ඔටිසම් ගැන දැනුවත් කරන්න අපි පුදුමාකාර වෙහෙසක් ගන්නවා. ඒ අතරේ මොනවද මේ එක් දින වැඩ මුළු කෑලී කියලා කරන්නේ ? පුදුමාකාර අප්‍රසන්නතාවයක් සහ කලකිරීමක් ඇති වෙනවා. ඔටිසම් ගැන නිවැරිදි දැනුම කොහොමද මෙයාලා ලබා දෙන්නේ මේ මිනිස්සු අබ මල් රේණුවක දෙයක් ඔටිසම් ගැන දන්නේ නැතුව. මෙහෙම ඔටිසම් ප්‍රජාවට , විවිධත්වයට අපහාස කරන්න එපා.

* බලන්න පෝස්ට් එකේ මාතෘකාව.” ඔටිසම් දරුවෙකු නිවසේදී නිවැරිදිව හසුරවන්නේ කෙසේද?” මේක ලියලා තියෙන්නේ ඔටිසම් සම්බන්ධයෙන් ඉතාම නූගත් විතරක් නෙමේ ඔටිසම් කියන විවිධත්වයට පොඩිවත් ගෞරවයක් තියන කෙනෙක් නං නෙමේ. දැන් ඔටිසම් දරුවන්ව ඇයි හසුරවන්නේ? අපි කැලෑ සත්තු තමයි හසුරවන්නේ? ඔය බලු සංදර්ශන වලට, අශ්ව සංදර්ශන වලට ගන්න සත්තුන්ව හීලෑ කරලා පුහුණු කරනවා ට්‍රීට්ස් දීලා. ඔටිසම් දරුවො කියන්නේ වනචාරී සත්තු නෙමේ හසුරවන්න. 1960 කාලයේ ඔටිසම් දරුවන්ට තියෙන්නෙ මානසික රෝගයක් කියලා හිතලා අමානුෂික දඩුවම් හරහා මේ කියනවා වගේ හසුරවන්න උත්සාහ කරා. මේක ලියපු නූගත් මිනිස්සුන්‍ට මම කියන්නේ මුලින්ම ඉගෙන ගන්න යම් ප්‍රජාවක් ගැන කතා කරනකොට neuro affirming language එකක් පාවිච්චි කරන්න. මේවා කියවන මිනිස්සුන්ගේ මනසේ ඇදෙන චිත්‍රය තමයි අම්බෝ පාලනය කරන්න බැරි නිකන් වනචාරී අමුතු ජීවින් ටිකක් කියලා ඔටිසම් දරුවන් කියන්නේ. අපි කිසිම දරුවෙක්ව හසුරවන්නේ නෑ. කමත හාන කොට මීහරක්ව කෙවිටෙන් හසුරවනවා වගේ දරුවන්ව හසුරවන්නේ නෑ. දරුවන්ව තේරුම් ගන්න ඕනේ. ස්නායු විවිධත්වය මොකක්ද කියලා වටහාගෙන ඒ හරහා ඔටිසම් දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගන්න ඕනේ. හැසිරීම් කියන්නේ සන්නිවේදන හැඩයක්. එක් දින වැඩමුළු කියලා පැය එකහාමාරකින් නං ඒවා තේරුම් කරලා දෙන්න බැරි වෙයි.
* දැන් මේ කියන විදියට ඔටිසම් ගැන නිවැරිදි දැනුමක් දෙන්නේ කොහොමද ” ඔටිසම්” කියන්නේ රෝගයක් නෙමේ කියන එක පවා නොදන්න අය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 දී Approve එක දුන්නා ඔටිසම් කියන්නේ disease එකක් නෙමේ neurodevelopmental condition එකක් කියන එක වර්ගිකරණය කරන්න.මීටත් කලින් ඒ කියන්නේ 1990 කාලයේදී ඉදන් සමාජය දැනුවත් කරන්න පටන් ගත්තා ඔටිසම් කියන්නේ ඉතා ස්වාභාවික ස්නායු හැඩයක් මිසක රෝගයක් නෙමේ කියන එක. දැන් මේ සරළ දැනුම වත් නැතුව මොනවද දෙමව්පියන්ගෙන් දෙදාහක් අරගෙන ඒ වැඩමුළුවේදි දැනුවත් කරන්නේ? කරුණාකරලා මේ බොරු නං දෙමාපියන්ට කියන්න එපා. දරුවෙක්ගේ අභියෝග සරළ නෑ. ඔයාලට ඔටිසම් කියන්නේ ව්‍යාපාරයක් උනාට අපිට අපේ දරුවන් කියන්නේ අපේ සම්පූර්ණ ජීවිතය.
* ” වත්මන් ලෝකය තුළ ඔටිසම් පිරී ඇත” කියලත් ලියලා. ඔටිසම් කියන්නේ වෛරස් එකක් නෙමේ හුළඟින් ලෝකය පුරා පැතිරිලා පිරිලා තියෙන්නෙ.මොනවද මේ ලියන මරි මෝඩ කතා? නිකමටවත් හිතන්නේ නැද්ද ප්‍රසිද්ධ මාධ්‍යයේ මේ වගේ කතා ලියලා දානකොට ඔටිසම් ගැන දැනුවත් මිනිස්සු බලයි කියලා. එහෙම නැත්තන් සල්ලි හම්බකරන්න ඕනේම දෙයක් කරන්න පුළුවන් මානසික මට්ටමකින් ඉන්න නිසා මේවා ආයේ දෙපාරක් කියවලා කොහෙද වැරදි තියෙන්නේ කියලා තේරුම් ගන්න අවශ්‍ය නෑ කියලා හිතුනද?
මම හරි කැමතියි අනික දැනගන්න ඔටිසම් ඇති වෙන අනිවාර්ය හේතු කියලා මෙතන සදහන් කරලා තියන හේතූ ටිකත්.
අනික් කාරණය තමයි මේ එක්දින වැඩමුළුවෙන් පැය එකහාමාරක කාලයක කරන දැනුවත් කිරීමෙන් පස්සේ අවශ්‍ය අයට තව රුපියල් පන්සීයක් අරන් සහතිකයක් එවනවලු ගෙදරට. ඇත්තටම ලැජ්ජා නැද්ද? ඔය සහතිකේ ගන්න අය ඊට පස්සේ කරන්නේ ඔටිසම් දරුවන් ගැන ඉගෙන ගෙන තියනවාය කියලා කොහේ හරි සෙන්ටර් එකක වැඩට යනවා.මේක විකාරවලින් සහ තක්කඩින්ගෙන් පිරුනු රටක්. මේ පුද්ගලික ආයතනයට හරි පාසලට හරි වගකීමක් තියනවා නං මේ වගේ දේවල් කරන්නේ නෑ. ලංකාවේ අධ්‍යාපනය අප්ඩේට් වෙන්න ඕනේ වගේම පුද්ගලික අධ්‍යාපන ආයතන මොනිටර් කරන්නත් ඕනේ.
ඔන්න එක් දින වැඩමුළු වල ඇත්ත. රුපියල් දෙදාහක් දීලා මේ බොරු අහන්නේ නැතුව යන්න අපේ වෙබ්සයිට් එකට. නොමිලේ ගිහින් දැනුවත් වෙන්න ඔටිසම් ගැන. ඔයාලට ඔටිසම් ගැන නොමිලේ දැනුවත් වෙන්න මම මගේ පුද්ගලික මුදල් රුපියල් දහදාහකට ආසන්නව හැම මාසෙම වෙබ්සයිට් එකට ගෙවලා ඒක පවත්වාගෙන යන්නේ. පෝස්ට් පිලිවෙලක් කරලා ඒක ලස්සනට හදන්නේ ඔටිසම් දරුවෙක්ගේ තාත්තා කෙනෙක්. අපි අපේ ශ්‍රමය වගේම බොහොම දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වියදන් කරලා මේ ඔටිසම් ගැන දැනුවත් වීම කරගෙන යන්නේ. ඒකට හේතුව අපේ දරුවන්ගේ විවිධත්වය පිළිගන්න සමාජයක් හදන්න. අපි කොයිතරම් සහයක් අපේ දරුවන්ට ලබා දුන්නත් අපේ දරුවන්ව පිළිගන්න සමාජයක් එලියේ නැත්තන් කවමදාකවත් අපේ දරුවන්ට පහසුවෙන් , ගෞරවයෙන් ජීවත් වෙන්න බෑ.
පුන පුනා අපි ඔටිසම් කියන්නේ ස්නායු විවිධත්වයක් මිසක රෝගයක් නෙමේය කියනකොට රුපියල් 2000 ගානේ මිනිස්සුන්ගෙන් එකතු කරන් එක් දින වැඩමුළු පවත්වලා ඔටිසම් කියන්නේ රෝගයක් කියලා කියනවා. මේ වගේ ව්‍යාපාර වලට සල්ලි වියදන් කරලා වැරදි තොරතුරු ඔලුවේ පුරවගන්නේ නැතුව ඒ රුපියල් දෙදාහෙන් දරුවගේ මනස සන්සුන් කරගන්න Sensory toy එකක් ගන්න. එහෙම නැත්තන් හොද අලුත් මාලු ටිකක් අරන් බඩට කන්න දෙන්න.
මේ ලංකාවේ කොහේ කොතන වුනත් ඔටිසම් ගැන අසත්‍ය තොරතුරු සමාජගත වෙනවා නං ඒ හරහා මගේ දරුවාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මගේ දරුවාගේ පුද්ගල හැඩයට බරපතළ ලෙස හානි වෙනවා. හේතුව මගේ දරුවා රෝගියෙක් නෙමේ. මගේ දරුවා හසුරවන්න අවශ්‍ය කැලෑ සතෙක් නෙමේ. මගේ දරුවා සාම්ප්‍රදායික හැඩයකට එහා ගිය විවිධත්වයෙන් යුතු ස්නායු පද්ධතියක් ඇති සාමාන්‍ය මනුශ්‍ය ජීවියෙක්. මගේ දරුවාට පහසුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ විවිධත්වය අපහරණයට ළක් නොකරන සමාජයක්. කරුණාකරලා ඔටිසම් ප්‍රජාව Bully කරන එක නතර කරලා මේ එක්දින වැඩ මුළු පවත්වන්න කලින් ආයේත් ඔටිසම් ගැන නිවැරිදිව ඉගෙන ගන්න.
