” Inside ඔටිසම් “ පොත කවද්ද නිකුත් වෙන්නේ සහ ඒක මිලදී ගන්නේ කොහොමද සහ පොතට අදාළ යම් යම් බෙදාගත යුතුම විස්තර ටිකක් තමයි මම කතා කරන්න හදන්නේ.
ආදරණීය සමුද්‍රිකා දි සිල්වා මහත්මිය මට කතා කරලා පොතක් ලියන්න කියලා එයා නිහඬ උනා. මේක මට දරාගන්න අපහසු සහ මගේ මනස ඉතාමත් නොසන්සුන් කරවන්න සමත් උනා. මගේ රැකියාව උනේ ලිවීම උනත් එමලි එක්ක මේ යන Journey එක සහ මුහුණ දෙන අභියෝග ගැන ලියන්න කිව්වම ඒක කරන්නේ කොහොමද කියන එක මට තේරුම් ගන්න අපහසු උනා. ඒත් මම ලියන්න ගත්තා.ඒ ලිවීම තුළ තිබ්බේ මේ සිස්ටම් එක කොයිතරම් දුප්පත්ද කියන එක සහ ඒ නිසාම ඔටිසම් දරුවන් අසරණ වීම කියන එක. ඒත් මට තවදුරටත් අරගල කරන්න බෑ කියලා මගේ හිත කියන්න පටන් ගත්තේ මේ පොත ලියන්න පටන් ගන්නත් කලින්. ඒ නිසා මම ආයේ මේ ලිවීම නතර කරල පොඩි ළමයෙක් අම්මව හොයනවා වගේ සමුද්‍රිකාව හොයන්න ගත්තා. එයා නෑ.මැසේජ් වලට Reply නෑ. එතකොට සමුද්‍රිකා හිටියේ රටින් පිට. මට ඒවා අදාළ උනේ නෑ. එයා මාව පොතක් ලියන්න කියලා අවුල් ජාලයක හිර කරා වගේ හැඟීමක මම හිටියේ.
ඉතිං මම අපේ ක්‍රිශාට මැසේජ් කරා.ක්‍රිශා කියන්නේ ලේඛිකාවක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක්. ඔටිසම් දරුවෙක්ගේ අම්මා කෙනෙක්. මම ක්‍රිශාට මැසේජ් කරා ” මේ ඉලව්ව මට කරන්න බෑ. මේක මහ වගකීමක්. කෝ සමුද්‍රිකා ?” එයා ආයේ මට කතා කරනකල් මට මේක ලියන්න බෑ” මම එහෙම කිව්වම ක්‍රිශා මගේ හිත හැදුවා.මාව සන්සුන් කරා.
සමුද්‍රිකා මට කතා කරා. අතරමං වෙලා හිටිය දරුවෙක්ට අම්මා හම්බුනා වගේ මම මහා බොළඳ විදියට සතුටු උනා. මට ඕනේ උනේ සමුදිකා මට කියන්න” ඔයාට මේක ලියන්න පුළුවන්” කියන වචනය. එයා මට කිව්ව ගොඩක් දේවල් එක තේරුමකට ගත්තොත් ” එයා කිව්වේ අරගල කරා ඇති. දැන් නවතින්න. ඔයා ලියන්න ඔයා පේජ් එකෙන් අම්මලා එක්ක බෙදාගන්න දේවල් ගැන. ඔයා ලියන්න ඇත්ත. ඔයා ලියන්න ඔයා මූණ දෙන ඔයාගේ ඇතුලාන්ත අරගලය ගැන “
ඉතාමත් නොසන්සුන්ව නිරන්තරයෙන් අරගල කරමින් හිටිය මාව නිව්වේ ආදරණීය සමුද්‍රිකා. මම අඩක් සම්පූර්ණ කරපු පොත අයින් කරා. ආයේ මුල ඉඳන් ලියන්න ගත්තා ඇත්ත. අතිශයින් පුද්ගලික වූ මගේ ඇතුලාන්ත හැඟීම් ගැන මම ලිව්වා. මම ලිව්වේ නිදහස්ව කම්පියුටර් එකක් ඉස්සරහා ඉදගෙන නෙමේ. මම ලිව්වේ google Pixie 7 ෆෝන් එකේ ” Note pad” එකේ. ඒකට හේතුව කම්පියුටර් එකක් , ලැප් ටොප් එකක් උස්සන් එමලි පස්සෙ මට දුවන්න බැරි නිසා.
එමලි නිදා ගත්තට පස්සේ එළි වෙනකල් නොනිදා මම ලිව්වා. ඒ ලිවීම මට පොඩ්ඩක්වත් සතුටුදායක ලිවීමක් උනේ නෑ. මේ පොත ලිවීම සහ ආයේ ආයේ ඒක කියවීම මට ඉතා දරුණු traumatic experience / මානසික කම්පනයක් ඇති කරවන අත්දැකීමක් උනා. මට පහසු උනේ නෑ අපි පහු කරගෙන ආව අතීත දවස් වල හුදකලා තනි පවුලක් කිසිදු සහයක් නැතුව තනියම දරුවා වෙනුවෙන් උත්තර හොයන් ගිය අත්දැකීම් ගැන මතක් කරන්න. මම කිසිම කෙනෙක් එක්ක බෙදාගත්තේ නැති මගේ මානසික සහ ශාරීරික විපර්යාසයන් ගැන ලියන්න. එමලිට සහය දීමේ සම්පූර්ණ වගකීම බාර ගැනීම සම්බන්ධයෙන් මගේ ඇතුලාන්තයෙන් ඇති වුන තැති ගැන්ම සහ බය ගැන ආයේ මතක් කරන එක මම කරේ හරිම අපහසුවෙන්. කාටද පුළුවන් පිටතට පේන්න හිනා වෙලා ඉන්න ඒත් ආත්මයෙන් මිය ඇදෙමින් ඉන්න ජිවිතයක සත්‍ය , ආගන්තුක සමාජයක් එක්ක බෙදා ගන්න ? මම ලිව්වා යහළුවන්ගේ සම්බන්ධතා සම්පූර්ණයෙන් ම ඉතාම නරුම විදියට අත් හැරියේ ඇයි කියන එක.මම ලිව්වා එමලිගේ ඔටිසම් තහවුරුව මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම කණපිට ගහපු හැටි. මම ලිව්වා මම කවදාවත් මගේ ආදරණිය සැමියා සමඟවත් බෙදා නොගත් සිතුවිලි. මම මාව සම්පූර්ණයෙන් ම නිදහස් කරා මේ පොතින්.
ඉතිං මට මේ පොත ලිවීම වෙනුවෙන් මගේ මානසික සෞඛ්‍ය කැප කරන්න සිද්ධ උනා. ඒත් මේක ලිවිය යුතුම පොතක්.
මේ පොත ඔටිසම් ගැන වටහා ගන්න අවශ්‍ය සියලුම මූලාශ්‍ර ඇතුළත් කරලා ලියවුණු පොතක්. ඒ නිසයි මේක ලංකාවේ පළවෙනි වතාවට සමාජගත වෙන Guide book එකක් වෙන්නේ. උදාහරණයක් විදියට මම මේ පොතට ඇතුළත් කරලා තියන මූලාශ්‍ර කීපයක් ගැන කියන්නං.
◉ Neurodiversity සහ Neuro Affirming Therapy යනු කුමක්ද?
◉ Sensory
◉ Kamila සහ Henry Markram ගේThe Intense World Theory ( IWT)
◉ Joint Attention
◉ ABA තෙරපි ක්‍රමවේදය සහ එහි ඉතිහාසය
◉ ABA ( Applied Behavior Analysis) ආකෘතිය සහ Neurodivergent-Affirming ආකෘතිය අතර වෙනස
◉ Stimming
◉ Pattern / Routine සහ Sensory Processing /Emotional Regulate
◉ Gestalt Language Processing
◉ Autism Eloping /Autism Wondering
◉ Autistic burnout
◉ Autistic masking
◉ Dr. Uta Frith ගේ සහ Dr. Simon Baron-Cohen ගේ දැනුම හරහා ඔටිසම් පුද්ගලයින්ගේ Pattern , Routines වටහා ගැනීම
◉ Angela McDonnell සහ Damian Milton ගේ “The meaning of special interests and flow“ වැනි තියරි හරහා ඔටිසම් දරුවන්ගේ Special interest වටහා ගැනීම.
මම මීට වඩා පොතේ අන්තර්ගතය ගැන කිව්වොත් සමුද්‍රිකා ඒකට ඒ තරම් කැමති වෙන එකක් නෑ
හේතුව මේ පොත කියවලා දැනගැනීමේ උවමනාව ඒ හරහා මම නැති කරලා දාන්න පුලුවන් නිසා.
මට සරලවම කියන්න ඕනේ කරේ මම මේ පොත වෙනුවෙන් මගේ සම්පූර්ණ ආත්මයම කැප කරා කියන එක. ඔටිසම් සම්බන්ධව විද්‍යාත්මකව ඔප්පු වුන සියලුම සියලුම දත්ත , සාධකයන් සහ මූලාශ්‍ර මම එකතු කරා. මට පුලුවන් උපරිම පරාසයෙන් ඔටිසම් සම්බන්ධව හැමදේම එකතු කරා. උදාහරණයක් විදියට නව දැනුම හරහා කියන්නේ ඔටිසම් දරුවන්ගේ අයි කන්ටැක් හදන්න යෑම ඔවුන්ට ශාරීරිකවත් ඉතා වේදනාසුළු අත්දැකීමක් කියන එක. ඒක ඇයි එහෙම කියන්නේ කියලා ඒ සම්බන්ධව සිද්ධ වුනු පර්යේෂණයන් මම ලියලා තියනවා. තවදුරටත් ඒ ගැන අධ්‍යයනය කරන්න අවශ්‍ය අයට ඒ මූලාශ්‍ර ඔස්සේ ගිහින් වැඩි දුර දැනුවත් වෙන්න පුලුවන්. මේ වගේ මම පුලුවන් උපරිම කිසිම තැනක හිස් තැනක්, ප්‍රශ්නාර්ථයක් ඇති නොවෙන්න හැමදේම ඇතුළත් කරා.
ඒ වගේම තමයි මේ පොතේ අවසානයේ සියන්සගේ අම්මා, නයනා අක්කා, පාරමී, සමාලි ජිත්මගේ අම්මා ශලනි ඔවුන්ගේ දරුවන් ගැන ඔවුන්ට සහය දීම ගැන අත්දැකීම් බෙදාගෙන තියනවා. ඔටිසම් දරුවෙක්ගේ පියෙක් වෙන මගේ හොඳම යහලුවෙක් වෙන ළහිරු පොතට අවශ්‍ය AI ෆොටෝස් හදලා දුන්නා.මම ඇතුළු අපි හැමෝම මේ බෙදාගැනීම කරේ ස්වේච්ඡාවෙන් මිසක් මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තුව නෙමේ. ඒ ගැනත් කියන්නම ඕනේ.
මේ පොතින් මට ලැබෙන කතෘ භාගය මම ලබා ගන්නවා වෙනුවට ඒක සමුද්‍රිකා හරහා ඍජුවම යන්නේ ලංකාවේ සහය අධිකව අවශ්‍ය ඔටිසම් දරුවන් හෝ පුද්ගලයින් සිටින අපෙන් සහයක් ඕනේම කරන පවුල් වලට. ඒ පවුල් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය මොනවද කියලා බලලා මම වෙනුවෙන් ඒ යුතුකම කරන එක මම සම්පූර්ණයෙන් ම ආදරණීය සමුද්‍රිකාටම බාර දුන්නා. ඒ වගේම පොත මුදල් දී ලබා ගන්න අපහසු ඔටිසම් දරුවන් ඉන්න දෙමව්පියන් ඉන්නවා නම් අපේ ආදරණීය සමුදිකා ඔවුන්ට නොමිලේ යම් පොත් ප්‍රමාණයක් වෙන් කරා. ඉතිං මට පැහැදිලිව කියන්න ඕනේ උනේ මේ පොත පිටිපස්සේ කිසිදු මූල්‍යමය බලාපොරොත්තුවක් නැති බවත් ඔයාලා මිලදී ගන්න හැම පොතකින්ම යම් මුදලක් සහය අවශ්‍ය ඔටිසම් දරුවන්ගේ පවුල් වලට ලැබෙනවා කියන එක.
මේ පොත මේ මාසේ අන්තිම මුද්‍රණයෙන් පිට වෙනවා. ඒත් බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් තවත් පොඩි දවසක් ගත වෙනවා. ඒ වගේම තමයි අපි මේ පොතේ එළිදැක්ම බොරැල්ල මරදාන පාර අංක 1141 ස්ථානයේ “සමුද්‍ර පොත්හලෙහි ” පලමු මහලෙහි Samudra Studio එකේ ජූනි 20 සෙනසුරාදා පෙ :ව 10.00 – 12.00 දක්වා පවත්වනවා. මේ දවසේ සහ වෙලාවේ වෙනසක් වෙනවා නම් මම ඒක කල් තියා පේජ් එකෙන් දැනුම් දෙන්නම්. හැමෝටම මේ එළිදැක්වීමට එන්න පුලුවන්. අපි ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් විදියට අපේ අත්දැකීම් සහ අභියෝග ගැන එදාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිටරට ඉන්න ඕනේම කෙනෙක්ට online මේ පොත මිලදී ගෙන්න ගන්න පුලුවන්. ඒ සම්බන්ධ link එක සහ තොරතුරුත් මම මේ පේජ් එකෙන්ම කියන්නම්. ඒ වගේම තමයි මේ පොත සිංහලෙන් ඉතා සරලව මම ලියලා තියෙන්නේ.මේ පොතේ ඉංග්‍රීසි සහ දමිළ භාශා පරිවර්තනයන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.
තව මොනවාම හරි පොත ගැන දැනගන්න ඕනේම දෙයක් තියනවා නම් කමෙන්ට් හරහා අපි කතා කරමු
ආදරෙයි හැමෝටම.ඔයාලා මහා පර්වතයක් වගේ අපේ පස්සෙන් හිටියා. ඒ නිසා මේක අපි හැමෝගෙම සමූහ උත්සාහයක් කියන එක මම කියන්නෙ මගේ හදවතින්ම යි.
ආදරණීය සමුද්‍රිකා මේ අවස්ථාව මට ලබා නොදෙන්න මේ පොත කවදාවත්ම සිද්ධ නොවෙන්න තිබ්බා. ඉතිං ඔයාටත් මම සෑහෙන්න ආදරෙයි


