මේ දවස් වල බලන ඇමරිකාවේ පා ගමනින් යන ස්වාමීන් වහන්සේලාගේ වීඩියෝ එකක මම දැකපු සිදුවීමක් නිසා මට හිතුනා මම ජිත්ම එක්ක මූණ දුන්න අත්දැකීමක් ගැන කියන්න. ඒ වීඩීයෝ එකේ මම දැක්කේ ස්වාමීන් වහන්සේ කෙනෙක් Wheel chair එකක ඉන්න දරුවෙක්ගේ අතේ ඉතාමත් කරුණාවෙන් පිරිත් නූලක් බදිනවා.
ජිත්මගේ පුංචි කාලේ ඒ කියන්නේ එයාගේ වයස අවුරුදු 7 ක් 8 ක් වගේ. මම එයාගේ නංගිලව ඉස්කෝලෙට දාලා ජිත්මගේ තෙරපි වලට වෙලාව එනකල් පන්සලට ගිහින් ඉන්න පුරුදු වෙලා හිටියා. ඒ ගියේ පින් රැස් කරන්නවත් ජිත්මව සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නවත් නෙමේ. බුදු පිළිමයක් දිහා බලාගෙන ඉන්න එක වගේම බෝ ගහ පාමුලට වෙලා බෝ ගහේ කොළ සෙලවෙන හැටි බලන් බුදු ගුණ සිහි කිරීම මගේ මනස සන්සුන් කරන නිසා. ඒ වගේම ජිත්ම වැලි එක්ක සහ නිවුනු පහන් වල අඩියේ තියන තෙල් එක්ක සෙල්ලම් කරන්නත් කැමති නිසා.
මේ යන ගමනේදී පන්සලේ එක් හාමුදුරුවන් නමක් ජිත්මට ටොෆි සහ මිදි ගෙඩි කීපයක් දීලා හිස අතගාන්න පුරුදු වෙලා හිටියා.දිනක් ඒ හාමුදුරු නම අද ලොකු හාමුදුරුවන් මුණ ගැහිලා පුතාට පිරිත් නූලක් බදින්න පුලුවන් කියලා අපිව ලොකු හාමුදුරුවන් ලඟට අරන් ගියා. මට අදටත් ඒ ඉතා ප්‍රසිද්ධ ලොකු හාමුදුරුවන් ඉඳගෙන හිටිය අසුනේ හැඩය පවා හොඳට මතකයි.
ලොකු හාමුදුරුවන් මගේ පුතාගේ වෙනස් හැසිරීම ඉතා හොදින් දුටුවා. ” මොකද මේ ළමයට වෙලා තියෙන්නේ” කියලා උස් හඩින් සහ ඉතාමත් අකාරුණික ආකාරයෙන් ඇහුවත් මම සරලව පුතා තවම කතා කරන්නේ නැති බව පමණක් කිව්වා.ඒත් එක්කම අපව හොදින් දන්නා පොඩි හාමුදුරුවන් ” මේ අම්මා හැමදාම පන්සලට එනවා හාමුදුරුවනේ ” කියලත් කිව්වා මට මතකයි. ” ඕවා කරුම තමා. කර්මය … කර්මය” කියලා මට වචනින් විස්තර කරන්න බැරි තරම් අකාරුණික හඩින් ඒ වචන පේළිය ලොකු හාමුදුරුවන්ගේ කටින් පිට කළා. ඒ වචන මගේ හදවත කොයිතරම් දරුණු විදියට පීඩාවට පත් කරාද කියලා කියනවා නම් ඒ සිදුවීම මගේ මතකයෙන් අදටත් ගිලිහිලා යන්නේ නෑ. පිරිත් නූල බැදීම කෙසේ වෙතත් ” සාදුට සාදූ කියන්න පුතේ ” කියලා ජිත්මටත් කියලා මාත් හාමුදුරුවන්‍ට වැඳලා එතනින් එළියට ආවේ සුනීත සෝපාකලා ගැනත් බුදු හාමුදුරුවො මෙහෙම හිතුවද කියලා පුදුමාකාර කළකිරීමකින්.
මට මේත් එක්කම තව සිදුවීමක් මතකයි. එක්තරා ප්‍රසිද්ධ පන්සලකට මම ජිත්මව අරන් ගියා. ඒ පන්සලේ හරිම ලස්සන පිළිම ගොඩක් සහ සිතුවම් තිබ්බා.ජිත්මට ඒ කාලයේ ටිකක් වැඩි ඉඩක් තියන තැනක් දැක්කම කෑ ගහන, උඩ පනින පුරුද්දක් තිබ්බා. මේ හැසිරීමම ජිත්ම එදා ඒ පන්සලේදීත් පෙන්නුවා.සුදු ඇදගත් උපාසිකාවක් මගේ දිහාත් ජිත්ම දිහාත් බලාගෙන හිටියත් කිසිම දෙයක් කිව්වේ නෑ. ඒත් ටික වෙලාවකින් උපාසිකාවක් අපේ ලඟට ඇවිල්ලා භාවනා කරන අයට කරදරයක් කියලා හාමුදුරුවන් අපිට පන්සලෙන් යන්න කිව්වා කියලා දැනුම් දුන්නා. ඒත් ඇත්තටම හාමුදුරුවන් එහෙම දෙයක් කිව්වද කියලා මම දන්නේ නෑ. ඉතිං මම පුතාව අරන් ගෙදර ආවා. එදා ඉඳන් මම ජිත්මව එක්කන් ගියේ සෙනඟ අඩු පාලුවට වගේ තියන පන්සල් වලට විතරයි.
මගේ පුතාගේ ඔටිසම් විවිධත්වය නිසා එයාට පෙර පාසල් යෑමේ අවස්ථා ගොඩක් අහිමි කරේ පෝයට පන්සල්, ඉරිදට පල්ලි යන දෙමව්පියන් එයාලගෙ ‘ සාමාන්‍ය දරුවන්ට” ඔටිසම් වැළදෙයි කියලා Complain කිරීම හේතුවෙන්.
විවිධත්වය ප්‍රමෝට් කළ යුතු දෙයක්ද? නැහැ. විවිධත්වය කියන්නේ පිළිගත යුතු , ගෞරව කළ යුතු, අවබෝධ කර ගත යුතු සහ ආරක්ෂා කළ යුතු තත්ත්වයක් බව මිනිස්සුන් වටහා ගන්නා තෙක් නිවන දුර වේවී කියලා මට හිතෙනවා. මගේ දරුවා ඔටිසම් වීම මගේ කර්මය ( පව්) වත් මගේ දරුවාගේ කර්මය ( පව්) වත් නෙමේ. ඒක එක් මනුෂ්‍ය විවිධත්වයක්. ඒක මගේ දරුවාගේ අනන්‍යතාවය.

Shalani Weerawardana