මේ වීඩියෝ එකේ ඉන්නේ සහෝදරයො දෙන්නෙක්. ගිටාර් එක Play කරන්නේ christian. සොෆා එකේ ඉඳගෙන ඇඟ ඉස්සරහට පස්සට පද්දලා Stimming කරන්නේ Jim. දෙන්නම ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවන්. jim සහය අධිකව අවශ්‍ය ජිවිතය පුරා රැකබලා ගැනීමට අවශ්‍ය දරුවෙක්. එතකොට christian කියන්නේ සහය අවමයෙන් අවශ්‍ය දරුවෙක්. මේක තමයි අපි ඔටිසම් Spectrum එක කියන්නේ.මේකට තමයි අපි විවිධත්වය කියන්නෙ. christian දිහා බලලා ඔටිසම් කියන්නේ මේක තමයි කියලා විනිශ්චය කරන්නත් බෑ Jim දිහා බලලා එහෙම විනිශ්චය කරන්නත් බෑ. දැන් ලංකාවේ බහුතරයක් වෙන්නේ මෙන්න මේ විවිධත්වය වටහා ගන්න අපහසු නිසා දරුවන්ව විනිශ්චයට ළක් කරන එක. දෙමාපියන්ව සහ දරුවාට ලැබෙන සහය ප්‍රශ්න කිරීම.

සෑම ඔටිසම් දරුවෙක්ටම ලබා දෙන සහය ඒ දරුවා ලබා ගන්නේ සහ සංවර්ධනය වෙන්නේ ඒ දරුවාගේ විවිධත්වය මත. jim ට අවුරුදු 23 යි.Non – Speaking. එතකොට christian ට අවුරුදු 13 යි. එයා වාචිකව සන්නිවේදනය කරගන්නවා. මේ දරුවන් දෙන්නාටම එක හා සමාන සහයක්, පිළිගැනීමක් , වටිනාකමක් සහ වටහා ගැනීම පවුලෙන් ලැබෙනවා.

වෙද්දු පස්සේ ගිහින් තෙල් බෙහෙත් දුන්නා කියලවත්, නිල් කටරොළු තම්බලා පෙව්වා කියලවත්, අවුරුදු හයට කලින් ඇක්ටිවිටීස් දවස පුරා කෙරෙව්වා කියලාවත් ඔටිසම් විවිධත්වය රිවසර්ස් වෙන්නේ නෑ. අපි දෙන සහය හරහා සිද්ධ වෙන්නේ දරුවන් තමන්ගේ අභියෝග වඩාත් හොදින් කළමනාකරනය කරගන්න එක. දැන් මම එමලිට එයාට පීඩාවක් නොවෙන්න හෙමින් හෙමින් මේ සහය දෙන්නේ එමලිට එයාගේ විවිධත්වය ඇතුළේ මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග වඩා හොදින් කළමනාකරණය කරගන්න. ඒ වගේම මම වැඩි අවධානය දෙන්නේ එමලිගේ තියන කුසලතා වලට මිසක් එමලිව Fix කරලා මේ සාම්ප්‍රදායික මනුශ්‍ය හැඩයක් අස්සට ඔබන්න නෙමේ.

මට සමහර වෙලාවට එන කමෙන්ට් වලින් වැඩියෙන්ම අහන්නේ එමලි ඔටිසම් කියලා කියන්න බෑ කියන එක. එතකොට මේ වීඩීයෝ එකේ ගිටාර් එක Play කරන Christian ගිටාර් එක Play කරන නිසා ඔටිසම් නෙමේ කියලා විනිශ්චය කරන්නත් පුලුවන් . jim ශරීරිරය ඉස්සරහට පස්සට පද්දලා Stimming කරන නිසා එයා ඔටිසම් වෙන්න පුලුවන් කියලා විනිශ්චය කරලා හැම ඔටිසම් දරුවෙක්ම ඒ වගේ කියලා රාමු කරන්නත් පුලුවන් . ඒත් ඒවා සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකතන.අපිට ඔටිසම් කියන්නේ මෙන්න මේ හැඩය කියලා කවමදාකවත් කියන්න බෑ. ඒ වගේම තමයි ඔටිසම් ලක්ශණ අඩු වීම හෝ වැඩි වීම මත දරුවන්ගේ වටිනාකම තීරණය වෙන්න බෑ. තමන් ඔටිසම් කියලා නොදන්න පවුල් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් කී දෙනෙක් ලංකාවේ ඉන්නවා ඇතිද? විශේෂයෙන් ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ගෙන් කී දෙනෙක් ඔටිසම් වෙන්න පුලුවන් ද?

ඒ වගේම තමයි ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් අකමැතිම දේ තමයි තමන්ගේ දරුවාගේ අන්න්‍යතාවය ගැන කිව්වම ඒ ගැන සැක පළ කරලා නැවත ප්‍රශ්න අහන එක. ඇයි අපි අපේ දරුවන්ගේ විවිධත්වය කාටවත් ඔප්පු කරලා පෙන්වන්නේ? අපිට හෝ අපේ දරුවන්ට ඒ හරහා ලැබෙන ප්‍රතිලාභයක් නෑ. දරුවෙක්ගේ ඔටිසම් අන්න්‍යතාවය ගැන පිළිගන්න සහ කතා කරන්නෙ ඒ හරහා ඔටිසම් දරුවන්ට වඩා පහසු සමාජයක් නිර්මාණය කරගන්නත් දරුවන් මුහුන දෙන අහියෝග අවම කරගන්නත්. ඒ නිසා අපිට බැහැ මේ දරුවා ඔටිසම් කියලා පෙන්නේ නෑ නේ කිව්වම පුතේ ඇන්ටිට ඔයා ඔටිසම් කියලා පෙන්නන්න කියන්න. ඔටිසම් කියන්නේ අමුතු දෙයක් වත්, අසාමාන්‍යතාවයක් වත් නෙමේ. ඒ වගේම සමරන්න දෙයක්වත් නෙමේ. ඔටිසම් කියන්නේ අපි සමාජයක් වශයෙන් දැනුවත් වෙලා වැඩිහිටියන් විදියට ඔටිසම් දරුවන්ව ආරක්ශාකරගන්න සහ සහය දෙන්න ඕනේ විවිධත්වයක්. ඒකයි මම එමලි එක්ක අපි පහු කරන මේ ගමන ගැන කතා කරන්නේ. වඩා පහසු ජිවිතයක් එමලිට සහ අනෙක් සියලුම ඔටිසම් දරුවන්ට ලබා ගන්න දැනුවත් කිරීම වැදගත් නිසා.

ඒ නිසා මේ Spectrum එකේ Jim වගේ දරුවනුත් Christian වගේ දරුවනුත් ඉන්නවා. ඒ හැම දරුවෙක්ටම අවශ්‍ය සහය වෙනස්..ඒ දරුවගේ අභියෝග වෙනස්. කුසලතා එකිනෙකට වෙනස්.මේ හැමදේම පැත්තකින් තිබ්බොත් මේ හැම දරුවෙක්ටම එක හා සමාන වටිනාකමකින් යුතුව සමාජයේ නිදහසේ ජීවත් වෙන්න සම්පූර්ණ අයිතිවාසිකම තියනව.

මුල් සබැඳිය : Meet Christian & Jim