අම්මලා දවසෙම දරුවා එක්ක Play කරන්න ඕනේද සහ Play කරනවා කියන්නේ මොකක්ද කොහොමද Play කරන්නේ කියන එක පැහැදිලි කරගමු.
අවුරුදු 50 කට ආසන්න වශයෙන් වෘත්තීය අත්දැකීම් තියන Dr. Barry M. Prizant, Professor කෙනෙක් වගේම Speech pathologist කෙනෙක් විදියටත් ඔටිසම් ගැන වසර ගණනාවක් Study කරන Expert කෙනෙක් විදියටත් සෑහෙන්න ප්‍රසිද්ධයි. එයා කතා කරන්නේ adult‑driven instruction මත දරුවා play කරන එක ගැන නෙමේ.ඒ කියන්නේ වැඩිහිටියන් විසින් දරුවාට Play හදලා දීලා වැඩිහිටියන් කියන විදියට දරුවා Play කරන එක ගැන නෙමේ.එයා කියන්නේ ඒ හරහා දරුවාගේ සංවර්ධනයක් වෙන්නේ නෑ ආතතිය ඇති වෙනවා විතරයි කියන එක.ඒක අපි බහුතරයකට වැටහෙන කාරණයක්. Dr. Barry පැහැදිලි කරනවා child‑led, relationship‑based play ගැන. ඒ කියන්නේ දරුවා හදාගන්නා Play , එහෙම නැත්තන් දරුවා මූලිකත්වය ගෙන කරන Play. ඒ වගේම දෙමව්පියන් , තෙරපිවරුන්, ගුරුවරුන්, සමීපතමයින් විසින් දරුවා සමඟ ඇති කරගන්නා බැඳීම හරහා එකතු වෙලා කරන Play ගැන.
Dr. Barry M. Prizant ලියලා තියනවා පොතක්. ඒකේ නම ” Uniquely Human: A Different Way of Seeing Autism”. මේ පොතේ ඔහු සඳහන් කරනවා

ඔටිසම් සම්බන්ධව ලියවුණු පොත්.
” We must not see these children as broken. Their play may look different, but it’s still meaningful. We should be asking, ‘What are they feeling? What are they telling us?’ instead of trying to make their play look like everyone else’s.”
” අපි දරුවන්ව බිඳුණු දරුවන් හැටියට දකින්න හොඳ නෑ.ඔවුන්ගේ Play හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ උනත් ඒවා අර්ථවත්.දරුවන්ගේ Play අනෙක් හැමෝගෙම Play විදියට හදන්න යන්නේ නැතුව අපි අහන්න ඕනේ ” දරුවන්ට දැනෙන්නේ මොකක්ද? එයාලා අපිට කියන්න උත්සාහ ගන්නේ මොකක්ද කියලා.”
ඔයා ඔටිසම් දරුවෙක්ගේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් නං ඔයා උත්සාහ කරනවා නං දරුවාගේ Play ඔටිසම් නොවෙන දරුවන්ගේ Play වගේ බලහත්කාරකමින් හදන්න ඔයා යන්නේ නිවැරිදි පාරක නෙමේ.ඔයා ඔය යන්නේ සෑහෙන්න පැරණි දැන් භාවිතා කරන්නේ නැති අහෝසි වෙලා ගිය අදහස් විශ්වාස කරලා. ඒ නිසා දරුවාගේ Play එක ගැන නිවැරිදි දැනුමක් මේ වගේ Expert ලගෙන් අරගෙන නිවැරිදි සහය දරුවට ලබා දෙන්න.
Dr. Prizant තවදුරටත් Play එක ගැන කියන කරුණු තමයි
- Play කියන්නේ නිකම්ම නිකන් කුසලතා ගොඩනගන එකම නෙමේ. play කියන්නේ සන්නිවේදනය. ඒ නිසා වැඩිහිටියන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ දරුවා එයාගේ Play එකෙන් තමන්ට කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා.
- දරුවාට එයාගේ Play එකේ මූලිකත්වය ගන්න දෙන්න.Play කියන්නේ දරුවාගේ හැඟීම් ප්රකාශනයක්.මේ හැඟීම් ප්‍රකාශ කිරීම අපිට ඇකඩමික් Skill එකක් වගේ උගන්වන්න බැහැ.ඔටිසම් දරුවන්ගේ සෙල්ලම් සාම්ප්‍රදායික හැඩයට වඩා වෙනස් වෙන්න පුළුවන්.විශේශයෙන් අනුකරණය හරහා Play කිරීම.ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔටිසම් දරුවන්ගේ Play වැරදියි කියලා හෝ අර්ථවත් නෑ කියන එක. දරුවාගේ කැමත්ත, එයාගේ උත්තේජනය.
- දරුවාගේ Repetitive Play (Stimming, Lining, Spinning) වලට ගෞරව කරන්න.දරුවා Toys පේළියට තියනවා නම් ,රෝදයක් කරකවනවා නම් ඒවා ඇබ්බැහි කියලා වරදවා වටහගෙන නතර කරනවා වෙනුවට ඒ හරහා දරුවා සම්පූර්ණ කරගන්න උත්සාහ කරන අවශ්‍යතාවය වටහා ගන්න. ඒ Play හැඩයන් පිළිගන්න.
- දරුවාගේ විශ්වාසය ගොඩනැගෙන පරිදි Play කරන්න. දරුවා Play එක පීඩාවක්, වැඩිහිටියන් නිර්මාණය කළ පිටපතක් හෝ බල කිරීමක් විදියට දැක්කොත් ඒ හරහා ඉගෙන ගැනීම සහ සන්නිවේදනය නතර වෙන්න පුළුවන්.
මට Dr. Barry M. Prizant කියපු එක දෙයක් සෑහෙන්න මනසට කා වැදුනා.
ඒක තමයි එයා කියනවා The relationship is the intervention කියලා. අපි දරුවන්ගේ ඔටිසම් විවිධත්වය හඳුනාගන්නා කාලය කෙසේ උනත් ඒ හඳුනාගැනීමෙන් පස්සේ වැදගත්ම දේ දරුවාව වටහාගෙන දරුවා සමඟ ඇති කරගන්නා සහ පවත්වාගෙන යන සම්බන්ධතාවය. මෙන්න මේ සම්බන්ධතාවයේ ස්වරූපය මත තමයි දරුවාගේ සංවර්ධනය රඳා පවතින්නේ.එහෙම නැතුව එක පාරටම දරුවාට උදේ ඉදන් රෑ වෙනකල් ඇක්ටිවිටීස් කරවන එකවත්, බලහත්කාරකමින් දරුවාව එයාට අපහසු දේවල් වලට යොමු කරන එකවත් නෙමේ.
Quality Over Quantity කියන එකත් මොහු කියන ප්‍රධානම දෙයක්. ඒ කියන්නේ දවසෙම දරුවා එක්ක Play කරන එක නෙමේ ඔයා දරුවා එක්ක සම්බන්ධ වෙන පොඩි මොහොතක් හෝ වැදගත් ඒ මොහොතේ තියන ගුණාත්මකබව අනුව කියලා. උදාහරණයක් විදියට ඔයා දවසෙම නොනවත්වා දරුවා ලවා ඇක්ටිවිටීස් කරවන එකට වඩා දරුවා ඔයා එක්ක එකතු වෙලා බෙදාගන්නා සුළු මොහොත තමයි වටින්නේ කියන එක. ඒ වගේම දෙමව්පියන් Lead කරන Play වෙනුවට ඒවා දරුවා මූලිකත්වය ගත් Play වෙන්න ඕනේ.
දරුවෙක් එක්ක පැය 6 ක් 7 ක් Play කරන්න හෝ ඇක්ටිවිටීස් කරවන්න ඕනේය කියන නිවැරිදි නොවෙන අදහස නිසා රැකියාවට යන අම්මලාගේ හිතේ තියෙන්න පුළුවන් පුදුමාකාර අසරණකමක්. අන්න ඒ අසරණකම නිවැරිදි දැනුම හරහා ඉවත් කරගන්න.
විනාඩි 15ක 20 ක කාලයක දරුවා සමඟ ඇති කරගන්න Respectful connection එක හොඳටම ඇති සහ වැදගත් දරුවාට අවශ්‍ය කරන Deeply support එක දෙන්න. Daily Routines ම ප්‍රමාණවත්. දරුවාව නාවන අවස්ථාව.රෑ කෑම වෙලාව.නිදාගන්න වෙලාව වගේ අම්මා දරුවා එක්ක මෙන්න මේ කාලයේ එකට සම්බන්ධ වෙන හැඩයම ප්‍රමාණවත්. play කියන වචනය සාම්ප්‍රදායික අර්ථයෙන් ගන්න එපා. ඔයයි දරුවයි එකට Toy එකක් එක්ක Play කරන එකම නෙමේ Play එකක් කියන්නේ. අපි මේ Play කියන අදහස ඇතුළේ තියන සම්බන්ධතාවයට වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ නිසා රැකියාවට යන දෙමව්පියන් පැය 24 ම දරුවා එක්ක ඉන්න වෙන්නේ නෑ කියන එක දරුවාගේ සංවර්ධනයට බාධාවක් වෙනවාය කියලා නිවැරිදි නොවෙන අදහසක් යම් කිසි කෙනෙක් මනසට ඇතුළ් කරලා තියනවා නං ඒකෙන් මිදෙන්න. මේවා ලෝකයේ ඉන්න Autism Expert ලා පැහැදිලිව කියන දේවල්.
Co-regulation කියන්නේ දරුවාගේ මනස සන්සුන් කරගන්න ඔයා සහය දීම. ඒක දරුවා එක්ක play කරන එකම නෙමේ. දරුවා අසල ඉඳගෙන ඉන්න.එකම අවකාශය බෙදාගන්න. දරුවාට Stimming කරන්න දෙන්න. දරුවා ආරක්ශිතයි කියන හැඟීම දෙන්න.
දැන් කතා කරමු Dr. Mona Delahooke මොකක්ද Play ගැන කියන්නේ කියලා. Dr. Mona කියන්නේ Clinical Psychologist කෙනෙක්. එයා වඩාත් ප්‍රසිද්ධ එයාගේ කෘති හරහා එයා සමාජගත කරපු දැනුම. 2019 දී ලිව්වා Beyond Behaviors කියන පොත. Brain-Body Parenting කියන පොත ලිව්වේ 2022. එයා පැහැදිලි කරනවා ඔටිසම් / සංවේදන සංවේදීතා වෙනස්කම් සහිත දරුවන්ගේ Play හැඩයන් විවිධත්වයෙන් යුතුයි සහ ඒ සෑම හැඩයක් ඇතුළේම දරුවන්ගේ හැඟීම් එකතු වෙලා තියනවාය කියන එක. එයා කියන්නේ ඔටිසම් දරුවන්ගේ හැසිරීම හදන්න යන එකට වඩා අවධානය දෙන්න ඕනේ Emotions වලට කියලා. Dr. Mona ගේ Play ගැන තියන අධ්‍යයනය ආශ්රිත කරුණු පිළිවෙළට පැහැදිලි කරගමු.
- Play හරහා දරුවාට තමන්ගේ මනස සහ හැඟීම් සමබර කරගන්න සහය ලැබෙනවා. සෙල්ලම් හරහා දරුවාගේ මනසට තමන් ආරක්ශිතයි කියන හැඟීම දැනෙනවා. සාම්ප්‍රදායික සෙල්ලම් හැඩය ඇතුළේ දරුවා සෙල්ලම් නොකළාට ඒක ගැටළුවක් නෙමේ.වැඩිහිටියන් අවධානය දෙන්න ඕනේ සෙල්ලම් නිර්මාණය කරලා යම් යම් ඉලක්ක වලට දරුවාව අරන් යන එක වෙනුවට දරුවාගේ සෙල්ලම හරහා දරුවා Emotionally safe කියන එක දැනෙන්න ඉඩ දෙන එකට.
- Pretend Play( අනුකරනය හරහා Play ) කරන්න බල කරන්න එපා.බහුතරයක් තෙරපිවරුන් Pretend play/ symbolic play වලට විශේශයෙන්ම බෝනික්කන් සමඟ Play කරන්න දරුවට බල කරනවා.ඒ බල කිරීමට නැවත දරුවාගෙන් ලැබෙන ප්‍රතිචාරය ඒ තරම් හොඳ එකක් වෙන එකක් නම් නෑ. ඔයාගේ දරුවා කැමති Sensory play , Toys පේළියට තියන්න, එකම දේ ආයේ ආයේ කරන්න වගේ දේවල් වලට නං ඒවාට ඉඩ දෙන්න.
- Play කියන්නේ සන්නිවේදනය. දරුවා අම්මා එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තන් ඒකට හේතුව Sensory overload වීම හෝ Stress එක නිසා වෙන්න පුළුවන්. මුලින්ම ඔවුන්ට තමන්ගේ ශරීරය සහ දැනීම ගැන ආරක්ෂිත හැඟීමක් දැනෙන්න ඕනේ.
- “Co-Regulation Before Interaction” කියන එක සෑහෙන්න වැදගත් Point එකක්. දරුවා එක්ක Play කරන පියවරට කලින් එන්නේ දරුවා එක්ක ගොඩනඟා ගන්නා සම්බන්ධය.
“Before we can expect a child to behave differently, we must understand what their behavior is telling us about their inner experience.”
” දරුවාගෙන් වෙනස් හැසිරීමක් බලාපොරොතු වෙන්න කලින් අපි වටහා ගන්න ඕනේ දරුවන්ගේ හැසිරිම අපිට කියන ඔවුන්ගේ ඇතුලාන්ත අත්දැකීම ගැන( දරුවන්ට මේ ලෝකය / අවට/ තමන්ගේ හැඩය දැනෙන විදිය ).
“Play is not a luxury — it’s a window into the emotional world of a child.”
” සෙල්ලම කියන්නේ විනෝදාස්වාදයට පමණක් දෙයක් නෙමේ.ඒක දරුවාගේ හැඟීම් දැනීම් පිරුණු ලෝකයට ඇතුළ් වෙන්න තියන කවුළුවක්.”
“Children whose bodies are in survival mode can’t access the kind of play or learning that we may expect. Regulation must come first.”
” දරුවාගේ ශරීරය සහ මනස සන්සුන් කරගැනීම සඳහා අරගල කරන අවස්ථාවේ දී අප බලාපොරොතු වෙන play හෝ කුසලතා සංවර්ධනය කරගැනීමට දරුවාට එකතු වෙන්න බෑ.මුලින්ම දරුවාගේ මනස සන්සුන් විය යුතුයි.”
අපිට Play ගැන කියවනකොට හම්බෙනවා Stuart G. Shanker කියන York University එකේ philosophy සහ psychology research professor ව. ඔහු Play ගැන කියන්නෙත් අපි උඩ කතා කරපු කරුණුම තමයි. ඒ වගේම එයා කියනවා වැඩිහිටියන් පිළිනොගන්නා ” දරුවාගේ හැසිරීමට” දඬුවම් කරන්න කලින් ඒ දරුවාගේ පීඩාව, සංවේදන සංවේදීතා අවශ්‍යතාවයන් වටහාගෙන මනස සන්සුන් කරගන්න සහය දෙන්න කියලා.
ඒත් එක්කම Occupational Therapist කෙනෙක් වෙන Meg Proctor ව Study කරනකොට අපිට හම්බෙනවා එයා ස්වාභාවික Play ගැන ලබා දෙන දැනුම. එයා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කියනවා ඉලක්ක හදාගෙන ඒ ඉලක්ක වලට දරුවන්ව බලෙන් අරන් යන එක නතර කරලා තමන්ට අවශ්‍ය දේ දරුවා කරාම ඒකට Reward දෙන ක්‍රමය නතර කරලා දරුවගේ සංවේදන සංවේදීතා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ස්වාභාවික Play වලට සහය දෙන්න කියලා.
Dr. Devon Price කියන්නේ ඇමරිකාවේ ඉන්න social psychologist කෙනෙක්. එයාගේ studies මුල් වෙන්නේ ඔටිසම් කියන විෂය වටා. එයාගේ විශේශත්වය එයත් ඔටිසම් පුද්ගලයෙක් වීම. එයා තමයි ” Unmasking for life ” කියන පොත ලිව්වේ. එයා කතා කරනවා ඔටිසම් දරුවන්ට Play හරහා ඉගෙන ගන්න non-coercive approach එක හරහා සහය දෙන එක ගැන. non-coercive approach එක කියලා අදහස් කරන්නේ දරුවන්ට පීඩාවක් නැති දරුවන්ගේ Sensory needs සම්පූර්ණ වෙන පරිසරයක් නිර්මාණය කරලා ඒ තුළ දරුවන්ගේ ස්වාභාවික Play වලට ඉඩ දෙන එක.
ඊට පස්සේ Lisa Morgan. එයා සුදුසුකම් ලත් autism specialist සහ advocate කෙනෙක්. එයා කතා කරන්නේ ඔටිසම් පුද්ගලයින් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ ඇයි කියන එක. එතකොට ඔටිසම් දරුවන්ට කුඩා කළ මුහුණ දෙන්න සිද්ධ වෙන අධික පීඩාකාරී අත්දැකීම් ඔවුන් තරුණ සහ වැඩිහිටි අවදියට පත් වුනාම දරාගන්න අපහසු මානසික බිඳවැටීමකට පත් වෙන්න ඍජුවම බලපානවා කියන එක ඇය කියනවා.
ඒ වගේම මේ මූලාශ්‍ර හරහා ලංකාවේ තියන තවත් එක මිත්‍යාවක් බිඳිලා යනවා.ඒක තමයි ” ඔටිසම් දරුවන්ට තනියම Play කරන්න දෙන්න එපා” කියන මිත්‍යාව. ඒක නිකන් දරුවා තමන්ගේ මනෝ ලෝකෙක ඉන්නවාය කියලා සම්පූර්ණයෙන්ම වැරදි නූගත් කතාවක් එක්ක සම්බන්ධ කරනවා. ඔය නූගත් කතාවේම දිගුවක් තමයි ඔටිසම් කියන්නේ ” මනෝ වික්ශිප්තභාවය” කියන එක.
තනියම Play කරන එකට අපි කියනවා Autistic Solo Play කියලා. ඒ කියන්නේ දරුවා ස්වාධිනව Play එකක් නිර්මාණය කරගෙන Play කරන එක. මෙන්න මේ සෙල්ලම Repetitive Play එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ Toys පේළියට තියන එක.වස්තුවක් කරකවන එක වගේ. ඒ වගේම Sensory-based / දරුවාගේ සංවේදන සංවේදීතා අවශ්‍යතාවයන් මත කරන Play. උදාහරණයක් විදියට නොයෙක් ස්පර්ශයන් දැනෙන දේවල් ඇල්ලීම, වතුර, වැලි,මඩ එක්ක සෙල්ලම් කරන එක. අනික් එක දරුවාගේ special interests මත ගොඩනඟා ගන්නා Play.උදා- සෙල්ලම් වාහන වල කෑලී ගැළවීම, සවිකිරීම සහ ඒවා එකතු කිරීම.අකුරු හෝ Puzzles සමඟ Play කිරීම. මේ Solo Play එක එක හැඩයෙන් වෙන්න පුළුවන් වගේම දරුවා කිසිම Play එකක් නොකර යමක් දිහා නිරීක්ශණය කරමින් ඉන්නවා වෙන්න පුළුවන්.
එක්තරා කාලයක් තිබ්බා එමලි කරන්නේම එයාගේ පොඩි පුටුව පාර පේන තැනකින් තියන් ඉස්සරහා බලන් ඉන්න එක. මම කරේ එමලිට ටිකක් එහාට වෙන්න පුටුවක් තියන් ඉදගෙන එමලි දිහා බලන් හිටපු එක.මෙහෙම බලන් ඉන්නකොට මට තේරුනා එමලි මේ කරන්නේ එයාට පාරට එහා පේන ගෙවල් දිහා නිරීක්ශණය කරන එක කියලා. ඒ වත්තේ ඉන්න කුකුළන් සහ උන්ගේ පොඩි පැටව් දිහා තමයි එමලි බලන් ඉන්නේ කියන එක මම තේරුම් ගත්තා.මෙන්න මේ වගේ දරුවන් පරිසරය හෝ යම් විශයක්, වස්තුවක් අධ්‍යයනය කරනකොට ඒක වැඩිහිටියන්ට වටහා ගන්න බැරි වෙන්නත් පුළුවන්. හේතුව අර මනසට කා වද්දලා තියන මිථ්‍යා අදහස් ගොන්න නිසා.
තනියම play කිරීම හරහා දරුවන් තමන්ගේ මනස සන්සුන් කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ස්නායු පද්ධතිය සන්සුන් කරගන්නවා.ඒ හරහා දරුවන් Sensory සහ social overload වීමෙන් තමන්ගේ මනස සුව කරගන්නවා. Solo Play ගැන Dr. Mona Delahooke කියනවා ” This kind of play helps organize their inner world “ කියලා.
තමන්ට පාලනය කරගන්න අපහසු හැඟිම් , දැනීම් ,තොරතුරු එහා මෙහා යන විශාල ලෝකය දරුවන් හඳුනාගෙන තමන්ගේ ශරීරියේ සහ මනසේ පාලනය තමා ලඟ පවත්වාගෙන යන්නේ මෙන්න මේ Solo Play වලින්. නොනවත්වා වැඩිහිටියන් විසින් එයට බාධා කිරීමෙන් සිද්ධ වෙන්නේ දරුවගේ මනස තව තවත් කලබලයට සහ පීඩාවට පත් වීම. මේ කීප දෙනෙක් ගැන විතරයි මම සඳහන් කරේ.මේ වගේ අපිට ඔටිසම් දරුවන්ව වටහා ගන්න, ඔවුන්ට ලැබිය යුතු නිවැරිදි සහය ගැන ඉගෙන ගන්න පුළුවන් පුද්ගලයින් ඉන්නවා.
ඉතිං ලංකාව වගේ රටක ඇයි තාමත් අපි 1960 කාලයේ ඔටිසම් ගැන තිබූනු අල්ප දැනුම,නිවැරිදි නොවෙන තෙරපි ක්‍රමවේදයන් වලින් එහාට යන්නේ නැත්තේ කියන එකට හේතුව කොතනද තියෙන්නේ කියන එක බුද්ධිමත් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි

