මම කාලයක් තිස්සේ ” Ewen ” ගේ අක්කා Rubby කරගෙන යන ඔටිසම් දැනුවත් කිරීම Follow කරනවා. Ewen කියන්නේ අවුරුදු 24 ක ඔටිසම් තරුණයෙක්. එයා සතියේ දවස් කීපයක් Care home එකක ඉන්නේ. ඉතිරි දවස් කීපය එයාගේ අක්කා එක්ක.මේකට හේතුව Ewen ගේ ස්නායු විවිධත්වය එක්ක මූණ දෙන අහියෝග කළමනාකරණය කරගන්න සහෝදරියට අපහසු නිසා.

Ewen ගේ එක ඇහැක පෙනීම සම්පූර්ණයෙන් අහිමි වෙලා තියෙන්නෙ.ඒකට හේතුව තමයි පොඩි කාලේ එයා මොකක් හරි දේකින් ඇහැට ඇනගෙන තුවාල කරන්.ගෙදර කිසිම කෙනෙක් දන්නේ නෑ කොහොමද ඒක කරගත්තේ කියලා. දැන් මේ වගේ දෙයක් උනාම ගොඩක් වෙලාවට පවුලේ සාමාජිකයින්ට එල්ල වෙන චෝදනාව තමයි දරුවන් හරියට බලා ගන්නේ නෑ කියන එක. ඒත් ඔටිසම් දරුවන් ඉන්න බහුතරයක් දෙමව්පියන් දන්නවා ඇහි පිල්ලමක් ගහන නිමේශයක් ඇති කියලා දරුවා තමන්ට හිරිහැරයක් කරගන්න.

තමන්ගේ ස්නායු පද්ධතිය තමන්ට පාලනය කරගන්න අපහසු උනාම දරුවන් තමාටම හිරිහැර කරගන්න උත්සාහ ගන්නවා. ඔළුව බිත්තියේ ගහගන්නවා.තමන්ට පහර දීගන්නවා. මේ කිසිම හැසිරීමක් දරුවාගේ පාලනය යටතේ තියන ඒවා නෙමේ. ඒකයි අපි හැකිතාක් උත්සාහ කරන්නේ දරුවන්ගෙ මනස සන්සුන්ව තියන්න.

මේ දවස් වල එමලි ඉන්නේ වෙනදා වගේ පහසුවෙන් එයාගේ මනස සන්සුන් කරගන්න පුළුවන් තැනක නෙමේ. හේතුව ගෙදර බිත්ති පුරාවට පිරිලා තියෙන එයාගෙම බලි කුරුටු චිත්‍ර එමලිට හරිම අපහසුවක්. ගෙයක් පේන්ට් කරනවා කියන්නේ ඒ තරම් පහසු කටයුත්තක් නෙමේ. ඉතිං ඒකට ගත වෙන කාලය ඇතුළත අපි එමලිගේ මනස සන්සුන්ව තියාගන්න එයාට සහය දෙන්න ඕනේ. මේක කොයිතරම් අපහසු වැඩක්ද කියලා මට වචනෙන් කියන්න අමාරුයි. මොන මොහොතේ එමලි මොකක් කරයිද කියලා කියන්න බෑ. ඒත් එමලි එයාට හිරිහැර කරගන්න තත්ත්වයක කවදාවත් ඉඳලා නැහැ .පොඩිම කාලේ ඔළුව බිම ගහ ගත්ත අවස්ථා කීපයක් තිබුණා විතරයි.

මේ දවස් වල උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑ වෙනකල් එමලි ඉන්නේ මාව පේන මානේ. හේතුව එයාට මේ කාලයේ Self regulate වෙන්න බැහැ. ඒ නිසා මගේ සහය එමලිට නොනවත්වාම ඕනේ වෙනවා. මෙහෙම කාලවල් වලට අපිට මූණ දීලා පුරුදුයි. ඒත් ඒ කාලයේ දැනෙන මානසික සහ ශාරීරික වෙහෙසට නං දැන් ඔරොත්තු දෙන්නේ නෑ. හේතුව වයසත් එක්ක අපිට අපේ දරුවන්ගේ අභියෝග වලට මූණ දෙන එක අසීරු නිසා.

Ewen ගේ සහෝදරිය තමන්ගේ මල්ලිගේ හැඩය සහ අභියෝග ගැන කරන දැනුවත් කිරීම සෑහෙන්න වටිනවා. ඒකට හේතුව තමයි අදටත් යම් කොටසක් හිතාගෙන ඉන්නවා අපිට පුළුවන් කියලා ඔටිසම් විවිධත්වය සමඟ එන අභියෝග සම්පූර්ණයෙන්ම Over come කරන්න. ඇත්තටම යථාර්ථය ඊට වඩා සෑහෙන්න වෙනස්. අපිට හැම දේකටම විසඳුම් නැහැ. ඒත් අපිට පුලුවන් අභියෝග යම් මට්ටමකට කළමනාකරණ කරගන්න.

මුල් සබැඳිය : Ewen and Me