පැරණි ABA තෙරපි ආරම්භ වුන කාලයේ ලියවුණු ලිපියක් ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. මේ ලිපිය ඉතාමත් ප්‍රසිද්ධ සහ ඉතිහාසගත වුන ලිපියක්. ලංකාවේ නොවෙනස්ව තාමත් කෙරෙන මේ පැරණි අමානුෂික තෙරපි ක්‍රමවේදය තුළ තමන්ගේ ඔටිසම් දරුවා වින්දිතයෙක් කරනවාද නැද්ද කියන එක ඔබගේ තීරණයක්..

1965 මැයි 7 වැනිදා ” Life Magazine “ එකේ පළ වුනු මේ ලිපියෙන් හඳුන්වා දුන්නා ” ivar lovaas “ කියන psychologist විසින් ආරම්භ කරපු ඔටිසම් දරුවන්ට ABA කියන තෙරපි ක්‍රමය ගැන. ඒ තෙරපි ක්‍රමය තමයි ඉතිහාසයේ ප්‍රථම තෙරපි ක්‍රමවේදය ඔටිසම් දරුවන් වෙනුවෙන් නිර්මාණය වුන.එතකොට ඒ කාලයේ ඔටිසම් ගැන කිසිසේත්ම අප්ඩේට් වීමක් වත් රිසර්ච් ආරම්භ වෙලා තිබුනේ වත් නැහැ. ඒ කාලේ තිබ්බ මතය තමයි මේ ඔටිසම් දරුවන් කියන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති නිකන් සත්තුන්ටත් වඩා පහළ තැනක ඉන්න කොටසක් විදියට. අන්න ඒ මතයත් එක්ක තමයි ivar lovaas විසින් දඬුවම් කිරීම හරහා බලහත්කාරකමින් ඔටිසම් දරුවන් ඔටිසම් නොවෙන දරුවන් කරන්න ඕනේය කියලා ABA කියලා තෙරපි ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ. ඉතිං වෛද්‍ය විද්‍යවේ දියුණුවත් එක්කම ඔටිසම් ගැන වඩ වඩාත් පර්‍යේශණ සහ රිසර්ච් ආරම්භ වෙලා පැරණි මත සියල්ලම කාලයත් එක්ක වෙනස් වුනා.ඒත් අදටත් ලංකාවේ භාවිතා කරන්නේ මෙන්න මේ 1965 කාලයේ භාවිතා කරපු පැරණි ABA තෙරපි ක්‍රමවේදයම තමයි. ඒකයි ඔටිසම් දරුවන් වේදනාවෙන් අඩද්ද්දි අවධානය හදන්න කියලා කළුවර කමර වල තියන්නේ. ඒ දරුවන්ගේ play නතර කරන්නේ. Stimming නතර කරන්නේ.අත් වලට ලොකු ස්ලෝන් බට දාලා අත පය එහා මෙහා කරන්න නොදී තියන්නේ. ලොක් චෙයාර් වල දාලා හෙලවෙන්න බැරි විදියට ඉන්දවලා තියන්නේ. ලංකාවේ ළමා ආරක්ෂණ අධිකාරිය ටිකක් ඇස් දෙක ඇරලා පොඩ්ඩක් හොයලා බැලුවා නං මේ අමානුෂික තෙරපි ක්‍රම භාවිතා කරන සායන, මධ්‍යස්තාන ගැන හොයාගන්න පුලුවන්.ඒත් ඒක වෙන්නේ නැත්තේ බලහත්කාරකමින් ඔටිසම් දරුවන්ව ඔටිසම් නොවන දරුවන් කරන්න ඕනේය කියන එක ලංකාවේ සෞඛ්‍ය වෘත්තීකයින් විද්‍යාත්මක සත්‍යක් කරලා අවසන් නිසා.

මම 1965 ABA ගැන හඳුන්වා දුන්න Scream , slap and Love ලිපිය සිංහලට පරිවර්තනය කරන්නම්. ඒ ලිපියේ භාවිතා කරලා තියන වචන , අදහස් සියල්ලම මම ඒ විදියටම භාවිතා කරනවා. එතකොට වටහා ගන්න පුලුවන් ඉතිහාසයේ නරුම කම සහ ම්ලේච්ඡත්වය. ඒ වගේම මේක කියවන ඔටිසම් දරුවන් ඉන්න දෙමව්පියන්ට පුලුවන් ආයේ ආයේ හිතන්න මගේ දරුවාත් මීට සමාන වේදනාවක් වින්දාද, විදිනවාද? කොහෙත්ම නැද්ද කියලා.

ඔටිසම් දරුවෙක්ගේ අම්මා කෙනෙක් විදියට මේ ලිපිය ආරම්භයේ ඉදන් අවසානය දක්වා හැම වචනයක් පාසේම මගේ හිත පුදුමාකාර විදියට තුවාල වුනා. ඉතාමත් අප්‍රසන්න දේවල් ලියන්න සිදුවීමම මට ලැබුනු එක්තරා දඩුවමක් කියලා මට හිතෙනවා. 

————————————–

විලාපය, පහර දීම සහ ආදරය 

(මානසික ආබාධිතයන්ට සහය දෙන මවිත කරවන සුළු ප්‍රතිකාරය)

Life Magazine 1965

අධික කෝපය සමඟ බැන වැදීම බිලී වෙතට යොමුවුනා. කුඩා බිලීගේ කන හරහා අකුණක් සේ තදබල පහරක් වැදුනා. මෙය මානසික ආබාධිත දරුවන්ට කෙරෙන විස්ම සහගත නව ප්‍රතිකාරයේ ඇති දරුණු කමයි.එය පාදක වී ඇත්තේ දරුවන් හොඳ නං ඔවුන්ට පැසසුම් ලබා දීම සහ දරුවන් නරක නං ඔවුන්ට දඬුවම් ලබා දීමේ පැරණි අදහස මතයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්‍යේශණ කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිකාර ක්‍රමය අත් හදා බැලීමට තෝරා ගත්තේ කුඩා පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු ළමයෙකුය.ඔවුන් Schizophrenia වලම විශේෂ අනු තත්ත්වයක් වන ඔටිසම් එනම් පුද්ගල සම්බන්ධතා නොදක්වන තරමට මනස සම්පූර්ණයෙන්ම වැසී ඇති , පාලනය කරගත නොහැකි උන්මාදයකින් පෙළෙන දරුවන් ය. ඔවුන් නිසා ඔවුන්ගේ පවුල් අපායන් බවට පත් වී ඇත.දරුණුකම,දඩුවම හරහා ඔවුන්ට ලබා දෙන ප්‍රථිකාර හරහා පර්‍යේශණ කණ්ඩාමට පළමු වැනි බාධකය බිඳ දමා ඉදිරියට ගොස් ඇත.

UCLA (පර්‍යේශණ කණ්ඩායම) විසින් මෙම දරුවන් හතර දෙනා කිසිදු සෙල්ලම් බඩුවක් නොමැති හිස් කුඩා කාමරයකට දැමුවේය.මෙවැනි දරුවන් සෙල්ලම් කරන්නේ නැත.ඔවුන් සිටින්නේ ඔවුන්ගේ කෙළවරක් නැති දැනීමක් නැති උන්මාදය තුළ ය.

වයස අවුරුදු 9පැමෙලා තමන්ගේ සුපුරුදු ශරීරය එහා මෙහා කිරීමේ නිරත විය.

අවුරුදු 8 රිකී තම දෙඅත් ගසමින් ඇඟිලි සොළවමින් බැලැන්කට් එකෙන් හිස වසා ගත්තේය.

අවුරුදු 7 චක් ඇඟ ඉදිරියටත් පසුපසටත් පද්දමින් ඇඟිලි උරන්නට විය

බිලී වයස අවුරුදු 7 යි. ඔහු ඇමරිකාවේ සිටින දහ දහසක් ඔටිසම් දරුවන් මෙන් ඔහුගේ හිස බිත්තියට නොනවත්වා ගසා ගනිමින් ඉතා කළහකාරීව හැසිරෙන්නට විය.

බිලීට සහ චක් ට කිසිවක්ම කතා කරන්නට නොහැක. පැමෙලා ගිරවෙක් මෙන් ඇයට කියන කියන සෑම දේම නැවත කියයි.රිකීට ඉතා හොඳ මතක ශක්තියක් ඇති නිසා පැය ගාණක් පුරා බැලූ වෙළදදැන්වීම් සහ ජින්ගල්ස් පමණක් කියයි.

මොවුන්ගේ අමුතු හැසිරීමට හේතුව පැහැදිලි නැත. අනෙක් සියළුම ඔටිසම් දරුවන් මෙන්ම මේ දරුවන් හතර දෙනාද සෞඛ්‍ය සම්පන්නය.පිළිවෙළය.කිසිදු මොළයේ හානියක් සිදු වී නැත. මෝඩ නැත.එහෙත් UCLA පර්‍යේශණ කණ්ඩායම හේතු ගැන අවධානය යොමු කරන්නේ නැත.ඔවුන්ගේ මෙම අත් හදා බැලීම සියලුම මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර වලට විරුද්ධ සහ වෙනස් එකකි. ඔවුන්ගේ බලාපොරොත්තුව මේ දරුවන්ගේ ප්‍රධානම හැඟීම් විරහිත වීමට හේතුව සොයා ගෙන එයට ප්‍රතිකාර කිරීමයි.

UCLA ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අවුරුදු 38 වයසැති Ivar Lovaas තර්ක කරන්නේ ” ගින්න හටගත්තේ කෙසේද යන්න ගැන සිතමින් දුක් වෙනවාට ප්‍රථමයෙන් අප කළ යුත්තේ ගින්න නිවා දැමීම” බවයි.

තවද ඔහු පවසන්නේ “මනෝ ව්‍යාධිය” යන අදහස හරහා රෝගියාගෙන් ඔහුගේ/ ඇයගේ ක්‍රියාවන් වලට වගකීම ඔවුන් විසින් දැරීම වළක්වනවා කියාය.එසේම ළමයෙකුගේ පිටතට පේන හැසිරීම බලෙන් වෙනස් කිරීම හරහා ඇතුලාන්තයේද හැසිරීම වෙනස් කිරීමට හැකි බව ඔහු විශ්වාස කරයි. උදාහරණයක් ලෙස පැමෙලාව බලහත්කාරකමින් සෙල්ලම් කරවීම මගින් ඇය සත්‍ය ලෙසටම එය කරනු ඇතැයි Ivar කියයි.

මානසික ආබාධිත දරුවන් විසින් කරනු ලබන හැසිරීම් වල වගකීම ඔවුන්ට දරන්නට / එසේත් නැත්තන් දඩුවම් කිරීම මගින් ඔවුන්ට සාමාන්‍ය ලෙස හැසිරීමට බල කර සිටීම මඟින්ද ඔවුන්ව සාමාන්‍ය කිරීමට හැකි යැයි මෙම ව්‍යාපෘතිය හරහා කියයි.

Ivar ගේ ප්‍රබල ක්‍රමවේදය වන්නේ ” දඩුවමයි”. ක්ෂණිකවම උන්මාද හැසිරීම් නතර කිරීමයි.ඔහුගේ අවසාන විසඳුම වන්නේ ” Shock room ( කරන්ට් එක අල්ලන කාමරය) ” එකය.

යම් කාල පරිච්ඡේදයක පැමෙලාගේ දියුණුවක් පෙන්වන්නට විය. ඇය යන්තම් කියවීමට සහ දැනීමක් සහිතව වචන කීමට පටන් ගත්තාය. එහෙත් අතරමැද ඇයගේ අවධානය නැති විය.සුපුරුදු ලෙස ඇය ඇයගේ ලෝකයේ ඇයගේ හැසිරීම් ආරම්භ කළේය. බැන වැදීම්, තර්ජනය කිරීම් සහ පහර දීම් කිසිවක්ට පැමෙලා ප්‍රතිචාර දැක්වූයේ නැත. එනිසා ඇයව Shock room එකට ගෙනියන්නට තීරණය කළේය. ලෝහ පටි වලින් ඒ කාමරයේ බිම සකසා ඇත.ඇයගේ නිරුවත් පසු පසට ඉලෙක්ට්‍රොනික ශොක් ලබා දීමේ කෝඩ් දෙක සවි කරේය.ඇයගේ සපත්තු ගලවා දැමුනි.

පැමෙලා ඇයගේ සුපුරුදු ක්‍රියාකාරකම වන අත් දෙක දෙස නිහඬව බලා සිටීම ආරම්භ කළ විටම Ivar මධ්‍යස්ථ දැනීමක් දැනෙන විදුලි ධාරාවන් දෙකක් ඇයගේ කකුල් දෙකට ලබා දුනි. ඉතාමත් පීඩාවට පත් වූ පැමෙලා Ivar ව බදාගත්තාය. එහෙත් ඒ ක්ශනිකව නැවත කියවීමට පැමෙලාව යොමු කළේය. එහෙත් පැමෙලා කෑ ගසන්නට පටන් ගත් විගසම Ivar කළේ No කියා කරන්ට් එක On කරන්නට උත්සාහා ගැනීමයි. එය දුටු පැමෙලා බියෙන් නිහඩ විය. දඬුවම හරහා ඇය No යන වචනයට ප්‍රතිචාර දැක්විය.

දරුවන්ගේ හොඳ හැසිරීම් පැසසුමට ළක් කිරීමද කාර්‍ය මණ්ඩලය විසින් සිදු කළේය.සෑම පැයක ලෙසන් එකකින් පසු විනාඩි 10ක විවේක කාලයක් ලබා දුනි.ආහාර ලබා දී ඔවුන්ගේ හොඳ හැසිරීම් ප්‍රශංසාවට ළක් කෙරුනි.එසේම මේ දරුවන් හතර දෙනා තෝරා ගැනීමේදී සළකා බැලුණු තව කාරණයක් වූයේ ඔවුන් කෑමට ඉතා ලැදි බවයි. එහෙයින් මුල් මාස කීපයේ ඔවුන්ට සාමාන්‍ය ආහාර වේලක් ලබා දුන්නේ නැත. ඔවුන්ගේ හොඳ හැසිරීම් වලට පමණක් ප්‍රශංසාවක් ලෙසින් කුඩා ආහාර හැදි ප්‍රමාණයක් ලබා දුන්නේය.

බිලීට කතා කිරීමට ඉගැන්නුවේ ආහාර පෙන්වාය.සෑම නිවැරිදි ශබ්ධයක් අවසානයේම ආහාර ස්වල්පයක් ලබා දීම සිදු කළේය. අත් වැරදීමකින් කියවුනු වචනයක් අවසානයේදීද ආහාර ලබා දුනි. එනිසා බිලී නැවතත් ඒ අත්වැරදීම සිදුකළේය.සති ගණනාවකට පසු බෝලය, කිරි, උන්මාදය, මම යන වචන ටික බිලීට කීමට හැකි විය.

ඉන් පසු ඔවුන් බිලීට මෙම වචන වල තේරුම කියාදීම ආරම්භ කළේය.බෝලය පෙන්වූ විට බිලී එයට කිරි යන වචනය කීය. එම වෑයම සති ගාණක් පුරා ඉතා පීඩාකාරීව ගෙවී ගියේය. හයවෙනි සතියේදී පර්‍යේශණ කණ්ඩායම වටහා ගත්තේ බිලී ඔවුන් සිතුවාට වඩා බුද්ධිමත් බවයි. එයට හේතුව බිලී වැරදි වචනය කියන විට ඔවුන් එය නිවැරිදි කරන මොහොතේ බිලී එම නිවැරිදි වචනය රිපීට් කරන විට ඔහුට ආහාර ලබා දුනි. එම නිසා ඔවුන් මේ ක්‍රමවේදය වෙනස් කළේය. බෝලය පෙන්නූ විට බිලී එයට බෝලය නොකියා ” මම” යන වචනය කීය.බිලීට කිසිදු කෑමක් ලබා දුන්නේ නැත.ඔහු පීඩාවට පත් වී දන්නා වචන කිපයම එක් වර කීය. ඒ අතර බෝලය කියන වචනය කියූ විට පමණක් ආහාර ලබා දුන්නේය.

චක් ගේ මව තම පුතුව හමුවූ අතර ඇය ඉන් උද්දාමයට පත් විය.සති හයකට පසු චක් අවුරුදු හතක සාමාන්‍ය දරුවෙකු මෙන් හැසිරෙන්නට පටන් ගත්තේය. ඔහු පළමු වතාවට අනෙකාට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තේය.අනෙකුත් දරුවන් දෙදෙනාගෙත් විශාල ප්‍රගතියක් පෙනුනි. රිකී UCLA කණ්ඩායම ඉදිරියට පැමිණ ” මම අඩි 4 යි අඟල් 3ක් උසයි. මම දාගෙන ඉන්නේ කලු සහ සුදු ටෙනිස් සපත්තු කියා කීවේය. බිලී ලබන අවුරුද්දේ විශේෂ පාසලකට යන්න සූදානම්. පැමෙලාට දැන් කියවන්න පුලුවන්.ඒත් ඇය තවමත් විකාරරූපී ඔටිසම් හැසිරීම් පෙන්නුම් කරනවා.

නිමි.

පැමෙලා , බිලී,චක්,රිකී … ඔබලා විඳි අනේක විදි ම්ලේච්ඡත්වයේ හැඩයන් මට මැවී පෙනෙයි. 
හඩක් නොලබාම ඉතිහාසය තුළ මියදුනු දරුවනි, අනේක වාරයක් අපට සමාවෙන්න.

පහත ඡායාරූප වල සිටින්නේ බිලී,පැමෙලා,චක් සහ රිකීය.