අපේ Private Group එකේ අම්මා කෙනෙක් දරුවාට පාසල් පරිසරය Comfortable කරන්න අහපු ප්‍රශ්නයකට එක්කෙනෙක් දුන්න පිළිතුරක කොටසක් තමයි මම පහල දාලා තියෙන්නෙ. ඒත් එක්කම ඒකට වෙනත් අම්මලා දාපු Reply කමෙන්ට් කීපයකුත් මම එකතු කරනවා ලංකාවේ බහුතරයක් නොදන්න ඒත් ඔටිසම් සහ ADHD දරුවන්ගේ දෙමාපියන් මුහුණ දෙන අත්දැකීම් ගැන අදහසක් දෙන්න.

ඇයි ඔටිසම් සහ ADHD දරුවන් පුටුවක අලවලා තියන එක 2026 වසර වෙනකොටත් ලංකාවේ ඉලක්කයක් වෙලා තියෙන්නේ? මේවා දැන් ලෝකයේ පාසල් සහ විශේෂ අධ්‍යාපන ඒකක තුළවත් ඉලක්කයන් බවට හඳුනාගන්නේ නැති දේවල්. ඒකට හේතුව තමයි දරුවන්ගේ ස්නායු විවිධත්වය වටහා ගැනීම සහ එක තැන බලහත්කාරකමින් ඉන්දවලා තැබීම ඉතාම අමානුෂික දෙයක් නිසා.

නිකමට හිතන්න ලංකාවේ පාසලක ඔටිසම් දරුවෙක්ට ඉඳගෙන තියවාගන්න කකුල් හතරේ පුටුවක එක කකුලක් අයින් කරනවා කියන එක ශාරීරික වද හිංසාවක් නෙමේද කියලා. මේවා නුගත් තිරිසන් වැඩ නෙමේද? මේ මොහොතෙත් ලංකාවේ කොතනක හෝ ඔටිසම් දරුවෙක් lock chair එකක හිර කරලා ඇති. මේ මොහොතෙත් දරුවෙක්ට එහා මෙහා චලනය වෙන්න බැරි වෙන්න පුටුවකට ගැටගහලා ඇති. අපි ජීවත් වෙන්නේ මොන තරම් නම් අමානුෂික ක්‍රම හරහා ඔටිසම් දරුවන්ව පීඩාවට පත් කරන රටකද?

ඇයි මේ පැරණි Sitting හුරු කිරීමේ අමානුෂික හිංසනය නතර කරලා අප්ඩේට් නව දැනුම මත පාසල් පරිසරය ඔටිසම් සහ ADHD දරුවන්ට පහසු කරවන්න බැරි ?

මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි ඔටිසම්/ ADHD දරුවන්ට එක තැනක ගොඩක් වෙලා ඉදගෙන ඉන්න අපහසු කියලා.

1) චලනයන් හරහා යමක් වෙත මනසට අවධානය ලබා දෙන්න පහසු වීම.

ADHD වගේම ඔටිසම් brain එකකට Movements අවශ්‍ය වෙනවා අවධානයෙන් ඉන්න. එතකොට වැඩිහිටියන් සහ ගුරුවරුන් දරුවාව බලහත්කාරකමින් ඉන්දවලා තියන්න හදනකොට අවධානය කොහෙත්ම පවත්වාගෙන යන්න දරුවට බැරි වෙනවා.

2) Sensory regulation needs 

ඔටිසම් දරුවන්ගේ තියන සංවේදන සංවේදීතා හැඩය නිසා සමහර දරුවන්ට පුටුවක ඉඳගෙන ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න අපහසු වෙන්නේ ඒ පුටුවේ ස්පර්ශය ශරීරයට ඉතා අපහසු විදියට දැනෙන නිසා. ඒ වගේම තමයි දරුවන්ට තමන්ගේ මනස සහ ශරීරය සන්සුන් කරගන්න පැද්දෙන්න, Fidgeting කරන්න අවශ්‍ය වෙනවා.මේක ඒ දරුවන්ගේ ශාරිරික සහ මානසික අවශ්‍යතාවයක්. තවත් තේරෙන සිංහලෙන් කිව්වොත් බුලත් විටක් හපන මිනිහට සැරින් සැරේ කෙළ ගහන්න ඕනේ වෙනවා වගේ තමා. ශරීරය ඉල්ලා හිටිනවා චලනයන්.ඒ හරහා තමයි මනසත් සන්සුන් කරගන්න පුලුවන් වෙන්නේ. එතකොට මේ අවශ්‍යතා සම්පූර්ණයෙන් නොසලකා හැරලා දරුවන්ට තර්ජනය කරනවා එක තැන පුටුවක ඉඳගෙන ඉන්න ඕනේ කියලා. මේ ඉඳගෙන හිටීමෙන් මනසට සහ ශරීරයට දැනෙන අපහසුව, වේදනාව නිසා දරුවට ඉගෙනීමට අවධානයක් යොමු කරන්න බැහැ. දරුවෙක් එහා මෙහා චලනය වෙනවා නම් ඒක ඒ දරුවගේ වැරදි හැසිරීමක් නෙමේ. ඒක ඒ දරුවගේ Regulation need එකක්.

3) ශරීරය පාලනය වීමේ වෙනස

හැම දරුවෙක්ගේම හැඩය එක වගේ නෙමේ. එතකොට සමහර දරුවන්ට එකම ඉරියව්වෙන් ශරීරය පවත්වාගෙන ඉන්න අපහසුයි. ඒකට හේතුව ඒ දරුවගේ motor planning හෝ proprioception වල ඇති වෙනස. එතකොට කරන්න ඕනේ දරුවව බලහත්කාරකමින් පුටුවක ඉන්දවන එක නෙමේ.දරුවාගේ අභියෝගය වටහාගෙන ඒක සාර්ථකව කළමනාකරණය කරගන්න හැකි පමණ සහය දෙන එක. ඒවාට තමයි තෙරපි තියෙන්නේ.

දරුවෙක්ට පුටුවක වැඩි වෙලා ඉඳගෙන ඉන්න බැරි කම්මැළි කමටවත් , මුරණ්ඩු කමටවත් නෙමේ.ඒක තමයි ස්නායු විවිධත්වය..

පැරණි පාසල් ක්‍රමවේදයන් සකස් වෙලා තියෙන්නෙ obedience මත. යුරෝපයේ කාලාන්තරයකට කලින් අදහසක් ව්‍යාප්ත වුනා ” whole body listen Larry ” කියලා.ඒකෙන් සරළවම කිව්වේ දරුවෙක් කොහොමද පන්ති කාමරය ඇතුලේ තමන්ගේ ශරීරය පවත්වාගෙන යන්න ඕනේ කියලා. මේක neurodivergent දරුවන්ට ඉතාමත් අමානුෂික බලපෑමක් විදියට දැක්ක දෙමාපියන්, අධ්‍යාපන නිළදාරීන්, Researchers ලා, neurodivergent Advocate ලා එකතු වෙලා ඒකට විරුද්ධව නිර්මාණය කලා ” What is the Problem with whole body listening ?” කියන අදහස. මේ හරහා පෙන්වා දුන්නේ දරුවා තමාගේ සමස්ත ශරීරයෙන්ම සවන් දෙනවා නම් මොකක්ද ගැටලුව කියලා.

මේ පහළ තියෙන්නේ ඒ ගැන ලියපු ලිපිය.

https://www.facebook.com/share/p/17WjtRyHDb/

ලංකාවේ තවමත් පවතින Old school discipline ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ neurotypical එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික ස්නායු පද්ධතියක් ඇති දරුවන්ට මිසක් ස්නායු විවිධත්වයන් සහිත දරුවන්ට නෙමේ.එතකොට neurodiversity ගැන අවබෝධයක් නැති කාලෙක නිර්මාණය වුන පාසල්, පන්ති කාමර සකැස්ම neurodiversity ගැන ඉතා පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ වර්තමානයේ පවා වෙනස් නොවී තියෙන්නේ ඇයි? මේකට හේතුව අදාළ අධ්‍යාපන බලධාරීන් වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිම කෙනෙක් neurodiversity ගැන දැනුවත් නෑ. ඔය අමාත්‍යාංශ වල ඉන්න විශේෂයෙන් ලංකාවේ neurodivergent දරුවන්ගේ අධ්‍යාපනය ගැන තීන්දු ගන්න අයවලුන්ගෙන් බහුතරයකගේ හැඩය මම දන්නවා. මේ පවතින තත්ත්වය වෙනස් කරගන්න සහය දෙන්න පුලුවන් ද කියලා බලාපොරොත්තු උනාම ඒ ඉහළම නිළධාරිනියෙක්ට ඕනේ උනේ මගේ ගෙදරට රිංගලා එමලි එක්ක ෆොටෝස් වීඩියෝස් අරගන්න. අපිට අවශ්‍ය ෆොටෝ ශූට් කරන්න නෙමේ. අපිට අවශ්‍ය මේ මිනිස්සු සත්තු වත්තකට එනවා වගේ ඔටිසම් හෝ ADHD ළමයි එක්ක කාලය ගත කරලා ෆොටෝස් ගන්න එක නෙමේ. අපිට අවශ්‍ය බුද්ධිමත් සංවාදයක් හරහා පවතින ක්‍රමවේදය වෙනස් කරගන්න පුලුවන් ද කියලා ඒකට උත්සාහ ගැනීම.

ලංකාවේ ඔටිසම් දරුවන්ව කකුල් තුනේ පුටුවල ඉන්දවලා සර්කස් පුරුදු කරන්න හදනවා. පුටුවල ගැට ගහලා තියනවා. අධි මාත්‍රා ඖෂධ දීලා නිද්‍රාගතව දරුවන්ව පැය ගාණක් පන්ති කාමර වල තියනවා. දරුවව හිර කරලා තියන්න වඩු මඩු වලින් lock chair හදවන් එන්න කියලා අම්මලට කියනවා.මෙච්චර අමානුෂික දේවල් ඔටිසම් දරුවන්ට වෙනකොට අමාත්‍යාංශයේ ඉහළම තනතුරක ඉන්න ඔළුව පොඩි ඇඟ ලොකු ගෑනු කෙනෙක් මගෙන් අහනවා මගේ ගෙදරට ඇවිල්ලා එමලි එක්ක කාලය ගත කරන්න පුලුවන් ද කියල. විනෝදෙන්ද ඉන්නේ? අපිට නං විනෝදයක් නෑ. අපි උදේ ඉඳන් රෑ වෙනකල් අම්මලගේ දරුවන්ගේ දුක් අඳෝනා අහ අහා ඉන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් තරම් දැනුවත් කරන ගමන් ඉන්නේ. ළමයි බලන්න ගෙවල් ගානේ යන මිඩ් වයිෆ්ලගේ රස්සාව ඒ මිනිස්සුන්ට කරගන්න දීලා මේ නෝනලා මහත්තුරු ටික සතියක කාලයක් වෙන් කරගෙන සාකච්ඡා කරන්න ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය, පන්ති කාමර සකැස්ම ඔටිසම් , ADHD ඇතුළු දරුවන්ට ගැළපෙනවද කියලා. ඒත් එක්කම බලන්න කකුල් හතරේ පුටුවල කකුලක් කඩලා දරුවන්ට සර්කස් පුරුදු කරන්න හදන ගුරුවරුන් කවුද කියලත්.

මේක මේ පාසල් වල ඉන්න ගුරුවරුන්ගේ ගැටලුවක්ම නෙමේ. අප්ඩේට් අවම කම සහ අමානුෂිකත්වය කියන දෙක හැරුනම ඒ පොඩි කොටසට එහා ගිය මහා ගුරුවරුන් පිරිසක් ඉන්නවා අවම මූලාශ්‍ර හරහා දරුවන්ට උපරිම සහය ලබා දෙන. ඒ ගුරුවරුන්ට ලබා දීලා තියන කාල රාමුව, අවම සහය සහ අවම මූලාශ්‍ර නිසා පුදුමාකාර අසීරුවෙන් තමයි සේවයක් කරන්නේ. සමහර ගුරුවරියන් ගෙවල් වල තියන පොඩි පොඩි ටෝයිස් ගෙනලා දීලා තමයි දරුවන්ගේ මනස සන්සුන් කරලා උගන්වන්නේ. තවත් ගුරුවරියන් ඉන්නවා දෙමාපියන් කිසිම සහය ගුරුවරියක් නැතුව දරුවාව පන්තිකාමරයේ තියලා ගියාට පස්සේ තනියම වෙහෙස වෙනවා අර දරුවව ආරක්ෂා කරන්න. ගුරුවරියන්ට බෑ සාරිය උස්සන් පාසල් පිට්ටනියේ මිදුල වටා ළමයා එක්ක මීටර් සීය දුවන්න. තව දරුවන් ඉන්නවා පන්ති කාමර වල සහය දෙන්න. ඒත් එක්කම විශේෂ අවශ්‍යතා ඒකක වලට කිසිම තාක්ෂණික පහසුකමක් නෑ දරුවන්ට උගන්වන්න. එකම එක AAC ඩිවයිස් එකක් නෑ වාචික සන්නිවේදනය අපහසු දරුවන්ට සහය දෙන්න. අප්ඩේට් දැනුම ලබා දෙන්නේ නෑ ගුරුවරුන්ට දරුවන්ගේ අවශ්‍යතා වටහා ගන්න. ඉතිං අර වගේ කකුල් හතරේ පුටුවේ එක කකුලක් කඩලා ළමයින්ව බලෙන් ඉන්දවලා තියන්න හදන කීප දෙනෙක් හැරෙන්න සමස්තයක්ම ඉන්නවා තමන්ගේ දාඩිය මහන්සිය උපරිම කැප කරලා අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරන.

ස්නායු විවිධත්වයන් සහිත දරුවන්ට අධ්‍යාපනය ලබන්න ස්නායු පද්ධතියට ආරක්ශාකාරී පරිසරයක් පන්ති කාමර තුළ නිර්මාණය කිරීම globally සිද්ධ වෙනවා.neurodiversity-aware schools හැදෙනවා. ඒ වගේම පහසුවෙන් ඉඳගැනීමට දරුවන්ට ඉඩ ලබා දීම ( Flexible seating) ඉතාමත් සාමාන්‍ය වෙලා තියෙන්නෙ. beanbags, wobble stools, standing desks වගේ දේවල් තමයි පන්ති කාමර වල තියෙන්නෙ. ඒ වගේම මනස සහ ශරීරය සන්සුන් කරගන්න දරුවන්ට එහා මෙහා යන්න අවශ්‍ය වෙලාවන් ( Movement breaks ) ලබා දෙනවා. ඒ වගේම Stimming කරන්න Fidget tools ලබා දෙනවා. දරුවට පුලුවන් එයාගේ Fidget tools පාසලට ගේන්න. ඒ වගේම දරුවාගේ ශරීරයට Uncomfortable නොවන මෙටීරියල් වලින් ඇදුම් අදින්න ඉඩ දෙනවා. ශබ්ධයට අධිකව සංවේදී දරුවන්ට ඒ අපහසුතාවය අවම කරගන්න Headphones පාවිච්චි කරන්න පුලුවන්. වාචික සන්නිවේදනය අසීරු දරුවන්ට පුලුවන් AAC device එක අරන් පාසලට එන්න. හැම දරුවෙක්ටම තනි තනිව අරන් IEP/504 සහය පහසුකම නීත්‍යානූකූලව ලැබෙනවා.

වර්තමානයේ child psychology , occupational therapy වලදි අනිවාර්යයෙන් එකඟ වන කාරණාවක් තමයි ඉගෙන ගැනීමට පෙර Regulations ප්‍රධාන වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නෙ මනස සහ ශරීරය සන්සුන් නැති දරුවෙක්ට ඉගෙන ගන්න එක අභියෝගයක්. ඒ නිසා අපි කරන්න ඕනේ පුටුවල හිර කරන එකවත්, කකුල් තුනේ අඩමාන පුටුවල දරුවන්ව ඉන්දවන එකවත් නෙමේ. දරුවාට Regulation tools ලබා දීලා ඒවා පාවිච්චි කරන්න උගන්වන එක. Neurodivergent-affirming classrooms වල අවධානය දෙන්නේ දරුවාට එක තැන ඉදගෙන ඉන්න පුලුවන් ද කියන එකට නෙමේ දරුවාට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ද කියන එකට.

දරුවෙක් පාසලක, මධ්‍යස්ථානයක, නිවසක හෝ පොදු ස්ථානයක ශාරීරිකව හෝ මානසිකව අපහරණයට ළක් වෙනවා දකිනවා නම් කරුණාකරලා ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දෙන්න. ලංකාවේ කොතනක හෝ කකුල් කැඩුණු පුටුවක අඩමානෙට දරුවෙක්ව ඉන්දවලා සර්කස් පුහුණු කරනවා නම් හෝ පැය ගණනාවක් එක දිගට Lock chair වල දරුවන් හිර කරලා තියනවා නම් මේවා කිසිම විටෙක විද්‍යාත්මකව පිළිගන්නා සහය ක්‍රමයන් නෙමේ සම්පූර්ණයෙන්ම ළමා අපහරණයන් කියන එක තේරුම් ගන්න.

මුල් සබැඳිය : දරුවන්ට අධ්‍යාපනය ලබන්න ස්නායු පද්ධතියට ආරක්ශාකාරී පරිසරයක්