මේ පේජ් එක පටන් ගත්ත දවසේ ඉඳන් පේජ් එකත් එක්ක ඉන්න බහුතරයක් දෙනා දන්නවා එමලි වෙනුවෙන් අපි ලංකාව තුළ වෙනස් කරන්න උත්සාහ ගත්තේ මොකක්ද සහ අපි මේ වෙනකොට වෙනස් කරේ මොකක්ද කියලා. මූලිකවම අපි වෙනස් කරන්න උත්සාහ ගත්තේ ඔටිසම් සම්බන්ධව ලංකාවේ පවතින මිථ්‍යා මත සහ ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ට ලංකාවේ පොදු සමාජයෙන් එල්ල වන විනිශ්චයන්.

මේ අවුරුද්දේ මට වයස අවුරුදු හතලිහක්. ඒත් මට දැනෙන්නේ ශාරීරිකව සහ මානසිකවත් වයසට වඩා ඉතා දුබල සහ වෙහෙසකාරී බවක්. ඒකට හේතුව ඔටිසම් දරුවෙක්ගේ හැඩය වටහාගෙන ඒ අභියෝග වලට මුහුණ දෙන එක වචනයෙන් කියන්න බැරි තරම් අපහසු දෙයක් නිසා.

ඊයේ එමලිගේ තාත්තා උදේ ඔෆිස් ගිහින් හවස ගෙදර ආවම මගෙ මූණ දිහා බලලා කිව්වා ” මම ඔයාගෙන් අද දවස ගෙවුනු හැටි අහන්නේ නෑ. ඒක මූණෙන් පේනවා කියලා. ඒ තරමටම දවස වෙහෙසයි. දත් මැදලා නා ගත්තේ රෑ නමය පහු වෙලා.එමලි නිදාගන්නකල් එකම ඉරියව්වෙන් පැය එකහාමාරක් ඉන්න උනා. හිරි වැටිලා ගිය කකුල් අත පය අද්ද අද්ද කාමරෙන් එළියට ඇවිල්ලා ලොකු දුවට කිරි තේ එකක් හදලා දුන්නා. එයා කැමතියි මම හදන කිරි තේ එකට. යන්තං බඩ ගින්න නිවාගන්න ඉදි ආප්ප ටිකක් ගිලලා මම කරේ ලියන්න ගත්ත එක.මම ලිව්වේ Richard Rook ගැන.ඒ පෝස්ට් එක අද පේජ් එකට දාන්න හිතාගෙන ලියලා නිදාගෙන උදේ ඇහැරිලා අද දවසේ යුද්දේ පටන් ගන්න තේක බොනකොට මෙන්න මැසේජ් එකක්. කාගෙන්ද කියලා බැලුවම ” අපේ මිස්” කියලා නමක් දාන් ඉන්න මිඩ් වයිෆ් නෝනා කෙනෙක්ගෙන්. ඒ මැසේජ් එක මම මෙතන කොපි කරලා දානවා.

” මේ දරු පැටියා ඔටිසම් දරුවෙක් දරුවෙක් දරුවෙක්ද ?

මට ඊට වඩා යමක් පේනවා ඒකයි අහන්නේ.ඔටිසම් දරුවෝ මේ වයස වෙද්දී අපි මීට වඩා හුඟාක් සංවර්ධනය කළ හැකියි. වෙනත් මොනවා හරි ප්‍රශ්නයකුත් තියෙනවද නැත්නම් ඔටිසම් පමණයි ද?”

 දැන් මේ මිඩ් වයිෆ් නෝනා දන්නේ නෑ ඔටිසම් කියන්නේ Spectrum එකක් කියලා. ඒකත් පැත්තකින් තියමුකො. ඔටිසම් දරුවෙක්ගේ අම්මා කෙනෙක්ට ඒ අම්මගේ දරුවගේ සංවර්ධනය මදී කියලා උදේ පාන්දර මැසේජ් එකක් දාන්න හිතුව මේ මිඩ් වයිෆ් නෝනට අද මම කියලා දෙනවා Ethics ගැන. මොනවද කතා කරන්න ඕනේ , අහන්න ඕනේ ,ඒවා අහන්න ඕනේ කොහොමද කියලා. විශේෂයෙන් තමන් සමාජයේ නඩත්තු කරගෙන යන චරිත මත තමන්ට තමන් කිසිසේත්ම නොදන්න දරුවෙක්ගේ සංවර්ධන හැඩය ගැන ඒ දරුවගේ අම්මගෙන් ප්‍රශ්න කරන්න බෑ කියන එක මේ නෝනට තේරුම් කරලා දෙන්න ඕනේ.

එමලිගේ අම්මා ඉතාම නරක මනුස්සයෙක්. එමලිගේ අම්මා තමන්ගේ දරුවා එක්ක ” තමන්ගේ දරුවගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන්න එළියට බැස්සේ ඔටිසම් දරුවන්ගේ අම්මලාට මේ සමාජයෙන් එල්ල වන විනිශ්චයන් ගැන ඉතාම හොඳ අවබෝධයකින්. එතකොට මේ වගේ මිඩ් වයිෆ් නෝනලා හිතනවා එයාලා ඉගෙන ගත්ත ඉතා පැරණි සිලබස් වල ඔටිසම් ගැන තිබුණු චූටිම චූටී කෑල්ල මත එයාලා ඔටිසම් ගැන පර තෙරට දන්නවාය කියලා. ඊටත් වඩා එයාලාට තියනවා Ego එකක්. ඒ Ego එක මත එයාලා හිතනවා අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාගේ සංවර්ධනය මදී කියලා කියන්න එයාලට නෛතිකමය වගේම ඉතාමත් බුද්ධිමය හැකියාවක් තියනවාය කියලා. ” අපේ මිස්” සාරි පොට බෙල්ලේ හරි ඔතන් පිළිවෙළට ඉදගන්න මගෙන් ඔටිසම් ගැන පාඩම ඉගෙන ගන්න. විශේෂයෙන් මට මගේ දරුවාගේ සංවර්ධනය ” Not enough ” කියන කතාව පාන්දරම තකහනියක් මැසේජ් එකක් දාලා කීමේ ප්‍රථිපලය භුක්ති විදින්න.

මුලින්ම මම ඔයාට කියලා දෙන්න හදන්නේ මොකක්ද Spectrum එක කියලා. ඔයාට තේරෙන පැහැදිලි සරළ සිංහලෙන් මම කියල දෙන්නං මේක.

දැන් ඔයා තීන්ත ගන්න තීන්ත කඩේට යනවා. ඔයාට ඕනේ “නිල්”පාට. ඔයා කඩේ මනුස්සයාගෙන් අහනවා මට නිල් පාට තීන්ත ලීටර දෙකක් දෙන්න කියලා. එතකොට ඒ මනුස්සයා ඔයාගෙන් පෙරළා අහනවා ඔයාට ඕනේ මොන නිල් පාටද කියලා. දැන් නිල් පාට යටතේ පාට වර්ග ගොඩක් තියනවා. උදාහරණයක් විදියට Sky Blue , Baby Blue , Powder Blue , Ice Blue, Cerulean , Cornflower Blue, Steel Blue වගේ නිල් පාට වලත් විශාල පරාසයක ප්‍රභේදයන් තියනවා. ඔන්න ඕක තමයි Spectrum එක කියන්නේ. දැන් ඔයාගේ චූටී මොළේට තේරුනාද? ඔටිසම් කියන්නේ එකම සරළ රේඛාවක් දිගේ ගමන් ගන්නා ස්නායු විවිධත්වයක් නෙමේ. එක දරුවෙක්ගේ හැඩය Sky Blue වෙනකොට තවත් දරුවෙක්ගේ හැඩය Baby Blue වෙනවා. ඒත් ඒ හැම වර්ගයක නිල් පාටක්ම අයිති වෙන්නේ ” නිල් පාට” කියන පොදු හැඳින්වීම යටතට.ඒ වගේම තමයි මේ ඔටිසම් Spectrum එක යටතේ නා නාප්‍රකාර හැඩයෙන් යුතු කුසලතා සහ අභියෝග තියන දරුවන් ඉන්නවා. ඒ හැම දරුවෙක්ගේම අනන්‍යතාවය ඔටිසම් උනාට ඒ දරුවන් එකිනෙකට වෙනස්.

දැන් ඔයා මගෙන් අහනවා එමලිගේ සංවර්ධනය ගැන. ඒක ඔයා මගෙන් අහන්නෙත් ” ඔටිසම් දරුවෝ මේ වයස වෙද්දී අපි මීට වඩා හුඟාක් සංවර්ධනය කළ හැකියි ” කියලා. දැන් ඔයාට ටිකක් විතර ඒ ප්‍රශ්නයේ නූගත්කම උපරිමයි කියන එක තේරෙනවද? මෙතන ” අපි” කියලා ඔයා සදහන් කරන්නේ කවුද? ඔයාලා ඔටිසම් දරුවන්ගේ සංවර්ධනය මනින අමුතු කණ්ඩායමක්ද? මොකක්ද ඔයාලගේ ඒ සංවර්ධනය මනින මිම්ම. ඔයා එමලිගෙ වයස දන්නවද? ඔයා එමලිගේ කුසලතා සහ අභියෝහ දන්නවද? ඔයා එමලි කොයිතරම් නම් සංකීර්ණ අභියෝග පහු කරගෙන ආව දරුවෙක්ද කියලා දන්නවද? ඔයා එමලිගෙ කවුද? ඔයා එමලිගෙන් බලාපොරොත්තු උන සංවර්ධනය එමලි ඔයාට පෙන්නුවේ නැද්ද? අනේ ඔයා පව්. ඔයාට උදේ පාන්දරම නැගිට්ටම අහම්බෙන් එමලිගේ වීඩියෝ එකක් දැකලා ආපෝ මේ ළමයගේ සංවර්ධනය නම් හොඳටම මදී. මේක ඒ ළමයගේ අම්මට කියන්නම ඕනේ කියලා රෙද්ද උස්සන් මට මැසේජ් කරාද?

 එක දරුවෙක්ගේ සංවර්ධන හැඩය සහ වේගය තව දරුවෙක්ගේ සංවර්ධන හැඩය සහ වේගයට සමාන නැහැ. එක දරුවෙක් ඉතා ඉක්මනින් වාචික සන්නිවේදනය කරන්න පුලුවන් ඒත් තව දරුවෙක් එහෙම නොවෙන්න පුලුවන්. තව දරුවෙක්ගේ Regulation, sensory processing , Motor skills වෙනස් වෙන්න පුලුවන් අනික් දරුවන්ට සාපේක්ෂව. ඒ නිසයි මේ වයසට නං හොඳටම මදී කියලා නාකි නූගත් අම්මන්ඩි කෙනෙක් වගේ කියන විනිශ්චයන් ඔටිසම් වලට Apply වෙන්නේ නැත්තේ.

දැන් මෙහෙම ඔටිසම් දරුවන්ගේ සංවර්ධන හැඩයන් එකිනෙකට වෙනස් වෙනකොට මේ වගේ නූගත් මිඩ් වයිෆ් අම්මන්ඩිලා එනවා රෙද්ද උස්සන්. බලන්න අර ළමයා නං කතා කරනවා, ඒ ළමයා නං ඉස්කෝලේ යනවා, ඒ ළමයා නං ශිෂ්‍යත්වටත් ඉදගත්තා. ඒත් බලන්නකො ඔයාගේ ඔටිසම් ළමයා. හොදටම මදී. ඔයාලා උනන්දු නෑ නේ.ඔයාලා කැප කරන්නේ නෑ නේ ළමයා වෙනුවෙන්. අම්මලගේ වැරැද්ද.ආපෝ හොඳටම මදී මේ වයසට කියලා කියන්න.

මම නං කියන්නේ ඔය ඔටිසම් දරුවන් ඉන්න අම්මලට කවුරු හරි ළමයගේ සංවර්ධනය මදි කියලා මේ වගේ සංවර්ධන පොලිස්සියෙන් ඇවිල්ලා විනිශ්චය කරොත් උන්ව තැන නොතැන බලලා එළවලා දාන්න.

මේ අනුන්ගේ ළමයින්ගේ සංවර්ධනය ගැන ප්‍රශ්න කරන සංවර්ධන නිළධාරීනීට මම කියන්නේ ටිකක් ඔටිසම් ගැන සහ ඉතිහාසය ගැන Study කරන්න. ඔයාලා වගේ අය හිටියේ 1940 කාලයේ. ඒ කාලේ තමයි Leo Kanner කියන child psychiatrist ගෙනාවේ ““refrigerator mother” theory එක. ඒකෙන් කිව්වේ ළමයි ඔටිසම් වෙන්නේ අම්මගේ උණුහුම සහ අවධානය මදි වෙන නිසා කියලා. මේ ලෝකයේ ඔටිසම් ගැන අබ මල් රේණුවක දෙයක් නොදන්න කාලේ උන දේවල්. ඉතිං 2026 දිත් මෙහෙම මිඩ් වයිෆ් නෝනලා ඔටිසම් දරුවන්ගේ අම්මලට සංවර්ධනය ” Not enough ” කියලා කියනවා කියන්නේ එක්කො උඹලා පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා. නැත්තන් හැම මගුලකටම ඇඟිලි ගහන කැත පුරුද්ද නැති කරගනින්.

උදේ නැගිට්ට ගමන් මේ වගේ මැසේජ් අම්මලට එවනවා කියන්නේ මුන් නං සාප. මුන්ට බැරිද ඔය කරන Content එකක් කරන් බොරු හිනාව දාගෙන, නිකන් අමුතු පත්තිනි අම්මලා වගේ හඬ සෞම්‍ය කරන් ළමයින්ට කෑම දෙන හැටියි ළමයි නාවන හැටියි හෑල්ල කියන් ඉන්න. එතකොට ඔයාට හොඳම මිඩ් වයිෆ් නෝනට හම්බෙන මොකක් හරි සම්මානයක් හම්බෙයි. එන්න එපා ජිවිතේ තියන අවසාන හුස්ම ටිකත් දරුවා වෙනුවෙන් කැප කරලා ඉන්න දරුවා කටින් අම්මා කියන වාරයක් පාසා සතුටට හිත ඇතුලින් කෑ ගහලා නටන, දරුවා ලියන එක වචනයක් ගානේ උඩ පැනලා නටන ඒ දරුවා වෙනුවෙන් මුලු මහත් සමාජයක් ඉස්සරහා හිටගෙන දරුවා වෙනුවෙන් මිනිස්සුන්ව දැනුවත් කරන අම්මෙක්ට ඒ දරුවගේ සංවර්ධනය ” Not enough ” කියලා කියන්න.

මම මගේ දරුවාගේ සංවර්ධනය ගැන මුලු හදවතින්ම ආඩම්බර වෙන අම්මෙක්.මම නිතරම මගේ එමලිට කියන්නේ “පුතේ ඔයා ගැන අපිට හරිම ආඩම්බරයි” කියලා. එමලි පෙරේදා ” Love” කියන වචනය Spell කරා.ලොකු කොළක් පිරෙන්න Hello kitty කියලා ලිව්වා. ඊයේ පළවෙනි වතාවට තාත්තට වීඩියෝ කෝල් එකක් අරන් ගේන්න ඕනේ ලිස්ට් එක කිව්වා.ඉතිං ඔළුවේ මාන්නය පුරවගත්ත සහකම්පනයක් නැති බලු ගෑනූ මට කියනවද මේ මදී කියලා? උඹලට ඕනේ එමලි මැජික් එකකින් උඹලගේ ළමයි වගේ තෝරතොරොංචික් නැතුව කියවනවටද? ඉස්කෝළේ ගිහින් පුටුවක පැය ගාණක් ඇලිලා අකුරු ලියන්නද? ගෙදර දොරේ වැඩ කරන්නද?උඹලට මගෙන් සහ මගේ දරුවගෙන් ඕනේ මොකක්ද? මගේ දරුවා එයාගේ හැඩයෙන් උස් මහත් වෙලා අනන්ත අප්‍රමාණ අභියෝග පහු කරන් ආවම උඹලා එදාට මගේ දරුවගෙන් අහනවද ” ඔයාගේ වයසට නං ඔය හොදටම මදී” කියලා? එදාට අහනවද ඔයාට තව ප්‍රශ්න තියනවද කියලා? එදාට කියනවද ඔයාගේ අම්මා නං ඔයාට ඒ තරම් සහය දීලා නෑ නේ කියලා. මම ආයේ ආයෙත් අහන්නේ උඹලා මගෙන් සහ මගෙ දරුවගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

එන්න එපා ඔටිසම් දරුවන්ගේ අම්මලට දරුවන්ගෙ සංවර්ධනය වයසට නං මදී කියන්න.සංවර්ධන පොලිස්සියෙන්ද? කරන මිඩ් වයිෆ් මගුලක් කරන් දාන වීඩියෝ එකක් කරන් කීයක් හරි හම්බකරන් ඉදපන්. මම අන්තිම නරක ගෑනියෙක් මගේ දරුවාව සහ මගේ මහන්සිය , කැප කිරීම විනිශ්චය කරන්න එන උන්ට. උදේ පාන්දර දවස පටන් ගන්නකොටම සක්කිලි ගෑනු වගේ එන්න එපා සංවර්ධනය මදි කියන්න. ඔටිසම් දරුවන්ගේ අම්මලා දන්නවා කොයිතරම් නම් අභියෝග වලට දරුවන් එක්ක මූණ දෙනවද කියලා.

මම අවුරුදු හතක් පුරාවට සැප නින්දක් විදපු නැති ගෑනියෙක්. සැනසිල්ලේ බඩට කෑමක් කෑවේ නැති ගෑනියෙක්.මගේ කොණ්ඩේ බුරුතු පිටින් යනවා මගේ ඔළුවේ නිරන්තරයෙන් තියන ප්‍රශ්න කන්දරාව නිසා. මට ඉන්නවා චූටී අස්ස පැටියෙක් වගේ හැම තැනම දුව දුව ඉන්න කුතුහලය පිරිලා ඉතිරිලා ගිය දරුවෙක්. ඒ දරුවා අසීමිතව මේ ලෝකෙට ආදරෙයි. ඒ නිසා උඹලා වගේ ගෑනූ එක්කො ඔටිසම් ගැන හරියට ඉගෙන ගෙන ලෑස්ති වෙයන් මේ දරුවො ලොකු උනාම සමාජයට පිළිගන්න. උඹේ මිඩ් වයිෆ් කමවත් උඹ සෝශල් මීඩියා ඉස්සරහා රඟපාන චරිතේවත් මට අදාළම නෑ. උදේ පාන්දර මැසේජ් කර කර සංවර්ධනය මදී කියන්න උඹ කවද්ද සංවර්ධන පොලීසියේ OIC උනේ?.

මුල් සබැඳිය : ඔටිසම් සම්බන්ධව ලංකාවේ පවතින මිථ්‍යා මත