දැන් අර හොරණ ඛේදවාචකය ගැන මම මගේ හදවතෙන් ලිව්වනේ, මේ ලියන්න හදන්නේ මොළෙන්!

ඒ ලිව්වේ කලකිරීම පිට කරගන්න. මේ ලියන්නේ ඒ කලකිරීම දෙගුණ කරගන්න බව මම දන්නවා. ඒත් මම මේ ටික ලියනවා!

දැන් පේජ් එහෙම හදාගෙන ලොකුව බේරගන්න කියලා කට්ටිය එක පෙළට සෙට් වෙලා ඉන්නවා. ඒ කවුරුවත් අර අහිංසක ජීවිත වලින් වන්දි ගෙව්වේ මිනිස්සු කියන එක පිළිගන්නේ නෑනේ. මොනවා හරි කිව්වොත් “ඔයාලා එහෙනම් ගෙදර ගෙනිහින් බලාගන්න”, “කවුද නැත්නම් ඒ මිනිස්සුන්ව බලාගන්නේ” වගේ මෝඩ ප්‍රශ්න අහනවා. මේ සේරම මෝඩකම හරි නොදන්නකම හරි කියලා හිතා ගෙන මම දැන් ජීවත්වෙන රටේ (ඕස්ට්‍රේලියාවේ) Disability support system එක ගැන ලියනවා. මොකද මම දන්නවා ඒ ගැන දැනගන්න කැමති, සංවාද කරන්න කැමති සහ හොයලා බලන්න කැමති බුද්ධිමත් මිනිස්සුත් ඉන්න බව.

සමහර ආබාධ සහිත මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට පැය විසි හතරම සහාය අවශ්‍යයි. ඔය කියන තැන දම්වැල් වලින් බැඳලා ඉද්දි මැරුණේ අන්න ඒ වගේ අය තමයි. එක පෝස්ට් එකක මං දැක්කා ඒ වෙනකම් හරි බලා ගත්තු කෙනාට මාංචු දැම්මේ පව් කියලා කියලා තියෙනවා. ඒ මනුස්සයා හිත හොඳම කෙනෙක් කියමුකෝ, ඒ වුණත් ඒ මනුස්සයාගේ මොළේ හොඳට තිබිලා නැහැ. එහෙම තිබ්බනම් විස්සක්වත් ඉන්න බැරි තැනකට හැත්තෑවක් දාගන්නේ නෑනේ බලා ගන්න!

ගොඩක් අය ගෙදර තියාගෙන මේ මිනිස්සුන්ව බලා ගත්තු නැති එකට බනිනවා. ඔයාලා කොහොමද දන්නෙ ඒ ගෙවල් වල ඒ මිනිස්සුන්ට ආරක්ෂාව තිබ්බද, ඒ වගේම එයාලා බලාගන්න හැකියාවක් තියෙන මිනිස්සු හිටියා ද , බැරිම තැන එතනට ගෙනත් දැම්මද කියලා. ඇත්තටම බොහෝ වෙලාවට මේ වගේ පැය විසි හතරම බලා ගන්න ඕනේ, සහාය දක්වන්න ඕන ආබාධ සහිත දරුවන්ව එහෙම මධ්‍යස්ථානවලට දාන්න සිද්ධ වෙන්නේ ඉතාම අසරණ හේතු නිසා. එක්කෝ ඒ දරුවන්ව මෙතෙක් කල් ඇස් ගෙඩි දෙක වගේ බලාගත්තු ආදරණීය දෙමව්පියෝ හෝ භාරකරුවන් මෙලොව හැරදා ගිහින් වෙන්න පුළුවන්. නැත්නම් වයසට යෑම සහ අසනීප තත්ත්වයන් නිසා දෙමව්පියන්ටම තවදුරටත් තමන්ගේ දරුවාව බලාගන්න වත්කමක් හෝ ශාරීරික ශක්තියක් නැතිවෙලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දරුවාගේ ආබාධිත තත්ත්වය ගෙදරක සාමාන්‍ය විදිහට පාලනය කරන්න බැරි තරම් බරපතළ වෛද්‍යමය සහ මනෝවිද්‍යාත්මක සහායක් ඉල්ලන එකක් වෙන්න පුළුවන්. එහෙම අන්ත අසරණ වුණු වෙලාවක, ඔවුන්ව බලාගන්න වෙනත් කිසිම ළඟම ඥාතියෙක් ඉදිරිපත් වෙන්නේ නැති තැන තමයි මේ වගේ මධ්‍යස්ථාන පිහිට පතන්න වෙන්නේ. එහෙම නොකර වෙනත් කෙනෙක් ස්වේච්ඡාවෙන්ම බලාගන්න ඉදිරිපත් වෙනවා නම් මුළු ලෝකෙම ඒ කලාතුරකින් තමයි.

එහෙම ගත්තම මෙහෙම මධ්‍යස්ථාන තියෙන එකේ වරදක් නැහැ. ඒවට හරිහමන් නීතියක් සහ නියාමනයක් නැති එක තමයි වැරැද්ද!

ඕස්ට්‍රේලියාවේ ආබාධ සහිත පැය විසි හතරම හෝ පැය කිහිපයක් හෝ සහාය අවශ්‍යය හැම කෙනෙක්ටම ඒ අවශ්‍ය සහාය ලබාගන්න ක්‍රමයක් හදලා තියෙනවා. එතකොට කෙයාරලාට තමයි ඒක පැවරුණේ. කෙයාර් කෙනෙක් (Caregiver / Disability Support Worker) වෙන්න නම් පහත සඳහන් සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ:

NDIS Worker Screening Check –  මේකෙන් ඒ පුද්ගලයා කලින් කිසිම අපරාධයකට සම්බන්ධ වෙලා තියෙනවද, විශේෂයෙන්ම දුර්වල හෝ අසරණ අයව අපයෝජනය කරලා තියෙනවද කියලා බලනවා. මේ සහතිකය නැතුව වැඩ කරන්නම බැහැ.

◎ Working with Children Check (WWCC) – ආබාධ සහිත දරුවන්ව බලාගන්නවා නම්, ළමා ආරක්ෂණ නීති යටතේ මේ විශේෂ පරීක්ෂාවෙන් සමත් වෙන්නම ඕනේ.

ප්‍රථමාධාර සහ CPR සහතිකය (First Aid & CPR Certificate) –  හදිසි අනතුරක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ආවොත් ප්‍රථමාධාර දෙන්න වගේම, හුස්ම නතර වුණොත් පණ දෙන්න (CPR) හැම කෙයාර් කෙනෙක්ම අනිවාර්යයෙන්ම ඉගෙනගෙන, ඒ සහතිකය hැම තිස්සෙම අලුත් කරමින් තියාගන්න ඕනේ.

◎ විධිමත් අධ්‍යාපන සුදුසුකම් –  සාමාන්‍යයෙන් Certificate III or IV in Disability හෝ Individual Support වැනි වෘත්තීය සහතිකයක් තියෙන්න ඕනේ. ආබාධ සහිත කෙනෙක්ව වඩාත් ආරක්ෂිතව සහ ගෞරවනීයව බලාගන්නේ කොහොමද කියලා මේකෙන් උගන්වනවා.

◎ NDIS Worker Orientation Module –  රජය මගින් පවත්වන මේ විශේෂ පුහුණු පාඨමාලාව කරලා, ආබාධ සහිත අයගේ මානව හිමිකම් සහ වෘත්තීය සදාචාරය ගැන සහතිකයක් ගන්නම ඕනේ.

ඒ විතරක් නෙවෙයි, එයාලට නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලො අකුරටම පහත සඳහන් නීති ටික පිළිපදින්න ඕනේ:

◎ පුද්ගල නිදහසට සහ ගෞරවයට ගරු කිරීම –  සැම ආබාධ සහිත කෙනෙක්ටම තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒ අයිතියට කෙයාර් කෙනෙක් අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕනේ.

◎ හිංසනයෙන් සහ අපයෝජනයෙන් තොර කිරීම –  ශාරීරිකව, මානසිකව, ලිංගිකව හෝ මූල්‍යමය වශයෙන් ඔවුන්ව කිසිම අපයෝජනයකට ලක් නොකිරීම සහ එහෙම වෙනවා දැක්කොත් වහාම වාර්තා කිරීම අනිවාර්යයි.

සුදුසු පරිදි සන්නිවේදනය –   ඔවුන්ට තේරෙන භාෂාවකින්, සලකුණු වලින් හෝ ක්‍රමවේදයකින් සන්නිවේදනය කරන්න ඕනේ. සැරවැර කිරීම් හෝ තර්ජනය කිරීම් සපුරා තහනම්.

◎ රහස්‍යභාවය රැකීම (Privacy & Confidentiality) –   ඒ අයගේ පෞද්ගලික තොරතුරු, වෛද්‍ය වාර්තා හෝ ඡායාරූප/වීඩියෝ ඔවුන්ගේ (හෝ භාරකරුවන්ගේ) අවසරයකින් තොරව ෆේස්බුක් දාන්න හෝ වෙනත් අයට පෙන්වන්න තහනම්.

◎ හදිසි අවස්ථා වාර්තා කිරීම (Reportable Incidents) –  යම් සේවාලාභියෙකුට අනතුරක් වුණොත්, තුවාල වුණොත්, හෝ මියගියහොත් පැය 24ක් ඇතුළත ඒක රජයේ කොමිසමට (NDIS Commission) නිල වශයෙන් වාර්තා කරන්නම ඕනේ. නැත්නම් ආයතනයේ ලියාපදිංචිය අවලංගු වෙනවා.

එහෙම කරලත්, මොනම තත්ත්වයක් යටතේවත් දම්වැල් දාලා බඳින්න, කාමර වල හෝ කූඩුවල හිර කරන්න අවසර දෙන්නේ නැහැ! මේක හදුන්වන්නේ “Unregulated Restrictive Practices” (නියාමනය නොකළ සීමා කිරීම්) කියලා. මිනිසෙකු බඳින්න හෝ කාමරයක දාලා වහන්න නීතියෙන් කිසිම ඉඩක් නැහැ. එය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සහ බරපතළ සාපරාධී වරදක්.

යම් රෝගියෙක් තමන්ට හෝ අන් අයට හානියක් කරගන්න තරම් ප්‍රචණ්ඩ වෙනවා නම්, සීමා කිරීම් (Restraints) කරන්න පුළුවන් ඉතාම තදින් නියාමනය කරපු වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක නිර්දේශ මත, විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ, කෙටි වෙලාවකට විතරයි. ඒකත් කරන්නේ රසායනික හෝ භෞතික ආරක්ෂිත ක්‍රමවේද (උදාහරණ: සන්සුන් කරන ඖෂධ හෝ විශේෂ ආරක්ෂිත ඇඳන්) මගින් මිසක්, දම්වැල් හෝ කඹ වලින් ගැටගැසීමෙන් නෙවෙයි. නීති විරෝධී ලෙස කෙනෙක්ව බැඳලා හෝ හිර කරලා තිබුණොත්, ඒක කළ අයට සහ ආයතන ප්‍රධානීන්ට දිගුකාලීන සිරදඬුවම් වගේම ඩොලර් මිලියන ගණනින් බරපතළ දඩ වැදෙනවා.

මම දැක්කා මානසික රෝගීන්ව එහෙම බලාගන්න අවසර දෙනවා කියලා පවා ලියලා තිබ්බා. ඇත්තටම බල්ලෙක්වත් දම්වැල් වලින් බැඳලා ඉන්නවා දකින්න මම පෞද්ගලිකව කැමති නැහැ. ඕගොල්ලෝ කොහොමද අනේ මිනිස්සුන්ව දම්වැල් වලින් බැඳලා තියෙනවා දකින්න කැමති වෙන්නේ?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලංකාවෙත් ඕනම කෙනෙක්ට තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එතකොට මෙතන සිද්ධවෙලා තියෙන්නේ අමු අමුවේම මානව හිමිකම් උල්ලංඝනය වීමක් නෙවෙයිද?

එතකොට ඔයාලා කොහොමද කියන්නෙ අර ලොකු කියන එක්කෙනා වැරදි නැහැ කියලා? රටක නීතියට ඔය විදිහට එරෙහි වෙන්න එපා. මිනිසුන්ගේ හදවත විතරක් හොඳ වෙලා වැඩක් නැහැ, මේ වගේ දේවල් වලදි මොලෙත් හොඳට තියෙන්න ඕනේ කියලා මෙහේ ක්‍රියාත්මක වෙන නීති පද්ධතියදිහා ආයෙත් බැලුවොත් ඔයාලට තේරෙයි.

මොකද ආබාධයක් සහිතව ඉපදුනත් මිනිස්සු හැමෝම එකයි.හැමෝටම තියෙන්නේ ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඔයාලා ලෙහලා ඉන්නයි, ආබාධ සහිත මිනිස්සු දම්වැල් වලින් බැඳලා ජීවත් වෙන්නයි දෙකක් බැහැ. එහෙනම් ඕගොල්ලොත් දම්වැල් වලින් බැඳලා තමයි ඉන්න ඕන!

මේ දේ වෙනකම් බලා ගත්තු එකම ලොකු දෙයක් කියලා ඔයාලා කියන්නේ කොහොමද? ඒ මිනිස්සු ඉපදුනේ මේ වගේ දම්වැල් වලින් බැඳලා ඉද්දි ගින්නෙන් පිලිස්සිලා මැරෙන්නද? වචන වලින්වත් මිනිස්සුන්ට එහෙම mරණ වරෙන්තු ලියන්න එපා. ඒක මහ පව්කාර වැඩක්. ඔයාලා ගොඩක් අය පව්කාරයෝ කියලා කිව්වේ ඒ අහිංසක මිනිස්සුන්ට නේද? ඇත්තටම ඒ මිනිස්සු ඔයාලා තරම් පව් කරලා නැහැ.

එතකොට මේ වගේ මිනිස්සුන්ව බලාගන්න තව හොඳ තැන් ඕන තරම් ලංකාවේ තියෙනවා. මම මගේ මුළු ජීවිත කාලෙදි ගත්තොත් එහෙම දැන් විසි ගණනකට වඩා ගිහිල්ලත් තියෙනවා, පරිත්‍යාග කරලා තියෙනවා. ඒ කවුරුවත් මේ වගේ ෆේස්බුක් පේජ් හදාගෙන ඒගොල්ලන්ව වීඩියෝ කර කර දම දමා නටන්නේ නැහැ.

මම හරිම ලස්සන කමෙන්ට් එකකුත් දැක්කා. ඔහු කියල තිබුණා “කැමරාව ඉදිරියේ තියෙන්නේ හොඳම ටික විතරයි, තිරය පිටුපස දේ දන්නේ නැතුව මිනිසුන්ව දේවත්වයෙන් අදහන්න එපා” කියලා. ඇත්තටම ඒ පාලන තන්ත්‍රයේ පාලනය කළ හැම කෙනෙක්ගේම වරදක් තියෙනවා.

සුරැකුම් මධ්‍යස්ථානයක් ආබාධ සහිත අය වෙනුවෙන් හෝ වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා නම්, ලෝකයේ පිළිගත්තු (ලෝක සෞඛ්‍ය සංවිධානය – WHO සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මගින් පැනවූ) මෙන්න මේ ප්‍රමිතීන් (Infrastructure Standards) තියෙන්නම ඕනේ. දන්නේ නැත්නම් දැනගන්න:

▷  රෝද පුටු සහ සංචලන පහසුකම් (Accessibility) – ගොඩනැගිල්ලට ඇතුල් වෙන තැන ඉඳන් වැසිකිළි, කැසිකිළි දක්වා හැම  තැනක්ම රෝද පුටු වලින් යන්න පුළුවන් වෙන්න ඕනේ (Ramps සහ Wide Doors තිබීම අනිවාර්යයි). බිම ලිස්සන්නේ නැති විදිහට තියෙන්න ඕනේ.

▷ ගිනි ආරක්ෂණ සහ හදිසි පිටවීමේ ක්‍රමවේද (Fire Safety & Emergency Evacuation) – සෑම කාමරයකම දුම් අනාවරක (Smoke Detectors) සහ ස්වයංක්‍රීය ජල විදින (Sprinkler Systems) තිබිය යුතුයි. හදිසි අවස්ථාවකදී රෝද පුටු සහ ඇඳන් පිටින්ම එළියට ගන්න පුළුවන් පළල් හදිසි පිටවීමේ දොරවල්” (Emergency Exits) සහ ඒවාට යන මාර්ග බාධාවකින් තොරව තිබිය යුතුයි. නිතරම ගිනි නිවීම් පෙරහුරු (Fire Drills) කරන්න ඕනේ.

▷ ඉඩකඩ සහ වාතාශ්‍රය (Space & Ventilation) – එක් අයෙකුට මෙපමණ වර්ග ප්‍රමාණයක් තිබිය යුතුයි කියා නීති තියෙනවා (Overcrowding තහනම්). කාමරවලට හොඳින් අව්ව සහ හුළං ලැබෙන්න ඕනේ. විස්සක් ඉන්න තැනට හැත්තවක් දැමීම නීතියෙන් බරපතළ වරදක්.

▷ කෙයාරස්ලා සහ රෝගීන් අතර අනුපාතය (Staff-to-Client Ratio) – පැය 24ම සහාය අවශ්‍ය, දැඩි ආබාධ සහිත අය ඉන්නවා නම්, එක් රෝගියෙකුට අවම වශයෙන් එක් කෙයාර් කෙනෙක් හෝ දෙන්නෙක් (1:1 හෝ 1:2) ඉන්න ඕනේ. එක් අයෙකුට විශාල පිරිසක් බලාගන්න දෙන්නේ නැහැ.

ඔයාලට අහම්බෙන් මේ පෝස්ට් එක කියවන්න හම්බුනොත් , තවදුරටත් “ඒ මිනිස්සු මැරෙනකම් බලා ගත්තු එක ලොකු දෙයක්”, “ඒ මනුස්සයට නිදහස ලබා දෙන්න” වගේ මෝඩ කතා කියන්න එපා!

එයා කොච්චර හොඳ කෙනෙක් වුණත්, එයාගේ වගකීම් රහිත ස්වභාවයට එයා දඬුවම් ලැබිය යුතුයි. ඒ වගේම ඉක්මනින්ම රජය මගින් මෙවැනි ආයතන උදෙසා නීති සම්පාදනය කළ යුතුයි වගේම හරි හැටි නියාමනය කළ යුතුයි.

මේ ගැන කතා කරන, සැබෑම කැක්කුමක් තියෙන ආබාධ සහිත හෝ ආබාධ සහිත කෙනෙක්ට රැකවරණය සහාය ලබා දෙන කෙනෙක්ට බනිනකොට දෙපාරක් හිතන්න . මොකද ඔබ වගේ නෙවෙයි, ඔවුන් මේ ප්‍රශ්නය තුළම ජීවත් වෙලා, මේ ගැන අධ්‍යයනය කරලා හුගාක් දේ දන්න නිසා.

වීඩියෝ එකකින් දැක්ක කෙනෙක් හොඳ මනුස්සයෙක් කියලා හිතා ගෙන ඒ මනුස්සයව බේරගන්න පෙළ ගැහෙන ඕගොල්ලෝ, ඕගොල්ලෝ අතරෙම ඉන්න ආබාධ සහිත අය වෙනුවෙන් නීතිය හැදෙනවට , ඒවා ක්‍රියාත්මක වෙනවට මේ තරම් අකමැති ඇයි? මට අන්න ඒ ප්‍රශ්නෙට විතරක් උත්තර දීගෙන යන්න!

මං මේ ප්‍රශ්නය අහන්නේ මේ තත්ත්වය ගැන හරියට හිතලා , මේක නිවැරදිව තේරුම් ගත්තු බුද්ධිමත්, සංවේදී සහ හොද මිනිස්සුන්ගෙන් නෙවෙයි. මං උඩින් සඳහන් කළා වගේ, කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව, වැරැද්ද සාධාරණීකරණය කරමින් “ලොකුව” බේරගන්න විතරක් පෙළ ගැහෙන මිනිස්සුන්ගෙන්. හැබැයි මං මේ පෝස්ට් එක ලිව්වේ ඔය දෙගොල්ලන්ටම කියවලා යමක් එකතු කරගන්න. මේ ගැන ඕගොල්ලන්ට මොනවාම හරි දැනගන්න ඕන නම්, වැඩිදුරටත් මම උත්තර දෙන්න බැඳී ඉන්නවා.

https://www.facebook.com/share/p/1CYCR7YPhJ/

✍️ Lakmi Vasana