කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර ඔටිසම් දරුවන්ට කතා කරන විලාසය එහෙමත් නැත්තන් හඩේ ටෝන් එක තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ අපේ හඩේ උස් පහත් වීම් සහ හැඟීම් වටහා ගන්න අමාරුයි කියන එක.ඒ නිසා කියන දෙය පැහැදිලිව හා සංක්ෂිප්තව කියන්න.

Auditory sensory therapy activities 

( ශ්‍රවණ සංවේදන තෙරපි ඇක්ටිවිටීස් )

  • පොඩි කාළේ අපි යෝගට් කෝප්ප දෙකක් අරන් ෆෝන් එකක් හදපු හැටි මතකද? අන්න ඒක හදලා දරුවා එක්ක අත්හදා බලන්න 
  • ඌන ශ්‍රවණ සංවේදනයක් ඇති බබාලට ටින් දෙකක් අරන් ඩ්‍රම් එකක් ආකාරයට සකසාගෙන කෝටු කැබැල්ලකින් එය වාදනය කිරීමට ඉඩ දෙන්න
  • ප්ලාස්ටික් බෝතලයක් අරන් ඒකේ භාගයක් පිරෙන්න හාල් සහ වැලි දමන්න. එය හොල්ලන ආකාරයට එයින් විවිධ ශබ්ධ ඇසෙන ආකාරය දරුවාට පෙන්වා දෙන්න.
  • සෞම්‍ය සහ මනස සන්සුන් කරවන සුළු සංගීතය දරුවාට අහන්න දෙන්න.

Tactile ( ස්පර්ශය ) 

Touch seeker – ස්පර්ශ සංවේදනය හොයාගෙන යන ඔටිසම් බබාලට සමහර වෙලාවට ඒක ඉතා වේදනාකාරී දැනීමක් විදියට දැනෙන්න පුලුවන්. ඒ නිසා සමහර දරුවන් තමන්ගේ ශරීරයට පවා හිරි හැර කරගන්න, ශරීරය හපා කන්න පෙළබෙන්න පුලුවන්. එයාලා හොයාගෙන යනවා විවිධ ස්පර්ශයන්/ දැනීමවල්

  • පළතුරු වර්ග දරුවාට ස්පර්ශ කරන්න දෙන්න සහ ඒවා කපන්න දෙන්න
  • සෙන්සරි සෑන්ඩ් බින් එකක් හදලා ප්ලේ කරන්න ඉන්න
  • කඩල සහ මුං ඇට අරගෙන ඒවා මිශ්‍ර කරලා දරුවාට කඩල ඇට ටික වෙන් කරලා කෝප්පයකට දාන්න දෙන්න
  • හෑන්ඩ් පේන්ට් කරන්න දෙන්න
  • දරුවාට නොයෙක් මෙටීරියල් ස්පර්ශ කරන්න දෙන්න.

දරුවාගේ ස්පර්ශ සංවේදන අවශ්‍යතාවය සමබර වෙන ඕනෑම play එකක් කරන්න දෙන්න.

Touch avoider – ස්පර්ශය මඟ හරින දරුවන්. ඇඳුම් අදින්නේ නැති, වතුර ටිකක් මඩ ටිකක් අතේ ගෑවෙනවට ආස නැති දත් මදින්න, කොණ්ඩේ අල්ලන්න දෙන්නේ නැති වගේ හැසිරීම් පෙන්නන බබාලාට අපි කියනවා එයාලා මේ ස්පර්ශ සංවේදනය මඟ හරිනවා කියලා. හේතුව ඒ සංවේදනයේ දැනීම අධිකව එයාලට දැනෙන නිසා.

  • බබාව නෑව්වට පස්සේ ටිකක් වැඩිපුර බබාව පිහිදාන්න වෙලාව ගන්න. ටවල් එකේ මෙටීරියල් එක ඇඟට දැනෙන්න වැඩි වෙලාවක් පිහිදාන්න.
  • බබාගේ කකුල් වල ඇඟිලි වල, අත් වල සිංදුවක් කිය කිය බොඩි ලෝශන් ආලේපනය කරන්න. එයා ඒකට අකමැති නම් දරුවාට කියන්න ඔබගෙ අතේ බොඩි ලෝශන් අරන් ආලේපනය කරන්න කියලා.
  • එක එක මෙටීරියල් බබාට හෙමින් ස්පර්ශ කරන්න දෙන්න.
  • වැලි,මඩ,හාල් වගේ දේවල් එක්ක සෙල්ලම් කරන්න දෙන්න. බබා ඒවා අලන්න අකමැති නම් මුලින්ම ඒවා zip lock බෑග් එකක් ඇතුලට දාලා මතුපිටින් අල්ලන්න දෙන්න..
  • බබා රිලැක්ස් එකේ ඉන්න කොට ඇගිල්ලෙන් බබාගේ පිටේ, කකුලේ, අතේ ඉලක්කම්, අකුරු හැඩ අදින්න. බබාට ඇහෙන්න ඒ අකුරු කිය කියා අඳින්න.
  • touch and feel පොත් ගෙනල්ලා දෙන්න. ඒවල තියන ලස්සන රූප නිසා ඒවා අල්ලලා බලන්න ඕනේ කියන උත්තේජනය බබාට දැනෙන්න පුලුවන් .

Smell ( ගඳ /සුවඳ ) 

සමහර සුවදවල් වලින් දරුවාගේ මනසට සන්සුන් බවක් වගේම ඒ හරහාම මනසට ලැබෙන උත්තේජනය අධික බව නිසා දරුවන් ඉතාමත් කළබලයට පත් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි බබාලට හදන සහ ගෙනල්ලා දෙන කෑම වලින් එන සුවදට එයාලා අකමැති වෙන්න පුලුවන් නිසා ඒ කෑම නොකා ඉන්න පුලුවන්. හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි සංවේදන වල සංවේදීතාවය අධික වෙනකොට අපිට නොදැනෙන, නොඇසෙන දේවල් අපේ දරුවන්ට ඇහෙන්න, දැනෙන්න පුලුවන් නිසා. ඒ නිසා ගඳ සුවඳත් ඒ වගේ.පෙට්‍රල් සුවඳ, ශැම්පූ සහ පර්ෆියුම් සුවඳවල් වලට දරුවන් අධිකව සංවේදී වෙන්න පුලුවන් කම නිසා ගොඩක් වෙලාවට දරුවන් සමහර තැන් වලට අරන් ගියාම කළබලයට පත් වෙලා මෙල්ට්ඩවුන් එකකට පවා පත් වෙන්න පුලුවන් .

දරුවන්ගේ මෙම තත්ත්ව දෙක සුවඳට ඇති අධික සංවේදනය හා ඌන සංවේදනය කියලා අපිට හඳුනාගන්න පුලුවන්.

ඔටිසම් දරුවන්ට සුවඳවල් හඳුනා ගැනීමට නොහැකි වීමත් වෙන්න පුලුවන්. මේක සරළ කාරණාවක් කියලා අපිට බැහැර කරන්න බෑ. සරළ උදාහරණයක් දෙන්නං. අපිට ගෙදර ගෑස් එකේ ලීක් එකක් නං හා යමක් පිච්චෙනවා නං අපි මුලින්ම ඒක හොයාගන්නේ, අපිට දැනෙන්නේ කොහොමද? ගෑස් සුවදක් අපිට එනවා. ඒ වගේමයි කර ගඳක් එනවා. ගෙදර ලිපේ තියන ව්‍යාංජනයක් කර වෙනවා නං අපිට මුලින්ම එන්නේ ඒකේ කර ගඳ. එතකොට සුවඳවල් වෙන් කරලා හඳුනා ගන්න බැරි දරුවන්ට මේවා නොදැනෙන්න පුලුවන් නිසා අනතුරක් වෙනකල් ඒ දරුවන් නොදැන ඉන්න පුලුවන්.

හරිම ලේසි හා ප්‍රායෝගික දේවල් පුලුවන් නං දරුවන් එක්ක එකතු වෙලා කරන්න තෝර ගන්න. ගෙදර කෝපි බෝතලේ දරුවට පෙන්නලා ඒකේ නම කියලා බෝතලේ බබාගේ නහයට ලන් කරලා ඒ සුවඳ හඳුන්වා දෙන්න. මිරිස් වගේ සැර දේවල් නැතුව අනිත් පහේ ජාති ඔහොම හඳුන්වලා දෙන්න පුලුවන්. බබා කුස්සියට ආව වෙලාවට එහෙම කරන්න. එළවලු, පළතුරු කපනකොට බබාව එකතු කරගන්න. අන්නාසි ගෙඩියක් කපලා අන්නාසි පෙත්තක් දරුවාගෙ නහයට ලන් කරන්න එයාට ඒක හඳුන්වාදෙන්න.

ඕනෙවටත් වඩා තෙරපි ඇක්ටිවිටීස් අපිට එදිනෙදා බබා එක්ක ගත කරන කාලයේදී කරන්න පුලුවන්. හැම දේම බබාට හඳුන්වා දෙන්න. එලියට අරන් යන්න. පරිසරයේ තියනවා හැම සෙන්සරි එකකටම අදාළ කරගන්න පුලුවන් ස්වාභාවික  දේවල්.

 Vestibule ( Movement )

ශරීරයේ සමබරතාවය හා ක්‍රියාවන් තමයි vestibule කියලා කියන්නේ. මේ සමබරතාව සම්බන්ධයි දෘශ්‍ය හා ශ්‍රව්‍ය කියන දෙකට. එතකොට අපේ ස්නායු වලට සිග්නල් එක හම්බෙනවා අපේ ශරීරය කොහොමද යම් යම් ක්‍රියාවන් වලදී කොයිතරම් හෙමින් හා වේගයෙන් හැසිරිය යුතුද කියන එක ගැන. ඔයාගේ බබා ඔලුවෙන් හිටගෙන ඉන්නවා නං, උඩ පනින්න, කැරකෙනවා නං ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ බබා සංවේදන හොයාගෙන (Sensory seeking) යනවා කියලා. අනික් පැත්තට බබාගේ සමබරතාව දුර්වල නම් ඒ කියන්නේ බබා මේ සංවේදනය මඟ හැරලා යනවා කියන එක. සමහර ඔටිසම් බබාලගෙ මේ තත්ත්ව දෙකම එකට තියෙන්න පුලුවන්. මේ වගේ දේවල් වලට තමයි තෙරපි වරුන් රූප සටහන් ඇඳලා ගෙදර කරන්න ඇක්ටිවිටීස් දෙන්නේ. ඒවා තමයි බිම හෝ පොලොවේ නොයෙක් හැඩ තළ ලඟින් ලඟින් ඇඳලා ඒවා ඇතුලට බබාට පැන පැන යන්න වගේ ක්‍රියාකාරකම් කරන්නේ. ඉස්සර අපි බට්ටෝ පනිනවා කියලා කරන්නේ. මේකත් ඒ වගේ.

ඉතිං පාර්ක් එකට බබාව එක්කන් යන්න. නිදහසේ එහා මෙහා දුවන්න පෙරළෙන්න දෙන්න, ඔංචිල්ලා වගේ දේවල් පාවිච්චි කරන්න දෙන්න. පඩිපෙල් නංගින්න බහින්න දෙන්න. පීනන්න, බයිසිකල් පදින්න, පොඩි කදු නඟින්න බබාව එක්කන් යන්න. බබාගේ සංවේදන අවශ්‍යතාවය හඳුනාගෙන කරන්න ඕනේ ඇක්ටිවිටීස් මොනවද කියලා තෝර බේරගෙන කරන්න.

Proposition ( ශරීර ඉරියව්ව) 

මේ කියන්නේ යම් යම් ක්‍රියාවන් සඳහා ශරීරයේ ඉරියව් හැඩ ගැසීම. උදාහරණයක් විදියට අපි මේ කරන හැමදේම මේකත් එක්ක සම්බන්ධයි. හිතන්න යමක් උස් ස්ථානයකින් ගැනීම, බෝලයක් පාස් කිරීම, බෑගයක් ඔසවාගෙන පඩි පේලියක් නැඟීම මේ වගේ හැමදෙයක්ම ශරීරයේ තියන මසල්ස් හා ජොයින්ට්ස් එක්ක සම්බන්ධ ක්‍රියාකාරකම්. බිත්තරයක් කුඩු කරගන්නේ නැතිව කඩාගන්න විදිය පවා මේ යටතට අයිතියි. මේ සංවේදනයේ අධික දැනීමක් සහිත ඔටිසම් දරුවන්ට යම් භාණ්ඩයක් සමඟ තමන්ගේ ශරීරය ක්‍රියා කරන අකාරය හඳුනා ගන්න අසීරුතා ඇති වෙන්න පුලුවන්. එහෙම බබාලා අතින් නිතරම බඩු වැටෙන්න, කැඩෙන්න පුලුවන්, කෝප්පේ මේසේ උඩ තියන්න ගිහින් ඒක හරියට තියාගන්න බැරුව පෙරළෙන්න පුලුවන්. එතකොට ඕනෙවට වඩා වැඩිපුර ලං වෙලා මිනිස්සු ලඟ හිටගන්න පුලුවන්. ඉතා තදින් පැස්ටල් කූර අල්ලගෙන පාට කරන්න ගිහින් ඒක කැඩෙන්න පුලුවන්, පැන්සල තද කරලා අල්ලගෙන ලියන්න ගිහින් කොළේ ඉරෙන්න පුලුවන්.

සෑම සංවේදන සංවේදීතාවයක ඌනතාවය සහ අධික වීම මත දරුවන් තම අවට පරිසරය දකින සහ දැනෙන විදිය විවිධ වෙන්න පුලුවන්. ඒ වගේම තමන්ගේ සංවේදන අසමබරතාවය මඟහරවා ගැනීමට නොයෙක් උපක්‍රමයන් භාවිතා කිරීමටද පුලුවන්. Stimming යනු එවැනි උපක්‍රමයකි. එම නිසා අසාමාන්‍ය හැසිරීම් ලෙස ඔටිසම් දරුවන්ගේ හැසිරීම් ලේබල් කිරීමට පෙර ඔටිසම් දරුවන් ඉල්ලා සිටින සහය ලබා දෙන්න. විවිධත්වය පිළිබදව දැනුවත් වී දරුවාව පිළිගන්න.