පටන් ගත්ත අලුත්ම වැඩක අවසානයේ තමා මේ දවස් වල මම ඉන්නේ. ඒ වැඩේ මොකක්ද කියලා ඔයාලා එක්ක ඉක්මනට බෙදාගන්නම්. ඉතිං නිදි නැතුව රාත්‍රීන් ගෙවන්න සිද්ධ උනා. කොටින්ම කියනවා නම් පේජ් එකේ Inbox එක පවා Active නොකර තියන්න උනා. මේ ඔක්කොම වැඩ අස්සේ අපි එමලිගේ රෝසී ආන්ටිගේ ගෙදර ගියා.අපේ එමලි ගිහින් ඉදලා එන්න Comfortable ගෙවල් දෙකයි තියෙන්නෙ. එකක් එමලි ඉපදුණ මම්මාච්චිගේ ගෙදර.අනික් ගෙදර තමයි රෝසී ආන්ටිගේ ගෙදර. මටත් ඉතිං ගිහින් මනස ටිකක් නිදහස් කරන් තේකක් බීලා එන්න පුළුවන් ගෙවල් දෙක මේ දෙක තමයි. එමලිගේ රෝසී ආන්ටිගේ අම්මා ගෙදර වත්තේ අඹ ගහේ අඹ හැදුන ගමන් මට පණිවිඩේ එවනවා එන්න කියලා. රසම රස අඹ මාළුවක් මට හම්බෙනවා.ඒකත් එක්ක කරවල බැදුමකුත් තවත් ජාතිත් හම්බෙනවා. ඒ දෙන්නේ මට පහසුවට ගෙදර ගෙනිහින් ඒක තියාගෙන කන්න. එතකොට මට බතක් පරිප්පුවක් පොල්සම්බෝලයක් හැදුවම ඒ හොදටම ඇති.

එමලි එහේ ගියාම වෙනදට ඉන්නේ පැය භාගයක් වගේ. එමලි Lets Go කිව්ව ගමන් අපි එනවා. කොහේ ගි‍යත් එහෙමයි. අද නං එමලිව අපි වඩාගෙන ගෙදර යමු කියලා උස්සන් වාහනේට දාන කල් එමලි ගෙදර යන්න ආවේ නෑ.

මඟදි එමලිට මෙන්ටෝස් එකක් තාත්තා අරන් දුන්නා. එහේ ගිය ගමන් කුස්සියට ගිහින් පොඩි පිඟානක් එමලිම අරගෙන අර මෙන්ටෝස් එක කඩලා ඒකට දාගත්තා. කවරේ නං බින් එකට නොදා කුස්සියේ බිමම දැම්මා.ඊට පස්සේ සෝෆා එකේ ඉඳගෙන ඒක කන්න ගත්තා. ගෙදරින් එනකොට එයාගේ පොඩි බෝනික්කො තුන්දෙනයි පොඩි කොට්ටෙයි අරන් ආවා. ගිහින් ටික වෙලාවකින් එක බෝනික්කෙක්ගේ කකුලක් නෑ. ඒකට පොඩ්ඩක් චුරු චුරු ගාන්න ගන්නකොටම වාහනේ ඇතුළේ වැටිලා තිබිලා කකුල හම්බුනා.

එමලි එහේ ගේ වටේම ගියා.මට ආයේ එමලි පස්සෙන් යන්න ඕනේ උනේ නෑ. එහේ වටේටම තාප්පේ දාලා නිසා එමලිට එළියට දුවන්න ඉඩක් තිබ්බේ නෑ. බලු බබාලට එමලි ආස උනත් එයාලා ඇඟේ ගෑවෙන එකට ඒ තරම් කැමති නෑ. ඒත් එක බලු බබෙක්ට එයාගේ මෙන්ටෝස් පිඟාන දික් කරා කන්න කියලා.

එමලි අද ගෙදර යන්න ඕනේ කිව්වෙත් නෑ.ඒත් අපිට වෙන වැඩක් තිබ්බ නිසා ගොඩක් වෙලා ඉන්න බැරි උනා. ගෙදර යන්න ලෑස්ති වෙලා අපි එළියට බැස්සට එමලිට යන්න කිසිම ඕනේකමක් තිබ්බේ නෑ. රෝසී ආන්ටි එමලිගේ බෝනික්කො තුන්දෙනයි පොඩි කොට්ටෙයි අතේ තියන් හිටියා. අම්මා අපිට හදපු කෑම ටික අතේ තියන් හිටියා. එමලි කරේ ගේ එළියෙන් තියන ජනෙල්ලෙ ඇතුලින් කාමරේ බලපු එකයි ආයේ ගේ ඇතුළෙන් ඒ කාමර වලට ගියපු එකයි.

එමලිට ඕනේ උනේ ඒ හැම කාමරයක්ම තියන විදිය මනසේ කොපි කරගන්න. ඒකෙන් එමලිට ඒ තැන වඩා ආරක්ශිත සහ පහසු වෙනවා. ඉතිං ආයේ ආයේ ඒකම කරනකොට අපි ටික වෙලාවක් ඒකට ඉඩ දුන්නා. ඒත් අපිට යන්න පරක්කු වෙන නිසා එමලිගේ තාත්තා එමලිව වඩාගෙන ආවා. ඉතිං අද දවස සෑහෙන්න හොදයි. එන ගමන් පානුත් අරන් ආවා අම්මගේ අඹ මාළුවයි කරවල බැදුමයි එක්ක පාන් කන්න. ඒවල රස මට වචනෙන් විස්තර කරන්න බෑ.

අපි හැමෝගෙම ජිවිත වල ඉන්න ඕනේ Comfortable මිනිස්සු. එතකොට මොනතරම් මානසික වෙහෙසකින් හිටියත් ගිහින් රස්නෙට තේකක් බීලා පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා මනස සන්සුන් කරන් එන්න පුළුවන්.

මුල් සබැඳිය : හැමෝගෙම ජිවිත වල ඉන්න ඕනේ Comfortable මිනිස්සු