ජිත්මගේ උපන්දිනයට රමේශා නංගි දාපු පෝස්ට් එකට ගොඩක් ස්තූතියි. ඒ වගේම ජිත්මගේ උපන්දිනයට සුබ පැතුම් එකතු කරපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ සුබ පැතුම් මම ජිත්මට පෙන්නුවම එයා ලස්සනට හිනා උනා.ඒ තමයි ජත්ම ඔයාලට Thank you කියපු විදිය. ඒත් එක්කම ” යූ … යූ ” කියලා ශබ්ධයකුත් කරා. මට රෙකෝඩ් කරගන්න බැරි උනා.
ගොඩක් කාලෙකින් මට J ගැන ඔයාලා එක්ක බෙදාගන්න බැරි උනේ මම J එක්ක පහු ගිය කාලය පුරාම ලොකු අභියෝග ගොඩකට මූණ දීලා හිටපු නිසා.ඒත් මම අද නම් කොහොම හරි ලියනවා කියලා හිතුවා.
ජිත්ම හරිම ආසයි වාහනේ යන්න.එයා හවස පාර්ක් වල ඇවිදින්නත් යනවා.එයා ඇවිදින්න යන පාර්ක් කීපයක්ම තියනවා.සාමාන්‍යයෙන් J වාහනෙන් රවුමක් ගිහින් පාර්ක් එකේ ඇවිදලා හවසට ගෙදර එනවා.ඒත් එයා එක පාරටම පාර්ක් එක ළඟ බහින්නේ නැතුව වාහනේම ඉන්න ගත්තා. ඉතිං අපි කලේ වාහනයෙන් බහින්න කැමති වෙනකල්ම ජිත්මව වාහනයෙන්ම පාර්ක් එකෙන් පාර්ක් එකට අරන් ගියපු එක. ඒත් ජිත්ම කිසිම තැනකින් බහින්නේ නැතුව දිගටම අපිට එළවන් යන්න කියලා ඉඳගෙන හිටියා.ඉතිං මේකෙන් උනේ ජිත්ම දවසට කීප වතාවක්ම ජිත්මට නින්ද යනකල්ම වාහනේ එළවන් යන්න උන එක. එක දිගට ” By the rivers of babylon ” සහ අනෙකුත් Boney M Songs සහ ABBA songs නොනවත්වාම play වෙමින් තියන්න උනා වාහනේ ඒ එළවන් යන වෙලාවල් වලට. එයාගේ පුංචි Fan එකයි සුවඳ බෝතල් ,Baby toys එක්ක පැය 2,3 එක දිගට දවස පුරාම Drive කරන එක එච්චරට ලේසියි කියලා නම් හිතන්නවත් එපා. ඒක නං ඇත්තටම මට ලොකු දඬුවමක් උනා. මගේ උරහිස් සහ කකුල් රිදෙන්නත් ඔළුව කැරකෙන්නත් පටන් ගත්තා.
ජිත්මට ඇති වෙනකල් වාහනෙන් රවුම් අරන් නොගිහින් ගෙදර ආවොත් හෑඈ ගාගෙන අත හපා ගත්තා. මම ටික වෙලාවක් පාරේ අයිනේ වාහනේ නතර කරන් ඉන්නවා රෙස්ට් කරන්න.ඇත්තටම මට ඇඩුන අවස්ථාත් තිබ්බා.මගේ මොළය ඉතාමත් වෙහෙසට පත් වෙලා තිබුනේ. කොච්චර මම වාහනේ එලෙව්වද කියනවා මට ඒ පාරවල් වල දැන් ඇස් වහන් වුනත් එලවීමෙ Super power එක ලැබිලා තියෙන්නෙ.මම මානසිකව විතරක් නෙමේ ශාරීරිකවත් වෙහෙසට පත් වෙලා හිටියේ.උදේට නැගිටිනකොට මට අතුරුදන් වෙන්න පුලුවන් නම් කියලත් හිතුනා.
මෙහෙම හරිම පීඩාවෙන් ඉන්නකොට රමේශා නංගි මට පොඩි ප්ලෑන් එකක් හදලා එව්වා.ඒ ප්ලෑන් එකේ හරිම ප්‍රවේශමෙන් ජිත්මට පියවර කීපයකින් Support කරන විදිය මට පැහැදිලි කරලා තිබ්බා.මේක ලොකු අහියෝගයක් උනත් කොහොම හරි මේ ප්ලෑන් එක අනුව ජිත්මට උදව් කරනවා කියලා අධිෂ්ඨාන කරගෙනම ප්ලෑන් එක ක්‍රියාත්මක කරා.ඒක හිතුව තරම් ලොකු අභියෝගයක් උනේ නෑ ඇත්තටම. මම රමේශා මට හදලා දුන්න ප්ලෑන් එක පහළ දාන්නම්. ඒ ගැන වෙනම පෝස්ට් එකකින් රමේශා පැහැදිලි කරයි.
ජිත්ම ක්‍රමක් ක්‍රමයෙන් අළුත් ප්ලෑන් එකට අනුගත උනා. ඒක මට ලොකු සහනයක් වුනා. ඒ වාහනයෙන් රවුම් යන හැසිරීම නැතිවෙලා ගියා. ඒත් ආයෙත් ටික දවසකින් ජිත්ම තව දෙයක් පටන් ගත්තා. ඒ මාව Room එකකට දාලා වහලා තියන එක.එයා මාව එහෙම තියලා ලොක්කා වගේ තනියම ගෙදර හිටියා.ඒත් මම නම් පුදුම බයකින් හිටියේ මොනවා කරයිද කියලා තනියම ඉන්න නිසා.ජිත්ම මාව Room එකට දාලා වහලා තියන්නේ ඇයි කියන එකත් රමේශා නංගි පැහැදිලි කරා. අපි ඒකටත් දේවල් ටිකක් කරමින් ඉන්න අතර දවසක් ජිත්ම මුලු රෑම ඇහැරගෙන Toilet එකෙයි එයාගේ කාමරෙයි සංචාරය කරන්න ගත්තා.මම දන්න හැම බෙහෙතක්ම දුන්නත් ඒවා එච්චරට සාර්ථක උනේ නැහැ.ඇත්තටම මම දවස් කීපයක්ම ගත කරේ හරියට නින්දක් නැතුව.ජිත්මගේ උණ සහ toilet ප්‍රශ්නය කොහොම හරි හොඳ වෙනකොට මම දැන් ලෙඩ වෙලා.මගේ කට හඬත් නැති වෙලා.
මේ දවස් වල ජිත්මගේ අලුත්ම සෙල්ලම තමා නැගිටලා ටික වෙලාවකින් වීදී සංචාරය කිරීම.අහල පහළ අයට හායි කිය කියා පාරේ එහාට මෙහාට ඇවිදීම.ඒත් මට එයා පස්සේ එන්න තහනම්.ඒ නිසා මම ඈතට වෙලා බලන් ඉන්නේ බඩේ බිත්තර තම්බන්න පුලුවන් තරම් ගින්නක් එක්ක.ඇයි කොයි වෙලේ ජිත්ම ඔලිම්පික් දුවයිද කියල කවුද දන්නේ.
ඒත් එක්කම අපිට මේ කාලය තුළ ඇති උන ආර්ථික අලාභානි ගැන කියන්නත් ඕනේ.
1) මාස දෙකක්ට කලින් ගත්ත අලුත්ම Tv එකට සමු දෙන්න සිද්ධ වීම
2) Tv එක නැතුව නිකන් තිබ්බ Tv Stand එක උඩ ජිත්ම පස්සෙන් උඩ පැනලා ඒක නටබුන් කිරීම.
3) Barney නැති තරහට බිත්තියට කකුලින් ගහලා බිත්තියේ ලොකු හිල් දෙකක් සෑදීම.
මේ දවස් වල නම් ජිත්ම සුවෙන් සහ සතුටින් කල් ගෙව්වත් ඊළඟ Episode එක මොන වගේ වෙයිද කියලා දන්නේ එයාම තමා.
ජිත්මගේ දවස පුරා වාහනයෙන් රවුම් ගැසීමේ හැසිරීම කළමනාකරනය කරගන්න රමේශා නංගි ( එමලිගේ අම්මා) මට හදලා එවපු ප්ලෑන් එක තමයි මේ. ඒ ගැන රමේශා නංගි වෙනම පොස්ට් එකක් දායි.
ජිත්මගේ හැසිරීම කළමනාකරනය කරගැනීමේ support plan එක.
* හැසිරීම වටහා ගැනීම – ජිත්මගේ ස්නායු පද්ධතිය Regulation tool එකක් විදියට පාවිච්චි කරන්නේ Car Ride එක.ශරීරය සන්සුන් වෙන්න උත්සාහ ගන්නේ Moving car එක ඇතුළේ ඉන්න කොට ඒ ලැබෙන Sensory input එක හරහා. ඒවා තමයි
1) Linear movement – ඉදිරියට ගමන් ගන්නා වාහනය තුළ ඉඳීමෙන් ලැබෙන vestibular input එක.
2) Engine vibration – හෙමින් Vibrate වෙන වාහනය තුළ ඉඳීමෙන් ශරීරයට Regulate වෙන්න සහයක් ලැබෙනවා.
3) Airflow – ෆෑන් එකෙන් සහ ජනෙල් වලින් එන වාතය හරහා ලැබෙනවා tactile sensory input එක.
4) Music – වාහනයේ වාදනය වෙන හුරුපුරුදු සිංදු හරහා මනසට ලබා දෙන්නේ
ආරක්ශාකාරී සහ නොවෙනස්වන ස්වාභාවය ( predictability ). rhythmic anchor එකක් විදියට ඒ Music විසින් ජිත්මට සහය දෙනවා ශරීරය Settle කරගන්න.
5) වාහනය ඉදිරියට යන දිහා බලාගෙන ඉන්න එකෙනුත් ලැබෙන්නේ safe සහ control එක.
දැන් මේ උඩ අපි කතා කරපු හැමදේම ජිත්මට සහය දෙනවා එයාගේ ස්නායු පද්ධතිය සන්සුන්ව පවත්වාගෙන යන්න. තවත් පැහැදිලිව කිව්වොත් ජිත්මගේ Brain එක Regulate වෙන primary source එක තමයි මේ Car ride එක. මේක ජිත්මට පාලනය කරන්න බෑ. ඒකයි වාහනය නතර කරනකොට එයා කලබල වෙන්නේ. neurological regulation need එකක් කිසිම වෙලාවක දරුවෙක්ට හෝ අපිට ඕනේ විදියට Control කරන්න බෑ.
1) අපි මුලින්ම ජිත්මට Car ride එකෙන් පස්සේ ගෙදර ඇවිල්ලා Relax වෙන්න තැනක් ලෑස්ති කරන්න ඕනේ. මේක සෑහෙන්න වැදගත්. Car ride එක ඉවර උනාට පස්සෙත් ජිත්මට ගෙදර Environment එකත් ඒ වගේම Regulate වෙන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ.
• අවම ආලෝකය තියන තැනක් හෝ කාමරයක්.
• Comfortable පුටුවක් හෝ පුතාට පහසුවෙන් ඉදගන්න තැනක්.
• අර කාර් එක ඇතුලෙදි දැනෙනවා වගේ හුළඟ එන ෆෑන් එකක් ලග තියන්න ඕනේ.
• කාර් එක ඇතුළේ Play උන Music එකම දරාගන්න පහසු ශබ්දෙන් Play වෙන්න දෙන්න ඕනේ.
අපි මේක කරන්නේ ඇයි – කාර් එක ඇතුළේ දැනුන Safe හැඟීම සහ Regulate වෙන්න පහසු Environment එකම ගෙදරිදී අපි replicate කරාම ජිත්මට අපි Car ride එක යන වෙලාව හෙමින් අවම කිරීමට පහසුවෙන් හැඩ ගැහෙන්න පුළුවන්.
මේ ප්ලෑන් එක අපි හදන්නේ පියවර තුනකට. අපි ජිත්මගේ Regulations method එක නතර කරන්නේ නෑ.අපි මුලින්ම කරන්නේ car ride එකේ Time එක හෙමින් අඩු කරන එක. ඒ නිසා මේ එක phases එකක්වත් Skip කරන්න එපා.
1 වෙනි පියවර
* දවසට Drive 3 යි. ( මේක 2 කට අඩු වෙන්න පුලුවන් ගෙදර අපි ජිත්මට Regulate වෙන්න හදලා දෙන එයාගේම Space එක නිසා )
* කිසිම වෙලාවක extra emergency drives නෑ.
* හැම Drive එකක්ම එක හා සමානව යන්න ඕනේ. උදාහරණයක් විදියට එකම පාර, එකම ටයිම් එක, Music ,fan Seating ඇතුළු හැම දේම. විශේෂයෙන් මේ Drive එකේ පටන් ගැනීම සහ අවසානය දක්වා පිටපත් කරගත්ත වාක්‍ය කියන්න ඕනේ නොවෙනස්ව.ඊට අමතර කතා එපා.
ගෙදරින් වාහනය ස්ටාර්ට් කරනකොට අපි කියන්නේ ” Car Going home” කියලා. මේක කියන්න හේතුව Movement එක පටන් ගන්න කලින් Ending එක ගැන අපි ජිත්මට ඒත්තු ගන්නනවා. ජිත්ම Ending එක ගැන මුල තියලම තේරුම් ගත්තේ නැත්තන් එයාගේ Brain එක high alert mode එකට යනවා. ඒ නිසා එයාට ඕනේ දිගටම ඒ Drive එකේ ඉන්න. ඒ නිසා අපි ගෙදරින් Car Ride එක පටන් ගන්නේ ” Car Going Home ” කියලා. හරිම සන්සුන්ව මේක කියන්න පැහැදිලිව.වෙන කතා අනවශ්‍යයි.අපි මේ වාක්‍ය තුන් පාරක් කියනවා. ඒක කියන්නේ Random තැන් වලදි නෙමේ. ගෙදරින් පිටත් වෙන කොට කියනවා. ආයේ ඔයා තෝරගත්ත මැද තැන් දෙකකදි කියනවා. ඒ කියන තැන් වෙනස් වෙන්න බෑ.අපිට ගෙදරට එන්න වාහනය හරවනකොට තුන් වෙනි පාරටත් කියන්න පුලුවන් ” Car Going home” කියලා. ගෙදරිදි වාහනය නතර කරාම ” Home” කියලා කියන්න පුලුවන්. මීට අමතරව වෙන කිසිම කතාවක් කියන්න එපා. ප්‍රශ්න අහන්න එපා.explain කරන්න යන්න එපා. ජිත්ම කලබල කරොත් ඔයා ඉතාම සන්සුන්ව ඉන්න.
ගෙදරට ඇවිල්ලා Car එක නතර කරාම බහින්න හදිස්සි කරන්න එපා.Music සහ Fan එක මිනිත්තු කීපයක් තියෙන්න දෙන්න. ඊට පස්සේ හරිම සන්සුන්ව ඔයා ජිත්මට එළියට එන්න ඉඩ දෙන්න.ආවම කෙළින්ම ජිත්මව අරන් යන්න අපි එයාට ගෙදර සූදානම් කරලා තිබ්බ තැනට.
මේක තමයි පළවෙනි සතිය. අපි මේ සතියේ Drive එකේ කාලය අඩු කරන්නේ නෑ. ඔයාට ඕනේ නං මේ සතියේ කාලය අඩු කරගන්න පුළුවන් ජිත්මගේ හැසිරීම මත.
• 2 වෙනි පියවර ( දෙවනි සතිය)
අපි මේ සතියේ තමා Drive එකේ කාලය අඩු කරන්නේ. ඒ අඩු කරන කාලය ඔයා තීරණය කරන්න. ඒක ජිත්මට ලොකුවට නොදැනෙන්න අඩු කරන්න. අපිට එයාගේ ගෙදර අපි හදලා තියන Regulations space එක මේකෙදි සෑහෙන්න වැදගත් වෙනවා කිසිම වෙලාවක Drive එකේ හැඩය වෙනස් කරන්නේ නෑ. අර කලින් වගේම එකම පාර, එකම වාක්‍ය ටික. දැන් අපි තාමත් Drive 3 ක් යනවා දවසට.වෙලාව තමයි අඩු කරේ. දැන් මේ වෙලාව අඩු කරන එකෙත් පළවෙනි Drive එකේ වෙලාවට වඩා දෙවනි Drive එකේ වෙලාව අඩු වෙන්න ඕනේ. දවසේ ආරම්භය ජිත්මට ගොඩක් Regulate වෙන්න ඕනේ.
• 3 වෙනි පියවර ( තුන්වෙනි සතිය)
අපි මේ සතියේ වෙලාව විතරක් නෙමේ Drive යන වාර ගණන අඩු කරනවා. එතකොට උදේට එකයි හවසට එකයි වගේ ඔයා තෝරගන්න.
ජිත්ම කලබල උනොත් ඔයා කිසිම වෙලාවක වෙනත් වාක්‍ය පාවිච්චි කරන්න බෑ. negotiate කරන්න බෑ.ඔයා සන්සුන් වෙලා ඉන්න ඕනේ.
• වැදගත් කාරණා කීපයක්.
කිසිම වෙලාවක දවසේ Random වෙලාවල් වලදී ජිත්මට අර ගෙදර හදල තියන එයාගේ ඉඩ පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා.පුලුවන් නම් ඒක මඟ හරින්න. ඒ ඉඩ අපි පාවිච්චි කරන්නේ Car ride එකෙන් පස්සේ විතරයි.
මෙන්න මේ විදියට තමයි අපි ජිත්මගේ car-based regulation Plan එක මාරු කරන්නේ home-based regulation එකට. දැන් එයාට Car ride එක Safe උනාට ගෙදර uncertain හැඟීමක් තියෙන්නේ. අපි මේක තමයි හෙමින් වෙනස් කරන්නේ. අපි කරන්නේ ගෙදර ජිත්මගේ main regulation place එක කරන්න.
හැම Car ride එකකටම පස්සේ ගෙදර අපි ජිත්මට හදලා තියන තැනට එයාව එක්කන් ගිහින් එතන Relax වෙන්න ඉඩ දෙන එකෙන් එයාගේ ස්නායු පද්ධතියට අපි ඒත්තු ගන්නනවා Car ride එක නතර උනත් Safety එක අතුරුදන් උනේ නෑ කියන එක.හෙමින් හෙමින් Car ride එකේ Time එක අඩු වෙනකොට ජිත්මගේ ශරීරය ඉගෙන ගන්නවා මට Long movement නැතුව Settle වෙන්න පුලුවන් කියලා.
ජිත්මට ගෙදර හදන ඉඩේ එයාට ඉදගන්න දෙන සීට් එක පුලුවන් තරම් කාර් සීට් එකේ දැනීමට ළඟ එකක් නං වැඩිය හොදයි. ඒක යන්තම් Vibrate වෙනවා නම් වඩාත් හොදයි. ඒ Time එකේ ජිත්ම එක්ක අනවශ්‍ය විදියට කතා කරන්න යන්න එපා.එයාට ඒ ඉඩේ හැකිතාක් සන්සුන්ව ඉන්න ඉඩ දෙන්න.අවශ්‍ය නං එයා කැමති කාර්ටූන් එකක් බලන්න දෙන්න.
මේ අතරේ දවසේ වෙලාවක ජිත්ම කැමති නං එයාට Treadmill එක පාවිච්චි කරන්න ඉඩ දෙන්න පොඩි වෙලාවකට. ශරීරය Settle වෙන්න අවශ්‍ය Sensory input එක ලබා ගන්න.
මුලින්ම මේක අපහසු වෙන්න පුලුවන් අළුත් Routine එකට ජිත්මට හැඩ ගැහෙන්න. ඒත් එයාගේ ස්නායු පද්ධතිය හඳුනාගත්තම ගෙදරිදී Safe කියන එක එතනින් එහාට එයාට Car ride එක යන්න තියන උවමනාව අවම වෙලා යනවා.
ඔයා දැන් දන්නවා ඇයි ජිත්මට Car ride එක මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඒ මත ඔයාට පුලුවන් මම උඩ කිව්ව ප්ලෑන් එකට තව දේවල් එකතු කරගන්න සහ වෙලාවල් වෙනස් කරගන්න. ඒත් වෙන්න ඕනේ එකම දේ තමයි ලොකු වෙනස්කම් එක පාරටම නොකර ඉන්න එක සහ හැමදේම Predictable විදියට පවත්වාගෙන යන එක.
————————
Shalani Weerawardana
