සැලකිය යුතු කාලයක් තිස්සේ අපි ඒ කියන්නේ මා ඇතුළුව ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් සමූහය විසින් නිරන්තරයෙන් කියන දෙයක් තමයි ලංකාවේ ඔටිසම් දරුවන්‍ට සහය දෙන යම් ක්‍රමවේදයක් තියනවා නම් හෝ තෙරපිවරුන් / වෛද්‍යවරුන් / ගුරුවරුන් භාවිතා කරන ක්‍රමවේදයන් තියනවා නම් ඒ බහුතරය අප්ඩේට් නැහැ කියන එක.මෙහෙම කියන්නේ ඇයි කියන එක නිරන්තරයෙන් නව දැනුම හරහා විද්‍යාත්මක සාධක හරහා කොයිතරම් ලිපි හරහා පැහැදිලි කරත් මම හිතන්නේ අපි කියන්න උත්සාහා ගන්නා යම් යම් කාරණා සමාජයේ බහුතරයක් වටහා ගන්නේ නිවැරදිව නෙමේ.
අපි සරලව කියන්න උත්සාහා ගන්නේ ඔටිසම් දරුවන් බලහත්කාරයෙන් පුහුණු කළ යුතු සත්ත්ව කොට්ඨාසයක් නෙමේ කියන එක සහ ඔවුන්ට ඔවුන්ගේ විවිධත්වය පිළිගැනීම හරහා සහය දිය යුතුයි කියන එක. මේ අදහස වඩාත් පැහැදිලි කරන්න මම හිතුවා ඉතාමත් ප්‍රවීන Occupational therapist කෙනෙක් වෙන “Kelly Mahler” මේ ගැන පැහැදිලි කරලා තිබ්බ පෝස්ට් එකක් ඔයාලා එක්ක බෙදා ගන්න. මම මීට පෙර කියලා තියනවා වගේ ලෝකයේ සෑම දියුණු රටකම ඉන්න තෙරපිවරුන් / වෛද්‍යවරුන් / දෙමාපියන් /ඔටිසම් පුද්ගලයින් 99% ක්ම නොමිළයේ ඔටිසම් සම්බන්ධව සෑම දැනුමක්ම සමාජය සහ ලෝකය සමඟ බෙදාගන්නවා. මම දකිනවා වසර ගණනාවක් පුරාවට ඔටිසම් දරුවන් සමඟ වැඩ කරලා ඒ සම්බන්ධයෙන් අත්දැකීම් විශාල ප්‍රමාණයක් එකතු කර ගත්ත ඇමරිකාව, ඔස්ට්‍රේලියව, එංගලන්තය වැනි රටවල් වළ තෙරපිවරුන් සහ වෛද්‍යවරුන් සතිපතා ඉතා දීර්ඟ ලෙස ඔටිසම් සමබන්ධව දැනුවත් කිරීම් සමාජ මාධ්‍ය හරහා වගේම නොමිලයේ පවත්වන සමුළු හරහා බෙදා දෙනවා.මේක ලංකාව ඇතුළු ආසියානු රටවල් වල සිද්ධ වෙන්නේ ඉතාම අවමයෙන්.ඒ වෙනුවට කරමින් යන්නේ තම තමන්ගේ මුදල් උපයා ගැනීමේ ව්‍යාපාර සහ රැකියා ප්‍රමෝට් කරන එක විතරයි.අන්න ඒ නිසයි ලංකාවේ බහුතරයක් දෙමාපියන්ට තමන්ගේ දරුවාව වටහා ගන්න අවශ්‍ය දැනුම නොලැබී යන්නේ.
දැන් Kelly Mahler හරිම ලස්සනට පැහැදිලි කරනවා කොහොමද ඔටිසම් දරුවෙක්ට/ පුද්ගලයෙක්ට සහය දෙන ක්‍රමයන් සකස් විය යුත්තේ කියන එක.

Kelly Mahler
Kelly කොටස් දෙකක් ගැන කතා කරනවා.ඒක තමයි Compliance-based approach එක සහ Interoception-based approach එක ගැන. මේ අතරින් ලෝකයේ වර්තමානයේ බහුතරයක් පිළිගන්නේ Interception – based approach එක.මේ දෙකේ වෙනස් කම් අපි වෙන් වෙනම කතා කරමු.එතකොට අපිට ඇයි අපි ඔටිසම් දරුවන්ට සහ පුද්ගලයින්‍ට සහය දීමට Compliance – based approach එක ප්‍රතික්ෂේප විය යුත්තේ කියන එක තේරුම් යනවා.
Compliance-Based
- දරුවාගේ හැසිරීම පාලනය කිරීමට/ Control කිරීම යන කාරණයට සමස්ත අවධානය යොමු කිරීම
- දරුවාගේ වෙනස්කම් වලට දරුවාට වරද පැටවීම සහ දරුවා තුළ යම් වරදක් ඇතැයි සිතීම
- දරුවාගේ අභ්‍යන්තර අත්දැකීම් එනම් දරුවාට දැනෙන සහ සිතෙන දේ සඟවා ගැනීමට දරුවාට බල කිරීම.
- දරුවාගේ සමාජීය “හොඳ” යන නිර්වචනය තුළ තිබෙන හැසිරීම් මත පමණක් දරුවාට ඔහු /ඇය පිළිබඳව වටිනාකමක් ලබා දීම.
- වැඩිහිටියන්ව සතුටට පත් කිරීම/ වැඩිහිටියන් බලාපොරොත්තු වෙන දේ ඉටු කිරීම මත පමණක් දරුවාට Reward ලබා දෙයි.
- දරුවාගේ ගැටළු වලට ක්ශණික විසඳුම් ලබා දීම හරහා දීර්ඝකාලීන ගැටළු ඇති වේ.( උදාහරණයක් ලෙස දරුවාව පාසල් යැවීමෙන් සහ ඉගැන්වීමෙන් දරුවා තුළ තිබෙන ගැටළු විසඳී යයි කියා සිතීම)
Interoception-Based
- දරුවාගේ හැසිරීම ඉතා සියුම්ව සහ ගැඹුරුව අධ්‍යනය කිරීමට අවධානය යොමු කිරීම.
- දරුවන්ව නොව වැඩිහිටියන් දරුවාට සහය දීමට වෙනස් වෙන්නේ කෙසේද යන්න සිතීම.
- දරුවාට ආවේණික සහ විශේෂ වූ දැනීම්/ සිතීම්/අත්දැකීම් වලට වටිනාකමක් දෙමින් සහය දීම
- දරුවාට තමන්ව වටහා ගැනීමට සහය දීම හරහා තමන් ගැන ,තමන්ගේ විවිධත්වය ගැන වටිනාකමක් ඇති කිරීම
- දරුවාට තමන්ගේ හැඟීම් සහ සිතුවිලි තුළ කිසිදු වරදක් නැතැයි ඒත්තු ගැන්වීම.
- සම්බන්ධතා තුළ දරුවා පරිස්සම් බව දරුවාට දැනෙන්නට සහය දීම.
- දීර්ඝකාලීනව/ ඉදිරි ජිවීතය ගැන සිතා හෙමින් එහෙත් ස්ථීරව සහය දීම.



තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවාව අනෙක් සෑම දරුවෙක්ගේම දෙමාපියන් මෙන් ඉහළ තලයට එනම් උසස් අධ්‍යාපනයක්/ රැකියාවක්/ සම්බන්ධතාවයන්/ ජීව්තයක් ලබා දීමට උත්සාහ ගැනීමේ කිසිදු වරදක් නැත.ඔටිසම් යනු බුද්ධි අවමතාවයක් නොවේ. එහෙත් ඔටිසම් දරුවාගේ ස්නායු විවිධත්වය හේතුවෙන් දරුවා මුහුණ දෙන අභියෝග සියුම්ව වටහා නොගෙන දරුවාට මානසික පීඩාවන් ඇතිවෙන ආකරයට දරුවාව එකී ඉලක්ක කරා ගෙනයාමට පුහුණු කිරීම සහ දරුවාගේ විවිධත්වය වෙනස් කිරීමට උත්සාහ ගැනීමෙන් දරුවාට සිදු වන දීර්ඝකාලීන මානසික ආතතියන් සහ පීඩාවන් සහ නොයෙක් බරපතළ ගැටලු අනාගතයේ ඇති වීමට හේතුවක් වෙනු ඇත.