
දැන් Neurodivergent කියලා හඳුන්වන්නේ ඔටිසම්, ADHD, down syndrome ,FxS සහ අනෙකුත් තත්ත්වය ඇති අය. ස්නායු පැතිරී තිබීම වැනි අර්ථයක් තමයි මේ වචනයෙන් කියන්නේ.එතකොට මෙවැනි තත්වයන් නැති අයට කියන්නේ Neurotypical කියලා. ඒ කියන්නේ පැවතිය යුතු ආකාරයට හෝ සම්මත ආකාරයට ස්නායු පිහිටා තිබීම. දැන් ලෝකයේ මේ වෙනස් දරුවන්ව හඳුන්වන්නේ Neurodivergent / නියුරො ඩිවර්ජන්ට් කියලා.
මගේ යාළුවෙක් මේ ලඟදි මැසේජ් කරලා එමලි ගැන ඇහුවා.එතකොට එයාගේ දහසක් ප්‍රශ්න අතරේ අහපු ප්‍රශ්න දෙකකට මගේ අවධානය එල්ල උනා.
එමලි ඇක්ටිව් නැද්ද?
ඒ කියන්නේ ඔටිසම් කිව්ව ගමන් ඔලුවේ මැවෙනවා ඇත්තේ එක තැනක ඉදන් ඉන්න ඇක්ටිවි නැති බුද්ධි මට්ටම අඩු දරුවෙක් කියන එක.
එමලි එයාගේ අක්කට ගහනවද?
එතකොට මේකත් ඔටිසම් හෝ වෙනත් තත්ත්වයන් සහිත දරුවන් පිලිබඳව සමාජයේ තියන වැරදි මතයක්.මේ සෑම දරුවෙක්ම කලහකාරී ,පාලනය කරගන්න බැහැ කියන එක.
අපේ දරුවන් සෙන්සරි ඕවර්ලෝඩ් වෙලා හෝ යමක් තේරුම් ගන්න හැකියාව නැතුව ,අධි ක්‍රියාකාරීත්වය නිසා යම් යම් හැසිරීම් පෙන්නුම් කරනකොට කෙලින්ම මිනිස්සු කියන්නේ ඒ අම්මට දරුවා හදාගන්න තේරෙන්නේ නෑ.දෙකක් ගහලා හදන්න ඕනේ. මොන ඔටිසම්ද? මට මේ වගේ දරුවෙක් හිටියා නං ඔටිසම් උඩින් යන්න මම දෙන්නෙ/ කන්නේ නැත්තන් බලෙන් කවන්න ඕනේ/ හුරතල් කරනවා වැඩී.. මෙන්න මේ වගේ නොයෙකුත් චෝදනවා දෙමව්පියන් වෙතට එල්ල වෙනවා.
දැන් අපිට තියන ලොකුම ගැටලුවක් තමයි දරුවන්ගේ විනය හා හැසිරීම කොහොමද හදාගන්නේ කියලා. හේතුව සමහර බබාලා කතා කරන්නේ නෑ.අපි වචනින් කියන දේ තේරුම් ගන්න හැකියාවක් නැහැ.සමහර දරුවන් කතා බහ කරත් හොද නරක කියන සීමාව වෙන් වෙන තැන ගැන අවබෝධයක් නෑ. මේ වගේ දරුවන්ට කොහොමද හොද නරක කියලා දෙන්නේ සහ එයාලගෙ හැසිරීම් වලට අපි මොන වගේ ප්‍රතිචාර ද දක්වන්න ඕනේ කියලා තමයි අද කතා කරන්නේ.
ඕනෑම තත්ත්වයක දරුවෙක්ට දෙමව්පියන් ලෙස අපි ආදරය ,පිළිගැනීම,ආරක්ශාව ,නිදහස ලබා දෙනවා වගේම අපි එයාලට එයාලගේ සීමාව වටහා දීම ඉතාම වැදගත්.
අපි අද දවසේ ගොඩ නගන යහපත් දරුවා එහි ඵල නෙළා ගන්නේ සමාජයට එකතු වුනු දවසට. සමාජයේ මිනිස්සු එක්ක ලස්සන ගනුදෙනුවක් /ලස්සන සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමත් එක්ක තමයි දරුවාට ඉදිරියට යන්න පුලුවන්. හේතුව දරුවන් වැඩිහිටියන් වෙලා සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට එයාලගේ නරක හැසිරීම් වලදී ඔටිසම් හෝ වෙන තත්ත්වයක් ගැන කියලවත් සමාජයට එයාලට සමාව දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට කවදාහරි එමලි ලස්සනට ලොකු වෙලා රැකියාවක් කරන දවසකට මට ඔටිසම්. ඒ නිසා මට මේ වැඩ වැඩී,මට මේක කරන්න බෑ,මම මෙයාට කැමති නෑ.,මට තරහා යනවා වගේ කාරණා කියන්න බෑ.එයා පුරුදු වෙන්න වෙනවා සමාජයේ මිනිස්සු එක්ක සහයෝගෙන් ආදරයෙන් ගනුදෙනු කරන්න.ඒ නිසා අද මම මගේ දරුවාගේ හැසිරීම හා විනය හදන්නේ එයාගෙම අනාගත ජිවිතයේ පහසුව වෙනුවෙන්.
Parenting Method
1) Authoritative Parenting
මේ ක්‍රමය ඇතුලේ තියෙන්නේ දරුවන්ගේ අත්වැරදීම් හෝ හැසිරීම් තුලින් ලැබෙන ප්‍රතිඵල දරුවන්ට භුක්ති විදින්න දීම තුලින් ස්වයං පාඩමක් ඉගෙන ගැනීමට දරුවාට ඉඩ දීම.ඒ වගේම තමයි යම් සීමාවන් පැනවීමෙන් පසු එම මතයේ මේ දෙමව්පියන් ස්ථීරවම ඉන්නව.උදාහරණයක් විදියට දරුවාට යම් වැඩසටහනක් බැලීම තහනම් කරා නම් ඒ තහනම දිගටම පවත්වාගෙන යනවා.මේ ක්‍රමය ඇතුලේ දරුවාට සැර පරුශ වීමක් හෝ පහර දීමක් කිසිම විටක සිදු වෙන්නේ නෑ.කරන්නේ ස්ථීර හඩින් දරුවාට දෙයක් පැවසීම හා දරුවාගේ හැසිරීමෙන් දරුවාටම එම වැරැද්ද අවබෝධ කරලා දීමක්.මේක සාර්ථක ක්‍රමයක්.
උදාහරණයක් විදියට මම එමලිට දිනකට එක්තරා වෙලාවක් වීඩියෝ පට හා වැටසටහන් නරඹන්න දෙනවා.මේ වෙලාව තීරණය කරන්නේ මම.එමලි නෙමේ.ඒ වගේම හිතන්න එමලි කුස්සියට ඇවිල්ලා කිරි එක බිමට හැලුවා කියලා.එතකොට ඒක එයා ලවාම ක්ලීන් කරවනවා.හේතුව ඒක හැලුවේ එයා.එතකොට ඒකේ ප්‍රතිඵලය එයාටම භුක්ති විදින්න සලස්වනවා.දෙයක් එපා කිව්වට පස්සේ එයා අඩන්න ගන්නවා නං බිම පෙරළෙනවා නං ඒක ට කිසිම අවධානයක් මං ලබා දෙන්නේ නෑ.එයා විසින්ම එයා සන්සුන් උනාට පස්සේ වෙන දේකට එයාව යොමු කරනවා මිසක එයා ඉල්ලලා අඩපු දේ එයාට කොහොමටවත් ලබා දෙන්නේ නෑ.
මේ ක්‍රමය ඇතුලේ තියෙන්නෙ දරුවා තමාගේ යම් හැසිරීමක් නිසා ආයේ තමාටම ලැබෙන්න පුලුවන් මොන වගේ ප්රතිචාරයක්ද කියන එක ඉගෙන ගැනීම.දරුවාව ආරක්ශා කරනවා වගේම දරුවාට නිදහස ලබා දෙනවා අත්දැකීම් හරහා ඉගෙන ගන්න.උදාහරණයක් විදියට හයියෙන් දුවනකොට වැටෙන්න පුලුවන් කියන එක දරුවා තේරුම් ගන්නවා වැටුනට පස්සේ.මේකෙන් අදහස් වෙන්නේ නෑ දරුවාව අනාරක්ෂිත විදියට අත් හරිනවා කියලා.දැන් මේ ක්‍රමය ඇතුලේ දරුවාව හදනකොට දරුවා ලොකු වෙන්නේ තමන්ගේ හැසිරීම පිළිබඳව මනා වැටහීමකින්.
2) Authoritarian Parenting
එකම වගේ වචන දෙකක් උනත් මේක වෙනස්. මේ ක්‍රමය ඇතුලේදී වෙන්නේ දරුවාට නියම කරන නීතී අනිවාර්යයෙන් දරුවා පිළිපැදිය යුතු හා එහෙම නීතී නියම කරන්න හේතුවක් දරුවාට පැහැදිලි නොකර සිටීම.මේක ඉතාමත් සාම්ප්‍රදායික ක්‍රමයක්.මේ ක්‍රමය ඇතුලේ දරුවා හදන දෙමව්පියන් දරුවාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදියට අනිවාර්යයෙන් විභාගය සමත් විය යුතුයි.අනිවාර්යයෙන් කියන රාමුව තුළ හැසිරිය යුතුයි වගේ .මේක බලහත්කාරකමක් එක්ක දරුවාගේ හැසිරීම හැදීමක්.ඒ වගේම මෙහිදී දරුවාට තීරණ ගැනීමට ඉඩක් ලැබෙන්නේ නෑ.ඒ නිසා මේ ක්‍රමයට එල්ල වන විවේචන වැඩී.හේතුව බලහත්කාරකමක් එක්ක දරුවාව කප්පාදු කිරීම තුළින් දරුවා හොද හෝ නරක පිලිබඳව අවබෝධ කරගන්නේ නැති කම හා අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට හා තීරණ ගැනීමට තියන අවස්ථාව අහිමි වෙන නිසා.
3) Permissive Parenting
මේ ක්‍රමය ඇතුලේ දරුවාව දක්වන අසීමිත ආදරය තුලින් දරුවා ස්වාභාවිකවම මනා හැසීරීමක් දක්වනවා කියලා විස්වාස කරනවා.මේ ක්‍රමයේදී දරුවාට කිසිම සීමාවක් පනවන්නේ නැහැ.දරුවාට ආරක්ශිතව නිදහසේ තමන්ට රුචි ආකාරයට හැදෙන්න ඉඩ ලබා දෙනවා.ඒ නිසාම මේ ක්රමයටත් බොහෝ විවේචන එල්ල වෙනවා. හේතුව දරුවෙකුට සීමාවන් හඳුන්වා නොදීමෙන් ඒ දරුවා ඕනෑම පැත්තකට යන්න පුලුවන් නිසා.ඕනෑම අහිතකර තැනකට දරුවාව යොමුවීමේ ප්‍රවණතාවය වැඩී.
4) Distant Parenting
මෙහිදී දරුවා සමඟ දුරස්ත බවක් පවත්වාගෙන යනවා.මේකෙන් අදහස් කරන්නේ නෑ ආදරය නොකරනවා හා ආරක්ශා නොකරනවා කියලා.මේකෙන් කරන්නේ දරුවාට ස්වාධීනව තමන්ව ගොඩ නඟා ගැනීමට ඉඩ දෙනවා.ඇඟිලි ගහන්නේ නෑ.මේ ක්‍රමය ඇතුලේ හැදෙන දරුවා පිටත සමාජයෙන් පරමාදර්ශී චරිත හොයාගෙන යනවා.හේතුව නිවසින් දරුවාට හරි මඟ පෙන්වීමක් නොලැබෙන නිසා.
දැන් අපි අපේ ඔටිසම් හා වෙනත් තත්ත්වයන් ඇති දරුවන්ගේ හැසිරීම හා විනය කියන කාරණා වලදී මේ හැම ක්‍රමයක්ම මිශ්‍ර කරගන්න ඕනේ.
එතකොට මම මගේ ලොකු දුවව හදන විදියට නෙමේ එමලිව හදන්නේ.හේතුව ලොකු දුව Neurotypical වීම සහ එමලි Neurodivergent වීම.එතකොට එකම දේ දෙන්නගෙ මොළයට යන විදිය හා වටහා ගැනීම වෙනස්. ලොකු දුවට ලබා දීලා තියෙන්නෙ අපිරිමිත නිදහසක්.මේ නිදහස කොයිතරම් වටිනවද කියන එක එයාට තේරුම් කරලා දීලා තියෙන්නෙ.එතකොට එයා වැරදි හැසිරීම් කරන්නෙම නෑ. හේතුව එයා දන්නවා අර නිදහස එයාගේ හැසිරීම් වලින් ඕනෑම වෙලාවක අහිමි වෙන්න පුලුවන් කියලා. එතකොට එයා එක්ක අපි ඉන්නෙ යාලුවො වගේ.මේ යාළුකම නිසා එයා අපිව විස්වාස කරනවා සහ අපි කියන හැම දේකටම ඇහුම්කන් දෙනවා.ඒ නිසා අපිට හරි පහසුයි ලොකු දුවට Homeschooling කරන්න.බලෙන් උගන්වන්න අවශ්‍යතාවයක් එන්නේ නැ.එයාම දවසේ හදාගෙන තියන කාල සටහනකට අනුව ඉගෙන ගන්න වැඩ කරන නිසා. දැන් මේකේ සම්පූර්ණයෙන් අනික් පැත්ත තමා එමලි. අනවශ්‍ය නිදහසක් දුන්න ගමන් එමලි එයාට ඕනේ විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම එමලිව නිතරම තියන්නේ එයාගේ සීමාව ඇතුලේ. එමලිගේ ඔටිසම් තත්ත්වය නිසා එයා මුහුණ දෙන සංවේදන ගැටළු සියල්ල ගැන මම ඉතා අවබෝධයෙන් ඉන්නේ.ඒත් මම එමලිට අනුකම්පා කරන්නේ නෑ.සංවේදන ගැටළු නිසා එයා දක්වන යම් යම් හැසිරීම් හා මුරණ්ඩු හැසිරීම් ඔක්කොම ඔටිසම් කියන ගිණුමට දාන්නේ නෑ. එහෙම උනාම තමයි අපිට දරුවාගේ හැසිරීම පාලනය කරගන්න බැරි වෙන්නේ.
එතකොට එමලිගෙ හැසිරීම හා විනය හදන්න මම පාවිච්චි කරන ක්‍රම මොනවද?
- හැඩීමෙන් ,පොළෙවේ නිදාගැනීමෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැත
- නිවසින් පිටතදී කියා වෙනසක් නෑ.ඇයට අවශ්‍ය සෑම දෙයක්ම ලැබෙන්නේ නැත
- යමක් පොළේ ගැසීම හෝ විසික් කිරීමෙන් සිදුවන්නේ ඇයටම ඒවා අදාළ තැන් වල තැබීමට සිදු වීමයි
- අක්කාගෙ අයිති දෙයක් ලබා ගැනීමට නොහැක.
- අක්කා සමඟ යමක් බෙදා ගැනීමට සිදු වී එයට එමලි අකමැති වුවහොත් දෙදෙනාටම එය අහිමි වේ. ( උදාහරණයක් විදියට දෙන්නට එක සෙල්ලම් බඩුවක් බෙදාගෙන සෙල්ලම් කරන්න බැරි නං ඒක තවදුරටත් ඒ දෙන්නට ලැබෙන්නේ නෑ)
- ඇයට වීඩියෝ බැලීමට ලැබෙන්නේ මා තීරණය කරන වේලාව තුළ පමණි.
- මා පවසන වේලාව තුළ අදාළ කාර්ය අනිවාර්යයෙන් සිදු කිරීමට අවශ්‍ය බව ( නෑම,ආහාර ගැනීම,නිවසින් පිටතට යෑම,රාත්‍රී නිදා ගැනීම)
- නිවසින් පිටතට ගිය විට ඇයගේ කුඩා හෝ මුරන්ඩු හැසිරීමකින් සිදු වන්නේ නං සියල්ල පසෙක ලා නැවත ඇයව නිවසට ගෙන ඒමයි.
- කිලුටු ඇඳුම ගලවා අදාළ බාස්කට් එක තුළට දැමීම
- සෙල්ලම් බඩු සෙල්ලම් කිරීමෙන් පසු නැවතත් අදාළ තැන් වලට දැමීම
- පහරදීම,කෙළ ගැසීම වැනි හැසිරීම් සිදු කළ හොත් එහි අනිසි ප්‍රථිපල ලෙස වීඩීයෝ නැරඹීමේ වෙලාව හෝ ඇය වඩාත් කැමති යමක් අහිමි වේ.
මෙන්න මේ වගේ යම් යම් සීමාවන් ඇතුලේ තමයි මම එමලිව හදන්නේ.එහෙම නැතුව එමලිගේ චරිත ස්වාභාවය හා මානසික තත්ත්වය අනුව ඇයට අසීමිත නිදහසක් ලබා දෙන්න බැහැ. එහෙම දුන්නම වෙන්නේ මට පාලනය කර ගත නොහැකි තැනකට එමලි පත් වෙන එක. එතකොට ඕනෑම කෙනෙක්ට මතු වෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ සීමාවන් ඇතුලේ ඇයට හැසිරෙන්න කියලා දුන්නේ කියන එක.
පළවෙනිම අභියෝගය උනේ Nonverbal ( කතා නොකරන) දරුවෙක්ට කොහොමද හොද නරක කියලා දෙන්නේ කියන එක.දරුවා සන්නිවේදනය නොකරත් දරුවාගේ මනස සන්නිවේදනය කරනවා.මෙන්න මේ කාරණය සෑහෙන්න වැදගත්.ඒ කියන්නේ වචන කටින් කිව්වේ නැති උනත් දරුවගේ මනසට වැටහෙනවා අපි පෙන්වා දෙන දේ. එතකොට මම ෆ්ලෑශ් කාර්ඩ්ස්,බයින්ඩර් පොත් සහ වීඩියෝ වලින් එමලිට පෙන්වා දුන්නා හොද හැසිරීම් හා නරක හැසිරීම් කියන්නේ මොනවාද කියල.ඒ අතරේ Emotions board එකක් හදාගෙන අපිට දැනෙන හැඟීම් මොනවද කියන එක තේරුම් කරලා දුන්නා.සමහර තැන් වලදී සමහර දේවල් එයාට තේරුනේ නෑ කියන එක මම වටහා ගත්තා.ඒත් උත්සාහය අත් හැරියේ නැහැ.එතකොට එයා නරක දෙයක් කරොත් මම කියන්නේ Very Bad , mummy sad ,mummy angry වගේ සරළ වාක්‍ය විතරයි.දිග කතා කියන්නේ නැත්තේ ඒවා එයාගේ මනසට පැහැදිලිව යන්නේ නැති නිසා. එතකොට ඉතා සූක්ශමව එයාට දැනෙන්න දුන්නා අම්මා තාත්තාගෙ පාලනය යටතේ එයා ඉන්නවා කියන එක.අපි එපා කිව්ව දෙයක් මොන හේතුවක් නිසාවත් අපි වෙනස් කරේ නැහැ.
දරුවාට ආදරය සහ නිදහස දීම තමා අනික් කාරණය. බලහත්කාරයෙන් අකමැති දේ කරනවට වඩා සාර්ථකයි ඕනෑම දෙයක් කරන්න සූක්ශමව කැමති කරවාගෙන.හිතන්න ඔයාට ඕනේ කියලා බබාට සරළවම 50 වෙනකල් ගණන් කරන්න උගන්වන්න.එතකොට කොළේක ලියලා මේක කියලා දෙනවට වඩා බබා කැමති විදියේ සෙල්ලමක් කර කර මේක කියලා දෙන්න පුලුවන්.බෝලයක් පාස් කරන ගමන් ,වතුර බේසමෙන් තව බේසමකට කප් එකකින් වතුර දාන ගමන් මේක කරන්න පුලුවන්.
අනික් දේ තමයි හොඳ පුරුදු දරුවාට උගන්වන එක .කෑම කන්න කලින් අත හෝදන්න,අදාළ බඩු අදාළ තැන් වල තියන්න,බාත් රූම් එක පාවිච්චි කරන විදිය ,අනෙකාට ආදරය කරන විදිය වගේ දේවල් අපි කරනවා බලාගෙන ඉදලා තමයි බබාලා හුරු වෙන්නේ.
දරුවා ඉදිරියේ කෑ ගහන්න රණ්ඩු කරන්න යන්න එපා.මේ හැසිරීම දරුවාගෙ මනසට වැරදි ආකාරයට යන්න පුලුවන්.එතකොට මේ හැසිරීම දරුවා ඉස්කෝළෙදිත් කරන්න ඉඩ තියනවා. ඒ නිසා අපි පුලුවන් තරම් අපේ ඉවසීම පවත්වාගෙන යන්න ඕනේ.
හඩේ උස් පහත් කමින් හා මුහුණේ ඉරියව් මඟින් දරුවා පාලනය කිරීම .
නිතරම ආදරෙන් හා සන්සුන්ව ඉන්න දෙමව්පියන් ගේ වෙනස් හැසිරීම් වලදි දරුවා ඉතා ඉක්මනින් අවධානය යොමු කරනවා.හිතන්න දරුවා එපා කියපු දෙයක් කරා කියලා.ඔයාගේ මූනෙන් කළකිරීම හා තරහ ගිය පෙනුම දරුවාට පෙන්වන්න.ඒ පෙන්වන ගමන් ස්ථීර හඩින් පැහැදිලිව කෙටි වාක්‍යක් මඟින් ඒ දේ කරන්න එපා කියන්න.
හඩේ රිද්මය වෙනස් කිරීම සෑහෙන්න සාර්ථකයි. මම කුස්සියේ වැඩක ඉන්න කොට සමහර වෙලාවට මට ඇහෙනවා සාලේ තියන සෙල්ලම් බඩු බකට් එකේ සෙල්ලම් බඩු උඩින් යන සද්දේ.එමලි බඩු විසික් කරනවා.එතකොට මම කුස්සියේ ඉදන් මගේ හඩේ පිච් එක වැඩි කරලා බර කරලා එමලි කියලා විතරයි කියන්නේ.මම සාලෙට එනකොට එමලි ඉක්මනට සෙල්ලම් බඩු ටික ආයේ බකට් එකට දානවා.මේ වගේ හඩින් සහ අංග චලනයෙන් ඔයාට තරහ ගිහින් හෝ කළකිරිලා වගේ හැඟීම් දරුවාට පෙන්නන්න.
නිතරම දරුවාට එපා කියන දේ කියන්න යන්න එපා. අධි ක්‍රියාකාරී දරුවෙක් ගත්තම ඒ දරුවට සන්සුන් වෙන්න අමාරුයි .එතකොට අපිට උදේ ඉදන් රෑ වෙනකල් කෑ ගහන්න බෑ පුටුවේ නඟින්න එපා,ඔතනින් බහින්න,ජනෙල්ලේ එල්ලෙන්න එපා,ඕක තියන්න වගේ දේවල්. අපි කරන්න ඕනේ දරුවාව සන්සුන් කරගත හැකි එයා කැමති ඇක්ටිවිටීස් කරන එක.ඒ නිසා නිතරම දරුවාට සැර පරුශ වෙන්න එපා.ඒක දරුවාගේ මනසට අහිතකරයි.
නිතරම එපා කියනකොට ,සැර කරනකොට ,පහර දෙනකොට වෙන්නේ දරුවා සිනා සෙමින් එකම දේ නැවත නැවත කිරීමේ ස්වභාවයට පත් වීමයි.ඒකෙන් එයා පෙන්නන්නේ අම්මා තාත්තා කියන දේ තවදුරටත් අදාල නොමැති බවයි.එවැනි අවස්ථා වල ඔබ හැකිතාක් සන්සුන් වී දරුවාට අවධානය නොදී සිටිය යුතුය.
දරුවාට පාලනය කරගත නොහැකි සංවේදන අසමබර වූ මොහොතවල් වල දරුවාට සැර කිරීමට හෝ පහර දීමට උත්සාහ නොකරන්න.එවැනි අවස්ථාවලදි අපගේ ආදරය දරුවාට අධිකව අවශ්‍ය වෙයි.
බලහත්කාරයෙන් Stimming නතර කිරීමට නොයන්න. දරුවාගේ මනස සන්සුන් කරගැනීමට සහය වෙන්න.උදාහරණයක් විදියට දරුවා නොනවත්වා නියපොතු හපයි නම් දරුවාට පහර දී සැර වැර වී එය නතර කිරීමට උත්සාහ කරන්නේ නම් එම හැසිරීම වැඩි විය හැකියි.දරුවාගේ මනස කළබල වී ඇති හේතුව සොයා එයට පිළියමක් යොදන්න.
අනික් කාරණය තමයි ගොඩක් අය එකතු වෙලා දරුවා එක එක ක්‍රමයට හදන්න යෑම.මේක ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමයක් නෙමේ.දරුවාට අම්මා කියන එකට වඩා වෙනස් දෙයක් තාත්තා කියනවා.මේ දෙන්නටම වඩා වෙනස් විදියක් ආච්චි ,සීයා කියනවා.එතකොට දරුවා අතරමං වෙනවා මොකක්ද හරි සහ වැරදි කියන එකත් එක්ක.
අල්ලස් දීම – දරුවා හොද දෙයක් කරාම අත් පුඩි ගහලා පුදුමාකාර සතුටක් පෙන්වන්න. වචන වලින් පවා එයාගේ ක්‍රියාව අගය කරනවා කියලා පෙන්නන්න.ඒත් බබා හොඳ දෙයක් කරාම චොක්ලට් එකක්,බිස්කට් එකක් හරි බබා කැමති දෙයක් අරන් දෙන එක කරන්න යන්න එපා.ඒක බබාගේ මනසට වැරදි ආකාරයට යන්න පුලුවන්.එතකොට එයා හැමදාම හොඳ දෙයක් කරලා ඔයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා.එහෙම දෙන්න බැරි උන දවසට දරුවා කළහකාරී වෙන්න පුලුවන්.
මතක කරගන්න අපි පොඩි කාලේ ඉගෙන ගත්ත ගිරව් දෙන්නා ඉන්න ජාතක කතාව. හොද පැත්තට වැටුන ගිරවා සහ නරක පැත්තට වැටුන ගිරවාගේ හැසිරීම මතක් කරගන්න.අපි දිහා බලාගෙන තමයි අපේ දරුවෝ ලොකු වෙන්නේ.ඔයා බඩගින්නේ ඉන්න සතෙක්ට ගලක් අරන් ගැහුවොත් ඒක බලාගෙන ඉදලා අනිවාර්යයෙන් ඔයාගේ දරුවත් ගලක් අරන් සත්තුන්ට ගහනවා.ඔයා දරුවා ඉදිරියේ සැර පරුශ විදියට හැසිරුනොත් දරුවා පාසලට ගිහින් පෙන්නන්නේ ඒ හැසිරීම.
දරුවා කුමන තත්වයක හිටියත් ඔයාට පුලුවන් දරුවාව ලස්සනට ලොකු කරන්න.කවදාවත් දරුවාට අනුකම්පා කරන්න එපා.දරුවාගේ පෞරුෂ වර්ධනය කරන්න මේ අනුකම්පාවත් එක්ක බෑ. දරුවාගේ විනය හා හැසිරීම හදන්න ඕනේ දරුවාගේ අනාගතයට…

