නීතීඥ අසංක ඉශාන් දයාපාල ගේ “UNSEEN” Drama එක ගැන අපි මීට කලින් පෝස්ට් එකක් දැම්මා. ඒකෙන් කතා කරන්නේ Autistic Masking ගැන. සරලවම කියනවා නං ඔටිසම් දරුවාට කුඩා කාලේ ඉඳන්ම තමන්ගේ විවිධත්වය සඟවා ගන්න පුහුණු කිරීම සහ සාම්ප්‍රදායික සමාජ බලාපොරොතු සහ රාමූන් මත ජීවත් වෙන්න බල කිරීම.
ඉතිං එතුමා ඔටිසම් පිළිබඳව බහුතරයක් කාරණා ඉතා නිහතමානීව ඇමතුම් හරහා මගෙන් දැනුවත් වුනා. ඊට ප්‍රධාන හේතුව උනේ ඔටිසම් සම්බන්ධයෙන් වචනයක් වත් වැරදීම් නොවෙන්න වගබලාගන්න ඔහුට තිබ්බ වගකීම සහ උනන්දුව. උදාහරණයක් විදියට Charana Tv එකේ වැඩසටහනකට ඔහුත් එක්ක සහභාගී වෙන්න කියලා කරපු ඉල්ලීම මට ප්‍රතික්ශේප කරන්න සිද්ධ උනා එමලි ගොඩක් වෙලා මම නැතුව ඉන්න එච්චරට කැමැත්‍තක් නැති නිසා. ඒත් ඒ වෙනුවට Autistic masking ගැන සහ ඔටිසම් ප්‍රජාව මුහුණ දීලා තියන අභියෝග ගැන ඒ වැඩසටහනේ කියන්න ඕනේ අවශ්‍යම තොරතුරු ඔහුගේ ඉල්ලීම පරිදි පැහැදිලිව ලියලා ඔහුට යොමු කරා.
ඒ අතරේම Drama එකත් එක්ක බෙදාදෙන්න අත් පත්‍රිකාවක් සූදානම් කරන්න ඒක ලියලා දෙන්න කියලා කරපු ඉල්ලීම අනුව මම ඒක සම්පූර්ණයෙන්ම ලියලා යැව්වා. ඒක මම ලිව්වේ ඔටිසම් පුද්ගලයෙක්ට මේ සමාජය දැනෙන විදිය සහ තමන්ගේ විවිධත්වය සඟවාගෙන සිටීමේ වේදනාකාරී අත්දැකීම දැනෙන විදිය. භාශා දෙකෙන්ම ඒක ලිව්වා වඩා සාර්ථක සමාජ දැනුවත් කිරීමක් ඒ හරහා සිද්ධ වෙන්න ඕනේ නිසා.
◈ පහළ තියෙන්නේ ඒ අත් පත්‍රිකාවේ සඳහන් වෙන ඔටිසම් විවිධත්වය සඟවාගෙන ජීවිත් වීමේදී ඔටිසම් පුද්ගලයෙක්ට ගෙවන්නට සිදුවන වන්දිය ගැන.
ඔබලා මට දාගන්නට යැයි කියූ මගේ නොවන මේ වෙස් මුහුණ මා නැවත ඔබලාට භාර දෙන්නෙමි. සාම්ප්‍රදායික වෙස් මුහුණ පිටුපස යුග ගණනාවක් පුරා සිර වී තිබූ ආත්මීය විලාපය මේ මහ පොළොවේ සියලු අස්සක් මුල්ලක් නෑර දෝංකාර දිය යුතුය. ඇට මිදුලු වලට පවා ගිලා බැස ඇති වේදනාවෙන් මට නිදහස් වන්නට උවමනාය.
මගේ අන්න්‍යතාවය “ඔටිසම්” ය. මගේ ස්නායු පිහිටීම ඔබලාගේ සාම්ප්‍රදායික ස්නායු සැකැස්මට වඩා වෙනස් ය. ඒ වෙනස ඛේදවාචකයක් නොවේ. එහෙත් මට මුහුණ පාන්නට සිදු වූ ඛේදවාචකය නම් සමාජය විසින් මගේ විවිධත්වය පිළිගැනීම ප්‍රතික්ශේප කිරීමයි.
මගේ ඔටිසම් අන්න්‍යතාවය මේ මානව විවිධත්වයේම ස්වාභාවික කොටසකි. මා මේ ලෝකය අත් විදින්නේ ඔබලාට මතු පිටින් වටහාගැනීමට අසීරූ සංවේදන සංවේදීතා හැඩයන්, රටාවන් හා බැඳී ගිය සබඳතාවයන් හරහාය. මා ලෝකය සිසාරා බලන්නේ මහා පර්වතයන් මෙන් මා ඉදිරියේ තිබෙන ආලෝකය, ශබ්ධය, දෘශ්‍ය, ස්පර්ශය හා අනෙකුත් සංවේද සංවේදීතාවයන් වල මා හැපී තුවාල වන්නට නොදී පරිස්සමටය.
මා ඔබට ප්‍රේම කරමි. නන්නාදුනන, ආගන්තුක ඔබට ප්‍රේම කිරීමට මගේ උණුසුම් හදවතට හැකිය. එහෙත් මට ඔබට ඒ ප්‍රේමය කියන්නට අපහසුය. ඔබගේ දෙඇස් දෙස ඍජුව බැලීමට අපහසුය. අපගේ ඇස් හමුවන විට අපට සම්මුඛ වන යථාර්ථය මගේ ස්නායු වලට දරාගත නොහැක. එය ශාරීරික වේදනාවකි.
මගේ සන්නිවේදනය වාචිකව හෝ එසේත් නැත්නම් වෙනත් සන්නිවේදන ක්‍රමයන් හරහා ඉදිරිපත් විය හැකිය. මා කතා නොකරන්නේ මට ඔබව නොවැටහෙන නිසා නොව මා කතා නොකරන්නේ මට එය අසීරූතාවයක් ගෙන දෙන නිසාය. ඕනේම සන්නිවේදන ක්‍රමයක් ඔබ පිළිගන්නේ නම් මට මෙතැන් සිට ගැඹුරු මුහුදේ සිටින Dumbo Octopus ලා ගැනද Goblin Shark ලා ගැනද ඔබ හා බෙදාගන්නට හැකිය.
ඔබගේ සුවඳ, ස්පර්ශය, ඔබ හැඳ සිටින ඇඳුමේ පැහැය පවා මගේ ස්නායු හරහා ගිනි පුපුරක් සේ ගමන් ගන්නා නිසා මා තදින් ඇස් වසා ගමි. දැවෙනා මනස නිවා ගැනීමට මා එකම ගීතයේ එකම කොටස දස වරක් නැවත නැවත මුමුණමි. ඔබගේ සුදු සපත්තුවේ ඇති කුඩා මඩ පැල්ලම පවා මගේ මනසට නොනවත්වා ඔච්චම් කරයි. එහෙත් මා නිහඬව සිටින්නේ ඔබ මා අමුතු මනුස්සයෙක් යැයි කරන විනිශ්චයෙන් ගැලවීමටය.
මේ ලෝකය ඉතා වේගයෙන් එහා මෙහා යයි. කුහුඹුවන් මෙන් කඩිසරව එහා මෙහා යන මිනිසුන්, අසමබර විශාල ගොඩනැගිලි, නිවි නිවී පත්තු වන මාර්ග සංඥා, වාහන වලින් එකිනෙක පරයමින් නාද වෙන නලා හඩ, පාර අයිනේ උණු තෙල් තාච්චි වල බැඳෙන අල පෙති පුපුරන හඩ මගේ සාමකාමී මනස සම්පූර්ණයෙන් හැඩි කර දමන්නට සමත් ය. මා ජනාකීර්ණ නගරය මැද උන් තැනම කන් වසා ගනිමින් හිඳ ගත්තෙමි. පිස්සෙක්ද? ලෙඩෙක් ද? ඔබ ලා මා වටා රැස්ව මුමුණයි. සමාවෙන්න. මා නැවත වෙස් මුහුණ අපහසුවෙන් පැළඳගත්තෙමි.
කුඩා කළ මගේ විවිධත්වය පවුල තුළින් ප්‍රතික්ශේප විය. කම්බුල් නිල් වන්නට පහර පිට පහර වැදුණු පසු මා ඔවුන් දුන් වෙස් මුහුණ පැළඳගතිමි. පාසලේදී ගුරුවරුන් ඉදිරියේත් අනෙක් සිසුන් ඉදිරියේත් “සාමාන්‍ය” ලෙස හැසිරෙන්න යැයි අම්මාගේ අවවාදය පිළිපැද්දෙමි. ඉතිං මා ගැඹුරු මුහුදේ මෝරුන් ගැන කතා කළේ නැත. මගේ ශරීරය ඉදිරියටත් පසුපසටත් පද්දන්නට ඇති දැඩි උවමනාව දත්මිටි කමින් මා නතර කර ගත්තෙමි. ගුරුවරියට සවන් දෙන්නට කොතරම් උත්සාහ ගත්තත් ඇයගේ ගිනි රතු සාරිය මගේ ඇස් තුළට ඉඳිකටු අනිනවාක් මෙන් විය. යකඩ දම්වැල් සිය දහසකින් මා තදින් බැඳ තබනවාක් මෙන් දැනුනි. එහෙත් දඩුවමට බිය නිසා මා වෙස් මුහුණ ගැළෙව්වේ නැත.
මා “අසාමාන්‍ය, පිස්සු, අමුතු, විකාර, මෝඩ යනාදී ලේබල් දහසකින් ගැලවීමට ජීවිතයෙන් හරි අඩක්ම මාව සඟවාගෙන හුස්ම ගත්තෙමි. විටෙක මා විසාල මහ මුහුද ඉදිරියේ සිට ගත්තෙමි. උස් පාලම් අයිනට වී පහල මුරන්ඩුව ගලන ගඟ දෙස බලා සිටියෙමි. මාව සදහටම මේ වේදනාවෙන් බේරා ගන්න යැයි ඉල්ලා සිටියෙමි.
ඔබගේ බලාපොරොත්තු මගේ ආත්මයට බරය. ඔබලාගේ සාම්ප්‍රදායික සාමාජ මනුශ්‍ය හැඩය මට මර උගුලකි. මගේ විවිධත්වය නිරන්තරයෙන් වරදවා නිර්වචනය කරන වෛද්‍යවරුන්, තෙරපිවරුන්, ගුරුවරුන්, මාධ්‍ය හා රජය මට නපුරු සිහිනයක් සේ දැනෙයි. මා මෘගයින් පිරුනු කෙළවරක් නොපෙනෙන අඳුරු වනාන්තරයක අතරමං වී සිටින ගොදුරක් සේ ජීවත් විය. ඉතිං මේ වෙස් මුහුණට වඩා මරණය මට සැනසිලිදායකය.
මා වෙස් මුහුණ ගලවා දමන්නෙමි. එය කෑළී කෑළී වන්නට පාගා දමන්නෙමි. මා ඔටිසම් අන්න්‍යතාවය සහිත ස්වාභාවික සාමාන්‍ය මනුශ්‍යයෙකි. මගේ විවිධත්වය කුඩා වෙස් මුහුණකින් වසා සඟවා තැබීමට බැරි තරම් විශාලය. Dumbo Octopus ලාටත් වඩා විශාලය. මා ඔබට මා ලෙසින් ප්‍රේම කරන්නෙමි. විවිධත්වය පිළිගැනීමේ ඔබලාගේ සෙනහසේ දෑත් මා ආරක්ශා කරනු ඇතැයි මා ප්‍රථම සහ අවසාන වරට විශ්වාස කරන්නෙමි.
රමේශා.