( Richard Rook ඔටිසම් තරුණයෙක් නෙමේ.උපතේදී ඇති උන ගැටළුකාරී තත්ත්වයන් නිසා විශාල අභියෝග සමඟ ජීවත් වෙන්න සිදු වී ඇති තරුණයෙක්)
Andrew Wiseman ” Documentary style ” එකේ Movies 3 ක් කරා Richard Rook ගැන. Richard කියන්නේ මේ වනකොට අවුරුදු 45 ක තරුණයෙක්. ඔහු උපතේදී ඇති වුන ගැටලුකාරී තත්ත්වයක් නිසා intellectual disability, වාචිකව සන්නිවේදනය නොකරන 24/7 රැකවරණය අවශ්‍ය පුද්ගලයෙක්. ඔහුගේ මව වන Deirdre Croft ට දැන් වයස අවුරුදු 72ක්. මේ අම්මා තමයි දීර්ඝ කාලයක් පුරාවට තමන්ගේ පුතාව රැකබලා ගන්නේ.
Andrew Wiseman මුලින්ම මේ පවුල ගැන කතාව විශේශයෙන් Richard Rook ගැන මුල්ම චිත්‍රපටය නිර්මාණය කරේ 1992 වර්ශයේදී. ඒකේ නම Driving with Richard. ඊට පස්සේ Wonder Boy කියන චිත්‍රපටය හැදුවා 2021දි. අවසාන එක උනේ ” On Richard’s Side” කියන චිත්‍රපටය. ඒ 2016 දී.
ආයෙත් Richard Rook ගැන කතා බහ ආරම්භ උනේ එයාගේ අම්මා Deirdre තමන් මිය ගිය පසු ඒ බව පුතාට වටහා ගන්න බැරි නිසා පුතාට බලන්න වීඩියෝ එකක් කරපු නිසා. Richard වීඩියෝස් බලන්න හරි කැමතියි. ඒ නිසා අම්මා හිතුවා මම නැති උන දවසට කොහොමද මගේ පුතා මම නැති බව වටහා ගන්නේ කියලා. ඒ නිසා පුතාට නිතරම මම එයාගේ සමීපයේ ඉන්නවා කියන එක ඒත්තු ගන්වන්න මම වීඩියෝ එකක් කරනවා කියලා. ඉතිං Deirdre එයාගේ Office room එකේ ඉඳගෙන තනියම ඒ වීඩියෝ එක පටිගත කරා.මේක තමන්ගේ පුතාට ලබා දෙන පුද්ගලික පණිවිඩයක් නිසා සමාජයට මුදා හැරලා නැහැ. ඒත් ඒ ගැන ABC ( Australian Broadcasting Corporation) චැනල් එකේ “Raising Richard.” කියන වැඩසටහන හරහා කතා කරා. ඒ වීඩියෝ එකේ යම් යම් කොටස් ඔවුන් සමාජගත කරා.
ඔටිසම් සහ intellectual disability දරුවන් ඉන්න පවුල් වල මේ වගේ වීඩියෝ හදන එක අළුත් දෙයක් නෙමේ. ඒවට කියන්නේ legacy videos කියලා. මෙහෙම කරන්නේ තමන් මිය ගිය පසුත් තමන්ගේ දරුවා සමඟ ඒ Emotional connection එක පවත්වාගෙන යන්න.
අපි දැන් Richard Rook සහ එයාගේ අම්මා ගැන ටිකක් කතා කරමු. Richard ගැන ABC චැනල් එකේ වැඩසටහන කරපු සහ ඒ ගැන ලිපියක් ලියපු Leisa Scott සහ Olivia Rousset ගේ ඒ ලිපියේ තොරතුරු තමයි මම හැකිතාක් කෙටියෙන් ලියන්නේ.
රාත්‍රිය පැමිණ අවසන්. Deirdre Croft තමන්ගේ කාර්යාලයේ ඉඳගෙන තම පුතා රිචඩ් වෙනුවෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න සූදානම් වෙනවා. ඇය බලාපොරොත්තු වෙනවා තමන් මිය ගිය පසු තමන්ගේ දරුවා ඒ වීඩීයෝ එක නැවත නැවත නරඹයි කියලා. රිචඩ් වීඩීයෝ බලන්න හරි ආසයි. පොඩි කාලේ ඉඳන්ම වර්ණ ,චලනයන් සහ ඔහු කැමතිම පුද්ගලයින්ගේ වීඩීයෝ බලන්නත් ආසයි. ඔහුගේ සතුට වගේම එක පැත්තකින් ඔහුගේ සන්නිවේදනයත් ඒවායි. තමන් කැමතිම මිනිස්සුන්ගේ මුහුණු ස්ක්‍රීන් එකේ පේනකොට රිචර්ඩ්ගේ මුහුණ ආලෝකමත් වෙනවා කියලා Deirdre කියනවා. ඔහු ඒ වෙලාවට ස්ක්‍රීන් එක තමන්ගේ ළඟටම සමීප කරගෙන සම්පූර්ණයෙන් ඒ අවධානය ඇතුළේ ගිලී යනවා.
රිචඩ් උපතේදී සිදු වුනු දරුණු මොළයේ ආබාධයක් නිසා බුද්ධිමය ආබාධ සහිත තත්වයෙන් ජීවත් වෙනවා. ඔහුට වයස අවුරුදු 45 යි.වාචිකව සන්නිවේදය කරන්නේ නැහැ.දවසේ පැය 24ම සහය අවශ්‍ය වෙනවා.Deirdre ගේ වයස අවුරුදු 72යි. රිචඩ්ගේ පියා මේ වන විට ජීවතුන් අතර නැහැ.Deirdre තම එකම පුතා වෙනුවෙන් ජීවිතය පුරාම කැප වීමත් සහ සමාජය දැනුවත් කිරීමේ ගමනෙහි දැන් ඇය ඉන්නේ එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක නෙමේ. ” මට නාස්ති කරන්න වෙලාවක් නැහැ ” කියල ඇය Australian Story වැඩසටහනේදී කියනවා. ඒ නිසාම ඇය නිහඬ රාත්‍රියක අඩ අඳුරින් වැසී ගිය කාමරයක ඉඳගෙන තම පුතුට කවදාක හෝ නැරඹීමට හැකි පණිවිඩයක් සටහන් කරන්න සූදානම් වනවා. ඉතිං කැමරාව on කරලා ඇය කියනවා
” හෙලෝ රිචඩ්, මේ ඔයාගේ අම්මා..”
මෙවන් ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ගේ හදවත තුළ නිතරම එක බියක් තියනවා. ඒ තමයි ” මම නැති උනාට පස්සේ කවුද මගේ දරුවාව බලාගන්නේ” කියලා. චිත්‍රපට නිශ්පාදක
Andrew Wiseman දන්නවා, ඒ ප්රශ්නය Deirdre ගේ හිතට කොයිතරම් නම් බරක් දෙනවද කියලා. ඔහු අවුරුදු 35කට අධික කාලයක් පුරා Deirdre සහ රිචඩ්ගේ ජීවිතය චිත්‍රපට 3කට මාලාවක් ලෙස ලේඛනගත කරලා තියෙනවා. Andrew කියනවා, ඔහු මුලින්ම Deirdre හමුවූ දවසේමත්, ඇය තම පුතාගේ අනාගතය සුරක්ශිත කරගන්නේ කොහොමද කියලා හිතමින් හිටියා කියලා.ඒත් එක්කම ඔහු කියනවා දීර්ඝ කාලීනව රිචඩ්ව බලාගන්න ඇයට නොහැකි බව ඇය හොඳින්ම දන්නවා කියලා.” ඇය රිචඩ්ට අසීමිතව ආදරෙයි. ඔහු හොඳ ජීවිතයක් ගත කරනවා දැකගන්නයි ඇයට අවශ්‍ය”.
රිචඩ් තමන්ගේ කුසයේ සිටි ඒ ගර්භණී අවදිය තම ජීවිතයේ හොඳම කාලයක් කියලා Deirdre කියනවා.
ඇයත් ඇගේ සැමියා චාර්ලිත් තම දරුවා බිහි වෙන දවස එනතුරු බලාගෙන හිටියා. නමුත් නියමිත වූ දිනයන් වලට පසුවත් දරුවා උපන්නේ නැහැ.සති 42 දී පැය 14 කට අධික කාලයක් ඉතා දරුණු ප්‍රසව වේදනාවකින් පසුව caesarean surgery එකකට ඇයව ගෙන ගියා.
“ surgeon ඔහුව මගේ ශරීරයෙන් ඇදගෙන, තල්ලු කරගෙන, පිටට ගන්න උත්සාහ කරනවා වගේ දැනුණා,” කියලා ඇය කියනවා. ඉතින් සුළු මොහොතකින් දරුවා ඇගේ අතට ලබා දුන්නා.ඒ ක්ශණයෙන්ම ඔහුව ඉක්මනින් intensive care unit එකට අරගෙන ගියා.
“ඔහුට තිබුණේ ඉතාමත් දුර්වල හෘද ස්පන්දයයක් heart beat එකක් විතරයි ” Deirdre කියනවා. “ඔහු unconscious. ඔහු ජීවත්වෙයිද කියන එක පවා සහතික වුනේ නෑ.”
ඒ දරුණු රාත්‍රියට පස්සේ ඇය රෝහලේ ඇඳේ ඉඳගෙන හිඳගෙන, හිස්ව ඈත බලාගෙන ඉන්න ඡායාරූපයක් තවම ඇය සතුව තියෙනවා.
“මට මොනවාද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා”. ඇය කියනවා. “දරුවෙකු බිහිකිරීම ගැන අපිට හීනමය ලස්සන අදහසක් තියෙනවා. ලස්සන අවසන් ප්‍රතිඵලයක්, ආදරය, දරුවා වෙනුවෙන් කිරි එන එක. නමුත් මේ හැමදේකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් වුණා.”
සතියකට පස්සේ, නිරන්තයෙන් seizures එන unconscious තත්වයේ හිටියත් අවසානයේ කුඩා රිචඩ් ඇහැරුණා. ඊළඟ දවසේ Deirdre ඔහුට මව්කිරි දුන්නා. සති දෙකකට පස්සේ, ඇයත් චාර්ලිත් තම බබාව ගෙදර අරගෙන ගියා.
“අපි බේරුණා කියලා මට ඇත්තටම හිතුණා.”
Deirdre documentary කණ්ඩායමට තම ජීවිතය විවෘත කරන්නේ එසේ කියමිනි.
කුඩා රිචඩ්ට අවුරුදු 12දී ගත් වීඩියෝ එකක ඔහු ගෙවත්තේ පැද්දෙන අශ්වයෙකු මත ඉඳගෙන ප්‍රීතියෙන් විනෝද වෙයි.එහෙත් ඒ
වෙනකොට Deirdre සහ චාර්ලි දෙන්නාම තමන් බලාපොරොත්තු වූ සියල්ල යහපත් අතට හැරීමේ සිහිනය බොඳ වෙමින් පවතින බව දැනගෙන සිටියා.
රිචඩ් සාමකාමී දරුවෙක්. හොදින් ආහාර ගත්තා.මාස 4 දී පමණ ඔහුගේ පෙනීම හරිහැටි වර්ධනය වෙන්නේ නැහැ කියන එක පැහැදිලි වුනා. මාස 10 වෙනකොට ස්නායු වෛද්‍යවරයක් දරුවාගේ හිස සාමාන්‍ය විදියට වර්ධනය නොවන බවක් පෙන්නුම් කරනවා කියා පැවසුවා. මාස 13 දී රිචර්ඩ් ගේ seizures ආරම්භ වුනා.
Epilepsy තත්ත්වය තමයි මට මුහුණ දෙන්න අමාරුම උන දේ.Deirdre කියනවා. ” ඒක crisis එකක්.ඒ වගේම ඒක unpredictable. ජීවිතයට තර්ජනයක්.නිතරම Epilepsy episodes මහ රෑ ඇති වෙනවා.
තම ජීවිතයේ මේ නව යථාර්ථය තුළ ජීවත් වීම කෙසේ හෝ කළමනාකරනය කරගනිමින් සහ තමන්ගේ දරුවාගේ විවිධත්වය සහ disability ගැන සමාජය දැනුවත් කිරීම කරගෙන යමින් ඉන්න කොට Deirdre ට මුණ ගැහෙනවා Andrew ව. මෙල්බර්න් වල journalist training එකක් ලබා ගත්ත Andrew ආබාධ සහිත දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් වාර්ථාමය වැඩසටහනක් නිර්මාණය කරන්න සූදානම් වෙලා හිටියා. ඒකට Deirdre හමු වුනා.
ඉතිං Andrew රිචඩ් ගේ අම්මා ගැන කියන්නේ ” ඇය ඉතාමත් ශක්තිමත් සහ බුද්ධිමත් කාන්තාවක්.කැමරාව ඉදිරියේ තමන් මුහුණ දෙන පුද්ගලික අහියෝග ගැන කතා කරන්න ඇය බිය වුනේ නැහැ ” කියලා.
Andrew සියල්ලම කැමරාවට හසු කරගත්තා. තරුණ Deirdre ඉර එලියට මූණ දීලා ඉඳගෙන දහය හැවිරිදි රිචඩ් ට පේන්න අත්පුඩි ගහනවා. රිචඩ් ඒ දිහා බලලා එයත් අත්පුඩි ගහලා සතුටින් හිනා වෙනවා.ඊට පස්සෙ අම්මගේ අත් අල්ලනවා. ආයෙමත් අත්පුඩි ගහනවා. තවත් දර්ශණයක Deirdre ලොකු Dog Soft toy එකක් අතින් අල්ලගෙන ‘ Dog” කියන වචනය ආයේ ආයේ රිචඩ් ට කියනවා.ටික වෙලාවකින් රිචඩ් ඊට සමාන ශබ්දයක් කටින් නිකුත් කරනවා.
Deirdre ගේ මූණ සතුටින් පිරිලා යනවා. තම පුතා එක්ක පුංචි කතාවක් කරන්න ඇයට කොයිතරම් නම් ආශාවක් තිබුනද කියන එක ඒ මොහොතේ පේනවා.
කැමරාවට හසු උනේ ලස්සන, සාමකාමී අවස්ථා විතරක්ම නෙමේ. ආතතිය, වේදනාව, ලැජ්ජාවක් ඇති කළ මොහොතවල් පවා තිබ්බා.
කුඩා රිචඩ් කාලයක් වාහන වල යෑමට අධික බියක් දැක්වුවා.ඒ නිසා Deirdre Drive කරන වෙලාවට ඔහු හයියෙන් කෑ ගහනවා.සමහර වෙලාවට ඇයගේ කොණ්ඩයෙන් අල්ලා අදින්න උත්සාහ කරනවා. වෙළඳසැල්වලට ගියාම අධික උත්තේජනයට පත් වුණොත් ඔහු Deirdre ට පහර දෙනවා.කෑ ගහනවා.Andrewගේ රූප රාමු වලින් පේනවා ඒ අවස්ථාවන් වලදී අවට මිනිස්සු ඔවුන් දිහා බලන් ඉන්න හැටි.
“ඔහු මට බොහෝ වෙලාවට ගොඩක් තුවාල කළා.” Deirdre දැන් කියනවා. “ඒවා මතක් කරන එකත් අමාරුයි. ඒ හැමදේම මම කොහොම දරාගෙන ඉන්න ඇද්ද කියලා අද මට හිතෙනවා. නමුත් රිචඩ්ගේ aggression එක බොහෝවිට ඔහුට ඇති වන බය සහ ආතතිය එක්ක එන එකක්. ඒක හිරිහැරයක් කරන්න නපුරු අදහසකින් කරන දෙයක් නෙවෙයි.
ඔහු මට එහෙම කළා කියලා මම කවදාවත් ඒ ගැන අමනාපයක් හිතේ තියාගෙන නැහැ.”
එක් documentary එකකදී, ඇය සමාජය ඉදිරියේ දාගෙන ඉන්න “brave face” එක ගැන කතා කරනවා.
“ඒක හරියට ගෙදර දොර වහලා ඇතුළේ මම සම්පූර්ණයෙන්ම බිඳවැටිලා හිටියා වගේ. ” ඇය කියනවා. “ඒත් දොර අරිනකොට බොරු හිනාවක් දාගෙන, ‘මම හොඳයි, ස්තුතියි. ඔව්, හැමදේම මම මැනේජ් කරගන්නවා” කියනවා.
රිචඩ්ට වයස 14 වෙද්දී ඔහු Deirdre වඩා ශරීරයෙන් විශාල සහ ඉතා ශක්තිවන්ත වුණා. “ඔහු නොසන්සුන් උනාම ඒක මට තර්ජනයක් වුනා. ඒ හැසිරීම ශාරීරිකවම වගේම මානසිකවත් ඉතාම අපහසු උනා.
ඒ නිසා රිචඩ් කාලයකට චාලි එක්ක වෙනම ජීවත් වෙන්න යවන්න තීරණය කළා. Deirdre ඔහුගේ secondary caregiver වුණා.
“රිචඩ් පිරිමි ළමයි කරන දේවල් කරන්න කැමති. ඒ වගේම Charlie එවැනි අභියෝග භාර ගන්න ලෑස්ති කෙනෙක්,” Deirdre කියනවා. “ඒ නිසා ඔහු රිචඩ්ව camping අරගෙන යනවා. motorbike එකේ පිටිපස්සේ තියාගෙන යනවා.”
Andrewගේ දෙවැනි චිත්‍රපටයේ එවැනි “risky” මොහොතවල් තියෙනවා. Charlie එක්ක motorbike එකේ යන රිචඩ්ගේ footage එකත් තිබෙනවා.
ඒ අවස්ථාවේදී රිචඩ් ඔහුගේ මුහුණ උඩු අතට හරවාගෙන හිරු එළිය, සුළඟ, වේගය වගේ ඔහුට දැනෙන සංවේදනයන් රසවිඳිනවා. වයස 20ක් වුණු රිචඩ් Charlieගේ කකුල මත ඉඳගෙන, තම තාත්තාගේ අත් තමන් වටේ දාගන්න උත්සාහ කරන මොහොතක් කැමරාවට හසු වෙනවා.
Charlie කියනවා, “මම ඔහුට හදවතින්ම, දැඩිව ආදරෙයි. මගේ ජීවිතේ අරමුණ ඔහුව බලාගැනීමයි.”
රිචඩ්ව රැකබලා ගැනීම අතර ලැබෙන විරාමයන් වලදී Deirdre ඇයගේ සම්පූර්ණ ශක්තියම රිචඩ් සහ ඔහු වැනි අය වෙනුවෙන් දැනුවත් කිරීමට කිරීමට වැය කළා.
ඇය එක වරක්, politiciansලා සහ profound disability සහිත පුද්ගලයන් අතර community relationship ගොඩනගන scheme එකක් පවත්වාගෙන ගියා. ඇය newsletters ලිව්වා, disability sector එකේ contract work කළා. එතැනින් පස්සේ PhD එකක් කරන්නත් තීරණය කළා.
ඒත් ඇයගේ හිතට වදදෙන වැදගත් ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන් සඳහා රටේ තිබුන දිගුකාලීන සහය ගැන.
1950 සහ 1960 දශකවල, දෙමව්පියන්ට කිව්වේ ‘දරුවාව institution එකකට දාන්න. දරුවෙක් හිටියා කියලා අමතක කරලා ඔබේ ජීවිතය ගත කරන්න’ කියලා. ඒත් රිචඩ් ට එහෙම වෙන්න ඉඩක් ලබා දුන්නේ නැහැ.
“රිචඩ් වගේ පුද්ගලයින් මනුශ්‍යත්වයේ වටිනාකම ගැන හිතන්න අපිට උදව් කරනවා. අපිට කරුණාව උගන්වනවා.තව කෙනෙක්ට සහය දෙන හැටි උගන්වනවා. ඒකට මිලක් නියම කරන්නේ කොහොමද?
චාර්ලිට 2012දී heart attack එකක් ආවා. ඒ නිසා රිචඩ් නැවත Deirdre එක්ක ජීවත් වෙන්න ආවා. ඊටත් පසුව උදා වූ අවුරුද්දේ චාර්ලිට පිළිකාවක් ඇති බව සොයාගත්තා. ඔහු 2013 දෙසැම්බර් මාසයේ මියගියා.
“මරණය කියන දෙය රිචඩ් කොහොම තේරුම් ගන්නවාද කියලා හිතාගන්න අමාරුයි” Deirdre කියනවා. “චාර්ලි වෙනුවෙන් Perth වල memorial එකක් තිබුණා. screen එකේ චාර්ලිගේ ෆොටෝස් Play උනා. රිචඩ් ඒවා දිහා ලොකු උනන්දුවකින් බලාගෙන හිටියා.අපි මරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා. නමුත් රිචඩ්ට එහෙම තේරෙනවාද කියලා මට සැකයි. රිචඩ් හිතනවා ඇති මිනිස්සු එනවා. මිනිස්සු යනවා. ඇයි එයාලා ගියේ කියලා.”
“රිචඩ්ට දවසේ පැය 24යි, සතියේ දින 7මයි, එයාව රැකබලා ගන්න කෙනෙක් අවශ්‍යයි. ඔහුව නාවන එක, කෑම දෙන එක, personal care වලට උදව් කරන එක.ඔහු ඇවිදිනකොට steady කරලා තබන එක, ඔහුට නිදාගන්න සහය දෙන එක වගේම මහ රෑට ඔහු වෙනුවෙන් නැගිටින එක.”
රිචඩ්ගේ සන්නිවේදය සෑම විටම හැඟීම් වලින් පිරුණු එකක් බව Deirdre කියනවා.
“ඔහු උද්දාමයට පත් වුණාම ප්‍රීතිමත් ශබ්ධ නඟනවා. excitement එකක්දි හයියෙන් කෑ ගහනවා. නොසන්සුන් උනාම ඒ හඬ ත්රීව්ර වෙනවා. ඒවා වෙනත් අයට ලොකු බාධාවක් වෙන්න පුලුවන් .රිචඩ්ව රැකබලාගැනීම කොයිතරම් අභියෝගාත්මකද කියනවා නම් Deirdre ට ආරම්භ කළ PhD එක අත් හරින්න සිද්ධ උනා. එහෙත් ඇය ඉදිරියටම ගියා. ඇය වටා හිටි පිරිසට ඇයගේ අරගලය පැහැදිලි වුනා.
” මට මේක තවදුරට කරගෙන යන්න බැහැ” කියලා කියන්න මම ලෑස්ති වුණේ නැහැ,ඇය කියනවා.ඒත් අනෙක් අයට මගේ අහියෝගයන් වැටහුනා.
ඒ නිසා රිචඩ්ව group home එකකට ඇතුළත් කරන්න තීරණය කළා. ඒ ඔහුට වයස 34දී.
“ ඔබට ඉතා සමීප ඉතාමත් ආදරණීය සහ අතිශය වටිනා කෙනෙක්ගේ සම්පූර්ණ රැකවරණය වෙනුවෙන් කැප වුන කෙනෙක්ට ඒ වගකීම වෙන කෙනෙක්ට බාර දෙන එක අතිශයින්ම අභියෝගාත්මකයි. සමහර විට එය ඉතාමත් ආතතිමය අත්දැකීමක් වෙන්න පුලුවන්.” Deirdre කියනවා.
” කාලයක් ඒ තීරණය ඉතා හොඳ එකක් උනා. රිචඩ් එයාගේ රැකවරුන් සමඟ යාළු උනා.සන්සුන්ව සහ සතුටින් හිටියා. නමුත් මාස අටකට පසුව වගේ ඔවුන් වෙනත් Home එකකට මාරු කරා.ඒ වෙනස් වීම රිචඩ් හොදින් බාර ගත්තේ නෑ.ඒත් ඔහු ඒ තරම් නොසන්සුන් වුනේ ඇයි කියන එක Deirdre ට අදටත් පැහැදිලි නෑ. ඒ නොසන්සුන් වීම නිසා ඔහුව වසර තුනක් ඇතුළත අවස්ථා අටකදී රෝහල් ගත කරන්නට සිද්ධ වුනා.
අවසානයේ ඇය තීරණය කළා, ඔහු වෙනුවෙන් නිවසක් හදන්න සහ ඒ නිවසේ රිචඩ් ට සහයට පැය 24ම කණ්ඩායමක් තියන්න. ඔහුට තමන්ගේම සහය ලැබෙන නිවසක් තිබුනොත් ස්ථිර පරිසරයක සන්සුන්ව ජීවිත කාලය පුරාම ඉන්න හැකි වෙයි ඇය සිතුවා.
ඒ නිවස ගොඩ නැගුනා. ඒ නිවසේ Slab එක දාන මොහොතේ සිට සෑම බිත්තියක්ම ඉහළට නැගෙන තුරු රිචඩ් ඒ සෑම අදියරක්ම බලාගෙන හිටියා.2020 ජුලි මාසයේ රිචඩ් සහ Deirdre ඒ නිවසට ගෙවදුනා. ඒ රිචඩ් ගේ ගෙදර. කිසිවෙකුට එය ඔහුගෙන් උදුරා ගන්න බැහැ. ඒත් Deirdre දන්නවා තම පුතා වටා ඉන්න ආදරණීය මිනිස්සුන්ට සදාකාලිකව එහෙම ඉන්න බැරි බව. ඇය ඉන් පසු හිතුවේ මේ නිවසට මම නැති වුනාට පස්සේ රිචඩ්ව රැක බලා ගන්න කණ්ඩායමක් වගේම ඔහුව ආරක්ෂා වන්න නීති පද්ධතියක්ද තිබිය යුතුයි කියලා.
රිචඩ්ව රැකබලා ගැනීම කියන්නේ ඔහුගේ දෛනික ශාරීරික අවශ්‍යතා සම්පූර්ණ කරන එක විතරක් නෙමේ. health care, financial management , care support කරන agencies එක්ක ගනුදෙනු කරන එක, outings organize කරන එක, ගෙදර කළමනාකරනය කරන එක bills ගෙවන එක වගේ හැමදේම පවත්වාගෙන යන්න තියනවා.
“මම නැතිවුණාට පස්සේ, රිචඩ්ගේ ජීවිතය අනිවාර්යයෙන් ලොකු වෙනසකට පත් වේවී. Deirdre හැඟීම්බරව පවසනවා. ඒ නිසා අපි පුලුවන් තරම් ආරක්ෂාව සහ පරිසරයේ නොවෙනස් බව පවත්වාගෙන ගියොත් ඒ වෙනස රිචඩ්ට අවම ආතතිමය අත්දැකීමක් වෙයි.
ඇය තම පුතා වෙනුවෙන් තබා යන වීඩියෝ පණිවිඩයේ මෙසේ කියනවා.
“මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
මම නැති වෙලාවක, ඔයාට බලන්න පුළුවන් විදිහට විනෝදය සහ ආදරය පිරුණු වීඩියෝ එකතුවක් මම සකස් කරනවා. “
ඒ වීඩියෝස් අතර ඔහුගේ ජීවිත කාලය පුරා ඔහුට care කළ හැමෝගෙම වීඩියෝ තියෙනවා කියලා ඇය කියනවා. ඔහු විවිධ activities වල සතුටින් ඉන්න clips බොහෝමයකුත් තියෙනවා.
ඒ screen එකේ ඉන්නෙ ඔහුගේ අම්මා. ඔහුගේ තාත්තා චාර්ලි ගැනත්, ඔහුගේ ලඟම මිතුරා ක්‍රිස් ගැන වගේම, ඔහු ආදරය කරන අයගේ මුහුණු screen එකේ දැකීම ඔහුට සතුටක් වෙයි.
Deirdre කියනවා “මට ඔයාට කියන්න ඕන දෙය තමයි, මගේ ජීවිතයට ඔයා දුන්න දායකත්වය මට කොච්චර වටිනවාද කියන එක, මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”
රිචඩ් ඇයට ඔහු ඇයට ප්‍රීතියෙන් ඉන්න ඉගැන්නුවා. ඉවසීම, ප්‍රශ්න විසඳන ආකාරය, නරක සහ පරණ අත්දැකීම් වල වේදනාවල් මතම නොසිටීම ඉගැන්නුවා.මානුෂිකත්වය ඉගැන්නුවා.
කඳුළු පිරිණු දෑසින් යුතුව Deirdre කියනවා
“අවසානයේ මට ඔයාට කියන්න ඕන දෙය තමයි, රිචඩ්, මම ඔයාට මගේ මුළු හදවතින්ම ආදරෙයි. ඔයා මගේ ජීවිතයේ කොටසක් වුණාට මම අතිශය කෘතඥ වෙනවා.”
අවසානයේ ඇය camera එක දිහා බලලා හිනා වෙනවා. පස්සේ අත දිගු කරලා stop button එක ඔබනවා.කවදාහරි දවසක, රිචඩ් මේ වීඩියෝ එක බලයි. ඔහු screen එකේ තම අම්මාව දකියි.ඇය දොරෙන් ඇවිත් ඔහුට සිනහවක් දීලා, හාදුවක් දීලා, අත අල්ලාගෙන ඉන්නෙ නැතිවෙයි. නමුත් ඔහු ආදරය කරන ඒ film ලෝකයේ, ඇය තවමත් ඔහු එක්ක ඉඳීවි. ඔහුට කතා කරමින්. ඔහුව ධෛර්යමත් කරමින්. ඔහුට ආදරය කරමින් හැමදාම කළා වගේම.
