Damith Dahanayake ගේ සිතුවිලි. තාත්තලා තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවන් ගැන අත්දැකීම් බෙදාගන්නේ හරීම අවම වශයෙන්. දමිත් ඒ කාලේ ඉදන්ම අපිත් එක්ක මේ ගමන එකට ආවා.අත්දැකීම් බෙදාගත්තා. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් එක්ක මුහුණ දෙන අභියෝග වලදී දැනෙන හැඟීමම ,ඒ දැනෙන මානසික සහ ශාරීරික වෙහෙසම තාත්තලාටත් දැනෙනවා. ඒත් මම හිතන්නේ බහුතරයක් තාත්තලා ඒවා නිහඬව දරාගන්නවා. Thank you දමිත් මේ සටහනට. 

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

නෙතුක හා මතක

නෙතුක ඔටිසම් තත්වය සහිත දරුවෙක් බව මුලින්ම දැනගත්තේ ඔහුට අවුරුදු තුනත් ලැබුවාට පසුවයි. ඔහුගේ ක්‍රියාකලාපයන්හි යම් යම් වෙනස්කම් දක්නට ලැබුණත්, සැක සංකා පැන නැංගා වුණත් අප මානසිකව කටුක යථාර්ථයන් වෙත පනින්නට ස්වභාවයෙන්ම එන්නා වූ අකමැත්තත්, අවට සමාජය විසින් ඔහු සාමාන්‍ය දරුවෙක් ලෙස පුන පුනා තහවුරු කිරීමත් එකී පමාවට හේතුවන්නට ඇතැයි මේ දැන් පවා සිතේ.

ඔටිසම් දරුවෙක් සමග ජීවිතය ගත කිරීම, ඔහුගේ මනෝභාවයන් තේරුම් ගැනීම, ස්වාධීන මිනිසෙකු සේ ඔහුව ගොඩනැගීම වෙනුවෙන් නොනවතින සටනක නිරතවීම දෙමාපියන්ට උරුම වන්නා වූ මෙන්ම අත්‍යාවශ්‍යයෙන් කළ යුතු කාර්යයන්‍ ය. එය දින නියමයක් නැති, ප්‍රතිඵල ද බලාපොරොත්තු නොවිය යුතු විභාගයකට කඩිමුඩියේ සූදානම් වීමක් හා සමානය.

ඔටිසම් සමග මේ ගෙවන්නේ හත්වන වසරයි. ඔහුව රජයේ පාසලකට ඇතුළත් කරන්නට එතැන් සිට එම පාසල්වල සාමාන්‍ය දරුවන් අතර ගැවසෙමින් ලොකුමහත් කරන්නට අප නොයෙක් වෙර වීරීය අරගත් බව මතකයට නැගේ.

ඉතා අසීරුවෙන් වසර දෙකක් තුනක් ගත කළ හැකි වුවද නෙතුකගේ චර්යාවේ වෙනස්කම්, අනෙකුත් දරුවන්ව සිදුවන්නා වූ කායික බලපෑම් ආදිය හේතුවෙන් එම පාසල් ගමන අභියේගයට ලක් විය.

ඒ මොහොතේ යළි ඔහුව එම පාසල තුළම ස්ථිරව තබන්නට මා ද එම පාසලට ස්ථානමාරුවක් හදාගෙන මාස 6ක පමණ අසීරු කාලයක් ගෙවා දැමුවෙමි. ඔහු අතැම්විට ඔහු පන්ති කාමරයේ නිදා වැටෙයි. සමහර විටෙක පන්තියෙන් එපිටට පැන කොහේ හෝ දුවයි. ඔහුට ආදරය කරනා ළමුන් මෙන්ම ඔහුගේ හිරිහැරවලට හසුවී අනුකම්පාව අයදින දරුවන් ද දැකගත්තෙමි. පුතා සේම නොවෙතත් නොයෙක් ආර්ථික අර්බුද, පවුල් ප්‍රශ්න හේතුවෙන් අසරණ, වේදනාවෙන් පෙළෙන දරු දැරියන් හා කාලය ඉගිල්ලී ගියේය. එසේ නමුදු නෙතුක වෙනුවෙන් මාස 6ක් තිස්සේ මා කළ සටන පරාජයට පත්විය. නෙතුක සාමාන්‍ය පාසලෙන් විශෙෂ පාසලකට ඇතුලත් කිරීමට සිදුවූයේ වෛද්‍යමත හා ඔටිසම් පිළිබඳ අති නවීනතම අර්ථකථන ද නොතකමිනි.

මා හට මේ සියල්ල මතකයට නැගුනේ මෑතක ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි නිසා විය යුතුය. වයසින් ඔහු සිටින්නේ ද ශිෂ්‍යත්ව වයසේම ය. ශිෂ්‍යත්වය මෙන් නිශ්චිත වයස් මට්ටමකදී නෙතුකගේ ප්‍රතිඵල මැන ජයග්‍රහණය සැමරිය හැකි මොහොතක් නොඑලඹෙන බව අපට දැන් තහවුරු වී ඇත. චිත්‍රපටවල පෙන්වන්නාක් මෙන් අවසානයේ ජයගත හැකි හෝ සියල්ල සතුටු සිතෙන් විසඳිය හැකි අවසානයක් ඔටිසම්වලට නැති බව අප දැන් අවබෝධ කරගෙන සිටින්නෙමු. කෙසේ නමුත් ස්වාධීන මිනිසෙකු ලෙස පුතු දෙපයින් සිටුවීමේ අවශ්‍යතාවය සහ ඒ වෙනුවෙන් දැඩිව කැපවිය යුතු බව වරින්වර සිහි කැඳවෙමින් මවිසින් මාවම රිද්දා ගනිමින් ස්මරණය කරන්නෙමි.

පරිපූර්ණ ජීවියෙකු නොවන මාගේ අඩුලුහුඩුකම්,නොයෙක් දුබලතා මටම පෙන්නුම් කෙරෙමින් ඔටිසම් මට වෙනස් ආකාරයක ජීවන අත්දැකීම් ද අධ්‍යාපනයක් ද ලබා දෙමින් ඇතැයි විටෙක සිතේ. මා මගෙ සිහින අරමුණු හා ආශාවන් පසුපස කෑදරකමින් හැල්මේ ලුහුබඳිමින් සිටියදී සැනෙකින් නෙතුකගේ මුහුණ දැක නැවත හැරී ඔහුව ඔසවාගන්නට නැවත දිව එමි. ඔහු ඔසවාගෙන කර්කශ මාවතක දුර යාම වෙහෙසකර බව පෙනෙද්දී මා බාහිරව සතුට සැනසුම, ආදරය උරාගෙන ඒ තුළින් ජවය ගෙන නැවතත් සටනට සැරසෙමි. දිනයක් නොමැති විභාගයකට සූදානම් වෙමි. නෙතුකව සූදානම් කරමි. මෙතෙක් කළ සටනේ දී කොතෙක් වෙහෙස ගෙන ඇති නමුදු මා පරාජිතයෙක් හෝ දුර්වලයෙක් යයි කොතෙකුත් මට සිතී ඇත.

එහෙත් දරාගැනීමේ ශක්තිය අතින් මා සිටින්නේ උච්ච ස්ථානයකැයි ද මවිසින් මටම මතුරා ගනිමි. එහෙත් එයට කියනා නම දරාගැනීමම දැයි මා නොදනිමි. කොතෙකුත් පීඩන, අභියෝග මා අභියසට පැමිණියත් නොසෙල්වී සිටින්නට මට හැකිව ඇත්තේ ඒවා මගේ පංචේන්ද්‍රියන් තුලින් මනස වෙත විසකුරු වේදනාවක් ආකාරයෙන් ගමන් නොගන්නා නිසා විය යුතුය. කාර්යාලයේ දී පවා එන කොතෙකුත් තාඩන පීඩන පීඩනයක් නොවන ලෙස මා අචලව වැඩ කරද්දී ඇතැම් අය මා හා උරණ වූ බවක් ද මට හැඟී ගොස් ඇත. මගේ මේ ස්වභාවය මේ සම්බන්ධයෙන් නම් යහපත් ආකාරයෙන් මට ද නෙතුකට ද බලපානවා ඇතැයි මම දැනට සිතා ගෙන සිටිමි.

රෝහල් සායනවලදීත්, තෙරපිවරුන් අතරේදීත් ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ට ලැබෙන සැලකිලි නම් තරමක වේදනා සහගත බව අත්දැකීමෙන් දනිමි. බොහෝ අය ඍජුව බැන වදී. චෝදනා කරනු ලබයි. මා එවැනි දෑ එතරම් නොකතන නමුදු එසේ අවුල් වියවුල් මනසින් කිපෙමින්, රිදවාගත් දෙමාපියන් මා අභිමුව ඕනෑ තරම් සිටිනු දැක ඇත. ඒ බොහෝ අයගේ මුහුණු මලානිකය. බලාපොරොත්තු විරහිතය.

ඔටිසම් තනිව මුහුණදිය හැකි තත්වයක් නොවේ. ඔටිසම් පුද්ගලයන් ද ඔවුන්ගේ දෙමාපියන් ද බාහිර සමාජයේ උපකාර හා අතදීම්වලින් හා අන්‍යෝන්‍යා සහයෝගීතාවයෙන් මුහුණදිය යුතු තත්වයකි. දැලක් මෙන් සමාජයේ නොයෙක් තරාතිරම්වල අයගේ බලපෑම ලැබිය යුතු තත්වයක් බව ඒ හා සම්බන්ධ ලිපිවල ඕනෑ තරම් සටහන්ව ඇත. ඔවුන් දැඩි බරක් මානසිකව හා ශාරීරිකව දරන බැවින් ඔවුන්ගේ ප්‍රීතිමත් මනෝභාවය දරුවාගේ අනාගතය කෙරෙහි අනිවාර්ය බලපෑමක් කරනා බැවිනි. සැනසිලිදායක ජීවිතයක් ඔවුන්ට ද අවශ්‍ය බැවිනි.

මා මේ කරුණු කාරනා කීමට ශීෂ්‍යත්ව විභාගය හේතුවක් වූ නමුත් ඔහු ශිෂ්‍යත්වයට වාඩි කරවීමට හෝ ජයග්‍රහණයක් ලැබීමේ වුවනමාවක් මට දැනී නොමැත. එවැනි විභාගයකින් සමත් වූ දෙමාපියන්නේ මුහුණු දකින විට ඒ සන්තෝසයේ රැළි සමඟ ඔවුන් කළ කී කැපකිරීම් ඔවුන්ගේ සිතිවිලි හරහා එළියට එනවිට මම මා ගැනම පරීක්ෂාකාරී වූයෙමි. දරුවා වෙනුවෙන් මා අවංක කැපවීමක් කළාදැයි/කරමින් පවතිනවා දැයි මා මගෙන්ම විමසන බැවිනි. හෘද සාක්ෂියට අනූව ඊට 100%ක් සන්තෝසමත් පිළිතුරක් ගොනුකර ගත නොහැකි බැවිනි. ඊට විභාගයක් සමත් වීම වැනි ඍජු හෝ නිශ්චිත පිළිතුරක් ලබා ගැනීම දුෂ්කර යයි තහවුරුව දැනෙන බැවිනි.

✍ Damith Dahanayake

මුල් සබැඳිය : නෙතුක හා මතක