එමලි ඊයේ මායි එමලියි එමලිගේ තාත්තයි සාලේ ඉන්නකොට එක පාරටම කිව්වා One mommy , One daddy , One baby කියලා.මෙන්න මේ වගේ මොහොතවල් වලින් තමයි අපි තේරුම් ගන්නේ එමලිගේ Emotional සහ Cognitive awareness එක සංවර්ධනය වෙනවා කියලා. ඒ වගේම එමලිගේ සන්නිවේදනය සංවර්ධනය වෙන හැඩය දවසින් දවස වෙනස් වෙනවා. ඒත් මම කතා කරන්න ආවේ ඒ ගැන නෙමේ.අපේ එමලි දැන් සෑහෙන්න පැහිලා 😁. පැහිලා කියන්නේ තමන් ගැන සහ තමන්ව පිටතට පෙන්වන්න ඕනේ විදිය ගැන තියන දැනීම වැඩි වෙලා. ගෙදරින් එළියට බහින්නෙම හොඳට ඇඳ පැළඳගෙන. එමලි තමයි තනියම එයා කැමති සහ පහසු ඇඳුම් තෝරගෙන ඇඳගෙන ලෑස්ති වෙන්නේ. මට කිසිම සහයක් දෙන්න ඕනේ නෑ. එමලිගේ ඇඳුම් වෙනම පොඩි කබඩ් එකකට දාලා තියෙන්නේ මම.

දැන් මම කිව්වම එමලි අපි Supermarket එකට යන්න හදන්නෙ ඉක්මනට ලෑස්ති වෙන්න කියලා එමලි දඩි බිඩි ගාලා කර කර හිටපු වැඩ ඔක්කොම නතර කරලා කාමරේට දුවනවා. දුවලා ගිහින් එයා ගෙදරට ඇදන් ඉන්න කළු ටී ශර්ට් එක ගලවලා එයාගේ කබඩ් එක ඇරලා ඇඳුමක් තෝරනවා. පොඩි වෙලාවකින් ඇඳුමක් තෝරලා ඇදගන්නවා.එමලිට ඕනෙම ඇදුමක් තප්පර ගාණකින් ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් වටේම කැරකිලා හැඩ බලනවා. ඊටත් පස්සේ ඕඩිකොලොන්ග් බෝතලේ අරන් බෙල්ලෙයි කම්ම්බුල් දෙකෙයි ගාගන්නවා. එයාගේ Headphones දෙක දාගෙන පොඩි කොට්ටෙත් අරන් අනිවාර්යයෙන් පොතක් හරි බෝනික්කව හරි දෙකෙන් එකක් ගන්නවා අතට. හැබැයි ටවුමට ගියත් ගෙදර පාර ඉස්සරහට ගියත් එමලි ලස්සනට ඇඳගෙන හැඩ වෙලා තමයි යන්නේ. කොණ්ඩෙට හෙයාර් බෑන්ඩ් එකක් දැම්මම නම් තප්පරයයි ගලවලා විසික් කරනවා. ඒත් කොණ්ඩේ වවන් ඉන්න තමා කැමතිම.

මේවා එමලි අපි දිහා බලලා ඉගෙන ගත්ත ඒවා නෙමේ.හේතුව අපේ ගෙදර කිසිම කෙනෙක් මෙහෙම ලස්සනට හැඩ වෙලා එළියට බහින අය නෙමේ 😁. අක්කා නං තාමත් මගෙන් තමා එළියට යන්න ගියත් ඇඳුමක් තෝරලා ඉල්ලන්නේ. අහුවෙන රබර් සෙරෙප්පු දෙක දාන් එයා එළියට බහින්නේ. ලස්සන ගවුම් වලට එහෙම කැමතිම නෑ. ඒත් එමලි ඊට වඩා සෑහෙන්න වෙනස්. Fashion ගැන හරීයට හිතනවා. ඒකත් දැන් මාස තුනක වගේ ඉඳන් පටන් ගත්තේ. ඔය පහළ ෆොටෝ එකේ ඩිස්කො නටන්න යන්න වගේ ලෑස්ති උනේ ටවුමේ Supermarket එකට යන්න.😅. මට ෆොටෝ එකක් ගන්න කියලා ඇඹරිලා හිටපු විදිය තමයි ඔය 🤭.

අපිට ඇත්තටම එමලි මේ වගේ ලෑස්ති වෙන විදිය හැමදාම බැලුවත් එපා වෙන්නේ නෑ. තව එකක්. එමලි ගෙදරින් එළියට බහින්න කලින් ගෙදර බිත්ති දෙකක් වගේ අල්ලලා තමයි දොරින් එළියට බහින්නේ. ඒක එමලිගේ එක පුරුද්දක්.ඒ වගේම සාලේ බිම මොනා හරි තියනවා නං ඒවත් අදාළ තැනින් තියලා තමයි යන්නේ. අපි තුන්දෙනා එමලි ලෑස්ති වෙලා Headphones දාගෙන අරගන්න ඒවා අරන් බිත්තිත් අල්ලා එනකල් ඉතිං දොරකඩට වෙලා බලන් ඉන්නවා. ගමනක් යන්න පටන් අරන් ගෙදරට එනකල්ම සැරින් සැරේ ” Say Cheese “කියලා ෆොටෝස් ගන්න කියනවා. මගේ වැඩේම ෆොටෝස් ගන්න එක තමයි.

ගමනක් ගිහින් ගෙදරට ආවමත් ටක් ගාලා කෙළින්ම කාමරේට ගිහින් ඇදුම් මාරු කරන් අලුත් කළු ටී ශර්ට් එකක් ඇදගන්නවා. මේ හැමදේම කරන්නේ කිසිම සපෝට් එකක් මගෙන් ගන්නේ නැතුව.කොටින්ම කියනවා නං Bathroom එකට ගිහින් එන්නෙත් මගේ උදව්වක් නැතුව. වැරදිලා හරි මම ඇහුවොත් එමලි Help එකක් ඕනෙද කියලා හයියෙන් කියනවා Go Mommy කියලා😅. එමලිගේ Daily living skills නං උපරිම සංවර්ධනය වෙලා කියලා මට හිතෙනවා. තනියම නාලා කොණ්ඩේ පවා පිහිදාගන්නවා. එයාගේ වතුර බෝතලේ පියන අරලා ඒකට වතුර පුරවගෙන තියාගන්නවා. බිස්කට් පැකට් එකක් ඇරලා ඒක පිඟානට දාගන්න කලින් පිඟාන හෝදලා ඒක පිහිදාලා තමයි බිස්කට් එකත් දාගන්නේ. ඒත් මම ලගදි දැක්කා හිස් බිස්කට් කවරේ ඇද අස්සට ඔබනවා 🫠.එමලි මොකක්ද ඔය කරන්නේ කියලා ඇහුවම ටක් ගාලා ඒක අරන් ගිහින් බින් එකට දැම්මා 😅. මේ වගේ දේවල් වලින් පවා මම තේරුම් ගන්නේ එමලිගේ දැනීමේ සංවර්ධනය. 

Fashion කරන එක හැරෙන්න අනික් හැම දේම මම එමලිට පේන්න Model කරපුවා තමයි. හරි ඉක්මනට එමලි ඒවා බලලා එයාගේ වෙලාව අරන් ඒවා කරන්න ගත්තා.කොටින්ම කියනවා නං එමලිට Bathroom එක ගැන තිබ්බ Anxiety ගතිය අවම කරන්න මම කාලයක් එයාට පේන්න Bathroom එකට ගියා 😅. එමලි කැමතිම පොඩි මීමැස්සන්ගේ ස්ටිකර් ඇලෙව්වා. රෙදි නවන , වේලෙන්න රැක් එකට දාන්න, බිත්තර සුද්ධ කරන්න, එළවලු කපන්න මේ හැමදේම එමලිට පේන්න model කරා. මම දැන් සති තුනක විතර ඉදන් Muppets ලා දෙන්නෙක් අරන් නම අහලා , මගේ නම එමලි කියලා එමලි එක්කම Play කරා. එමලි දෙපාරක් වගේ දැන් එයාගේ නම ඇහුවම මගේ නම එමලි කියලා කිව්වා🥹. එක දිගට එකම එකක් Model කරන්න බෑ.එතකොට එමලිට ඒක එපා වෙලා ඒකේ තියන විනෝදය නැති වෙන්න පුළුවන්. ඉතිං මැදින් විරාම අරන් තමයි මම එමලිට නම ඇහුවම නම කියන්න Muppets ලා අරන් Model කරන්නේ. ඒකත් කරන්නේ එමලි කැමති Play හරහා. මේ වගේ ඉතිං පොඩි දේවල් කියලා පේන සහ හිතන දේවල් වලට පවා දරුවාගෙන් දරුවාට ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ කාලය දරුවට දෙන්න.

මුල් සබැඳිය : One mommy , One daddy , One baby