ඔටිසම් දරුවන්ව ” සමාජගත ” කරනවා කියන අදහසම ලංකාවේ බහුතරයක් සම්පූර්ණයෙන්ම වරදවා වටහාගෙන තියනවා. ඒකට එක හේතුවක් නිවැරිදි දැනුම සහ උපදෙස් අදාළ පාර්ශවයන්ගෙන් නොලැබීම. දරුවන්ව සමාජගත කරනවාය කියන එකෙන් අදහස් කරන්නෙ දරුවන්ට දරාගැනීමට අපහසු තැන් වලට අරන් ගිහින් බලහත්කාරකමින් ඒ තැන් වල රඳවාගෙන සිටීම නෙමේ.සමහර අම්මලා කියනවා “මම දරුවා අඩද්දිම එක එක තැන් වලට අරන් ගියා.ඒ නිසා දැන් හැමදේම පුරුදු වෙලා ” කියලා. මේකෙන් දරුවාට සිද්ධ වෙන්න පුළුවන් සදාකාලික බිඳීම ගැන යම් දවසක ඒ දෙමව්පියන් වටහා ගනී හෝ එහෙමත් නැත්තන් නැතිවෙයි. ඒත් දරුවාට වුන මානසික තුවාලය ඒ දරුවා ජීවිත කාලය පුරාවටම අරන් යයි.

බලහත්කාරකමින් දරුවන් සමාජගත කිරීම forced exposure එහෙමත් නැත්තන් flooding සිද්ධ වුනේ 1960 කාලයෙ ඉදන්. ඒත් පසු කාලිනව ඔටිසම් පුද්ගලයින්ගේ විවිධත්වය ගැන දනුම වඩා පුළුල් පරාසයකට පැහැදිලි කරගත්තට පස්සේ Modern neuroscience වලින් ඒ බලහත්කාරකම ඉතා තදින්ම ප්‍රතික්ශේප කරනවා.

අපේ දරුවන් ගැන කතා කරොත් අපේ දරුවන්ගේ ස්නායු විවිධත්වය නිසා සංවේදන සංවේදීතාවයන් වල දැනීම අඩු වැඩි වශයෙන් දැනෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක නිසා යම් යම් පරිසරයන් දරාගන්න ඉතාමත් අපහසු වෙන්න පුළුවන්.බලෙන් දරුවෙක්ට යම් පරිසරයක් හෝ අවස්ථාවක් දරාගන්න කියලා තියාගෙන හිටියොත් වෙන්නේ ඒ දරුවාගේ මොළයට ඉතා අධික ලෙස Sensory Data/ information ඇතුළ් වෙලා ස්නායු පද්ධතිය Fight / Freezing mode එකට මාරු වෙන එක. ඒකෙන් වෙන්නේ ඒ පරිසරය දරාගන්න හෝ කළමනාකරනය කරගන්න දරුවාට සහයක් ලැබෙන එක නෙමේ. ඒකෙන් වෙන්නේ දරුවාට ආතතිය, බය, පීඩනය දැනෙන එක.

Dr. Mona Delahooke (clinical psychologist) මේ ගැන කියනවා මෙන්න මෙහෙම.

  “Pushing children beyond their capacity creates a survival response, Not learning.

අපිට වඩා ලස්සන ක්‍රමවේදයක් නව දැනුම හරහා ලබා දීලා තියනවා දරුවන්ට සහය දෙන්න. එමලිගේ සංවේදන සංවේදීතාවය ඉතාම අධිකයි. ඒ නිසා Neurotypical දරුවන් වගේ එමලිට හැම පරිසරයකම පහසුවෙන් ඉන්න අසීරුයි. ඉතිං අපි එමලිට මෙන්න මේ අසීරූතාවය අවම කරගෙන කොහොමද එයාගේ අභියෝග කළමනාකරනය කරගන්නේ කියන එකට හෙමින් හෙමින් සහය දෙන ගමන් ඉන්නේ.

මේක මුලින්ම පටන් ගන්න ඕනේ දරුවාට පහසුවෙන් කළමනාකරනය කරගන්න පුළුවන් පරිසරයන් වලින්. ඒ නිසා අපි සෙනඟ අවම, ශබ්ධ අඩු, ඇහැට සහ මනසට සනීප පරිසරයන් තෝරගන්නවා එමලි එක්ක යන්න. මේවා එමලිට කෙටි සහ ලස්සන අත්දැකීම් වෙන්නයි අපිට ඕනේ. එමලි විතරක් නෙමේ එමලිගේ අක්කා ඒ යන තැන් වලට කැමති වෙන්නත් ඕනේ. අපි Restaurant එකකට යනවා නං බඩ පිරෙන්න කන්න බලාගෙන යන්නේ නෑ. අපි යන්නේම එමලිට පහසු කොච්චර වෙලාවක්ද අන්න ඒ වෙලාව එතන ඉන්න.ඒ නිසා ගියාම ඉක්මනට කන්න පුළුවන් සරල කෑමක් තමයි Order කරන්නේ.එමලිට ගෙදරින් හොඳට කෑම කවාගෙන තමයි මම අරන් යන්නේ. ඒකට හේතුව එමලි කන්නේ තෝරාගත් කෑම වර්ග ටිකක් නිසා. ඒ යන තැන එමලිට අලුත් කෑම කිසිම බල කිරීමකින් තොරව අත් හදා බලන්න අපි ඉඩ දෙනවා. එතනින් එහාට එතන ශබ්ද එමලිට හිරිහැරයක් වෙනවා නං Noise canceling headphones දෙකත් අරගෙන යනවා. අවශ්‍ය උනොත් එමලිට පාවිච්චි කරන්න පොඩි Fidgets toys කීපයකුත් අරන් යනවා.

කොහෙට හරි ගියොත් එක තැනක එමලි ඉදගෙන ඉන්නම ඕනේ නෑ. ටිකක් ඒ අවට එයා එක්ක ඇවිදිනවා. සෙරෙප්පු දෙක දාගෙන ඉන්න එක අපහසුවක් නං ඒකත් ගලවලා පහසුවෙන් ඉන්න ඉඩ දෙනවා. මේ නිසා එමලිට වඩා හොඳට ඒ තැන Enjoy කරන්න අවස්ථාව හම්බෙනවා. නිකන් හරි එමලිගේ ඉරියව් සහ හැසිරීම් වලින් එමලිට එතන හිටියා ඇති කියන එක අපිට තේරුනාම අපි හරි ඉක්මනට ඒ තැනින් එමලිව අරන් එනවා. මේ වගේ තමයි ක්‍රමක් ක්‍රමයෙන් අපි දරුවන්ට විවිධාකාර සමාජ අවස්ථාවන් හඳුන්වා දෙන්න ඕනේ.

එතකොට බලහත්කාරකම සහ දඬුවම හරහා ඔටිසම් දරුවන්ට සහය දෙන්න ඕනේය කියන මිථ්‍යාව සහ නිවැරිදි නොවෙන උපදෙස් දෙන ඇකඩමික් වෘත්තිකයින්ට පුළුවන් මේ කියන කාරණා ගැන වැඩිදුර අධ්‍යනය කරන්න. ඒකට මම යෝජනා කරනවා මුලින්ම Markram ගේ ” The Intense World Theory “ එක Study කරන්න කියලා.ඊට පස්සේ Stephen Porges ගේ “Polyvagal Theory එක කියවන්න.

ඒක පදනම් වෙන්නේ ඉගෙන ගැනීමට පෙර ආරක්ෂාව සහ මනස සන්සුන් කරගැනීමට අවශ්‍යයි කියන අදහස මත. 

මුල් සබැඳිය : ඔටිසම් දරුවන්ව සමාජගත කිරීම