ආදරණීය විශ්‍රාමික ගුරුවරියක් inbox එකට ප්‍රශ්න 3ක් මට යොමු කරලා තිබ්බා ඒකට උත්තර පේජ් එකේ ලියන්න කියලා. මේ වගේ අපි Spectrum එක ගැන බුද්ධිමය සංවාදයකට යොමු වෙන්න ඕනේ. ඒ නිසයි මම ඉල්ලන්නේ “සාමාන්‍ය ළමයෙක් වගේ / ඔටිසම් මූණෙන් පේන්නේ නෑ” වගේ ප්‍රශ්න වෙනුවට ඔටිසම් ගැන දැනුවත් වෙන්න පුලුවන්, අපිට කතා කරන්න අවශ්‍ය දේවල් ගැන ප්‍රශ්න අහන්න කියලා. පුද්ගලිකව එමලි ගැන අහන ඕනේම ප්‍රශ්නයකට උත්තර දෙන්න මට පුළුවන්. ඒ වගේම Spectrum එක ගැන අහන ඕනේම ප්‍රශ්නයකට මම හරිම කැමැත්තෙන් උත්තර දෙනවා. ඒ නිසා මම ස්තූතිවන්ත වෙනවා මේ ආදරණීය ගුරුවරියට ඔටිසම් ගැන මතු කරපු ප්‍රශ්න වලට.
මෙතන ප්‍රශ්න තුනක් තියනවා. මම ඒවා පිළිවෙලින් පිළිතුරු එක්කම සඳහන් කරන්නම්.
1) Autistic දරුවෙක් වැඩිහිටි වීමේදී Narcissistic ගති ලක්ෂණ ඇති කෙනෙක් වීමට හැකිද?
Autism සහ Narcissistic Personality Disorder (NPD) කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. Autism කියන්නේ ස්නායු විවිධත්වයක් (neurodevelopmental condition). NPD කියන්නේ personality disorder එකක්. කිසිම විද්‍යාත්මක සාධකයක් නැහැ ඔටිසම් දරුවන් ලොකු වෙනකොට narcissistic වෙන්න පුලුවන් කියලා. දැන් Narcissistic Personality Disorder (NPD) තත්වය තියන පුද්ගලයින්ගේ තියන එක ලක්ෂණයක් තමයි Low Empathy එහෙමත් නැත්නම් අනෙකාගේ හැඟීම් ගැන සැළකිල්ලක් නොදැක්වීම. ඔටිසම් පුද්ගලයිනුත් සහකම්පනයක් නැති, අනෙකාගේ හැඟීම් නොසලකා හරින පුද්ගලයින් ලෙස ලොකු මිත්‍යාවක්, වැරදි මතයක් සමජයේ තියනවා. අන්න ඒ නිසා මේක Narcissistic ලක්ෂණයක් විදියට වැරදියට හඳුනාගන්න පුලුවන්. ඇත්තටම ඔටිසම් පුද්ගලයින්ට තියෙන්න පුලුවන් අභියෝගයක් තමයි අනෙකාගේ හැඟීම් වටහා ගැනීමට ඇති අපහසුවත් තමන්ගේ හැඟීම් තෝරා බේරා ගන්න අසීරූ වීමත් අනෙකාගේ හැඟීම් වලට දක්වන්න ඕනේ ප්‍රතිචාරය මොකක්ද කියලා වටහා ගන්න අමාරු වීමත්. මෙන්න මේ නිසා තමයි වැරදි මතයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඔටිසම් පුද්ගලයින් සහකම්පනය අවම අය කියලා. ඔටිසම් වැඩිහිටියෙක්ට Narcissistic Personality Disorder එක තියෙන්න පුලුවන්. ඒත් ඒක සෑහෙන්න කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඔටිසම් වීම නිසාම ලොකු වෙනකොට Narcissistic පුද්ගලයෙක් වෙන්න නං අවස්ථාවක් නෑ. මේ දෙක අතරේ කිසිම සම්බන්ධතාවයක් නෑ.
2) සාර්ථක විවාහ ජීවිත ගතකරන Autistic අය හමුවී තියෙනවාද? Partner ගෙ ජීවිතයත් සතුටින් ද?
මේක සෑහෙන්න වැදගත් ප්‍රශ්නයක් නිසා මේ සම්බන්ධව සිද්ධ වුන පර්යේශන 4ක දත්ත හරහා මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන්.
Rui Ying Yew, Samuel, Mesibov ඇතුළු පිරිස 2021 දි කරපු ඔටිසම් පුද්ගලයින්ගේ ආදර සම්බන්ධතා ආරම්භ කිරීම සහ පවත්වා ගැනිම සම්බන්ධ පර්යේශනය. ඒකේ Title එක උනේ
“A systematic review of romantic relationship initiation and maintenance factors in autism” .
මේකෙදි හොයාගත්ත දේවල් තමයි,
ඔටිසම් නොවන පුද්ගලයන් තරමටම ඔටිසම් පුද්ගලයින්ද ආදර සම්බන්ධතා පැවැත්වීමට කැමැත්තක් දැක්වීම.
ඒ වගේම ආදර සම්බන්ධතාවයක් පටන් ගැනීමේදී ඔටිසම් පුද්ගලයන්ට අන් අයට වඩා අසීරුතාවලට මූන දෙන්න වෙනවා. ඒ එක් අසීරූතාවයක් තමයි Partner කෙනෙක් හොයාගන්න කොට ඔවුන් සාම්ප්‍රදායිකව බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන්න වටහා ගන්න අපහසු වීම.
සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමේදී සන්නිවේදන ගැටලු, සංවේදන ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම සම්බන්ධතාවයකදී සාම්ප්‍රදායිකව බලාපොරොත්තු වෙන දේවල්, ඒ වගේම සමාජයෙන් බලාපොරොත්තු වෙන දේවල් තේරුම් ගැනීමේ අපහසුතා වලට මූන දෙනවා. හැබැයි ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමේදි මිනිස්සුන්‍ට ඇති වෙන පොදු ගැටළු වලට වඩා ඔටිසම් පුද්ගලයින් මූණ දෙන ගැටළු වෙනස්. ඒවා තමන්ගේ සන්නිවේදන සහ සංවේදන අසමබරතාවයන් එක්ක බැදිලා තියනවා.
Rui Ying Yew ඇතුළු පිරිස 2023 දිත් මේ සම්බන්ධව රිසර්ච් එකක් කරා. ඒ තමයි ඔටිසම් පුද්ගලයින්ගේ ඔටිසම් නොවන සහකරුවන් සහ සහකාරියන් ඒ ආදර සම්බන්ධතාවයන් තුළ තෘප්තිමත්ද කියන කාරණය සම්බන්ධයෙන්. ඒකේ Title එක
“Relationship Satisfaction Among Autistic Populations: How Partner Neurotype Influences Relationship Satisfaction Factors for Autistic Adults”.
මේකෙදි හොයාගත්ත දේවල් තමයි,
තමන්ගේ සහකරු හෝ සහකාරියගේ ප්‍රතිචාර දැක්වීම (එකිනෙකා තේරුම් ගැනීම, emotional support, එකිනෙකාට ගරු කිරීම) තෘප්තිමත් සම්බන්ධතාවයකට ප්‍රධාන සාධකය බව. මේක ඔටිසම් පුද්ගලයන් සහ ඔවුන්ගේ ඔටිසම් නොවන සහකරු/කාරියන් යන දෙපිරිසම පොදුවේ එකඟ උන දෙයක්.
ඒ හැරුනම හුදකලාබව, මානසික සුවය, සන්නිවේදනය, ලිංගික ජීවිතය වගේ දේවලුත් ආදර සම්බන්ධතාවයක තෘප්තිමත් භාවයට හේතු විදියට ඔවුන් කරුණු දැක්වුවා.
Crompton, Fletcher-Watson ඇතුළු පිරිස 2020 දි කරපු ස්නායු විවිධත්වය සහ ආදර සම්බන්ධතා පිලිබඳ පර්යේශනය – ඒකේ Title එක වුනේ “Neurotype-Matching, but Not Being Autistic, Influences Self and Observer Ratings of Interpersonal Rapport”.
මේ රිසර්ච් එකට දෙන්නාම ඔටිසම් අනන්‍යතාව සහිත Couple , ඔටිසම් නොවන Couple , සහ එක්නෙක් ඔටිසම් සහ අනිත් කෙනා ඔටිසම් නොවන Couple සහභාගී වුනා.
මේකෙදි හොයාගත්ත දේවල් තමයි,
ඔටිසම් + ඔටිසම් Couples වල ආදර සම්බන්ධතා ඔටිසම් නොවන + ඔටිසම් නොවන couples වල ආදර සම්බන්ධතා තරමටම හෝ ඊටත් වඩා සර්ථකයි කියන එක.
ඔටිසම් + ඔටිසම් නොවන Couples වල ආදර සම්බන්ධතාවයන් තුළ ඇති වෙන්න පුළුවන් ප්‍රධානම බාධකය සන්නිවේදන ගැටලු. මෙවනි සන්නිවේදන ගැටලු ඒක පාර්ශවීය නොවෙන අතර එය ඔටිසම් පුද්ගලයාටත් ඔහුගේ සහකරු/කාරියටත් දෙන්නටම ඇති වෙන්න පුලුවන් කියලත් මේ හරහා සොයා ගත්තා.
අවසාන රිසර්ච් එක තමයි Khaw ඇතුළු පිරිස 2025 දි කරපු ඔටිසම් පුද්ගලයන්ගේ ආදර සම්බන්ධතාවයක සාර්ථකත්වය මනින මිමි සහ සම්බන්ධතාවය පිලිබඳ ඔවුන්ගේ තෘප්තිමත් භාවය පිලිබඳව කරපු පර්යේශනය. ඒකේ Title එක “Relationship satisfaction among autistic populations: How partner neurotype influences relationship satisfaction factors for autistic adults” .
මේකෙදි හොයාගත්ත දේවල් තමයි,
ඔටිසම් පුද්ගලයින් ආදර සම්බන්ධයකදී සාර්ථකත්වය මනින මිමි විදියට සලකන්නේ අවංකත්වය, සෘජු සන්නිවේදනය, predictability, emotional safety, routines වගේ දේවල්
ඔවුන්ගේ ආදර සම්බන්ධතාවල සාර්ථකත්වයට ඇති ලොකුම ගැටලු විදියට දකින දේවල් තමයි තමාගේ “සහකරු හෝ සහකාරිය” තමා පොදු ස්ථාන වලදී ඔටිසම් ලක්ෂන සඟවාගෙන සිටිය යුතු බව බලාපොරොත්තු වීම (masking), සමාජයෙන් එන බලපෑම, තමන්ගේ විවිධත්වයට ගරු නොකිරීම වගේ දේවල්.
බොහොමයක් ඔටිසම් පුද්ගලයින් ඔවුන්ගේ ආදර සම්බන්ධතා ඉතා ගැඹුරු, පක්ෂපාතී, අර්ථවත් සම්බන්ධතා විදියට නිර්වචනය කරල තියෙනවා.
මේ රිසර්ච් වලින් පැහැදිලි වෙනවා ඔටිසම් සහිත පුද්ගලයන් ආදර සම්බන්ධතාවයන් පවත්වාගෙන යෑමට හැකි අය බව. අන් අයට සාපේක්ෂව ඔටිසම් පුද්ගලයන්ට ආදර සම්බන්ධතා වලදී වැඩිපුර අසීරුතා වලට මූන දෙන්න සිදු උනත්, සම්බන්ධතාවල සාර්ථකත්වයට බලපාන වැදගත්ම දේවල් වෙන්නේ සන්නිවේදනය, තේරුම් ගැනීම වැනි පොදු කාරණා මිසක් ඔටිසම් තත්වය නෙමෙයි කියන අදහස තමයි මේ හැම රිසර්ච් එකකින්ම මූලිකවම තහවුරු වුනේ.
3) අපි සාමාන්‍ය ජනතාව හැමෝගෙම එකිනෙකාට වඩා විවිදත්වයෙන් යුතු හැසිරීම් නිසාත්, දරාගැනීම් සහ විවිධ phobias නිසාත් හැම දෙනාටම පොදුවේ ගත්තොත් විවිධ මට්ටමින් Autism තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?
Neurodivergence / විවිධත්වයෙන් යුතු ස්නායු සම්බන්ධතාවයක් ඇති කියන හැඳින්වීම යටතට අයිති වෙනවා Autism / ADHD / Dyslexia/
Dyscalculia / Dysgraphia / Dyspraxia / Tourette Syndrome / OCD / Sensory Processing Disorder (SPD) / Intellectual හෝ Gifted Differences කියන තත්ත්වයන්. අපි විවිධත්වයෙන් යුතු ස්නායු පද්ධතියක් සහිත පුද්ගලයින් කියලා කියන්නේ මෙවැනි විවිධත්වයන් සහිත තත්ත්වන් තියන පුද්ගලයින්ට.
එතකොට Neurotypical කියලා කියන්නේ සාම්ප්‍රදායික එහෙමත් නැත්නම් සමාජය පිළිගන්නා හැඩයක් සහිත ස්නායු පද්ධතියක් ඇති පුද්ගලයින් ට. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ සාම්ප්‍රදායික ස්නායු සකැස්මක් සහිත සමාජයේ ව්‍යවහාරික භාශාවෙන් කියන “සාමාන්‍ය ” පුද්ගලයින් හැමෝම එකම වගේ කියලා. ඔවුන් අධ්‍යාපනික, සන්නිවේදන සහ හැසිරීම් යනාදියෙන් එකිනෙකට වෙනස්. ඒත් ඔටිසම් නොවන පුද්ගලයෙක්ට ඔටිසම් ලක්ශණයක් යැයි සළකන යම් ලක්ශණයක් තියෙනවා නම් ඒ මත ඔවුන්‍ටත් ටිකක් ඔටිසම් කියලා අපිට කියන්න බැහැ. ඒක විද්‍යාත්මකව වැරදියි. ඕක ඔටිසම් ගැන මේ සමාජයේ තියන යම් යම් නිර්වචනයන්ටත් අදාළයි. සමහරු කියනවා මගේ දරුවාට ටිකක් ඔටිසම් කියලා. ඒත් එහෙම ටිකක් ඔටිසම් හෝ වැඩියෙන් ඔටිසම් කියලා කියන හැදින්වීමම නිවැරිදි නැහැ. ඔටිසම් හෝ අපි අර ඉහත කිව්ව ස්නායු විවිධත්වයට අදාළ වෙන්නේ ඒ criteria / නිර්නායකයන් සම්පූරණ කර ඇති නම් පමනයි.
මේක තවත් පැහැදිලි කරගමු. අපිට ඔටිසම් නොවන පුද්ගලයෙක් හම්බෙනවා අයි කන්ටැක් ඉතා දුර්වල. ඔහුට කෙනෙක්ගේ මූණ දිහා ඍජුව බලන්න බැහැ. දැන් ඒක ඔටිසම් ලක්ශණයක් විදියට ඔටිසම් විවිධත්වයේ හැදින්වුවත් එම පුද්ගලයාගේ අයි කන්ටැක් දුර්වල වීම නිසා ඔහු ඔටිසම් පුද්ගලයෙක් වෙන්නත් නෑ. ඔහුට ටිකක් ඔටිසම් කියලා කියලාවත් කියන්න බෑ. ඔහුගේ අයි කන්ටක් දුර්වල වීමට හේතුව ලැජ්ජාව හෝ යම් බියක් නිසා වෙන්න පුළුවන්. ඔටිසම් කියන අනන්‍යතාවය තහවුරු වෙන්න නම් ඔහුට අයි කන්ටැක් දුර්වල වීම කියන ලක්ශණය පමනක් ප්‍රමානවත් වෙන්නේ නැහැ. ඔටිසම් කියන්නේ සමස්ත හැසිරීම් රටාවම එකතු වෙලා ඒ නිසා එදිනෙදා ජිවීතයේ අභියෝග වලට මුහුණ දෙන්නට සිදු වීම මත තහවුරු කරගන්නා අනන්‍යතාවයක්. උදාහරණයක් විදියට වතුර වලට මිරිස් එකතු උනාම ඒක මිරිස් හොද්දක් වෙන්නේ නෑ වගේම ඔටිසම් වලට සමාන ලක්ශණයක් තිබ්බ පලියට ඒ පුද්ගලයා ඔටිසම් හෝ ටිකක් ඔටිසම් වෙන්නේ නෑ.
මේ විදියම තමයි ඔටිසම් දරුවෙක්ට ඔටිසම් ලක්ශණ අවම වීම ටිකක් ඔටිසම් වෙන්නේ නෑ. ඔටිසම් ලක්ශණ වැඩි වීම මත ගොඩක් ඔටිසම් කියලා කියන්නෙත් නෑ. නොයෙක් පරාසයන්ට ඔටිසම් ලක්ශණ තියන සියළුම ඔටිසම් පුද්ගලයින් ඉන්නේ Spectrum එක ඇතුලේ. ඔවුන්ගේ අනන්‍යතාවය ඔටිසම්. ඒත් අපිට හදුන්වන්න පුලුවන් සහය අවමයෙන්, මධ්‍යම සහ අධිකව අවශ්‍ය ඔටිසම් පුද්ගලයින් කියලා.
ඒ නිසා සාම්ප්‍රදායික ස්නායු සකැස්මක් සහිත පුද්ගලයින්ට තියෙන්න පුළුවන් යම් යම් ඔටිසම් ලක්ශණ වලට සමාන ලක්ශණ මත ඔවුන් neurodivergence යටතට / ඔටිසම් විවිධත්වයට අයිති වෙන්නේ නෑ. හේතුව ඒ එක් ලක්ශනයක් තිබීම මත ඔවුන්ගේ ජිවිතය අභියෝගකාරී වෙන්නෙ නැති නිසා. මෙන්න මේ නිසයි ඔටිසම් ප්‍රජාව ඉතාමත් විරුද්ධ Neurotypical ප්‍රජාව “මටත් ටිකක් ඔටිසම් තියනවා” වගේ ප්‍රකාශ භාවිතා කරන එක ගැන.
