අපේ සමූහයේ මගේ ආදරණීය සහෝදරියක් මට නිතරම පුතාගේ වීඩීයෝ එවනවා. ඒකට හේතුව අපි අපේ දරුවන්ගේ පොඩි පියවරයන් පවා එකට එකතු වෙලා සමරන නිසා.මම ඔයාලා එක්ක එමලිගේ හැම පියවරක්ම බෙදාගන්නෙත් අන්න ඒ සතුටට. ඉතිං මේ පුංචි පුතාට හම්බෙලා තියනවා එයාව තේරුම් ගත්ත ගුරුවරියක්. මේ ගුරුවරිය දරුවා එක්ක වැඩ කරන විදිය බලන් ඉන්න ආසයි මට. මම පුද්ගලිකවම අම්මට කිව්වා ටීචර්ට Thank you කියන්න කියලා. හේතුව මේ ගුරුවරියගේ ඉවසීම, එයා දරුවාට පීඩාවක් නැති වෙන්න දරුවා එක්ක සම්බන්ධ වෙන විදිය, දරුවා එක්ක කතා කරන විදිය මේ හැමදේම හරිම ලස්සනයි.සාමකාමී.
ඉතිං මම අද අම්මට මැසේජ් කරා මට ආයේ වීඩීයෝ එකක් එවනකොට දරුවගේ මූණ පේන්නේ නැති වෙන්න වීඩීයෝ එකක් එවන්න ඒක මට පේජ් එකේ දාන්න කියලා. ඒකට එක හේතුවක් මට අම්මගෙ අවසරය නැතුව දරුවගේ වීඩීයෝ මගේ පේජ් එකේ දාන්න බෑ. දෙක තමයි මම එමලි එක්ක විවෘතව මෙහෙම ඔටිසම් විවිධත්වය ගැන කතා කරාට හැම අම්මා කෙනෙක්ටම එහෙම කරන්න බැහැ. ඒකට හේතුව ලංකාවේ සමාජය තාම විවිධත්වය පිළිගන්න සූදානම් නැති නිසා. මගේ මැසේජ් එකට අම්මා පෙරළා මගෙන් ඇහුවේ ” ඇයි මම මගේ දරුවගේ මූණ හංඟන්නේ ” කියලා 
” මට මගේ දරුවාගේ විවිධත්වය ගැටළුවක් නෙමේ. මම මගේ දරුවාගේ විවිධත්වය ගැන ආඩම්බර වෙන අම්මෙක්”
ඉතිං මුලින්ම මේ අම්මාව ආදරෙන් බදා ගන්නවා. මේ අම්මා ලස්සන නර්ස් නෝනා කෙනෙක්
. මට අද පළවෙනි වතාවට මේ ආදරනීය අම්මගේ ශක්තිමත් වචන නිසා දැනුනා මම තනි නෑ කියන එක. දරුවන්ගේ විවිධත්වය පිළිගන්න දෙමව්පියන් වැඩි වෙන්න වෙන්න අපිට පුළුවන් අපේ දරුවන්ට නිදහසේ තමන් විදියට ජිවිතයට මූණ දෙන්න ඉඩක් අනාගතයේ හදන්න.
මේ වීඩීයෝ එකේ මම ආසම තැන තමයි ටීචර් දරුවගේ අතින් අල්ලන් රූප , වචන පෙන්නනවා වෙනුවට දරුවා ටීචර්ගේ අතින් අල්ලන් තමයි රූප වලට Point කරන්නේ. දරුවා ඉන්නේ එයාට පහසු විදියට බිම ඉදගෙන. ටීචර් දරුවාව ඉක්මන් කරන්නේ නෑ. කෑ ගහන්නේ නෑ.ප්රශ්න අහන්නේ නෑ. දරුවට කියන්නේ නෑ ඔයා Point කරන්න කියලා. ටීචර් දන්නවා දරුවාට පහසු පරිසරය සහ ලබා දෙන නිදහස් ඉඩ ඇතුළෙ දරුවාට ඉගෙන ගන්න පහසුයි කියලා.
මේක තමයි පීඩාවක් නැති උනාම දරුවා සහ ගුරුවරු අතර නිර්මාණය වෙන සම්බන්ධය.මේක තමයි දරුවා එක්ක එකට දැනුම හොයාගෙන යන්න දරුවාට දෙන සහය. මම මේ අම්මාට වගේම ගුරුවරියටත් සෑහෙන්න ආදරෙයි. පුතාට ඊට වඩා වැඩියෙන් ආදරෙයි

