කවීශා වීරසිංහ අපේ ” ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් සමූහයේ” මුල් කාලීන සාමාජිකාවක්. කවීශාගේ පුතාගේ කුසලතා අපි එකට සැමරුවා වගේම අභියෝග කාලවල් වලදී අපි ඒවටත් එකට මුහුණ දුන්නා. අපේ සමූහයේ දෙමව්පියන් අපිට පුලුවන් වපසරිය ඇතුලේ සමාජය දැනුවත් කරනවා අපේ දරුවන්ගේ විවිධත්වය ගැන.

මම කවීශා ට ආදරේට කතා කරන්නේ චාරි කියලා. ඒ නිසා මම ඒ නමින්ම මෙතනින් එහාට කතාව ගෙනියන්නම් .චාරි මට මුලින්ම එයාට පොතක් ලියන්න අදහසක් තියනවා කිව්වම මම පුදුමාකාර විදියට සතුටු උනා. ලංකාවේ Neurotypical දරුවන්ට වගේම Neurodivergent දරුවන්ටත් ඔටිසම් ගැන දැනුවත් වෙන්න සහ සුභවාදීව ඒ විවිධත්වය දිහා බලන්න කිසිම පොතක් මේ වෙනතෙක් ලංකාවේ ලියවිලා නෑ. ලංකාවේ නිර්මාණය වෙන බහුතරයක් නිර්මාණ වල ” ඔටිසම් ” විවිධත්වය පෙන්වා දෙන චරිත හරහා සමාජයට දෙන්නේ ” මෝඩ, බුද්ධිමට්ටම අවම සහ, පවුලට බරක් ” කියන අදහස.එහෙම නැත්තන් ඒ චරිත හරහා මිනිස්සුන්ට විනෝදය සපයනවා. මේවා ඔටිසම් දරුවන්ගේ දෙමව්පියන්ට කොයිතරම් අප්‍රසන්න කාරණාද කියන එක මේ කලා නිර්මාණකරුවන් වටහා ගන්නේ නැහැ. ඒකට හේතුව විවිධත්වය පිළිගැනීමට තරම් දැනුවත්කමක් නැති කම.

ඉතිං විශාල අභියෝග රැසකට මූණ දෙමින් චාරි පොත ලිව්වා. මට පුලුවන් උනේ වචනින් චාරීට ඉතා අල්ප සහයක් ලබා දෙන්න විතරයි. ඒ ගැන මම චාරිගෙන් සමාව ඉල්ලනවා සහ මේ පොත ගැන ලියන්න මේ තරම් කාලයක් ගත්ත එකටත් මම සමාව ඉල්ලනවා.

ඇයි ලංකාවේ ඉන්න සෑම දරුවෙක්ම විවිධත්වය ගැන පාසල් අධ්‍යාපනය සහ තම පවුල ඇතුලින් ඉගෙන ගන්න ඕනේ? ඒකට හේතුව සෑම මනුශ්‍යයෙක්ම ඇතුලාන්තයෙන් සහ පිටතින් එකිනෙකාට වෙනස් නිසා සහ මෙන්න මේ වෙනසට ගෞරව කිරීම හරහා ගොඩනැගෙන සම්බන්ධකම් හරි ලස්සන නිසා.

මනුස්සයෙක්ගෙ හමේ වර්ණය, කොණ්ඩයේ හැඩය, ශරීරයේ හැඩය සහ මනසේ විවිධත්වය ගැන දරුවන් ඉගෙන ගන්න ඕනේ. දරුවන් ඉගෙන ගන්න ඕනේ අනෙකාගේ කුසලතා වලට අත්පුඩි ගහලා ප්‍රශංසා කරන්නත් අහියෝග වලදී සහය දෙන්නත්.

චාරිගේ පොතේ නම ” This is my cool friend ,Tharu “.

මේ කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත දෙකක් වටේ. ඒ තමයි Hiru සහ Tharu කියන දරුවො දෙන්නා. Thru කියන්නේ Neurodivergent එහෙමත් නැත්තන් ඔටිසම් දරුවෙක්. එතකොට Hiru කියන්නේ Neurotypical / ඔටිසම් නොවෙන දරුවෙක්. Hiru ට ප්‍රශ්න ගොඩක් මතු වෙනවා Tharu ගැන. හේතුව Tharu ගේ හැසිරීම සහ හැඩය සාම්ප්‍රදායික නැහැ. ඉතිං Hiru ගේ ඒ ඔක්කොම ප්‍රශ්න වලට එයාගේ අම්මා හරි ලස්සනට පැහැදිලිව උත්තර දෙනවා. අවසානයේදී Hiru සහ Tharu හොඳම යාලුවො දෙන්නෙක් වෙනවා.

මම පොතේ කතාව ගැන මීට වඩා විස්තර කියන්න යන්නේ නෑ. ඒත් පොත හරහා මතු කරන වැදගත් කතාවක් තියනවා.

අපිට අපේ දරුවන්ගේ විවිධත්වය සඟවන්න හෝ මඟ හරින්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව ඔටිසම් කියන්නේ අපේ දරුවන්ගේ ස්වාභාවික හැඩය සහ අනන්‍යතාව නිසා. එතකොට ඔටිසම් නොවෙන දරුවන් ඔටිසම් ගැන දැනුවත් වීම හරහා ගොඩ නැඟෙන වටහා ගැනීම සහ තේරුම් ගැනීම කොයිතරම් වැදගත් සහයක් අපේ දරුවන්ට ලැබෙනවාද කියන එකට මම පොඩි උදාහරණයක් කියන්නං.

මගේ සහෝදරියන්ගේ දරුවන් සියළුම දෙනා එමලිගේ ඔටිසම් අනන්‍යතාව ගැන දැනුවත්. ඒ දැනුවත් වීම නිසාම එමලිගේ අභියෝග ගැනත් ඒ දරුවන්ට හොඳ වැටහීමක් තියනවා. මේ සහෝදර සහෝදරියන් එකතු වුනාම එයාලට කතා කරන්න , එකට එකතු වෙලා කරන්න ගොඩක් වැඩ තියනවා. ඒ අතරේ එයාලා එකතු වෙලා වීඩීයෝ බලනවා.ෆිල්ම්ස් බලනවා. ඒත් එමලිගේ Sounds sensory sensitivity එක අධික බව මේ දරුවන් දන්නවා. ඒ නිසා බලන වීඩීයෝ බලන්නේ සද්දේ අඩු කරලා. එතනින් එහාට ආච්චි අම්මලගෙ ගෙදර මේ කට්ටිය එකට එකතු වුන දවසට එහේ ගෙදර Tv එක දාන්න කියලා කිසිම දරුවෙක් ඉල්ලා හිටින්නේ නෑ. ඒකට හේතුව එමලිගේ දෘශ්‍ය සංවේදන සංවේදීතාවය අධික නිසා එමලිට Tv එක හිරිහැරයක් වෙනවා කියලා දන්න නිසා. ඒ වගේම එමලිගේ අවම වාචිකව සන්නිවේදනය ,කෙළින්ම ඇස් දිහා නොබැලීම වගේ කාරණාත් එමලිගේ Play හැඩය වෙනස් වීම ගැනත් මේ දරුවන්ට ගැටළුවක් නැහැ. ඒකට හේතුව විවිධත්වයට වටහාගෙන තියන නිසා.

මෙන්න මේ වටහා ගැනීම සහ විවිධත්වයට ගෞරව කිරීමෙන් ඇති වෙන ලස්සන සමාජ වෙනස්කම ගැන අපිට බලාපොරොත්තුවක් තියනවා. අන්න ඒ බලාපොරොත්තුව තමයි චාරී මේ පොත හරහා පෙන්වා දෙන්නේ.

චාරි කියන්නේ අම්මා කෙනෙක්. තමන්ගේ දරුවාගේ විවිධත්වය වෙනුවෙන් පෙනී ඉන්න අම්මා කෙනෙක්. චාරිට හීනයක් තිබ්බා. ඒ හීනේ තමයි චාරිගේ යශ්වින් අනාගතයේ දවසක එයා ලියපු මේ පොත කියවනවා බලන එක. මම හිතනවා ඒ මොහොත තමයි චාරි යශ්වින්ට එයාගේ විවිධත්වය කොයිතරම් ලස්සනද කියලා කියලා දෙන මොහොත.

Kaveesha “Chari” Weerasinghe

 

ආදරණීය කවීශා ඔයා ,මම සහ අපි හැමෝම ගත වෙන හැම දවසකම, හැම තත්පරයකම දකින එකම හීනය අපේ දරුවන්ගේ විවිධත්වය වටහා ගත් සහ විවිධත්වයට ගෞරව කරන සමාජයක අපේ දරුවන් හිනා වෙලා ජීවිතය දිහා බලන එක. ඉතිං Thank you වටිනාකම වචනින් කියලා නිම කරන්න බැරි මේ ලස්සන පොතට.