මම පහු ගිය දවසක Spoon theory එක ගැන බාගෙට ලියලා තිබ්බා.ඒක දැන් සම්පූර්ණ කරන්න වෙලාවක් ලැබුනා.අද වැස්ස නිසා එමලි දවසෙම වැස්සේ නටනවා🤭.එමලි ටික ටික ලොකු වෙනකොට මට එමලිට එකම විදියට සහය ක්‍රමයන් පාවිච්චි කරන බෑ වගේම එමලිගේ විවිධත්වය, අභියෝග , කුසලතා තේරුම් ගන්න නම් මම තව තවත් මූලාශ්‍ර හොයාගෙන කියවන්න ඕනේ. ඉතාමත් නරක මිථ්‍යාවක් හදලා තියනවා සල්ලි තියන අම්මලට පුලුවන් කියලා දරුවන්ව ගෙවල් වල තියන් තෙරපි කරන්න.තෙරපි කියන්නේ මැජික් එක නෙමේ.දරුවාගෙන් දරුවාට ලබා දෙන සහය වෙනස් වෙනවා. ඕනේම දෙමාපියෙක්ට අයිතියක් සහ නිදහසක් තියනවා තමන්ගේ දරුවාට කොහොමද සහය දෙන්නේ කියලා තීරණය කරන්න.ඒක බලපාන්නේ දෙමාපියන්ගේ ආර්ථික මට්ටම අනුව නෙමේ. රටේ පවතින සහය ක්‍රමවේදය දරුවාට සුදුසු නැහැ කියලා දෙමාපියන් හිතනවා නං, දරුවාට සහය දෙන්න දෙමාපියන් දැනුවත් නං සහ දරුවාගේ විවිධත්වය සහ හැඩය අනුව. දරුවාව වටහාගෙන සහය දෙන්න නං දෙමව්පියන්ගේ ආර්ථික මට්ටම කිසිසේත්ම බලපාන්නේ නෑ.

නිදහස් අධ්‍යාපනය වත් සෞඛ්‍ය වත් නොමිලේ ලැබෙනවාය කියන එකේ අදහස ඒ ලැබෙන සේවාවේ ගුණාත්මකබව ගැන පුරවැසියාට ප්‍රශ්න අහන්න බෑ කියන එක නෙමේ.නිකන් දෙන අශ්වයගේ දත් බලන්න එපා කියන අදහස නෙමේ නිකන් දුන්නත් දත් නැති අශ්වයෝ බාර ගන්න එපා කියලයි මම කියන්නේ. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් සිය වතාවක් හිතලා සුදුසු ක්‍රම ගැන දැනුවත් වෙලා සහය දෙන්න. ඒ නිසා දරුවාට ලැබෙන සහය ප්‍රශ්න කරන්න සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට තියනවා. හැබැයි එහෙම ප්‍රශ්න කරන්න නං දෙමාපියන් දැනුවත් වෙලා ඉන්න ඕනේ.

දැන් Spoon theory එක කියන්නේ Christine Miserandino ගෙනාපු අදහසක් කොහොමද ශාරීරික සහ මානසික ශක්තිය එදිනෙදා වැය වෙන්නේ කියන එක ගැන. Christine ජීවත් උනා Lupus ( chronic autoimmune disease) තත්ත්වයෙන් පීඩා විදින යහළුවෙක් එක්ක. අන්න ඒ කාලේ තමන්ගේ යාලුවාගේ අභියෝග වඩා පැහැදිලිව විස්තර කරන්න තමයි මේ Theory එක නිර්මාණය වුනේ.පස්සේ ඒක හැම විවිධත්වයක්ම වටහා ගන්න සම්බන්ධ කරගත්තා.විශේෂයෙන් ADHD. දැන් ඔටිසම් වලට මේක සම්බන්ධ කරලා පැහැදිලි කරගන්න හැටිත් අපි බලමු.

Christine තමන්ගේ යහළුවට වැය කරන ශාරීරික ශක්තිය පැහැදිලි කරේ මේසේ උඩ තිබ්බ හැඳි ටිකක් අතට අරන්. එයා කිව්වා මේ හැම හැන්දකින්ම පෙන්වන්නේ Energy එක. එහෙම කියලා ඇය එදිනෙදා කරන වැඩ වලට එක හැන්ද හැන්ද වෙන් කරා උදේ නැගිටලා මූණ හෝදලා, රෙදි හෝදලා , උයලා, ගෙවල් අස් කරන්නත් එතනින් එහාට Travel කරන්නත් හැන්ද හැන්ද ගානේ වෙන් කරාම හැඳි ටික ඉවර උනා. Christine පැහැදිලි කරා.දැන් මේ වැඩ කොටසට මගේ තිබ්බ සම්පූර්ණම ශක්තිය වැය උනා.මෙතනින් එහාට දෙයක් කරන්න මට තවත් ශක්තියක් නෑ කියලා.

මේ අදහස එක්ක අපේ දරුවන් ගැන කතා කරොත් අපේ දරුවන් එයාලගේ තියන සම්පූර්ණ ශක්ති ප්‍රමාණයම වැය කරනවා එදිනෙදා දවසේ දේවල් එක්ක.පාසල් යන එක , ඇක්ටිවිටීස් ,තෙරපිට්ස් ළඟට යන එක වගේ ගොඩක් දේවල් වලට. එතකොට වැඩිහිටි ඔටිසම් පුද්ගලයෙක්ට කියන්න පුලුවන් අද නං මගේ ශක්තිය සම්පූර්ණයෙන්ම ඉවර වෙලා.දැන් මට ගෙයින් එළියට ගිහින් ඒ ශබ්දයන් දරාගෙන ඉන්න පොඩි ශක්තියක් වත් ඉතිරි නෑ කියන්න. ඒත් ඔයාගේ දරුවාට පුලුවන් ද එහෙම කියන්න? දරුවට අවස්ථාවක් තියනවද මට දැන් ඇති කියලා කියන්න.දරුවාගේ ශක්තිය අවසන් වෙන මොහොත ඔයා වටහාගන්නවාද?

Energy management කියන්නේ ඔයා දරුවාගේ ශක්තිය කළමනාකරණය කරන්න ඕනේ කියන එක. විධාන අවම කරන්නන , පීඩාකාරී දීර්ඝ වෙලාවන් වෙනකල් දරුවා අකමැති ඇක්ටිවිටීස් කොහෙත්ම කරවන්න එපා, පාසලේදී අවශ්‍ය විශේෂ විවේක කාලයන් දෙන්න,දරුවා අකමැති තැන් වල බලහත්කාරකමින් තියන් ඉන්න එපා.

ඒ වගේම Christine Miserandino ට අනුව ඔටිසම් පුද්ගලයෙක් තමන්ගේ ඔටිසම් විවිධත්වය සඟවගෙන ජීවත් වෙනවා නං එක දවසකට ඉතා ඉක්මනට එයාගේ හැඳි ප්‍රමාණය අවසන් වෙනවා.

දරුවාගේ ශක්තිය අවසන් උනාට පස්සේ නැවත ඒ ශක්තිය එක් රැස් කරගන්න ටයිම් එකක් යනවා. ඒ වෙලාව අනිවාර්‍යෙන් ලබාගන්න ඕනේ. එතකොට ඔටිසම් දරුවන්ගේ චර්‍යාවන් සහ හැසිරීම් වලට විශේෂයෙන් Stimming වලට අපි ඉඩ සහ නිදහස දෙන්න ඕනේ එක හේතුවක් තමයි මේක.Routines වැදගත් වෙන්නේ ඒකයි.

දරුවා Birthday party එකකට ගිහින් ගෙදර ආවා නං දරුවාගේ Spoons සියල්ලම ඉවර වෙලා. එයාට එතනින් එහාට ගෙදර ඇවිල්ලා ආයේ අම්මා එක්ක Activities කරන්න බෑ.උදේ ඉඳන් දිග වෙලාවක් ඉස්කෝලේ ඉන්න දරුවටත් එහෙමයි. ඒ වගේම හෙට දවසේ දරුවා එක්ක දිග ගමනක් යනවා නං Spoons ටික වැඩියෙන් ඉතිරි කරගන්න.ඒ කියන්නේ අද දවසේම දරුවාට නිදහසේ විවේකයෙන් මානසික සුවයෙන් ඉන්න ඉඩ දෙන්න.අද දවසේ ඉතිරි කර ගන්න Spoons ටික හෙට දවසේ දිග ගමනේදී දරුවාට අවශ්‍ය වෙනවා.

ඔන්න ඕක තමා සරලවම Spoon theory කියන්නේ.දරුවාගේ මානසික සහ ශාරීරික ශක්තිය කළමනාකරනය කරගන්න මේ හරහා පුලුවන් වෙයි. දැන් එමලිට විධාන කිරීම් නෑ. එමලිට Stimming කරන්න, එයා කැමති Play තෝරගන්න ඉඩ තියනවා.එමලි තමන්ගේ දවස ගෙවන්න තෝරගන්න විදිය එක්ක තමයි මම එයාට සහය දෙන්නේ. එයා ඊයේ වතුර එක්ක Play කරා නං හෙට Play කරන්නේ බෝනික්කෝ එක්ක නං මම එමලිට සහය දෙන්නේ අන්න ඒ Play හරහා. ඒ වගේම අපිට පුලුවන් දරුවා කැමති දේවල් හරහා Play හදලා ඒ හරහා දරුවට සහය දෙන්න. මෙන්න මේකෙන් දරුවා දන්නවා ස්වාභාවිකවම මගේ ළඟ තියන හැඳි ප්‍රමාණය මම කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. Stress එක අඩු උනාම හැඳි ඉතිරි වෙනවා. sensory needs සම්පූර්ණ උනාමත් එහෙමයි. නිදහසේ Stimming කරන්න ඉඩ දෙන එකෙනුත් හැඳි ගොඩක් පාවිච්චි වෙන්නේ නෑ. සරලවම කිව්වොත් මෙන්න මේ වටහා ගැනිම හරහා දරුවාට සහය වීමට තමයි neurodivergent affirmative therapy ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ. autistic autonomy සහ neurology පිළිඅරගෙන, වටහාගෙන සහ ගෞරව කරලා ලබා දෙන අප්ඩේට් තෙරපි ක්‍රමවේදයක් ලංකාවේ මේ පවතින ක්‍රමවේදය වෙනුවට ලබා දෙන්න කියලා අපි කියන්නේ ඒකයි .

මේ Spoon Theory එකෙත් තියනවා කොටස්.

High-spoon Activities – වඩාත් වැඩියෙන් ශාරීරික සහ මානසික ශක්තිය වැය කරන අවස්ථා 

කාර්‍යබහුල හෝ ශබ්ධකාරී පරිසරයන්.
Autistic Masking ( දරුවාට” සාමාන්‍ය” ලෙස රඟ පාන්න යැයි බල කිරීම)
බලාපොරොතු නොවුනු Routine වෙනස් වීම්
දරුවාට කිසිම කැමැත්තක් නොමැති වැඩිහිටියන් විසින් ලබා දෙන ඇක්ටිවිටීස් කිරීම.(adult-led tasks)
විවේකයක් නොමැතිව ඉතා දීර්ඝ සමාජ, පුද්ගල ආශ්‍රයන් වලට මුහුණ දීම.
වෛද්‍යවරුන් මුණ ගැසීම සහ විධානයන් බහුල Therapy Session
Stimming නතර කිරිම සහ දරුවාගේ හැඩයට Play කිරීමට ඉඩ ලබා නොදීම.

💠💠💠💠💠💠💠💠💠💠

Medium-spoon – තරමක ශක්තියක් වැය කරන්න සිදුවන අවස්ථාවන්. 

මෙය දරුවා දවස ගත කරන හැඩය අනුව වෙනස් වෙනවා. විනෝදාත්මක Play මතත් දරුවා තමාගේ ශක්තිය වඩ වඩාත් වැය කරනවා
play dates සහ කණ්ඩායම් ගේම්ස්
ඉගැන්වීමේ ක්‍රියාකාරකම්( කියවීම, ලිවීම , Puzzles යනාදී)
නිවසෙහි එදිනෙදා ක්‍රියාකාරම්
අළුත් ආහාරයක් රස බැලීම ,වෙනස්ම ඇඳුමක් ඇඳ බැලීම සහ පරිසරය

💠💠💠💠💠💠💠💠💠💠

 Low-spoon / spoon-giving – වැය වූ ශක්තිය නැවත එක් රැස් කරගැනීම.

නිදහසේ Play කිරීමට ඉඩ දීම -( දිවීම,පැනීම, කුතුහලය මත නොයෙක් දේ පරික්ශා කිරීම වැනි)
Stimming ( කැරකැවීම, මිමිණීම,නොයෙක් ද්‍රව්‍යන් සමඟ සෙල්ලම් කිරීම)
 Nature time ( මඩ,වැලි, වතුර, ගස් සමඟ කාලය ගත කිරීම)
ආරක්ෂාකාරී චර්‍යාවන් සහ රටාවන් පවත්වාගෙන යෑම
පීඩාවක් නොමැතිව තමන් වඩාත් විශ්වාස කරන පුද්ගලයින් සමඟ කාලය ගත කිරීම.
නිහඬ Sensory Friendly වටපිටාවක සන්සුන්ව සිටීම.
දරුවා පාලනය කරන ක්‍රියාවන් ( පැද්දීම, උඩ පැනීම , නැටීම )

මුල් සබැඳිය : Spoon theory