Autism සහ ADHD දරුවන් ගැන කතා කරනකොට  Attention එහෙම නැත්තන් අවධානය ගැන නිතරම ගැටළුකාරී තත්ත්වයන් තියනවාය කියන එක යම් පොදු අදහසක් බවට පත් වෙලා තියනවා. මේකේ කිසිම සත්‍යතාවයක් නැහැ. සත්‍ය තමයි ඔටිසම් හෝ ADHD දරුවන් තුළ අවධානය ඉතා වැඩී සහ එයාලා අවධානය ලබා දෙන්නේ එයාලා කැමතිම දේවල් වලට. අපි මේක එක එක නම් වලින් හඳුන්වනවා. hyperfocus කියනවා. ආයෙත් කියනවා Hyperfixation කියලා. උදාහරණයක් විදියට සතුන්, හැඩතල, පාට, කෝච්චි, ලොතරැයි ටිකට්, සබන් කවර, ග්‍රහලෝක, ගල් වර්ග මේ වගේ එක එක දේවල් සම්බන්ධයෙන් දැඩි අවධානයක් සහ අධික කැමැත්තක් තිබීම තමයි මේ Hyperfocus එහෙමත් නැත්තන් Hyperfixation කියන්නේ. අපි මෙතනින් එහාට ගියොත් අපිට හම්බෙනවා තියරි එකක් Monotropism කියලා. මේක හරියටම තේරුම් ගත්තොත් අපිට පුළුවන් ADHD /autism දරුවන්ගේ මනස තේරුම් ගන්න.

 Dr Dinah Murray කියන්නේ Political Activist කෙනෙක්. විශේශම දේ වෙන්නේ එයා ඔටිසම් අන්න්‍යතාවය සහිත කාන්තාවක්. ඉතිං එයා ඔටිසම් කියන මහා පරාසයකට විහිදුනු විශයේ දිගින් දිගටම රිසර්ච් කරා. එයා සහ Wenn Lawson තමයි monotropism කියන තියරි එක ගොඩනැගුවේ. පසු කාලයේදි Mike Lesser එක්ක එකතු උනා. හරි ඔන්න තියරි එකේ ඉතිහාසය. දැන් අපි කෙලින්ම තියරි එක හෙමින් කොටස් වලට කඩලා ලිහාගෙන කෑළී කෑළී විස්තර කරගමු.

දැන් අපි දන්නවා ඔටිසම් කිව්ව ගමන් මේ ඔටිසම් තත්ත්වය සමඟ තියන පොදු ලක්ශණ. සන්නිවේදන ගැටළු, Stimming, Repetitive behaviors වගේ ලක්ශණ. Neuroscientist ලට ලිහාගන්න බැරි උනා මේවා සියල්ල පටන් ගන්න මධ්‍ය මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ හැම ලක්ශණයක්ම යම් තැනක් එක්ක සම්බන්ධයි සහ ඒ තැන මොකක්ද කියන එක ඔවුන් හෙව්වා. ඒක හොයාගත්තේ Dr Dinah Murray. ඒක තමයි Monotropism කියන්නේ.

දැන් Neurotypical මිනිස්සුන්ට අවධානය දෙන්න පුළුවන් කීප දේකට. හිතන්න අපි පත්තරයක් බලනවා කියලා.ඒ අතරේ අපි තේකකුත් බොනවා. ඉස්සරහ Tv එකේ යන News එකත් අපි අහන් ඉන්නවා. ලගට ගෙදර කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කියනවා ඒ ගමන් ඒකටත් ඇහුම්කන් දෙනවා. මේ වගේ අපිට පුළුවන් එකකට වඩා කීප දේකට අවධානය දෙන්න. මේක තවත් ටිකක් පියවරක් ඉස්සරහට අරන් පැහැදිලි කරොත් අපිට පුළුවන් එක දේකට නෙමේ කීප දේකට කැමති වෙලා ඒ හැම දේකටම අවධානය දෙන්න.

ඒත් ඔටිසම්/ ADHD (Neurodivergent)  මනසකට එහෙම බැහැ. එයාල කැමති වෙන්නේ, එයාලාගේ Hyperfocus වෙන යම් එක දේකට නං එතනින් එහාට අවට සිදු වන කිසිම දේකට අවධානය දෙන්න බැහැ. ඒක හරියට උමං මාර්ගයකට ඇතුළු උනා වගේ. ඒ උමගින් එපිට තියන ලෝකය උමග තුළදී අතුරුදහන් වෙලා නොපෙනී යනවා වගේ තමන් වඩාත් කැමති දෙයකට අවධානය එල්ල වෙලා අනික් සියල්ල නොපෙනී යනවා.

ඒ වගේම Neurodivergent දරුවන්ගේ වඩාත් සතුටුම මොහොත වෙන්නේ එයාලා වඩාත් කැමතිම දේට යොමු කරන දැඩි අවධාන කාලය.

 Dr Dinah Murray කියනවා ඔටිසම් මනස නිකන් දඩයක්කාරයෙක් වගේ කියලා. හේතුව දඩයක්කාරයත් තමන්ගේ දඩයම ඉදිරියේ එක ඇහිපිල්ලමක් හොළවන්නේ නෑ. සමස්ත අවධානය තියෙන්නෙ දඩයම මත. මේක ඔටිසම් දරුවන්ගේ සන්නිවේදනයට Dinah Murray සම්බන්ධ කරනවා. එයා කියනවා ඔටිසම් දරුවන්ට සන්නිවේදනය ඔවුන්ගේ අවධානයට බාධාවක් කියලා. ඔවුන් යම් දෙයක් ගැන අවධානය යොමු කරන් ඉන්න අතර කෙනෙක් ඔවුන් එක්ක කතාකරන එක ඒක නිකන් හරියට “Do not disturb” කියල හොටෙල් කාමරයක දොරේ ගහලා තියෙද්දී දොර කඩන් ඇතුලට යන්න හදනවා වගේ එකක්.

දැන් අපි දරුවා යම් දේකට දැඩි අවධානය දීලා දෙයක් කරමින් ඉන්නවා නම් ඒකෙන් ගළවන්න උත්සාහා දැරුවොත් ඒක දරුවාට විශාල හිරිහැරයක් විදියට දැනෙනවා. Autism / ADHD දරුවන්ගේ මනස ගැන අවබෝධයක් නැති පන්ති කාමරයකදී ඒ දරුවාට එක පාර විවිධ දේවල් වලට අවධානය යොමු කරන්නට බල කෙරෙනවා. එහිදී Polytropic මනසකට වගේ හැසිරෙන්නට බල කරනවා. Polytropic මනසක් කියන්නේ එක් වර කිහිප දේකට අවධානය දිය හැකි මනසක්. මෙන්න මේ මොහොතේදී දරුවාගේ මනස කළබලයට පත් වෙනවා වගේම එයාට කිසිම දේකට අවධානයක් දෙන්න විදියක් නැති වෙනවා. මේක දරුවාට ඉතා පීඩාකාරී අත්දැකීමක් වෙනවා. මේකට අපි කියනවා Monotropic split කියලා. මේක තමයි Autism burnout / skill regression / Autism meltdown වලට පාර කියන්නේ. ඒකයි ලංකාවේ පාසල්,පන්ති කාමර,විශේශ අධ්‍යාපන ඒකක ඔටිසම් දරුවාට නොගැලපෙන්නෙ. ඒවා වල ඉන්න ගුරුවරුන් Monotropism ගැන දන්නේ නැත්තන් වෙන්නේ දරුවා පීඩාවට පත් වෙන එක විතරයි.

 Monotropism සහ Monotropic මනස පිළිබදව ඉදිරිපත් වුනු මේ තියරි එක තමයි ඔටිසම් දරුවන්ව / පුද්ගලයින්ව වටහා ගන්න දැනට තියන ප්‍රධානම සහ එකම Key එක. 

Monotropic මනස කියන්නේ විවිධ දේවල් වලට එක පාර අවධානය දෙන්න අපහසු ඒත් එකකට හෝ දෙකකට අවධානය යොමු කරන්න පුලුවන් මනසට. මේක තමයි සරළම පැහැදිලි කිරීම Monotropic මනස ගැන.

දැන් සන්නිවේදනයට කොහොමද මේ Monotropism සම්බන්ධ වෙන්නේ කියලත් අපි ටිකක් කතා කරමු. දෙන්නෙක් සන්නිවේදනය කරනකොට එතනිදී භාශාව,අංග චලන,මුහුණේ ඉරියව් සහ හඩේ උස් පහත් වීම යන මේ සියල්ලම අපිට අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට කෙනෙක් සිද්ධ වුනු අනතුරක් ගැන කියනකොට සහ සුභ ආරංචියක් ගැන කියනකොට ඒ කෙනාගේ මේ කියන අංග චලන, මුහුණේ ඉරියව්, හඩේ වෙනස් වීම් සියල්ලම සිදුවීම් දෙකේ දෙවිදියක්. එතකොට අපි මේ ඔක්කෝටම එකවර අවධානය ලබා දෙනවා. Autism / ADHD monotropic මනසට එහෙම හැම දේටම එක වර අවධානය දෙන්න බැහැ. එයා කතා කරන කෙනාගේ මුහුණේ ඉරියව් වලට අවධානය දෙනකොට එයාට අනෙක් ශාරීරික අංග චලන මඟ හැරෙන්න පුලුවන් . වචන හරහා කියන දේ අර්ථය මඟ හැරෙන්න පුලුවන්. මෙතනිදී සන්නිවේදන අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසයි අපි ඔටිසම් දරුවන් එක්ක කතා කරනකොට පැහැදිලිව සරළව කතා කළ යුත්තේ සහ ADHD දරුවන් එක්ක කතා කරනකොට ඉතා සරළව කියන්න ඕනේ දේ සහ කෙරෙන්න ඕනේ දේ කියන්න ඕනේ.

Monotropism ගැන මුල් වරට ලෝකයට ඉදිරිපත් කරපු Dinah Murray කැන්සර් එකකින් මිය ගියාට පස්සේ එයාගේ දරුවො දෙන්නා තමන්ගේ අම්මගේ රිසර්ච් සහ සොයාගැනීම් ඉදිරියට ගෙන ගියා. එක පුතෙක් තමයි Fergus Murray. ඔහු විද්‍යා ගුරුවරයෙක්. ඔහු 2018 දී ලිව්වා ලිපියක්  “Me and Monotropism : A unified theory” කියලා. 

Dianah Murray ගේ පුතා විද්‍යා ගුරුවරයෙක් වගේම ඔහු ඔටිසම් අන්න්‍යතාවය තියන පුද්ගලයෙක්. එයා Monotropism හදුන්වන්නේ යම් බලවේගයක් විසින් ඇදගන්නා දෙයක් හැටියට. උදාහරණයක් විදියට කාන්දමට ඇදෙන යකඩ කෑල්ලක් වගේ තමයි ඔටිසම් දරුවන්ගේ Monotropic මනසට එයාලා කැමති දේවල් ගැන අවධානය ඇදී යන්නේ. උදාහරණයක් විදියට හිතන්න කෝච්චි වලට කැමති ඔටිසම් දරුවෙක් ඉන්නවා කියලා. එතකොට කොහේ හරි ගමනක් යනකොට මේ දරුවා දකිනවා ස්ටේශන් එකක්. එයාට ඒක දැක්කට පස්සේ වෙන කිසිම දෙයක් ඔලුවට එන්නේ නෑ. එයාට ඕනේ එතන්ට යන්න. එයාගේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ මේ ස්ටේශන් එකට. එතකොට එතන්ට යන්න නොහැකිවීම Meltdown එකක් බවට පත් වෙන්න පුලුවන්. 

දැන් ලංකාවේ මේ මන්තරේ වගේ මුමුණනවා ඔටිසම් දරුවන්ගේ Special interests කියන්නේ ඇබ්බැහි වීමක් ඒ නිසා මේවා අයින් කරන්න ඕනේ කියලා.උදාහරණයක් විදියට දරුවෙක්ට වොශින් මැශින් ගැන හෝ ඕනෑම කැරකැවෙන මැශීන්ස් ගැන අධික උනන්දුවක් තියනවා නම් කියනවා ඒවා පේන්නවත් දෙන්න එපා කියලා.දැන් අපිට පැහැදිලි වෙනවා මේවා සම්පූර්ණයෙන් බොරු කිසිම පදනමක් නැති කතන්දර කියන එක. මැශීන්ස් ක්‍රියාකාරීත්වය ගැන උනන්දුවක් තිබෙන දරුවාට අපි ලබා දෙන්න ඕනේ සහය සහ වැඩි වැඩියෙන් ඒ සම්බන්ධ මූලාශ්‍ර. හේතුව Monotropic mind එක නිසා මේ දරුවන් ඉතා දක්ශ ඉංජිනේරුවන් වෙන්න පුලුවන් සහ ඒ සම්බන්ධව ඉතා විශිෂ්ටතමයන් වෙන්න පුලුවන්. අන්න ඒකයි Monotropism පිළිගන්න සහ සහය දෙන්න කියලා කියන්නේ.

Monotropic මනසක තිබෙන විශිෂ්ටත්වය 

1) තමන් අවධානය දෙන විශයන් වල ඉතා සියුම් Details පවා ග්‍රහණය කරගැනීමේ හැකියාව

2) අවධාන කාල පරාසය වර්ධනය වීම 

3) ඉතා ගැඹුරු සහ ඉහළ කුසලතා වර්ධනය

4) තමන් කැමති විශයන් හරහා Anxiety අවම කරගැනීම සහ මනස සන්සුන් කරගැනීමේ හැකියාව 

ගංගාවක් මහ මුහුද කරා ගලා යනවා වගේ තමයි ඔටිසම් / ADHD දරුවන්ගේ අවධානය එයාලගේ කැමති විශයන්, වස්තූන් කරා යන්නේ. Eloping කියන එකත් මේකට සම්බන්ධයි. ලෝකයේ ඔටිසම් දරුවන් වැඩියෙන්ම අනතුරු වලට ළක් වෙන්නේ වතුර වළවල්, පූල් , ගංඟා වලට වැටිලා. ඒකට හේතුව එයාලා අධික කැමැත්තක් වතුරට තියන නිසා. දැන් Monotropism කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා බලමු. දරුවා ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට එයාගේ ඔලුවට එනවා අම්මා එක්ක වෙනදා යන බීච් එක ගැන Memory එකක්. මෙයාට මේ Memory එකෙන් එහාට අවධානය මාරු කරන්න බැහැ. එක පාරට දරුවා පුටුවෙන් නැගිටිනවා. එයා පන්තියෙන් පිටවෙලා ඉස්කෝල ගේට්ටුවෙනුත් එලියට එනවා.දැන් එයා යන්නේ එයාගේ මතක පාර දිගේ බීච් එකට. වෙන කිසිම දෙයක් ගැන අවධානය දෙන්න බැහැ.ඉබාගාතේ එයාගේ Memory එකේ තියන බීච් එක හොයාගෙන දරුවා ඇවිදිනවා. මෙන්න මේ අවස්ථාවේ දරුවාට අනතුරක් වෙන්න පුලුවන්. මේක තමයි අපි Autistic Eloping කියලා කියන්නේ. මේක සිද්ධ වෙන්නේ Autism Monotropic Mind එක නිසා.

Monotropism play 

මේකෙන් කියන්නේ දරුවා කැමති Play හරහා එයාලා එක්ක එකතු වෙන්න කියන එක. සමහර අම්මලා කියනවා කිසිම ඇක්ටිවිටි එකකට දරුවා එන්නේ නෑ කැමැත්තෙන් කියලා. ඉතිං ඇත්ත. ඇයි දරුවා එයා කැමති නැති Play වලට එකතු වෙන්නේ? එයාට අවධානය දෙන්න පුලුවන් එයා කැමති වස්තූන් එක්ක කරන Play වලට විතරයි. දරුවාගේ අවධානය සහ නිර්මාණශීලිත්වය අපි හඳුනාගන්නේ එයා කැමති Play හරහා විතරයි.

Monotropic split and Autistic burnout 

මේක සෑහෙන්න වැදගත්. ඔටිසම් දරුවන්ගේ කුසලතාවයන් සහ Mental health සම්පූර්ණයෙන් රඳා පවතිනේ මෙන්න මෙතන.

දැන් දරුවන්ගේ Attention එකට බාධාවක් සිද්ධ උනොත් හෝ දිගින් දිගටම බාධා සිද්ධ උනොත් මෙන්න මේ Monotropic split එක සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට දරුවා පාලමක මේ කෙළවරේ සිට අනෙක් කෙළවර දක්වා ගමන් ගන්නකොට මැදදි පාලම කඩන් වැටුනොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ තමයි ඔටිසම් දරුවාගේ වඩාත් අවධානය යොමු කරන තැනකට බාධා සිද්ධ වුනොත් හෝ එයාට අවධානය දෙන්න බැරි තරමට අවට පරිසරය පීඩාකාරී නම් , නැවත නැවතත් ඒ දේ සිද්ධ වෙනවා නම්  Autistic burnout තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ මනස කළබලකාරි වෙලා එයාට දරාගන්න බැරි සීමාවට එනවා. දරුවන්ව පාලනය කරගන්න බැහැ,එයා අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරනවා කියන සිදුවීම් වලදී ඇත්තටම සිද්ධ වෙන්නේ Monotropic split එකක්.එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුලුවන් ඔටිසම් තරුණ තරුණියන්ට මේ තත්ත්වය නැද්ද කියලා. තියනවා. සාමාන්‍යයෙන් Autistic burnout තත්ත්වයක් සති දෙකක් හෝ මාස තුනක් , අවුරුද්දක් හෝ ඊට වැඩි  කාලයක් පවතින්න පුලුවන්.තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය පිළිබඳව මනා අවබෝධය තියන තරුණ තරුණියන් වටහා ගන්නවා තමන්ට දැනෙන Anxiety තත්ත්වය Autistic burnout එකක් කියලා . එතකොට එයාලා තමන්ගේ මනස සන්සුන් කරගන්න පුලුවන් ගොඩක් ක්‍රම පාවිච්චි කරලා මේ Autistic burnout තත්ත්වයෙන් එලියට එනවා. දරුවන්ට ඒක කරන්න බැහැ. අන්න ඒ නිසයි අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ ඔටිසම් දරුවන්ගේ මනසට කිසිම පීඩාවක් ඇති නොවෙන්න.

ඔයාල බැලුවා නං Extraordinary Attorney Woo කියන Tv show එක ඔයාලට තේරෙනවා මේ Monotropic මනස ක්‍රියා කරන විදිය. woo ඔටිසම් අන්න්‍යතාවය සහිත ලෝයර් කෙනෙක්. එතකොට එයාගේ Special interest එක තියෙන්නේ මගේ මතකයේ හැටියට නම් නිල් තල්මසුන් ගැන. ඉතිං එයා නිතරම අන්න ඒ නිල් තල්මසුන්ගේ Memory lane එකේ යනවා. එතකොට එයාගේ මනස සන්සුන් වෙනවා වගේම එයාට පුලුවන් වෙනවා එයාගේ රැකියාව සාර්ථකව කරගෙන යන්න.

ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් වටහා ගන්නවා කියන්නේ එයාලගේ මනසේ තියන විවිධත්වය වටහා ගන්නවා කියන එක. ඒ හරහා අපිට අපේ දරුවන් සහ සමස්ත ඔටිසම් ප්‍රජාවම ගැන වඩා පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පුලුවන්.