එමලිගෙ page එකේ දැන් ගොඩක් යාලුවො එයාලගෙ අත්දැකීම් බෙදාගන්නවා තමන් විසින්ම සහ දෙමාපියන් ගේ හඩ හරහා. මේ අත්දැකීම් කොච්චර වටිනවද? ඒ වගේම මම දන්නව ඒව එච්චර පහසු දෙයක් නෙමේ කියලත්. රමේශා එමලිත් එක්ක මේ අත්දැකීම්, දැනුවත් කිරීම් බෙදා ගන්න ගත්ත මුල්ම කාලයේ මම හිතන්නෙ ඒක කොච්චර අභියෝගයක් වෙන්න ඇතිද? දැන් දැන් මම දකිනව ගොඩක් දෙමව්පියො තමන්ගෙ සහය අවශ්‍ය දරුවන් එක්ක කරන page (මොන පරමාර්ථයෙන් කරත් සමාජය දැනුවත් වීම වැදගත්). මේ හැම page අතරම කිසිවකට සම කල නොහැකි නව දැනුමෙන් පෝෂිත එකම page එක එමලිගෙ.

ඒ එමලිගෙ page එකට සම්බන්ධ අය එමලිගෙ සහ එමලිගේ සහෝදර, සහෝදරියන් ගැන කියවන කොට මේ හැම දරුවෙක්ම එකිනෙකාට වෙනස් වගේම ඒ දරුවන් මුහුණ දෙන අභියෝගයත් කොයිතරම් විවිධද කියලා වැටහෙනව ඇති. ඉතිං ඒක තමයි ඔටිසම් පරාසයේ විවිධත්වය.

 පිටරට page එකක් කරන අම්ම කෙනෙක් මේ විවිධත්වයේ පරාසය උපමාවකින් ලස්සනට පැහැදිලි කරා. එයා ඒක කියපු විදිය ඒ ආකාරයටම මට මතක නැති නිසා ඒකේ අදහස මම ඔයාලා එක්ක බෙදා ගන්නම්.

මහ මුහුදේ ගමන් කරන බෝට්ටු රාශියක් ගැන හිතන්න. මේ බෝට්ටු වල විවිධ වෙනස්කම් තියනවා. සමහර බෝට්ටු පැලීම්, හිල් , නැත්නම් කාර්මික දෝශ වලින් සමන්විතයි. අපි මේවා කොටස් තුනකට බෙදා වෙන් කලොත්,

පළමු කාණ්ඩයට අයන් බෝට්ටු වල ඇති සුළු පැලීම හා හිල් මෙන්ම යාන්ත්‍රික දෝශ වලට ඔබ අවශ්‍ය පිළියම් කිරීම් කලහොත් ඒවා කුණාටු වලට ඔරොත්තු දෙමින් ගමනාන්තය කරා යයි. මන්ද මේ පැළීම් හෝ හිල්වලින් නැවත වතුර කාන්දු වීමට තරම් ඒ බෝට්ටු දුර්වල නැති නිසා. සාර්ථක ගමනකින් පසු ඒවා වීරයින් වනුද ඇත.

දෙවන කාණ්ඩයේ බෝට්ටු වල හිල් වසා, පැලීම් වලට සහ යාන්ත්‍රික දෝශ වලට ඔබ පිළියම් කලත් නැවත වතාවක් අලුතෙන් එතුල හිල් හෝ යාන්ත්‍රික දෝශ ඇතිවෙමින් නමුත් බෝට්ටුව නොගිලී කුණාටු වලට හසුවෙමින් මුහුදේ පාවී තිබෙනු ඇත. ඔවුන්ට ඇත්තේ අවිනිශ්චිත ගමනාන්තයකි.

දැන් තුන්වන කාණ්ඩයේ බෝට්ටු, මෙම බෝට්ටු වල පැලීම්, හිල් හෝ යාන්ත්‍රික දෝශ වසා දැමුවත් අලුතින් නිම කලත්, හිල් ඇතිවෙමින් සහ වසා දැමූ තැන් වලින් නැවත, ඇතුලට වතුර කාන්දු වනු ඇත. ඔබ කාන්දු වන වතුර ඉවත් කරමින්, නැවත නැවත පිළිසකර කරමින් කුණාටුවෙන් බෝට්ටුව නොගිලී තබා ගැනීමට වෙර දරනු ඇත.

මම අයත් අයත් වන්නේ මේ තුන්වන කාණ්ඩයේ බෝට්ටුවටය. පුරා දශක දෙකක් පුරාවට බෝට්ටුව මුහුදේ නොගිලී රැක ගැනීම සදහා මම වෙහෙසෙමි. එය අදත් හෙටත් නොදන්නා අනාගතය දක්වාත් මගේ ශක්තිය නැතුව යනතාක් කල් මා එය රැකගනු ඇත.

තව දුරටත් මම පැහැදිලි කලොත් J ගේ peter rabbit දිවීම කාලයකට පෙර තිබිල අපි ඒක කලමනාකරනය කරගත්ත නමුත් නැවත ඒ peter rabbit දිවීම එයා පටන් අරගෙන. ඉතින් අපි ආයෙත් අලුතින් ඒක කලමනාකරනය කරගන්න උත්සාහ ගන්නව (හරියට බෝට්ටුවේ වහල දාපු හිලකින් නැවත පැලීමක් ඇතිවුනා වගේ).

මේ බෝට්ටු වර්ග තුනම එකතුව ශක්තිමත් නැවක් හැදුවොත් අපි හැමෝටම මේ කුණාටු වලින් මිදී ගමන සාර්ථක ගමනාන්තයකට ළඟාවිය නොහැකිද?

✍️ Shalani Weerawardana 

 

මුල් සබැඳිය : හැම දරුවෙක්ම එකිනෙකාට වෙනස් වගේම ඒ දරුවන් මුහුණ දෙන අභියෝගයත් කොයිතරම් විවිධද