ඔටිසම් කියන්නේ Spectrum එකක්. තවත් සරළවම කිව්වොත් ලක්ශණ විශාල පරාසයකට විහිදිලා තියන ස්නායු විවිධත්වයක්. කරුණාකරලා ඔටිසම් ගැන දැනුවත් නැත්නම් ඒ ගැන පොදුවේ කතා කරන එක ඔටිසම් දරුවන් ගැන අදහස් පළ කරන එක නතර කරන්න. ඒ කතා කිරීමෙන් සිද්ධ වෙන්නේ තව තවත් සමාජයට ඔටිසම් සම්බන්ධව වැරදි මත සහ අදහස් එකතු වෙන එක විතරයි. මේ විවිධත්වය කොයිතරම් පරාසයකට විහිදිලා තියනවද කියන එක මම ඔටිසම් පුද්ගලයින් උදාහරණයකට අරගෙන පැහැදිලි කරන්නම්.
පහල ෆොටෝස් වල ඉන්න පුද්ගලයින් පිළිවෙළින් හඳුන්වා දුන්නොත්
1) Haley Moss – අවුරුදු 28 ක් වයස ඔටිසම් අනන්‍යතාව සහිත නීතිඥවරියක්.

2) Patrick Casale – ඔටිසම් සහ ADHD අනන්‍යතාවය සහිත තෙරපිවරයෙක්.

3) Jake – දෙමාපියන්ගේ සහය ඇතුව බේකරි එකක් පවත්වාගෙන යන ඔටිසම් තරුණයෙක්.

4) Trevor – අවුරුදු 24 ක ඔටිසම් තරුණයෙක්. පවුලේ සහය සමඟ Trev’s Trade Soaps නමින් සබන් නිශ්පාදන ව්‍යාපාරයක් කරගෙන යනවා.

5) Nadia Chomyn – වාචිකව සන්නිවේදනය නොකරන ඔටිසම් චිත්‍ර ශිල්පිනියක්.

6) Jason Arday – වයස අවුරුදු 40 යි.ඔටිසම් අනන්‍යතාව සහිත Sociologist කෙනෙක්. වයස අවුරුදු 11 න් කතා කරන්න පටන් ගත්තේ. අවුරුදු 18 දී තමයි ලියන්න පටන් ගත්තේ.

7) Bobby – වයස අවුරුදු 21 ක සහය අධිකව අවශ්‍ය Severe autistic තරුණයෙක්. Bobby ගේ දෙමාපියන් තමන්ගේ නිවසට පිටුපස කුඩා නිවසක් හදලා තියනවා Bobby ට ජීවත් වෙන්න. ඒත් ඔහුට සහය සහ ඔවුන්ගේ රැකබලාගැනීම අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම Bobby ගේ දෙමාපියන් තම දරුවාගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරනවා. ” Bobby’s world” කියලා ෆේස්බුක් පේජ් එක හරහා ඒ දැනුවත් කිරීම කරනවා.

8 ) Gabe – Severe autistic තරුණයෙක්. Gabe ගේ අම්මා ඔටිසම් ගැන සමාජය දැනුවත් කරන කාන්තාවක්. Gabe ටත් 24/7 සහය අවශ්‍ය වෙනවා ජීවිතය කළමනාකරණය කරගන්න.

9) Darius – සහය අධිකව අවශ්‍ය වෙන ඔටිසම් තරුණයෙක්. ඔහුගේ මව වන Irisa දීර්ඝ කාලයක් පුරා තමන්ගේ පුතාගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරනවා. ” Irisa Nickie Leverette ” කියන නමින් ෆේස්බුක් පේජ් එක හරහා ඔයාලට පුලුවන් Darius ගේ හැඩය ගැන දැනුවත් වෙන්න.

10) අවසාන ෆොටෝ එකේ ඉන්නේ ඔටිසම් අනන්‍යතාව සහිත වෛද්‍යවරුන්. ඔවුන් එකතු වෙලා ” Autistic Doctors International ” කියන කමියුනිටි එකක් නිර්මානය කරගෙන ලෝකයේ සිටින සෑම ඔටිසම් වෛද්‍යවරයෙක් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා.

දැන් සරළවම ඔටිසම් විවිධත්වයේ හැඩය තමයි මේ. ඔටිසම් අනන්‍යතාව සහිත වෛද්‍යවරුන්ගේ සිට පැය 24 ම සහය සහ රැකබලා ගැනිම අවශ්‍ය වෙන ඔටිසම් පුද්ගලයින් මේ Spectrum එක ඇතුලේ ඉන්නවා. සෑම ඔටිසම් පුද්ගලයෙක්ම එකිනෙකට වෙනස්. කුසලතා සහ අභියෝග වෙනස්. ඔටිසම් අනන්‍යතාව සහිත පුද්ගලයෙක් වෛද්‍යවරයක් ලෙස සේවය කරා කියන එකෙන් ඔහුගේ හෝ ඇයගේ ඔටිසම් විවිධත්වය වෙනස් වෙලා නෑ. ඒ වගේම අධික සහයක් අවශ්‍ය ඔටිසම් පුද්ගලයින්ට ජීවිත කාලය පුරා රැකවරණයක් අවශ්‍ය උනාට ඒ සෑම ජීවිතයකම වටිනාකම එකයි.
මූණෙන් ඔටිසම් කියලා කියන්න බෑ කියන එක හෝ ඔටිසම් පුද්ගලයින් අසාමාන්‍ය පුද්ගලයින් කියලා කීම කිසිම තේරුමක් නැති අදහස් විදියට සළකන්නේ ඔටිසම් කියන්නේ විශාල පරාසයකට විහිදිලා තියන ස්නායු විවිධත්වයක් නිසා. ඔටිසම් දරුවන් ලොකු වෙනකොට ඔටිසම් රිවර්ස් වෙන්නේ නෑ. සිද්ධ වෙන්නේ දෙකයි. එකක් තමයි පහසුවෙන් අභියෝග කළමනාකරණය කරගන්න පුළුවන් වීම වගේම අභියෝග ලොකු වෙනකොට වැඩි වෙන්න පුලුවන් වීම. උදාහරණයක් විදියට එමලිගේ සමහර අභියෝග කාලයත් එක්ක මේ වෙනකොට එමලිට පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තියනවා. ඒ වගේම වෙනත් වෙනත් අලුත් අභියෝග වලට එමලි මූණ දෙනවා. මට දැන්ම කියන්න බැහැ එමලිගේ අනාගත හැඩය මොකක් වෙයි ද කියලාවත් එමලිගේ වෘත්තිය මොකක් වෙයිද එමලිට ලොකු උනාම අවශ්‍ය වෙන සහය මොන වගේ වෙයිද කියන එක. ඒක දරුවාට දෙන සහය මත වගේම ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ එයාගේ ස්නායු සැකැස්ම මත. ඒ නිසා ඔටිසම් දරුවන්ව සහ පුද්ගලයින්ව එකම ආකාරයේ රාමුවක් ඇතුලේ නිර්වචනය කරන්න අපිට බැහැ. අපිට කියන්න පුළුවන් දේ තමයි යම් ඔටිසම් දරුවන්ට සහය අවමවත්, යම් කොටසකට සහය මධ්‍යම වශයෙනුත් තවත් කොටසකට සහය අධිකවත් අවශ්‍ය වෙනවා කියන එක.
