Autistic Eloping ගැන අපි කීප වතාවක්ම පේජ් එකෙන් කතා කරා. ලංකාවේ මේ ගැන කතා නොකරන්නේ සහ දැනුවත් කරන්නේ නැත්තේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ. හැම දෙමාපියෙකුම, ගුරුවරුන්,පෙර පාසල්, පාසල් ඇතුළු සියළුම ආයතන, පොලීසිය යන මේ සියල්ලම Autistic Eloping ගැන දැනුවත් වෙන්න ඕනේ. අපේ පාලනයෙන් තොර දෙයක් තමයි ඔටිසම් දරුවන් ක්ෂණිකව මනසට නැඟුනු සිතුවිල්ලක් මත ඉන්න ස්ථානයෙන් යෑම. හැම ඔටිසම් දරුවෙක්ම මේක කරන්නේ නෑ. හැබැයි එමලි ඒ වගේ ඉන්න තැනින් එයාට හිතුන තැනකට දුවලා යන දරුවෙක්. එමලිට එහෙම යන එක අනතුරුදායකයි කියලා දැනීමක් නෑ. ඒකයි අපි වත්තේ වටේට තාප්පෙන් උඩට ඒ කියන්නේ පොළොවේ ඉඳන් බැලුවොත් අඩි 12 ක් උසට වත්ත වටේම green wire mesh එකක් ගහලා තියෙන්නේ. ගේට් එකත් නිතරම ඇතුලින් ලොක් කරලා තියෙන්නේ. හේතුව එමලි ඕනේම තප්පරයක එයාට හිතුනොත් එළියට යන්න අවස්ථාවක් ලැබුනොත් ගෙදරින් යයි. ඒ වගේම අපි ගෙදරින් එළියට ගියත් එමලිගේ අත අත් හරින්නේ අපිට එයාව ආරක්ෂා කරගන්න පුලුවන් ඉඩක විතරයි. අවුරුද්දකට දෙතුන් වතාවක් අපි වෙනත් රටවල් වල ඔටිසම් දරුවන් ගෙදරින් එහෙම ගිහින් අනතුරු වලට මූණ දීලා මිය යන අවාසනාවන්ත සිදුවීම ගැන අහනවා.
NEW ORLEANS වල සති තුනකට කලින් Bryan Vasquez ගෙදර කාමරේක ජනෙල්ලෙන් පැනලා එළියට ගියා. Bryan වාචිකව සන්නිවේදනය නොකරන අවුරුදු 12 ක ඔටිසම් දරුවෙක්. දෙමාපියන් පොලීසියට දැනුම් දුන්නට පස්සේ ඔවුන් මේ ගැන හොයා බලන්න එතන්ට ඇවිල්ලා තියෙන්නෙ පැය ගණනාවකට පස්සේ. ඒ ගැනත් දැන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම මම තව ලිපියක දැක්කා Bryan ගේ අම්මා ගැනත් පරීක්ශනයක් පවත්වනවා කියලා. හේතුව මීට පෙර Bryan ගේ අම්මට විරුද්ධව පැමිණිලි ලැබිලා තියනවා කියලා. ඒ ගැන කොහොම උනත් Autistic Eloping කියන්නේ නං වැඩිහිටියන්ගේ පාලනයෙන් තොර දෙයක්.
❇️ අපිට කරන්න පුලුවන් දරුවාව ආරක්ෂා කරගන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්න එක.

සති තුනකට පස්සේ Bryan ගේ ප්‍රාණය නිරුද්ධ ශරීරය ඔවුන්ට හම්බුනේ කලපුවක කිඹුලන් දෙන්නෙක් වට කරගෙන ඉන්නකොට.මරණ පරීක්ෂණ වාර්තාවට අනුව Bryan Vasquez මිය ගිහින් තියෙන්නේ කිඹුලන් ඔහුව ගොදුරු කරගන්න උත්සාහ ගැනීම නිසා. මේ වගේ කතා දරාගන්න ඉතාම අපහසුයි. මේ වගේ උන පළවෙනි සිදුවීමවත් අවසන් එකවත් නෙමේ. ඒකයි අපි Autistic Eloping ගැන අනිවාර්‍යෙන් දැනුවත් වෙලා දරුවන්ව පරිස්සම් කරන්න ඕනේ. දරුවන්ගේ ස්නායු විවිධත්වය මත Eloping හැසිරීම ඕනේම වයසක් දක්වා තියෙන්න පුලුවන්.
වෙන රටවල් වල ඔටිසම් දරුවන්ගේ ආරක්ෂාවට එක එක නිෂ්පාදන තියනවා. Wrist leash තියනවා.දරුවගේ අතටයි අම්මගේ හෝ තාත්තාගේ අතටයි සම්බන්ධ කරන්න පුලුවන්. Online ඒක ගෙන්න ගන්න පුලුවන් ලංකාවේ.ලොකු ගාණක් වෙන්නේ නෑ.එතකොට සෙනඟ වැඩියෙන් ගැවසෙන තැන් වලදී ඒක දරුවට පාවිච්චි කරන්න පුලුවන්.
ගුරුවරුන්ව මේ ගැන දැනුවත් කරන්නම ඕනේ. හේතුව ඉතාමත් සන්සුන්ව පුටුවක ඉදගෙන ඉන්න දරුවා තමයි ක්ෂණිකව එයාගේ මනසට නැඟුන සිතුවිල්ල ඔස්සේ ඉන්න තැනින් දුවලා යන්නේ. එමලි අන්න ඒ වගේ දරුවෙක්. දැන් සති දෙකක විතර ඉඳන් එමලි ගේට් එක ළඟට ගිහින් බලලා එනවා. එයාට ඒක ඇරගන්න බැරි බයිසිකල් චේන් එකක් දාලා ලොක් කරලා තියන නිසා. ඒත් මට එමලිව විස්වාස නෑ.එමලිට හිතුනොත් එක තප්පරයක් ඇති ගේට්ටුවට නැගලා පාරට යන්න. එහෙම නැත්තන් උස කොළ පාට දැල උඩට නැගලා එහා පැත්තට යන්න. අන්න ඒ නිසාම තමයි එමලි වත්තේ ඉන්නකොට එයාව පේන මානෙන් මම ඉන්නේ. Eloping හැසිරීම නතර වෙන කාලයක් ගැන අපිට කියන්න බැහැ. හේතුව ස්නායු විවිධත්වය නිසා.
හැකිතාක් දරුවන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන්න.Tracker එකක් බෑග් එකේ හරි ඇඳුමේ හරි සෙට් කරන්න.දරුවාට වාචිකව සන්නිවේදනය කරන්න අපහසු නං දරුවගේ නම, දෙමාපියන්ගේ දුරකථන අංක , දරුවාගේ විවිධත්වය ගැන සදහන් කරපු කාර්ඩ් එකක් necklace එකක් විදියට හරි දාන්න. ගෙදර නං උපරිම ආරක්ශාව ගැන හිතන්න.

