ඊයේ හඳ පායන්න ඇති කියලා මට හිතුනා. හඳක් දැක්කද නැද්ද කියලා මතකයක් මට නෑ..ඒත් අද පාන්දර ඇත්තමයි හඳ එක්කත් මට තරහා ගිය සිද්ධියක් උනා. එමලි නිදා ගන්නේ කාමරේ ලයිට් Off කරලා. ඒත් කට්ට කලුවර නොවෙන්න අපි ඒ ලග තියන කෑම කාමරේ ලයිට් එක දාලා තියනවා. හරියටම කාමරේ පැත්තේ වත්තේ ලයිට් එකක් තියනවා.ඒක වැරදිලා හරි රෑට දැම්මොත් එමලි ටක් ගාලා ඒක Off කරනවා. මොන හේතුවකට හරි එමලි කැමති නෑ ඒ ලයිට් එක දානවට. ඒ ලයිට් එක දැම්මොත් කාමරේ ජනෙල් වලින් පිටත එළිය හොඳට පේන නිසා වෙන්න පුලුවන්.ආ අනික් එක තමා ඒ පිටිපස්සේ ලයිට් එක දාන ස්විච් එක තියෙන්නෙත් වෙන කාමරේක 😅.

දැන් ඊයේ සුපුරුදු විදියට එමලි 9.30 වෙනකොට ඇඳට ගියා. 10 වෙනකොට නිදා ගත්තා.දැන් අපි ඔටිසම් දරුවන්ගේ චර්‍යාවන් ගැන කතා කරනවනේ. මේවා අසාමාන්‍ය නෑ. හැම හැසිරීමකටම, තෝරාගැනීමකටම සහ පිළිවෙළකටම දරුවාට හේතුවක් තියනවා. එමලි නිදාගන්න යන පිළිවෙළක් තියනවා.දන්න අවුරුදු ගාණ පුරාම ඒ විදියටම තමයි හැමදේම වෙන්නේ. 9 වෙනකොට එමලිගේ තාත්තා එමලිව නාවලා දෙනවා. ඊට පස්සේ එමලි තනියම ඇඳුම් ඇඳගන්නවා. අනික් එක තමයි එමලි දැන් ටික කාලයක ඉඳන් Bathroom යන එකේ ඉඳන් ඇදුම් ඇදගන්න එකත් සියල්ලම එයාම තනියම කරගන්නේ 🤭. එමලි නාන එකත් දත් මැදගන්න එකත් එයාම කරගන්නවා. ඒත් ඒ දෙකම ඉතිං බාගෙට කරගන්න නිසා අපි ආයෙත් නාවලා හොඳට දත් ටික මදිනවා. දත් මැදලා කට හෝදනකොට එමලි දෙපාරක් කට හේදුවම තේරුමක් නැතුව අපිත් එක පාරක් කට හෝදන්න ඕනේ. ඒක එමලිගේ දත් මදින Pattern එක.

ඉතිං නෑවට පස්සේ කරන්නේ එමලි කෑම කන්න ලැස්ති වෙන එක. සොෆා එකේ මුල්ලේ එමලි ඉදගත්තම මම රෑ කෑම එක කවනවා. හරි අමාරුවෙන් තමයි ඒක කවන්නේ. හේතුව එමලි කෑම කන්න කැමත්තක් නැති නිසා. තෝරගත්ත කෑමත් ( Safe foods) එමලි දැන් කන්නේ ටිකක් අදි මදි කරලා. ඒකට හේතුව එමලිගේ රසය කියන සංවේදන සංවේදීතාවය ඉතා අධිකව එයාට දැනෙන නිසා. කෑම කෑවට පස්සේ ආයේ එමලි නිදාගන්න Pattern එක රිපීට් කරනවා . Wash , eat , sleep කියලා.ඕක මමත් කියන්න ඕනේ. ඊට පස්සේ එමලි එයාගේ ඩිවයිස් එක අරන් ඒකේ තියන Anti stress game එකේ එක Game එකක් Open කරනවා. ඒකේ තියෙන්නේ පරණ වෙච්ච පාට තියන ලියුම් ටිකක්. ඒ ලියුම් වලින් එක ලියුමක් එමලි තෝරගෙන ඒක දිහා බලලා තාත්තට ආයේ ෆෝන් එක දීලා ඇඳට යනවා. මේ ලියුම පෙන්නලා මොකක්ද මේ කියලා එමලිගෙන් ඇහුවම එයා කියන්නේ ” Baby” කියලා. මට තාම ඒ ගැන අදහසක් නෑ. ඒත් නිදාගන්න කලින් හැමදාම ඒක දිහා බලන්නේ යම් ස්නායු උත්තේජනයක් අරගෙන මනස සන්සුන් කරන් නිදාගන්න කියන එක මම දන්නවා. දැන් ඇදට ගියාමත් එමලිගේ Soft toys ඔක්කොම ටික ඕනේ.මේවා හරියටම තියනවද කියලා බලනවා. ඒවා ඔක්කොම ළඟට අරන් අවුරුදු පහක් තිස්සේ එමලි කොහේ ගියත් අරන් යන එයාගේ පොඩි කොට්ටේ තුරුල් කරන් බෙඩ්ශීට් එක පෙරවගන්නවා. ඒ පොඩි කොට්ටේ රෙද්ද පවා දැන් දිරලා තියෙනේ.ඒත් ඒක එමලිගේ Safe , comfortable වස්තුවක් නිසා රත්තරන් වලට වඩා ඒක අපි පරිස්සම් කරනවා.

දැන් නිදාගන්න ලෑස්ති වෙලා ආයේ එමලි නිදාගන්න පිළිවෙල රිපීට් කරනවා තුන් පාරක්.Wash , eat, sleep කියලා. ඒ තුන් පාරම මම ආයේ ඒක රිපීට් කරන්න ඕනේ. ඊට පස්සේ එමලි මට පිටුපාලා බිත්තිය පැත්තට හැරෙනවා මගේ අතත් බඩ මැද්දෙන් දාගෙන. එමලිට නින්ද යනකල් මම ඒ ඉරියව්වෙන්ම ඉන්න ඕනේ හෙල්ලෙන්නේ නැතුව. ඉතිං දැන් අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම තමයි එමලි නිදාගන්න Routine එක.ඒ වගේම එමලි හැමදාම මහ රෑට 2-3 ත් අතරේ ඇහැරෙනව. ඇහැරිලා කෑම කාමරේට දුවලා ඒකේ මේසේ උඩ තියන ෆෝන් එක අරන් අර ලියුම ස්ක්‍රීන් එකේ දාගෙන ඒක ගෙනල්ලා ඇද පාමුල තියනවා. තියලා ආයේ නිදාගන්නවා. මේක හැම රෑකම වෙන දෙයක්.

 එමලි පාන්දර නැගිටින්නේ කාමරේට ඉර එළිය වැටුනම.ඊට කලින් ඇහැරුනත්, එමලිට නින්ද යන්නේ නැති නිසා ඇහැරුනත් කවදාවත් ඇදෙන් බහින්නේ නෑ. ඇදෙන් බහින්න නං අනිවාර්‍යෙන් ඉර එළිය කාමරෙට එන්න ඕනේ. ඒ ආවත් මුලින්ම අපි ඇදෙන් බැස්සට පස්සේ තමා එමලි බහින්නේ. මේ වගේ Pattern ඔටිසම් දරුවන් පවත්වාගෙන යන්නේ මනස සන්සුන් කරගන්න උපක්‍රමයක් විදියට. අපි දෙමාපියන් විදියට මේ Routines ඒ විදියටම පවත්වාගෙන යන්න ගන්න උත්සාහය ඇත්තටම පහසු දෙයක් නෙමේ. ඒ වගේම මේ පිළිවෙලවල් නිකන් හරි මැදින් කැඩිලා බාධාවක් වුනොත් දරුවාගේ මනස සෑහෙන්න කලබල වෙලා දරුවාට දරාගන්න බැරි වෙන්න පුලුවන්.

දැන් පටන් ගත්ත කතාව මැදින් සෑහෙන්න දික් උන නිසා කෙටියෙන් උන දේ කියන්නං 😅. ඊයේ එමලි එකපාරට පාන්දර තුනහාමාරට වගේ ඇහැරුනා. හෙමින් චුරු චුරු ගාන්න ගත්තා. එමලි වාචිකව සන්නිවේදනය කරගන්නේ අඩුවෙන් නිසා මම ඉතිං එමලිගේ හැසිරීමෙන් තමයි තේරුම් ගන්නේ මොකක්ද එමලි කියන්න හදන්නේ කියලා. ඔන්න එමලි චුරු චුරුව නතර කරලා අඩන්න ගත්තා.මම ඉතිං පුලුවන් ක්‍රම වලින් බැලුවා තේරුම් ගන්න ඇයි කියලා. ඒත් ටික වෙලාවක් යනකල් මට හිතාගන්න බැරි උනා. පස්සේ එමලි ජනෙල්ලේ දිහා බලලා කිව්වා ” Light off” කියලා. බලනකොට ජනෙල් වලින් ලයිට් එළියක් එනවා කාමරේට. ඒ හඳ එළිය.🥴 . දැන් කොහොමද එමලිට කියන්නේ හඳ එළිය අම්මට වහන්න බෑ කියලා🫠. මම කිව්වා එමලි ඒ ” “Moonlight” කියලා.ඒත් එමලිට ඒක තේරුනේ නෑ. පාන්දර තුනහාමාරට ඕක රූප ඇඳල පැහැදිලි කරන්නේ කොහොමද මම.පස්සේ එමලි මාව අරන් ලයිට් ඕෆ් කිය කියා ජනෙල්ලේ පැත්තේ ලයිට් එක දාන ස්විච් එක තියන කාමරේට ගියා. මම එමලිට පෙන්නුවා මේ ලයිට් එක දාලා නෑ. ඒ තියෙන්නේ හඳ එළිය කියලා.අපි ආයේ ඇඳට ගියා. හඳ එළිය නැති වෙලා ඉර එළිය වැටෙනකල් අපි දෙන්නා නිකන් ඇඳට වෙලා නිදා ගන්නේ නැතුව හිටියා. එමලි දිගටම සැරින් සැරේ හෙමින් අඩ අඬා හිටියා බෙඩ්ශීට් එකත් පෙරවගෙන. මම නිදි මරගාතේම අමාරුවෙන් ඇස් දෙකත් ඇරගෙන හඳ එලිය ගැන එමලිට කියා කියා හිටියා. ඔන්න ඔහොමයි අපි පාන්දර තුනහාමාරෙ ඉඳන් හඳ නිසා ඇහැරිලා හිටියේ 🙄

මුල් සබැඳිය : හඳ එළිය