ඊයේ මම පේජ් එකට දාපු සියන්සාට අම්මා කෑම කවන වීඩියෝ එකට නයනා කියලා කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා අතින් කෑම කවන්න පුහුණු කරන්න කියලා.සියන්සට අතින් කෑම කන්න පුලුවන්.ඒත් සමහර කෑම අතින් අල්ලන්න දුවට අපහසුයි. ඒකට හේතුව ස්පර්ශ සංවේදන සංවේදීතාවය අධික නිසා. දැන් ගැටලුව ඒක නෙමේ. සහය විවිධත්වයෙන් අවශ්‍ය වෙන දරුවන්ගේ අම්මලව මෙහෙම උපදෙස් විදියට ඍජුව ප්‍රශ්න කරන්න හෝ විනිශ්චය කරන්න කාටද සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ? මේ මනුස්සයා විශේශ සහය අවශ්‍ය දරුවන්ව පුහුණු කරන කෙනෙක් ලු සහ විශේෂයෙන් ඔටිසම් දරුවෙක්ගෙත් අම්මා කෙනෙක්. ඒත් එයා ඉගෙන ගෙන නෑ විවිධත්වය ගැන.ඔටිසම් හෝ වෙනත් ස්නායු තත්ත්වයන් එක්ක එකට බැඳිලා තියන අනු තත්ත්වයන් ගැන. මේවට එයාගේ උත්තරය තමයි පුහුණු කරවන්න පුලුවන් සහ එයාගේ ඔටිසම් දරුවා ඕගන් එක ප්ලේ කරනවා කියන එක. ඒ නිසා එයාගේ පුංචි මොළේ ඇතුළේ එයා හිතන්නෙ හැම දරුවෙක්වම බල්ලන්ට මස් කටු දීලා වළලු හතකින් පනින්න පුරුදු කරනවා වගේ පුරුදු කරවන්න පුලුවන් කියලා සහ හැම ඔටිසම් දරුවෙක්ටම ඕගන් එකක් ප්ලේ කරන්න අවශ්‍ය වෙන කුසලතාවය තියනවාය කියලා.

ඔටිසම් පුද්ගලයින් ඉන්නවා වයස අවුරුදු 65 ක් වෙලත් පැම්පස් පාවිච්චි කරන.හැන්දක් අතින් අල්ලන්න අපහසු. තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න දත් මැදගන්න අපහසු. දැන් අපිට මේ හැමදේම පුහුණු කරවන්න පුලුවන් නම් ලෝකේ සහය අධික ඔටිසම් පුද්ගලයින් රැකබලා ගන්න මධ්‍යස්ථාන අවශ්‍ය වෙන්නේ නෑ. දෙමව්පියන්ට අනියත බයක් ගන්න අවශ්‍යත් නෑ අපි මැරුණ දවසට කවුද අපේ දරුවන්ව රැකබලාගන්නේ කියලා. මේ සරළ විවිධත්වය ගැන කියලා දෙන්නේ නැති ලංකාවේ තියන ඩිප්ලෝමා සහතික දෙන ආයතන වල සිලබස් මුලින්ම අප්ඩේට් කරන්න ඕනේ. ඊටත් පස්සේ ඔටිසම් දරුවන් ඉන්න දෙමව්පියන් මුලින්ම දැනුවත් කරන්න ඕනේ තමන්ගේ දරුවාගේ කුසලතා සහ අභියෝග නෙමේ හැම දරුවෙක්ටම තියෙන්නෙ කියලා.

පැන්සලක් අල්ලන්න අසීරූ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ අම්මා කම්මැළි හෝ ළමයට ඒක පුරුදු නොකරපු අම්මෙක් කියන විනිශ්චය දෙන්න පුලුවන් ද? ඒක තමයි ස්නායු සැකැස්ම එක්ක මූණ දෙන අභියෝග.ඒකයි කියන්නේ ඔටිසම් කියන්නේ අයින්ස්ටයින් ගේ ඔටිසම් නෙමේ කියලා. අයින්ස්ටයින් ලා Elon musk ලා විතරක් නෙමේ මේ ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ ඉන්නේ. මේ ස්පෙක්ට්‍රම් එකේ ඉන්නවා තමන් ජීවත් වෙන ලෝකය ගැන කිසිම අදහසක් නැති දරුවන්. වයස අවුරුදු 25 ක් උනාට අත දරුවෙක්ගේ දැනීම තියන තරුණයින්. බඩට G tube දාලා දියර ආහාර වලින් ජීවත් වෙන දරුවන්. මාසික ඔසප් වීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ඒ කාලෙට සනීපාරක්ෂක තුවායක් පවා අන්දන්න අපහසු තරුණියන් ඉන්නවා.ඒ දෙමව්පියන්ට සිද්ධ වෙනවා ඒ තරුණියන්ට ඖෂධ දීලා මාසික ඔසප් වීම නොවෙන්න පාලනය කරන්න. දරුවන් ඉන්නවා ඉන්න තැනම මළ මුත්‍රා කරගන්න. ඒවා බිත්ති වල ගාන. වෙනත්‍ රටවල් වල පැම්පස් ටික වගේම දරුවන්ට නිදාගන්න වෙනම ආරක්ෂිත ඇදවල් පවා ඒ පවුල් වලට ලැබෙනවා. දරුවන් රැකබලාගන්න මුදලක් ලැබෙනවා.සහය කණ්ඩායම් ලැබෙනවා. මේ කිසිම දෙයක් ගැන නොදන්න ගෑනු ඇවිල්ලා මේ දෙමව්පියන්ගේ මූණේ අතුල්ලනවා ” මගේ ළමයට නං ඕගන් පවා ප්ලේ කරන්න පුලුවන් කියලා”. ලැජ්ජා වෙන්න ඕනේ මිනිස්සු හැටියට අම්මා කෙනෙක් තමන්ගේ දරුවා එක්ක ඉස්සරහට ඇවිල්ලා සමාජයක් දැනුවත් කරනකොට ඒ අම්මට ස්තූති නොකර ළමයට කෑම කවන්න පුරුදු කරන්න කියලා කියන එකට.

එමලිට අවුරුදු 7 ක් මේ මාසෙට.තාම තුන් වේලම කවන්නේ මම. ඒකට හේතුව එමලිට අතින් කන්න බැරි කමක් නිසා නෙමේ. එමලිගේ ස්නායු විවිධත්වය නිසාම එයා මූණ දෙන එක අභියෝගයක් තමා හැම කෑමකම රසය හෝ ස්පර්ශය එක වගේ දරාගන්න අපහසු වීම. මේ ප්‍රධාන වේල් තුන මම කැව්වේ නැත්තන් දරුවාට ජීවත් වෙන්න ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නෙ නෑ. එතකොට කාට හරි මට කියන්න පුලුවන් ද ඔය ළමයට අතින් කන්න පුරුදු කරන්න කියලා. මට මතකයි එක්තරා නර්සරි එකකින් මම හැකිතාක් පැහැදිලි කරලා එයාලව දැනුවත් කරලා තිබ්බත් නිකන් පරික්ශා කරලා බලන්න වගේ එමලිට බලෙන්ම බත් කටක් කවලා.ඒ බලහත්කාරකමින් කවපු සිද්ධිය නිසා මට එතනින් එහාට මාස දෙක තුනක කාලයක් ගියා එමලිට කෑම වලට තියන අනියත බය නැති කරන්න. හේතුව බත් පිඟානක් දකිනකොට එමලි බය උනා මේ මට බලෙන් කවන්න තමයි එන්නේ කියලා. එමලිට විතරක් නෙමේ එමලිගේ අක්කටත් මාරුවෙන් මාරුවට කෑම කවන්නේ මායි මගේ හස්බන්ඩ්නුයි තමයි. ඒකට හේතුව එයා අපේ අතින් අනලා කෑම කන්න ආස නිසා.එතකොට කෑම රහයි ලු. ඉතිං දෙමව්පියන් විදියට අපිට පුළුවන්ද එක දරුවෙක්ට කෑම කවනකොට අනික් දරුවට පිඟානට බෙදලා දීලා ආ ඔයා මේක කන්න කියලා කියන්න.

දරුවන්ගේ විවිධත්වය ,මූණ දෙන අභියෝග, කුසලතා එකිනෙකට අහසයි පොළොවයි වගේ වෙන්න පුලුවන්. අපිට බෑ අපි දන්න සාම්ප්‍රදායික රාමුව අස්සේ ඉඳන් හැම ළමයා දිහාම බලලා ඒ ළමයින්ගේ අම්මලව ප්‍රශ්න කරන්න. ඔටිසම් දරුවන්ගේ හෝ වෙනත් ස්නායු තත්ත්වයන් ඇති දරුවන්ගේ දෙමාපියන්ගේ ඒකායන බලාපොරොත්තුව තමන්ගේ දරුවාට අවම සහයක් ඇතුව ජීවිතයේ ජීවත් වෙන්න සහය දෙන එක. ඒත් ඒක අපි හැමෝටම කරන්න අපහසුයි. හේතුව දරුවන්ගේ ස්නායු ක්‍රියාකාරීත්වය අපිට අතින් අපිට ඕනේ හැටියට හදන්න බැරි නිසා.ඒ නිසයි අපිට Elon musk වගේ ඔටිසම් පුද්ගලයින් වගේම ජීවිත කාලය පුරාම සහය අවශ්‍ය ඔටිසම් පුද්ගලයින් සමාජේ හම්බෙන්නේ. ඒ හැම දරුවෙක්ම සහ පුද්ගලයෙක්ගේම පිටිපස්සේ ඉන්නවා තමන්ගේ කැපෑසිටි එකටත් එහා ගිහින් දරුවන් වෙනුවෙන් අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරන සහ දරපු දෙමව්පියන්.

මම මේකත් එක්ක සියන්සගේ වීඩියෝ එකක් දාන්නේ විවිධත්වයන් ඇතුළේ හැම දරුවම මූණ දෙන අභියෝග සහ කුසලතා වෙනස් කියන එක පෙන්වන්න.ඒ වගේම කරුණාකරලා සියන්සා හෝ ජීවිත කාලය පුරාම ස්නායු විවිධත්වයන් තියන දරුවන්‍ට පුද්ගලයින්ට සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවත් අනවශ්‍යයි. එහෙම සුවපත් කරගන්න හෝ සාම්ප්‍රදායික මනුෂ්‍ය හැඩයන් තුළට පත් කරගන්න පුලුවන් නම් අපේ ජිවිත සහ දරුවන්ගේ ජීවිත මීට වඩා සෑහෙන්න වෙනස් වෙනවා.එහෙම නම් අපිට ඉතා දරුණු සමාජ විනිශ්චයන් ඉදිරියේ මෙහෙම සමාජය දැනුවත් කරන්න අමතර වෙහෙසක් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. විශේෂයෙන් මම නයනලා වගේ අයට කියන්නෙ සියන්සාගේ අම්මව විතරක් නෙමේ කිසිම දරුවෙක්ගේ අම්මා කෙනෙක්ව විනිශ්චය කරන්න හෝ ප්‍රශ්න කරන්න යන්න එපා. ගෘහස්ත සුනඛයන්ට මස් කට්ටක් දීලා පුහුණු කරවන මෙතඩ් එකෙන්ම දරුවන්ව පුහුණු කරවන්න පුලුවන් කියලා හිතන්නත් එපා. සහය දෙන එකයි පුහුණු කරවනවා කියන එකයි සෑහෙන්න වෙනස් තේරුම් තියන වචන.

 

මුල් සබැඳිය : දරුවන්ගේ විවිධත්වය ,මූණ දෙන අභියෝග, කුසලතා