හදවතක් නැති ප්‍රශ්න හමුවේ මගේ අම්මා තනි නොකළ වගය

ජාත්‍යන්තර මව් දිනය දා මට මේ කතාව ලියන්න අවශ්‍ය බව හුඟක් කල් ඉඳලා දැනෙමින් තිබුණා. ඇත්තටම මම මවක් වීමෙන් පසුව මවු සෙනෙහස ගැන මට දැනෙන විදිය වඩාත් ගැඹුරු වුණා.

මේ ලිපිය ටිකක් දිග වෙන්න පුළුවන්, ඒ ගැන මා සමඟ අමනාප වෙන්න එපා. මම මේක ලියන්නේ මගේ අම්මා වගේම ආබාධ සහිත දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කරමින් ඔවුන්ට සම්පූර්ණ සහාය දක්වන දිරිය අම්මලා වෙනුවෙනුයි.

මිනිසුන් විදිහට අපි අලුත් දේවල් දැක්කම කුතුහලයෙන් ප්‍රශ්න අහනවා. නමුත් ඔබ නිකමට හිතලා තියෙනවද ආබාධ සහිත දරුවෙක් ඉන්න මවකගෙන් අහන ප්‍රශ්න කොයි තරම් ඇයව රිදවනවද කියලා? මට තේරෙන වයසේ ඉඳලා මගේ ඇස් ගැන මිනිස්සු අහපු ප්‍රශ්න නිසා මගේ අම්මා කොයිතරම් පීඩනයකට ලක්වුණාද කියලා මම දැක්කා.

නිවසේදී හැර පන්සලකදී, මළගෙදරකදී වැනි ඕනෑම පොදු ස්ථානයකදී මෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කරන විටදීත් මගේ අම්මා මේ ප්‍රශ්නවලට නිරන්තරයෙන් නිරාවරණය වුණා. මිනිස්සු කිසිදු තරාතිරමක් හෝ ස්ථානයක් නොබලා ඇගෙන් මේ ප්‍රශ්න ඇසීමට පෙළඹුණා.

මම මේ ප්‍රශ්න අසන පිරිස ප්‍රධාන කොටස් තුනකට බෙදනවා:

 1. අවංක කුතුහලය සහ කරුණාව නිසා ප්‍රශ්න අසන පිරිස.

 2. හුදෙක් ඕපාදූපයක් ලෙස හෝ කාලය පිරවීමට ප්‍රශ්න අසන පිරිස.

 3. උපහාස කිරීමට හෝ තමන් උසස් යැයි පෙන්වීමට යටි අරමුණකින් ප්‍රශ්න අසන පිරිස.

මම මෙතැනදී අවධාරණය කරන්නේ ප්‍රශ්න අසන්නට එපා කියා නොවෙයි. ප්‍රශ්න අසන්නේ නැතිව දැනුවත් බවේ වර්ධනයක් ඇති කරන්නට බැහැ. මමත් මේ ප්‍රශ්නවලට ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්නට අවුරුදු දොළහේ සිට බැඳී සිටිනවා. නමුත් මේ ප්‍රශ්න ඇසීමේදී අනිවාර්යයෙන්ම **විනයක්** තිබිය යුතුයි. තමන් සිටින ස්ථානය සහ අවස්ථාව පිළිබඳවත්, අවට සිටින පිරිස පිළිබඳවත්, අනෙක් පාර්ශ්වය පිළිතුරු දීමට සූදානම්ද යන්න පිළිබඳවත් දැඩි ලෙස සැලකිලිමත් වීම වැදගත්. කුතුහලය සැමවිටම ගරුත්වය සහ සීමාවන් සමඟ සමබර විය යුතුයි.

ඇත්තටම අප කළ යුත්තේ අන් අයව අපහසුතාවයට පත් කරන ප්‍රශ්න ඇසීම නොව, හැකි සෑම අයුරින්ම ඒ දරුවන්ට සහ මව්වරුන්ට සහාය වීමයි. ඔබට එලෙස උදව් කිරීමට අපහසු නම්, අවම වශයෙන් වචනවලින් හෝ ඔබේ බැල්මෙන් ඒ මව්වරුන්ව අපහසුතාවයට පත් නොකර සිටීමට වගබලා ගන්න.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මව් දිනය දවසේ මම මේ කරුණු ටික ඔබ හමුවේ තබන්නේ, ඔබේ වචනවලින් හෝ බැල්මෙන් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් කැපවෙන ඒ මව්වරුන්ව මින් ඉදිරියට අපහසුතාවයට පත් නොකරන ලෙස ඉල්ලා සිටීමටයි.

මගේ ජීවිතය වෙනස් කළ ඒ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ආවේ මට වයස අවුරුදු 12 දීයි. විශාල මුදලක් සහ මහන්සියක් දරා අපි එදා ගියේ බටහිර රටවල පවා අත්දැකීම් ඇති අක්ෂි වෛද්‍යවරයෙක් හමුවීමටයි. මා පරීක්ෂා කළ ඒ වෛද්‍යවරයා ඉතාමත් රළු ස්වරයකින් මගේ අම්මාට මෙහෙම කිව්වා: “තවමත් ලෝකයේ මෙවැනි දෙයක් සනීප කරන්න ක්‍රමයක් හොයාගෙන නැහැ.”

ඒ වචන හමුවේ යම් බලාපොරොත්තුවක් සුන් වුණත්, මගේ අම්මා ඒ වේදනාව නිහඬව දරාගත් ඉතාමත් ශක්තිමත් කාන්තාවක්. නමුත් ඔහුගේ ඒ රළු ස්වරය දුටු මම එතනදීම, ඒ වෛද්‍යවරයා ඉදිරිපිටදීම පවුලේ අය දෙස හැරී මෙහෙම ඇහුවා: “සල්ලි වියදම් කරලා ඇද්ද ඔයාලා මේ අහගත්තු දේ? මම හිතන්නේ ආයෙත් කිසි දවසක අපි වෛද්‍යවරුන් ගාවට යා යුතු නැහැ” කියලා.

එදා මම තීරණය කළා මගේ ප්‍රශ්න වලට මමම උත්තර දෙනවා කියලා. මම මුල්වරට ඒ වගකීම මගේ අතට ගත්තේ පානදුරේ ඉඳලා රත්නපුර බලා එන බස් රථයකදීයි. “නෑ නැන්දේ, මට උප්පත්තියේ ඉඳලම ඇස් පේන්නෙ නැහැ. මගේ ඇස් දඟලන්නේ ස්නායු ක්‍රියාකාරීත්වය නිසා. මේක සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි” කියලා මම ඉතා විශ්වාසයෙන් පිළිතුරු දුන්නා. මම එදා කුඩා දරුවෙක් වුණත්, නිතර දොස්තරවරුන් ගාවට ගිය නිසා ඒ වෛද්‍ය විද්‍යාත්මක වාක්‍ය ටික මට හොඳට කටපාඩම් වෙලා තිබුණා.

මගේ අම්මා හිතුවේ මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ හැමදේම හරි යයි කියායි. නමුත් මම සුදුසුකම් ලබා තිබුණත් පෙනීමේ දුර්වලතාවය නිසා මා වඩාත්ම ආදරය කළ විෂය කිරීමට මට අවස්ථාව ලබා දුන්නේ නැහැ. නමුත් මගේ දක්ෂතාවය හඳුනාගත් ආචාර්යවරුන් කිහිපදෙනෙක් මාව වෙනත් අංශයකට යොමු කළා. කණගාටුවට කරුණ නම්, ඒ අංශයේම සිටි පුද්ගලයෙක් මගේ අම්මාගේ පෞද්ගලික අංකය සොයාගෙන ඇයට ඇමතුමක් දී “මේ වගේ ළමයි කොහොමද ස්පෙෂල් උපාධියක් කරන්නේ?” කියා අපහාස කිරීමයි. නමුත් මම මගේ උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව අවසන් කර, අද මෙල්බන් නගරයේ සාර්ථකව ජීවත් වෙනවා.

මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

සාමාන්‍යයෙන් පෙති පහේ මල් පිපෙන ගසක වුවත් ඉඳහිට පෙති හතරක, තුනක හෝ දෙකක මල් පිපීම ස්වභාවිකයි. ඒ මල් පිපෙන්නෙත් ඒ ගසේමයි. ආබාධ සහිත පුද්ගලයන් කියන්නෙත් ඒ වගේ ස්වභාවධර්මයේම විවිධත්වයක්. අද වන විට බොහෝ දියුණු රටවල් සෙල්ලම් බඩු හරහා කුඩා කාලයේ සිටම දරුවන්ට උගන්වන්නේ මෙය සාමාන්්‍ය දෙයක් බවයි. ඒ දියුණු රටවල වගේ අපේ රටෙත් මෙය සාමාන්්‍ය දෙයක් බවට පත් වූ දාට එය ඒ පාර්ශ්වයන් තුනටම—ආබාධිත තැනැත්තාට, පවුලේ අයට සහ සමාජයටම—විශාල සහනයක් වේවි.

මේ ලිපිය අවසානය වන තෙක් කියවූ ඔබට ස්තූතියි. 

✍️ Lakmi Vasana 

මුල් සබැඳිය : ජාත්‍යන්තර මව් දිනය දා